Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

කොළඹ හෙල්ලූ - ක්‍රිකට් ක්‍රීඩක ධනංජයගේ පියාගේ දිවි අහිමි කල, 
බිරිඳගේ ඔත්තුවෙන්  රත්මලානේ ’’කුඩු අංජු" ප්‍රංශයේදී කොටුකරගත් මෙහෙයුම

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධකරුවකු වශයෙන් රතු නිවේදන නිකුත් කර ඇති සිංහාරගේ අමල් ශාමින්ද ද සිල්වා නොහොත් රත්මලාන ''කුඩු අංජු'' නැමැත්තා ප්‍රංශයේදී පොලිස් අත්අඩංගුවට පත්වූයේ පසුගියදාය. මෙරට සිදුකෙරුණු පාතාල ක්‍රියාකාරකම් මත්කුඩු ජාවාරම් හා මනුෂ්‍ය ඝාතන රුසක් සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි කුඩු අංජු කඩිනමින් මෙරටට රුගෙන ඒම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ ගල්කිස්ස පොලීසිය මේ වනවිට මෙහෙයුමක් ආරම්භ කොට තිබේ.

දුටුතැන අත්අඩංගුවට ගන්නා ලෙස ජාත්‍යන්තර පොලීසිය හරහා රතු නිවේදන නිකුත් කොට තිබූ කුඩු අංජු ප්‍රංශයේදී අත්අඩංගුවට ගෙන තිබෙන බව ජාත්‍යන්තර පොලීසිය මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉන්ටර්පෝල් ශාඛාවට දැනුම් දී තිබුණේ අප්‍රේල් 29 වැනිදා පෙරවරුවේය. මෙරටින් පලාගොස් විවිධ රටවල සැඟවී සිටිමින් ශ්‍රී ලංකාව තුළ මත්කුඩු ජාවාරම හා පාතාල අපරාධ මෙහෙය වූ කුඩු අංජු අවසන්වරට රැඳී සිට තිබෙන්නේ ප්‍රංශයේය.

මෙරටින් පලාගිය පසුව මැලේසියාව ඇතුළු රටවල් කිහිපයක ජීවත්ව සිටි කුඩු අංජු දේශපාලන රැකවරණය පතමින් ප්‍රංශයේ රුඳී සිට ඇත. ගතවූ වසර කිහිපයේ ඔහුගේ බිරිය හා දරුවාද සිටියේ ප්‍රංශයේ ඔහු සමඟ බව වාර්තා වේ. මේ කාලයේදී කුඩු අංජු ප්‍රංශ ජාතික කාන්තාවක් සමඟ අනියම් ඇසුරක් පවත්වා ඇත්තේ සිය බිරියට හොර රහසේය. කාලයක් ගතවූ පසුව ඔහු නීත්‍යානුකූල බිරිය අත්හැර විදෙස් කාන්තාව විවාහ කරගැනීමට සූදානමින් පසුවී ඇත. මේ හේතුවෙන් කුඩු අංජුගේ බිරිය කනස්සල්ලෙන් පසු වී තිබෙන අතර එම කාරණය මුල්කොටගෙන පවුල් ආරවුලක් ගොඩනැගී ඇති බව වාර්තා වේ.

විටෙක එම ආරවුල ගැටුමක් දක්වා වර්ධනය වී තිබෙන බවද ඉකුත් දිනෙක උත්සන්න වූ ගැටුම පහරදීමකින් කෙළවර කිරීමට කුඩු අංජු ක්‍රියා කර ඇති බවද වාර්තා වේ. පහර කෑමෙන් අගතියට පත්වූ ගොනාකෝවිලේ කුඩු අංජු නැමැත්තාගේ බිරිය ඒ සම්බන්ධයෙන් එරට පොලීසියට පැමිණිල්ලක් සිදුකර ඇත. පොලිස් ආරංචි මාර්ග අනාවරණය කරන පරිදි අමල් ශාමින්ද සිල්වා යන අය ශ්‍රී ලංකාවේ සංවිධානාත්මක අපරාධකරුවකු බවට එරට පොලීසිය හමුවේ ප්‍රකාශ කර ඇත්තේද පැමිණිලිකාර බිරිය විසිනි. ප්‍රංශ පොලීසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුගේ විදෙස් ගමන් බලපත්‍රය ඇතුළු ලේඛන පරීක්ෂාවට ලක්කොට තිබුණේ ඉන් අනතුරුවය. ජාත්‍යන්තර පොලීසිය හරහා සැකකරුට එරෙහිව රතු නිවේදනයක් නිකුත් කොට ඇති බව එරට පොලීසිය අනාවරණය කොටගෙන තිබුණේ ඒ අනුවය. ඒ සම්බන්ධයෙන් කුඩු අංජුගේ බිරිය පොලීසිය වෙත වැඩිදුර තොරතුරු හෙළිකර ඇතැයිද දැනගන්නට තිබේ.

