වෙසක් උත්සව නිවාඩු පුරාණය හා වෙසක් පොහෝ දින ජාත්‍යන්තර සැමරුම් දිනයක් ලෙස ප්‍රකාශයට පත්වුන හැටි
බුදුරජාණන්වහන්සේ ගේ ළොව පහළ වීමත් සමඟම, ක්‍රි.පූ. 6 වන සියවසෙහි දී බුදු දහමේ ආරම්භය සිදු වූ බව අප දන්නා කාරණයක් . එහෙත් උපන් රටේ නැති වී ගිය, බුදු දහමේ ඉතා ශ්‍රේෂ්ඨ ක්ෂේමස්ථානය වුයේ, ශ්‍රී ලංකාද්වීපය යි. මගාධිපති ධර්මාශෝක රජතුමාගේ කාලයෙහි දී විවිධ ප්‍රදේශ කරා යැවුණු, දූත පිරිස් මාර්ගයෙන් බුදු දහම ලක්දිවට රැගෙන ආ අතර, ඉන්පසු එය ජාත්‍යන්තර ආගමක් බවට පත් විය. බුදු දහම පිහිටු වූ ඒ ඒ රාජ්‍යවල ජාතික ආගම වශයෙන්ද, රාජ්‍ය ආගම වශයෙන් ද ,බුදු දහමට ගරු බුහුමන් ලැබුණි. ප්‍රථම වරට බුදු දහම රාජ්‍ය ආගමක් බවට පත්කර ඇත්තේ ද, භාරත දේශයේ දී මය. සම්බුද්ධ පරිනිර්වාණයෙන් ශත වර්ෂ දෙකක් ගත වූ පසු, මගධ දේශයේ රජ කළ අශෝක රජතුමා විසින් එය සිදුකරන ලදී. ලක්දිව එම තත්ත්වය ඇති වූයේ මිහිදු මා හිමියන් විසින් බුදු දහම මේ රටට රැගෙන ආ දිනයේ දී මය.
ඒ අනුව ලංකා රාජ්‍යයේ රජකමට හිමිකම් කීමට නීතියෙන් බලය ලැබුණේ බෞද්ධයකුට පමණි. ඒ බව පසුකාලීනව අනුරාධපුරය තම රාජධානිය කොටගත් පස් වන මිහිඳු රජුගේ සෙල්ලිපියෙන් හා පොළොන්නරු යුගයේ සිටි නිශ්ශංක මල්ල රජුගේ ගල්පොත ශිලා ලිපියෙන් ද, අනාරණය වේ. මෙම නීතිය මුල් අවධියේ පටන් ලක්දිව පැවැති නිසා එළාර රජතුමා ද, සෑ ගිරියෙහි වැඩ සිටි සංඝයා වහන්සේට පෙර සිරිත් පරිදි දනට ආරාධනා කොට, දන් පිළිගැන් වූ බව මහා වංශයේ සඳහන් වේ.මේ ආකාරයට ලක්දිව බුදු දහම රැගෙන ආ, දෙවන පෑතිස් යුගය පටන් ශ්‍රී වික්‍රමරාජසිංහ රජු දක්වා රාජ්‍ය කළ සෑම රජ කෙනෙක්ම, බුදු දහම තමාගේ රාජ්‍ය ආගම බවට පත්කර ගිනිමින් තම රාජ්‍ය විචාරන්නට කටයුතු කර ඇත. එහෙත් කාලිංගමාග වැනි ද්‍රවිඩ ආක්‍රමණිකයන්ගේ යුගවල දී බුදු දහම විනාශ කරන්නට යෙදුණු අතර, පසුකාලීන ව පෘතුගීසීන් හා ඕලන්දකායන් ලක්දිවට පැමිණි යුගයේ දී ඒ තත්ත්වය වෙනස් වී තිබේ.
