පවුලේ සමීපතමයන්ට ඇය ‘බට්ටී’ විය. කඩිසරව ගෙදර දොර වැඩ කටයුතු ආදියෙහි නිරතවීමත් පවුලෙහි අනිකුත් සාමාජිකයන් කෙරෙහි දක්වන ලද දැඩි ළෙංගතු බවත් හේතුවෙන් එවැනි ආදරණීය ආමන්ත්‍රණයකින් පවුලේ අනිකුත් අය විසින් ඇයව ඇමතුවා විය හැක.
ඇය… මේ වන විට ජීවතුන් අතර නැත. හුරතලයට ‘බට්ටි’ නමින් හඳුන්වනු ලැබූ ඇය විහඟනා නුවන්මිණි ආරියසිංහ නම් විය. විහඟනා අකල්හි මෙලොව හැර යනු ලබන්නේ ඉකුත් 17 වැනි දිනය. අලුත කපන ලද වළක් තුළ ඇය මිහිදන්ව ගොස් මේ වන විට දින ගණනාවක් ඉක්ම ගොස් ඇත. අනුරාධපුර පාර අඹන්පොළ පළමු පටුමග පදිංචිව සිටි විහඟනා නුවන්මිණි ආරියසිංහ (අවු. 19) වේලාසනම තම දිවි ගමන නිමා කරනු ලබන්නේ මාරක පිළිකාවක අකාරුණික ගොදුරක් බවට පත්වීම හේතුවෙන්ය.
පෙර සසර කරන ලද කුමන හෝ අකුසලයක් හේතුවෙන් ඇය මාරක පිළිකා රෝගයකට ගොදුරු වුවද ඇය සදහටම දෙනෙත් පියා ගත්තේ තවත් රෝගී ජීවිත හතක් සුවපත් කළ අප්‍රමාණ කුසලක් සිදු කරගැනීමෙන් අනතුරුවය. ඇය ගේ මතු සසර සුවපත් වීම පිණිස ඒ පිනම ප්‍රමාණවත්ය. තම ආදරණීය දියණියගේ අකල් වියෝවෙන් උපන් කඳුළින් යුතුව එම අනුවේදනීය කතාව මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටින්නේ විහඟනාගේ තාත්තා විසින්ය. ඔහු නමින් උපුල් ආරියසිංහ ය.
“මගෙ පොඩි දුව අධ්‍යාපනය පැත්තෙන් වගේම අනෙකුත් සියලුම කටයුතුවලින් දක්ෂතා දැක්වූ දරුවෙක්. පවුලක් විදිහට අපි හැමෝම හොඳ තැනකට ගේන්න එයාට ලොකු වුවමනාවක් තිබුණා. උසස් පෙළ ලියන්න ගොඩක් මහන්සි වෙලා වැඩ කළා. එහෙම වැඩ කරගෙන ඉන්න අතර තමයි දුවට මේ අසනීපය හැදෙන්නේ. මුලින්ම ඔළුවේ කැක්කුමක් ආවා. වමනෙ ගියා. අපි දුවව වෛද්‍යවරයකුට පෙන්නලා බෙහෙත් අරගෙන ආවා. දුවට මෙහෙම විපතක් වෙයි කියල අපි හීනෙකින්වත් හිතුවේ නෑ. ප්‍රතිකාර අරගෙන දවස් කීපයකට පස්සේ නැවතත් අර ඔළුවෙ කැක්කුම ආවා. වෙනදට වඩා තද අසනීප ගතියක් පෙන්නුම් කළ හින්දා වෙනත් වෛද්‍යවරයෙක්ගෙන් ප්‍රතිකාර ගත්තා. නමුත් දවස් කීපයක් යද්දී නැවතත් අර පරණ රෝග ලක්ෂණම පෙන්නුම් කරන්න ගත්තා. ඊට පස්සේ තමයි කුරුණෑගල මහ රෝහලට දුවව ඇතුළත් කරන්නේ. එතැනදි තමයි අපිට දැනගන්න ලැබුණේ එයාගේ මොළේ පිළිකාවක් හටගෙන තියෙනව තවදුරටත් දුවට ජීවත් වෙන්න වරම් අහිමි වෙමින් යනවා කියල.
ජීවිතේ එසේය. තණ අග පිනි බිඳක් වැනිය. දිනෙක රැගෙන යා හැක්කේ කළ හොඳ නරක පමණය. විහඟනා නම් සුපිපි කුසුම අකල්හි මිය පරලොව යන්නේ ඒ ආකාරයෙන්ය. ඇය රැස් කළ දේ අතරට බොහෝ කුසල් ද එකතු වී හමාරය. දිවිමග අවුරුදු 19 ක් වැනි කෙටි දුරක් ගමන් කළ විහඟනා උපන් ගම පමණක් නොව අවට ගම් හතම හඬවමින් ඉකුත් දිනෙක හිරු බැස යන සැන්දෑවක අඹන්පොළ පොදු සුසාන භූමියෙන් තම දිවි ගමන නිමාවට පත් කරනු ලැබුවේ නෑ සිය හිත මිතුරු දෙනෝ දහසක් දෙනාගේ ඉකිබිඳුම් සෝ සුසුම් හඬ මැදින්ය.
රුවන් ජයවර්ධන