177 බස් රථයේදී විශ්ව විද්‍යාලයේ සිසුවියක් ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කරමින් අතවර සිදු කළ සල්ලාලයාට වෙච්ච වැඩේ
කොළඹ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ සිසුවියක් බස් රථයක ගමන් කරමින් සිටියදී ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කරමින් අතවර සිදු කළ බව කියන බ්‍රෝකර්වරයෙකු බස් රථයෙන් බැස පලා යාමට උත්සාහ කළ අවස්ථාවේ සිසුවියගේ කෑ ගැසීමත් සමඟ අවට සිටි පිරිස විසින් අල්ලා පොලිසියට බාර දුන් බව කුරුඳුවත්ත පොලිසිය වාර්තා කරයි.
අත්අඩංගුවට ගත් සැකකරුගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී වෙනත් තරුණියන්ගේ ලිංගික දර්ශන තිහකට අධික ප්‍රමාණයක් එහි ගබඩා කර තිබූ බවද පොලිසිය විසින් තහවුරු කර ඇත.
මෙම සිද්ධිය වාර්තා වන්නේ මාර්ග අංක 177 කඩුවෙල-කොල්ලුපිටිය බස් රථයේදී වන අතර, පීඩාවට පත් සිසුවිය සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය වෙත ගමන් කරමින් සිටියදී මෙම සිදුවීම සිදුවී ඇත. පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇති ආකාරයට, සැකකරු එම බස් රථයේම ගමන් කරමින් සිට සිසුවිය අසුන් ගෙන සිටි ස්ථානයේ හිතාමතාම රැඳී සිට ජංගම දුරකථනය භාවිතා කරමින් මෙම අතවර සිදු කර ඇත.
විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් නම්, බස් රථයේ වෙනත් හිස් අසුන් තිබියදීත් සැකකරු ඒවායේ අසුන් නොගෙන සිසුවිය සිටි ස්ථානයේම හිටගෙන සිටීමයි. ඔහු ජංගම දුරකථනය අතේ රඳවාගෙන, සිසුවියගේ හිසට ඉහළින් බස් රථයේ භාණ්ඩ රඳවනය අසල තබාගෙන මෙම අපරාධය සිදු කර ඇති බව පොලිසිය පවසයි.
අසුන් තිබියදීත් මෙම පුද්ගලයා අසුන් නොගැනීම ගැන විමසිලිමත් වූ සිසුවිය, නෙළුම් කුලුන අසලින් බැසීමට සූදානම් වෙමින් සිටියදී තවදුරටත් විමසිලිමත් වී ඇත. එහිදී ඇය සැකකරුගේ ජංගම දුරකථනය ක්‍රියාත්මක වන අයුරු දැක,
එය තමා අසුන් ගෙන සිටි ස්ථානයට ඉහළින් රඳවාගෙන සිටින බව දුටු පසු, ඒ බව බස් රථ රියදුරුට දැනුම් දී ඇත. මේ අවස්ථාවේදී සැකකරු ජංගම දුරකථනයේ සටහන් කර තිබූ දර්ශන ඉක්මනින් මකා දමා බස් රථයෙන් බැස පලා යාමට උත්සාහ දරා ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
බස් රථයෙන් බැස සිටි සිසුවිය සැකකරු පසුපස හඹා යමින් උච්ච හඬින් කෑ ගසා ඇති අතර, එම ප්‍රදේශයේ රැස්ව සිටි පිරිස සැකකරු අල්ලා රඳවා ගෙන, 119 පොලිස් හදිසි ඇමතුම් අංශය හරහා කුරුඳුවත්ත පොලිසියට කරන ලද දැනුම් දීමක් අනුව පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
පොලිසිය විසින් සැකකරුගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී, ඔහු විසින් සිසුවියගෙන් ලබාගෙන තිබූ දර්ශන මකා දමා තිබූ බව තහවුරු වී ඇත. තවද, මීට පෙර වෙනත් බස් රථවලින් ගමන් කරමින් සිටියදී ඒ ආකාරයෙන්ම ලබා ගත් තරුණියන්ගේ ලිංගික දර්ශන රැසක් ජංගම දුරකථනයේ ගබඩා කර තිබූ බවත් පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් හෙළි වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු රාජගිරිය ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙකු බව හඳුනාගෙන ඇත. ඔහු මීට පෙර පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂවරයෙකු වශයෙන් සේවය කර ඇති අතර, දැනට බ්‍රෝකර්වරයෙකු වශයෙන් රැකියාව කරන බව පොලිසිය විසින් හෙළි කර ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආලෝක බණ්ඩාර සේනානායක මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති කාන්තා උප පොලිස් පරීක්ෂක රෝෂණී නිලූෂිකා සිරිවර්ධන මහත්මිය ඇතුළු කණ්ඩායමක් විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරමින් පවතී.
මෙවැනි අතවර සිදුවීම් වාර්තා වීම පෙන්නුම් කරන්නේ පොදු ප්‍රවාහන සේවාවන්හි ගමන් කරන කාන්තාවන්ගේ ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීමේ අවශ්‍යතාවයයි. පොලිසිය ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ මෙවැනි සිදුවීම් දුටුවහොත් වහාම අදාළ බලධාරීන්ට දැනුම් දීමට කටයුතු කරන ලෙසයි.