ගොනාකෝවිලේ කුඩු අංජු නම ඉදිරියේ මිනිස් ඝාතන 6ක් හා ඝාතන තැත් කිරීම් 6ක් ඇතුළු අපරාධ 18ක් සම්බන්ධයෙන් පොලිස් පොතේ ලියැවී තිබේ. මොහු 2007 වසරේ ජූලි මාසයේ දිනක විදේශ නිෂ්පාදිත බෝම්බයක් සමඟ පොලිස් අත්අඩංගුවට පත්වී ඇත. එම වසරේම දෙහිවල ප්‍රදේශයේ පුද්ගලයකුට ගිනි අවි පෙන්වා රුපියල් ලක්ෂ තුනක් කොල්ලකෑම සිදුකර ඇත. මොහු විසින් පළමුවරට මිනිස් ඝාතනයක් සිදුකර තිබෙන්නේ 2016 වසරේදීය. ඒ පිළියන්දල ප්‍රදේශයේදී රසංග පෙරේරා නැමැති අයකුට ටී.56 ගිනි අවියකින් වෙඩිතබා මැරීමට අනුබල දීමෙනි.

ගොනාකෝවිලේ අංජුගේ වැඩිමහල් සහෝදරයා ගොනාකෝවිලේ ලංසියා නැමැත්තෙකි. ඔහු කඩවත පිහිටි මහර අධිකරණය ඉදිරිපිටදී වෙඩිතබා ඝාතනය කෙරුණේ 2016 ජූනි මසදීය. එම ඝාතනය මෙහෙයවා තිබුණේ ගොනාකෝවිලේ රොහාය. එතැනින් නොනැවතුණු රොහා ලංසියාගේ සහෝදරයන් පවා මරාදමන්නට උත්සාහ ගත්තේය. එවැනි අවස්ථාවක රටින් පලායාමට තීරණය කළ කුඩු අංජු මලයාසියාව බලා පිටත්ව ගොස් තිබුණි. එතැන් සිටම කුඩු අංජුගේ බලාපොරොත්තුව වී ඇත්තේ ගොනාකෝවිලේ රොහාගෙන් පලිගැනීම සඳහා ඔහු මරාදැමීමය. කුරුණෑගල ප්‍රදේශයේදී පොලිස් නිලධාරියකු ඝාතනය කොට පලා යමින් සිටියදී රොහා නැමැත්තා පොලීසියට කොටු වී තිබුණු අතර පසුව බන්ධනාගාර ගත කෙරිණ. එහි රඳවා සිටියදී කුඩු අංජු විසින් සැලසුම් කර තිබුණේ රොහාට සයනයිඩ් විෂ ශරීරගත කොට මරා දැමීමටය. එම සැලසුම බන්ධනාගාර නිලධාරීන්ට අසුවීම නිසා එය ව්‍යර්ථව ගියේය. 2017 අප්‍රේල් මස දිනක රොහා ගල්කිස්ස අධිකරණ ශාලාව තුළදී වෙඩිතබා මැරීමට සැලසුම් කර තිබිණ. ඒ සඳහා යොදාගත් ගිනිඅවි දෙක අධිකරණයේ බංකුවක් යට තිබී හමුවීම නිසා ඒ අවස්ථාවද ගිලිහී තිබිණ. මෙකී සියල්ල කුඩු අංජු මෙහෙයවා තිබුණේ විදෙස්ගතව සිටියදීය.