අශෝක රජතුමාගේ ධර්ම දූත මෙහෙවර ආරම්භ කිරීමෙන් පසුව, බුදු දහම ප්‍රචලිත වූ සෑම රටකම ඒ ඒ රටවල පැවැති සිරිත් විරිත් ඇදහීම් , විශ්වාස, උත්සව ආදිය ලක්දිව බුදුදහමට ද ඇතුළත් විය. ඒ අනුව ඊෂ්වර, විෂ්ණු, සමන්,විභීෂණ ආදී දේව වන්දනා මාන මෙන්ම, ,ග්‍රහයන් හා ඔවුන්ගේ බලපෑම පිළිබඳ නක්ෂත්‍ර ක්‍රම, යක්ෂ, සූනියම් , බලිබිලි පැවැත්වීම මෙන්ම, පොහොය දිනයන්හි උත්සව පැවැත්වීම ලක්දිව බුදු දහමට ඇතුළත් වූ සුවිෂේශී අංගෝපාංගයන් විය. ඒ අනුව වෙසක් මංගල්‍යය උත්සව ද, ලක්දිව ආරම්භවීමට ඉහත සඳහන් වූ විවිධ ක්‍රියාමාර්ගයන් කිසියම් බලපෑමක් ඇතිකරන්නට ඇතැයි සිතිය හැකිය.
සංස්කෘත භාෂාවෙන් වෛශාඛ, පාලි භාෂාවෙන් වේශාඛ යනුවෙන් හඳුන්වන මෙම වචනය සිංහල භාෂාවට අනුව, වෙසක් යනුවෙන් හඳුන්වනු ලැබේ. සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය ,බුද්ධෝත්පත්තිය හා බුදුරදුන්ගේ මහා පරිනිර්වාණය සිහිකිරීම උදෙසා මැයි මාසයේදී පවත්වනු ලබන මෙම උත්සවය පාරම්පරිකව පැවැත්වෙන රාජ්‍ය චාරිත්‍රයක් බව දීප වංශය හා මහා වංශයෙහි සඳහන් වේ. බුද්ධකාලීන භාරතයෙහි මෙවන් උත්සවයක් පිළිබඳව සඳහනක් නොවුණත්,බුද්ධ පරිනිර්වාණයෙන් ශතවර්ෂ දෙකක් ගත වූ පසු, මගධාධිපති ධර්මාශෝක රජතුමා වෙසක් දිනය නිමිති කරගෙන මහත් උත්සවයක් සිදුකළ බව අශෝක ශිලා ලේඛනයක් වූ 4 වන සෙල් ලිපියෙහි සඳහන් වේ. ක්‍රි.ව. 5 වන සියවසේ දී බෞද්ධ රාජධානි පිළිබඳ තොරතුරු සැපයූ පාහියන්ගේ දේශාටන වාර්තාවල ද දැක්වෙන්නේ, භාරතයේ අවුරුද්දක් පාසා වර්ෂයේ දෙවෙනි මස, අට වෙනි දින පිළිම පෙරහරක් පවත්වා ඇති බව ය.
එහිදී රෝද හතරකින් යුත් රියක් මත, උණ දඬු එක පිට එක බඳිමින් ඒ මත පස් මහල් මණ්ඩපයක් නංවා. රන්,රදී, දේව පිළිම මණ්ඩපයෙහි සතර පැත්තෙහි තබා වැඳ බුදු පිළිමයක් හා බුදුන්ගේ ආරක්ෂාවට බෝධිසත්ත්ව පිළිමයක් ද, තැන්පත් කර පෙරහරක් පවත්වා ඇති බව සඳහන් වේ. මෙහි සඳහන් වන්නේ වර්ෂයේ දෙවෙනි මාසය යනුවෙනි. ඉන්දියානු ලිත් ක්‍රමයට අනුව වර්ෂයේ දෙවෙනි මාසය යනු, වෙසක් මාසය වේ. එබැවින් නමක් සඳහන් නොකළත්, පාහියන් සඳහන් කරන ආකාරයට අනුව, එය වෙසක් උළෙළක් විය හැකිය. ලක්දිවට බුදු දහම රැගෙන ඒමෙන් පසුව මෙබඳු උත්සවයක් පැවැත්වීම පිළිබඳව ප්‍රථම වරට හමුවන්නේ දුටුගැමුණු රජතුමාගේ රාජ්‍යය කාලයේ දී ය. ඔහුගේ රාජ්‍ය කාලය තුළදී වෙසක් උත්සව විසිහතරක් පැවැත් වූ බව මහා වංශයේ සඳහන් වේ. එහෙත් මීට පෙර ද, බුදු දහම ලක්දිවට රැගෙන ආ අවස්ථාවේදී සිට වෙසක් උත්සවය පවත්වන්නට ඇති බව අපට සිතිය හැකිය.
ඇතැම් විට එළාර රජුගේ කාලයේ දී නැති වී ගිය වෙසක් උත්සව, දුටුගැමුණු රජතුමා විසින් නැවත ආරම්භ කොට, විසිතුරු අන්දමින් පැවැත්වූවා විය හැකිය. ඉන්පසු ලක්දිව රාජ්‍ය කළ බොහෝ රජවරු තමන්ගේ රාජ්‍ය කාලය තුළදී, බොහෝ උත්සව නොකඩවා ම පවත්වා ඇත. ඒ අතරින් භාතිකාභය රජු වෙසක් මංගල්‍යය 28 ක් ද, වසභ රජු 44 ක් ද පවත්වා තිබේ. වෝහාරිකතිස්ස රාජ්‍ය සමයෙහි එකල පැවැති වෛතුල්‍ය වාදය ද මර්දනය කොට, ජනයාට පැවැති දඬුවම් ක්‍රමද, නැති කොට වෙසක් උත්සවයක් පැවැත්වූ බව මහා වංශයෙහි සඳහන් වේ. ඔහුගෙන් පසු සිටි සිරිසඟබෝ රජුගේ කාලය හැරුණු විට අවුරුදු 40 ක් පමණ දුරුභාග්‍ය කාලයක් බවට පත් විය.
ඊට හේතු වුයේ, වෛතුල්‍යවාදය නැවතත් ලක්දිව ඇති වූ නිසාය. සිරිසඟබෝ රජු පමණක් ආදර්ශවත්, සිල්වත්,බෞද්ධ ජීවිතයක් ගතකළ අතර, වෙසක් පූජාව වැනි ජනප්‍රිය උත්සව පැවැත්වීම ද සිදුකොට ඇත. දිට්ඨතිස්ස රාජ්‍ය සමයෙහිද, නැවතත් මහා පරිමාණයේ වෙසක් මංගල්‍යයක් පවත්වා තිබේ. එතුමා තිස් දහසක් පමණ භික්ෂූන් වහන්සේලාට සිවුරු පිරිකර මෙන් ම, විහාර ප්‍රාසාදද, ඉඳිකරවා පුජා කර ඇත. එය එම කාලය තුළ පැවැති වෙසක් මංගල්‍යයක අනිවාර්ය අංගයක් බවටද ,පත් වී තිබූ බව සඳහන් කළ හැකිය. මින් පසු රජ කළ බොහෝ රජවරුන්ගේ කාලවල දී වෙසක් උත්සවය මහත් උත්කර්ෂවත් ආකාරයෙන් පවත්වා ඇති අතර, කුමාර ධාතුසේන , දෙවන මුගලන් , දෙවන අග්බෝ, තුන්වන මුගලන් යන රජවරු වැදගත් තැනක් උසුලණු ලැබුහ. අනුරාධපුර යුගයෙන් පසු රජ කළ බොහෝ රජවරුන්ට සිදුවූයේ ශාසන ශෝධන කාර්යයයෙහි නියැළීමටය.
ඒ අතර මහා විජයබාහු , මහා පරාක්‍රමබාහු ,නිශ්ශංකමල්ල, තුන්වන විජයබාහු,තුන්වන පරාක්‍රමබුහු, කීර්තී ශ්‍රී රාජසිංහ වැනි රජවරු ප්‍රමුඛස්ථානයෙහිලා සැලකිය හැකි බවත්, පොළොන්නරු දඹදිව හා කීර්ති ශ්‍රී රාජසිංහ යන කතිකාවත් දෙස බැලීමෙන් ද, ඒ බව මනාව පැහැදිලි වේ. එසේ ශාසන ශෝධනයන් පිළිබඳ විස්තර හමුවනවා සේම, ඒ ඒ කාලවලදී දළදා වහන්සේ උදෙසා පවත්වන ලද පුද පූජා හා උත්සව ආදීය පිළිබඳ තොරතුරු මහා වංශයෙහි නොයෙක් ස්ථානවලදී සඳහන් කර ඇත. කාලාන්තරයක් මුළුල්ලේ පවත්වාගෙන ආ පුද සිරිත්, උත්සව හා ආගමික කාර්යයන්, යම් තරමකට හෝ ගිලිහී ගියේ පොළොන්නරු රාජ්‍ය ගෙනගිය, කාලිංගමාග හා ක්‍රි.ව 1505 දී ලක්දිවට පැමිණි පෘතුගීසීන්ගේ ක්‍රියාකලාපයන් නිසාය. ඔවුන්ගේ පැමිණීමත් සමඟ ලක්දිව සිටි බොහෝ භික්ෂූන් වහන්සේලා තම ජීවිත ආරක්ෂාව පතා මෙරටින් විදෙස් රටවලට වැඩම කිරීම, වනගතවීම ආදිය සිදුවූයෙන් උන්වහන්සේලාට ආගමික කාර්යයන්හි නිරතවීමට නොහැකි වුණි. පෘතුගීසීන්ගේ නික්මයෑමත් සමඟ ලන්දේශීන්ගේ ආගමනය සිදුවූ අතර, ඔවුන්ගේ කාලයේදී ද , ආගමික අතින් දියුණුවක් දක්නට නොලැබුණි.
එම තත්ත්වයෙන් රට ගොඩනැඟීම සඳහා ජාතියේ පිනට පහළ වූ බෝධිසත්ත්ව ගුණෝපේත වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජමාහිමියන් නොවන්නට වර්තමානයෙහි පවා එකදු උපසපන් භික්ෂූන් වහන්සේ නමක්වත්, සොයාගැනීමට අපහසුවණු ඇත. උන්වහන්සේ ඇති කළ ශාසන පුනරුදය සිංහල රාජ්‍යයේ අවසානය දක්වාම පැතිර තිබුණි. මෙහිදී ලක්දිව උඩ පහත බේදයකින් තොරව, සියලුම භික්ෂූන් වහන්සේලා අනුක්‍රමයෙන් වැඩි වන්නටත් පටන් ගත්හ. කීර්තී ශ්‍රී රාජසිංහ රජු අල්වාගැනීමෙන් පසු මෙරට සම්පූර්ණයෙන්ම රාජ්‍ය බලය ගිලිහී යටත් විජිතයක් බවට පත් විය. ඉන්පසු ලක්දිව රාජ්‍ය පාලනය කරන ලද්දේ ඉංග්‍රීසීන් විසිනි. එංගලන්තයේ මහරැජින එහි ආධිපත්‍යය ඉසිලූ අතර ලක්දිව පාලන බලය ගෙන ගියේ ආණ්ඩුකාරවරුන් විසිනි. ඒ අනුව ක්‍රිස්තුසමය වැළඳගත් පිරිසට පමණක්, සමාජයේ වැජඹෙන්නට අවස්ථාව උදාවූ නිසා පහතරට බොහෝ ප්‍රභූ පිරිස් මෙන්ම, උඩරට රදළ පවුල්වල පිරිස් ද ක්‍රිස්තුසමය වැළඳගෙන ඇත.
ඇතැම්විට ආත්මාර්ථයට යොමූ වූ ප්‍රසිද්ධ භික්ෂූන් වහන්සේලා පවා බෞතීස්ම ලැබ ක්‍රිස්තු භක්තිකයන් වූ ආකාරය සඳහන්ව තිබේ.( පන්ඩිතසේකර, නදෝරිස් සිල්වා යන දෙදෙන භික්ෂූන්ව සිට උපැවැදිව ස්වාර්ථය පිණිස බෞතීස්ම ලත් දෙදෙනෙකි. පන්ඩිතසේකර රාජගුරු පදිවිය පවා ලැබූ උගත් ප්‍රසිද්ධ භික්ෂුවරයෙකි.) මෙම තත්ත්වය ලක්දිව ඇති වූ පසු 1850 වන විට මුළු රටම පාලනය කිරීමට ක්‍රිස්තියානි පූජකවරුන්ට අවස්ථාව ලැබුණි. එම ක්‍රමවේදය කාලාන්තරයක් පුරා පැවැති අතර, බුදුසමය රැකගැනීමේ ශක්තිය ලත් භික්ෂුන් වහන්සේලා කිහිපනමකගේම සිය කටයුතු නොපිරිහෙළා ඉටුකළහ. ගාල්ලේ මේධංකර හිමි, ඉඳුරුවේ සුමංගල හිමි, වලානේ ශ්‍රී සිද්ධාර්ථ.හිමි යන හිමිවරුන් ප්‍රමුඛස්ථානයෙහිලා සැලකිය හැකිය. එම ස්වාමීන්වහන්සේලාගේ අප්‍රතිහත ධෛර්්‍යයෙහි ප්‍රතිඵලයක් වශයෙන් ක්‍රි. වර්ෂ 1864 න්. පසු මෙම ක්‍රමය වෙනස් මඟට ගමන් ගත්තේය.
එතෙක් ලක්දිව ක්‍රිස්තියනි පූජකවරුන් විසින් සිදුකරගෙන ආ ක්‍රමවේදයට අභියෝග කරමින් වාදිභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් ප්‍රධානත්වය ගෙන කිස්තියානි බලවේගවල තර්ක බිඳහෙළමින් 1864 දී බද්දේගමදීත්,.1866.උදම්මිටදීත් 1871 ගම්පොළදීත් 1873දී පානදුරේදීත් ප්‍රධානත්වය ගෙන වාදය. කරන ලදී. 1899 දී. මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඔරුගොඩවත්තේ දී වාදය පවත්වා ඇත. මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ වාදවලින් ජයග්‍රහණය කළ නිසා පිරිහී සිටි සිංහල බෞද්ධයන් තුළ මහා පිබිදිමක් ඇති විය. මහා වීරයන් වූ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ පිළිරුවක් සාදා රටපුරා රැගෙන යමින් උත්සව පවත්වන්නට විය. උන්වහන්සේගේ වාද ඉංග්‍රීසි භාෂාවටද පරිවර්තනය වූ බැවින්, එම වාදවල ස්වභාවයත්, උන්වහන්සේ හමුවීමේ පරමඅභිලාෂයත් පෙරදැරිව සිටි සෙන්පති හෙන්රි ස්ටීල්ඕල්කොට්තුමාගේ පැමිණීම සිදුවූයේ ද එම කාල වකවානුව තුළදීය.ඊට පෙර ඔහුට ලංකාව පිළිබඳවත්, බුදු දහම පිළිබඳවත් , අවබෝධයක් තිබූ බව සඳහන් කළ හැකිය. හෙන්රිස්ටීල් ඕල්කොට්තුමා හා එම මැතිනිය1880 දී ලක්දිවට පැමිණ, නොයෙකුත් ස්ථානවලදී දේශන පවත්වමින් සිංහල බෞද්ධයාගේ සිත් දිනා ගැනීමට සමත් විය.
ඉන් අනතුරුව 1880 වර්ෂයේ ජුනි 8 වෙනි දින මාලිගාකන්ද විදෝද්‍ය පිරිවෙනෙහිදී පරම විඥානාර්ථ සමාගම පිහිටවූහ. මේ අතරතුර කොටහේන විහාරස්ථානයෙහි නේත්‍රා පින්කම සඳහා පැමිණි බෞද්ධ පෙරහරට කතෝලිකයන් විසින් පහරදි මිනීමැරීම් ලේ වැගිරීම් සිදුකර ඇත. එපමණක් නොව එතෙක් පවත්වාගෙන පැමිණි වෙසක් උත්සව, පෙරහර ආදී සියල්ල සිදුකිරීම බෞද්ධයන්ට තහනම් විය. එහෙත් ඕල්කොට්තුමා බුද්ධිමත් වී බෞද්ධ අයිතීන් දිනාගැනීමට එය මහඟු අවස්ථාවක් කරගෙන තිබේ. ඒ සඳහා එංගන්තයේ මහ රැජිනට එම පුවත සැලකර ඇත. එම අවස්ථාවේ දූතයකු වශයෙන් කටයුතු කර ඇත්තේ ද ඕල්කොට්තුමාය.
යටත් විජිත සමයේ ලේකම්ධුරය හෙබ වූ ඩර්බි ස්වාමිවරයාට සන්දේශයක් මගින් දැන්වීමෙන් පසුව එය සාර්ථක විණි. ඒ අනුව බෞද්ධ පෙරහර ,වෙසක් උත්සව සඳහා පැවැති තහනම ඉවත් කොට 1815 දී ඇතිකර ගත් ආකාරව විහාර දේවාල අයිතිය හා සේවා භාරය බෞද්ධයන්ට පවරා පොහොය දිනය ද නිවාඩු දිනයක් වශයෙන් පත්කරන ලෙස දන්වා ලංකා ආණ්ඩුවේ ආණ්ඩුකාරයා වෙත එම පුවත එවන ලදී. සංදේශය නැවත රැගෙන පැමිණි ඕල්කොට්තුමා ලංකා ආණ්ඩුව පාලනය කළ හැමිල්ටන් ගෝල්ඩ්ස්මිත් ආණ්ඩුකරයාට දීමෙන් පසු 1886.මැයි 25 වන දින වෙසක් දිනය රජයේ නිවාඩු දිනයක් බවට ප්‍රසිද්ධියට පත්කරන ලදී. වෙසක් පොහොය දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස පත් කළ ප්‍රථම අවස්ථාව විය.
ඉන්පසු ඕල්කොට්තුමාගේ අනුමැතිය ඇතිව, පත්කළ කමිටුවක් මගින් ෂඩ් වර්ණයෙන් සමන්විත බෞද්ධ කොඩිය මුල්වරට භාවිත කර ඇත්තේ ද ,1885 වෙසක් පුන් පොහොය දිනයේදීය. ඉන්පසු ඇතිවූ වෙසක් උත්සව මහත් ආඩම්බරයෙන් පවත්වන්නට සිංහල බෞද්ධ ජනතාව උත්සුක වූහ. ඒ අනුව සිංහල නාට්‍ය කලා ඉතිහාසයේ ආරම්භකයා වූ ශ්‍රී ගෝල්ඩ් බැස්ටියන්.මහතාගේ කාලයේ වෙසක් උත්සවයට නව අගෝපාංග එක්වන්නට විය. වෙසක් උත්සවය නිමිත්තෙන් දරුවන් උදෙසා වෙසක්භක්ති ගී ගායනා නිවෙස්වල වෙසක් සැරසිලි තැනීම ආදිය සිදුකොට ඇත. ඊට අමතරව ඕල්කොට්තුමාගේ ද අනුග්‍රහය ඇතිව බෞද්ධ සංවිධාන ද ඇරඹුණේ වෙසක් දිනය නිවාඩු දිනයක් බවට පිළිගැනීමෙන් පසුව. ලක්දිව ඇතිවූ බෞද්ධ පුනරුදය සමඟයි.
අනගාරික ධර්මපාල තුමා විසින් ආරම්භකරන ලද මහාබෝධි සමාගම එහිදී කැපී පෙනෙන බෞද්ධ සංවිධානයක් විය.. ඕල්කොට්තුමාගේ මැදිහත්වීම මත හා අනගාරික ධර්මපාලතුමාගේ හා මෙරට වැඩසිටි මහා තෙරවරුන්ගේ ආදර්ශවත් සේවය පදනම් කරගෙන විසිවන සියවස මුල්භාගය වන විට බෞද්ධ පුනරුදය තව තවත් ඔප්නංවමින් කොළඹ තරුණ බෞද්ධ සිමිතිය ඇති විය එම සංගමය මගින් වර්තමානයේදී ද ,ලක්දිව ඉරුදින දහම් පාසල් පැවැත්වීමෙහිලා ප්‍රමුඛස්ථානයක් ගනී. විශේෂයෙන් වෙසක් උත්සව පොහොය දිනයන්හි පවත්වනු ලබන ආගමික උත්සවද පැසසිය යුතුය. මේ ආකාරයේ පොදු සංවිධාන බිහිවීමෙන් අනතුරුව 1948 දී ලත් නිදහසත් සමග ඒ තත්ත්වය තවදුරටත් වැඩිවන්නට විය. ඉන්පසුව ඇතිවූ සියලු රාජ්‍යයන් බුදුදහම රාජ්‍ය ආගම බවට පත්කරගත්තා පමණක් නොව, වෙසක් උත්සව ආදී පොහොය දිනයන්හි පවත්වන සියලුම උත්සවයන් සඳහා රජ්‍ය අනුගහයද ලබාදී ඇත.
ඊට අමතරම ඇමෙරිකා එක්සත් ජනපදය, හා රුසියාව ඇතුලු ලෝකයේ අන්‍ය ආගමිකයන්ගෙන් සමන්විත ජනගහනයක් ඇති අපරදිග බොහෝ රටවල අනුග්‍රාහකත්වය ද,ඒකමතිකව පළ කර තිබීම විශේෂත්වයක් ගනී. ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය මගින් 1998 කොළඹ පවත්වන ලද ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනයේදී වෙසක් දිනය ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමේ අදහස ප්‍රථම වරට සාකච්ජා කරන ලදි.
ඒ අනුව එවකට විදේශ කටයුතු ඇමතිවරයාව සිටි ලක්ෂ්මන් කදිරගාමර් මහතා 1999 සැප්තැම්බර් මස පැවැති එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයේ ආරම්භක විවාද අවස්ථාවෙහිදී එම යොජනාව ඉදිරිපත් කර ඇත එවකට නියෝජ්‍ය අමාත්‍යවරයා වූයේ ලක්ෂ්මන් කිරි ඇල්ල මහතාය. එහි ප්‍රතිඵලයක් වශයෙන් මාස දෙකක් ඇවෑමෙන් පැවැති ඊළඟ සමුළුවේදී එම යෝජනාව සම්මත විය. එම යෝජනාව සම්මත වි ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානයද වෙසක් උත්සවය නිමිත්තෙන්, කිසිදු වියදමක් දැරීමක් සිදු නොවන පරිදිය. ඒ අනුව 2000 වර්ෂයේදී වෙසක් පොහොය දිනයේ සිට එම දිනය ජාත්‍යන්තර නිවාඩු දිනයක් වශයෙන් සැමරේ. මෙසේ ඇති වූ වෙසක් පොහොය නිවාඩු දිනය ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නා අතර, ලක්දිව පමණක් වෙසක් දිනට පසු දිනය ද ,නිවාඩු දිනයක් වශයෙන් නම් කර ඇත.
මේ අතර 2016 වසරේ අප්‍රේල් මාසයේ රැස්වූ සාමාජිකයන් 193 දෙනෙකුගෙන් සමන්විත ක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලය විසින් වෙසක් පොහොය දිනය නිවාඩු දිනයක් ලෙස මෙසේ ඒකමතිකව පිළිගෙන තිබේ. ඒ අනුව මේ වසරේ මැයි මස 21 වැනිදා ජාත්‍යන්තර නිවාඩු දිනයක් වෙයි.එසේම වර්තමාන රජය මගින් වෙසක් සතියක් වශයෙන් නම් කර විවිධ උත්සවද පවත්වනු ලබයි. වෙසක් සතිය තුළ දන්සැල් තොරණ පහන් කූඩු භක්ති ගීත ආදිය පවත්වනු ලබයි.මේ සියල්ලෙන්ම සිදුකරන්නේ බුදුරදුන්ගේ තෙමඟුල සිහිකිරීමකි. වර්තමානය තුළ බෞද්ධයන් සිටින සෑම රටකම පාහේ මෙවැනිඋත්සව පවතින බවද දක්නට ලැබේ. ඒ අනුව බෞද්ධයන් වශයෙන් අප සියලුදෙනාටම වෙසක් දිනය අතිශය වැදගත් දිනයක් වන බව සිහි තබාගත යුතුය.
හේමමාලා රන්දුනු