මෙම සිදුවීම් නිසා ගොනාකෝවිලේ රොහා අංජුගෙන් ආරක්ෂා වෙමින් සිටියත් මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරකින් රොහා ඝාතනය විය. ඒ බෝට්ටුවකින් ඉන්දියාවට පලායාම සඳහා ධීවර වාඩියක රුඳී සිටියදී පොලීසිය පරීක්ෂා කිරීමට එහි ගිය අවස්ථාවක ඇතිවූ වෙඩි හුවමාරුවකදීය. ඉන්පසුව කුඩු අංජු ගල්කිස්ස ප්‍රදේශයේ පාතාල බලයත් කුඩු බෙදාහැරීමේ බලයත් සියතට ගෙන පාතාල නායකයකු ලෙස කටයුතු කර ඇත. 2020 වසරේ මැයි 29 වැනිදා සොයිසාපුර හෝටලයක හිමිකරුට සහ සේවකයන්ට අනතුරක් සිදුවන ලෙස ටී 56 ගිනි අවිවලින් වෙඩිතබා තිබුණේද මොහුගේ මෙහෙයවීමෙනි. ඊට දින කිහිපයකට පෙරාතුව මැර පිරිසක් යොදවා ඔවුන්ට පහර දී තිබිණ.

මෙවැනි චෝදනා රුසක් එල්ල වී තිබෙන කුඩු අංජුට එරෙහිව 2020 පෙබරවාරි 2 වැනිදා ජාත්‍යන්තර පොලීසිය හරහා රතු නිවේදන නිකුත් කොට තිබිණ. 2018 වසරේදී මොහු සිය ගෝල බාලයන් යොදවා දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී රංජන් ද සිල්වා ඝාතනය කරවීය. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් පිල් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියාය. ඔහු හා සිටි තවත් පුද්ගලයන් දෙදෙනෙක් වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූහ. එහි සිටි තවත් මන්ත්‍රීවරයකු වූ සාවිත්‍ර ද සිල්වා නැමැත්තා දුවගොස් බේරී තිබුණු බවට වාර්තා විය.

අමල් ශාමින්ද සිල්වා නොහොත් කුඩු අංජු පොලීසියට අවශ්‍ය කරන පුද්ගලයකු වශයෙන් ගිය වසරේදී පොලිස් ගැසට් පත්‍රයක් මගින් ප්‍රසිද්ධ කොට තිබිණ. මේ අතර ගල්කිස්ස අධිකරණය මගින් විවෘත වරෙන්තුවක් නිකුත් කොට තිබුණේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේය. මොහු සංවිධානාත්මක අපරාධකරුවකු වශයෙන් ජාතික ආරක්ෂාවට හා මහජන සාමයට තර්ජනයක් වන ලෙස කටයුතු කරන බවද එම චෝදනාව තුළ දක්වා තිබිණ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන අංශය කුඩු අංජුගේ හා ගෝල බාලයන් කිහිප දෙනකුගේ දේපොල රාජසන්තක කිරීමට පියවර ගැනින. මේ අතර කුඩු අංජු අත්අඩංගුවට ගැනීමෙන් පසුව වාර්තා වී ඇත්තේ ප්‍රංශයේ වයින් කම්හලක් හා ඩුබායිහි වතුර බෝතල් කිරීමේ කර්මාන්තශාලාවක් මොහු යටතේ පවතින බවත් ඒවා සිය ගෝලයන් යොදවා මෙහෙයවන බවත්ය. සංවිධානාත්මක අපරාධකරුවකු වන කුඩු අංජු ප්‍රංශයෙන් පිටුවහල් කිරීමට හෝ ගෙන්වා ගැනීමට නැතිනම් මෙරට ආරක්ෂක අංශ නිලධාරීන් එරටට ගොස් රුගෙන ඒම සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් සිදුකෙරෙමින් තිබේ. මේ අතර කුඩු අංජු තමන්ට එරෙහි චෝදනා බොරු බව කියා නිදොස් වී තවදුරටත් දේශපාලන රුකවරණය පතමින් ප්‍රංශයේ රුඳී සිටීමට නීතිමය උපදෙස් පතා ඇති බවද වාර්තා වේ.

I සමන්ත විල්තෙර
 Deshaya පුවත්පතෙන් උපුටාගන්නා 

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook