Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

යකඩ වලින් වැඩ දා චීනයම හෙල්ලූ  ලාංකිකයා ලලිත් සේනානායක

අඳුරු වලා අතර ඉඳහිට රිදී රේඛා ද දැකිය හැකිය. අසීරු සහ අභියෝගාත්මක කාලයක් ගෙවමින් සිටින රටකට ජාත්‍යන්තරය හමුවේ ලැබෙන ඕනෑම ඇගැයීමකින් පවා ලැබෙන්නේ අපූරු ආශීර්වාදයකි.

 එවැනි ආශීර්වාදයක් ඉකුත් දිනෙක පොද වැස්සක් සේ ශ්‍රී ලාංකේය සිත් මත ඇද හැලුණේ සිය අපූර්වතම හැකියාවෙන් ලක් මවට ගෞරවයක් ගෙන දුන් ශ්‍රී ලාංකිකයකු නිසාය. නමින් ඔහු ලලිත් සේනානායක ය.

දක්ෂ චිත්‍ර ශිල්පියකු මෙන්ම මූර්ති ශිල්පියකු ලෙස ප්‍රකට ඔහු වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ඉවතලන වාහන කොටස්, ලෝහ සහ ප්ලාස්ටික් අමුද්‍රව්‍ය යොදා ගනිමින් මූර්ති නිර්මාණය කරන විස්මිත නිමැවුම්කරුවකු ලෙසටය. ඔහු අතින් ලෝභ භාවිතයෙන් නිම වූ සත්ත්ව රූ සහිත මූර්ති අලංකාරයෙන් මෙන්ම ජීවමාන බවින් ද අනූනය. ලලිත් සේනානායක විශිෂ්ට නිර්මාණ ශිල්පියකු පමණක් නොව පරිසර ප්‍රේමියෙකි.
ඔහු වෙරළට ගසාගෙන එන ප්ලාස්ටික් භාවිත කරමින් උස්වැටකෙයියාව මුහුදු තීරයේ හස්තියකුගේ මූර්තියක් නිර්මාණය කළේ පවුලේ අයගේ ද සහයෝගය ඇතිවය. අවාසනාවකට මෙන් ඒ විසල් හස්තියාගේ කොටස් බොහොමයක් දැන් කවුරුන් විසින් හෝ ගලවා ගෙන ගොසිනි.

එසේ වුවද ලලිත් සේනානායකගේ විස්මිත නිර්මාණ ප්‍රතිභාව දැන් ජාත්‍යන්තරය ද දිනාගෙන ඇත. ලලිත්ගේ මූර්ති නිර්මාණ දෙකකින් චීනයේ ප්‍රධාන නගරයක ප්‍රධාන උද්‍යානයක් හැඩ ගැන්වී අවසන්ය. හදවත සොරාගත් ඒ අපූර්වතම නිර්මාණ අබියස අහසේ ලෙළ දෙන ශ්‍රී ලංකා ජාතික කොඩිය නිහඬවම ලොවට පවසන්නේ ශ්‍රී ලංකාව නම් කුඩා දිවයිනේ මිනිසුන් අපූර්වතම හැකියාවන්ගෙන් නම් කුඩා උන් නොවන බවය. ලලිත් සේනානායකට ඒ අගනා අවස්ථාව හිමි වූයේ චීනයේ නගර අලංකරණ වැඩසටහනක් සඳහා රටවල් 26කින් පැමිණි මූර්ති ශිල්පීන් 30 දෙනකු අතරිනි. 

එසේ තෝරා ගත් නිර්මාණ 12 අතරට ලලිත් විසින් නිර්මාණය කළ මූර්ති දෙකක්ම ඇතුළත් වීම විශේෂත්වයකි. ශ්‍රී ලාංකික ශිල්පියකුගේ මූර්ති කලා නිර්මාණ දෙකක් චීන නගරයක ප්‍රධාන උද්‍යානයක් අලංකාර කිරීමට යොදා ගත් පළමු අවස්ථාව මෙය බව ද පැවසේ. ලලිත් විසින් නිර්මාණය කරන ලද අශ්වයා සහ නිදහසේ පියාඹන කුරුල්ලන් දෙදෙනාගේ මූර්ති අසල ශ්‍රී ලංකා ජාතික කොඩිය ලෙළ දෙන අයුරු දකින ශ්‍රී ලාංකික හදවතකට සියුම් ආඩම්බරයක්, අභිමානයක් නොදැනෙන්නේ නම් එය අරුමයකි.

" මගේ නිර්මාණ තුළින් ලෝකයට අපේ රටේ නම ගෙනියන්න ලැබීම විශාල සතුටක්."ලලිත් සේනානායක සිය සතුට වදන්වලට මුසු කළේ එලෙසිනි. අපූරු අත්දැකීම්වලින් පිරුණු සිය නිර්මාණ සැරිය ගැන ලලිත් ආවර්ජනය කළේ ඒ සතුට ද සමඟිනි.

ග්‍රේෂන් සේනානායක සහ මානෙල් සේනානායක යුවළගේ දරුවන් සිවුදෙනා අතර නිවුන් පුතුන්ගෙන් කෙනකු වන ලලිත් උපන්නේ වත්තල හැඳල දීය. කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයෙන් අකුරු කළ ලලිත් කුඩා වියේදී සිටම චිත්‍ර ශිල්පයට ඇලුම් කළේය. ඊට හේතු වූයේ කුඩා වියේ සිට ඔහු අත් දුටු පවුලේ තිබූ කලා පසුබිමයි.

 සිවම්මා ධනපාල, දුටුගැමුණු වැනි ජනප්‍රිය නූර්තිවල ප්‍රධාන නළුවා ලෙස රඟපෑ, ප්‍රකට ටවර් හෝල් රංගන ශිල්පියකු වූ ජෝශප් සේනානායක ලලිත්ගේ පියාගේ පියාය. සීයාගේ කලා කටයුතු දුටු කුඩා ලලිත්ගේ සිත ද ඒ කෙරෙහි යොමු වූයේ නිරායාසයෙනි. එදා ජනප්‍රිය සිනමා තරුවක් වූ ප්‍රේම් ජයන්ත්ට ද ලලිත්ගේ ඥාති සබඳතාවක් විය.

"පුංචි කාලේ ඉඳලම මගේ ආසාව තිබුණේ චිත්‍ර ඇඳිල්ලටමයි. හතේ පන්තියේදි මම ගණන් පීරියඩ් එකේ චිත්‍ර ඇන්දා කියලා දවසක් ගණන් සර් මාව පන්තියෙන් එළියට දැම්මා. මම එළියෙ ඉන්නවා දැකලා ඉල්නේෂස් සහෝදරතුමා මාව එතුමාගේ කාර්යාලයට එක්කගෙන ගිහින් චිත්‍ර අඳින්න පොතක්, පාට පෙට්ටියක් දුන්නා. ඒකෙන් පස්සේ මගෙ චිත්‍ර අඳින ආශාව තවත් වැඩි වුණා."

කෙමෙන් කෙමෙන් ලලිත්ගේ ඒ ආශාවට පියාපත් ලැබෙන්නට විය. 10 වසරේදී ඔහුට හමුවන ජයන්ත නානායක්කාර නම් ගණිත ගුරුවරයා පාසලේ මාධ්‍ය ඒකකයක් ආරම්භ කිරීමත් සමඟ වැඩි වැඩියෙන් කලා කටයුතුවල නියැළෙන්නට ඔහුට අවස්ථාව ලැබුණි. එපමණක් නොව කාටුන් ඇඳීමට ලලිත් හුරු වන්නේ ද මේ කාලයේය. ඒ, 1993 වසරේදී නිදහස් කාටුන් ශිල්පියකු ලෙස උපාලි පුවත්පත් සමාගමට සම්බන්ධ වීමෙනි.

ජාතික පුවත්පතක දේශපාලන කාටුන් ශිල්පියකු ලෙස සිය දක්ෂතා දක්වන ලලිත් සේනානායක, 2004 වසරේ ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උලෙළේදී හොඳම කාටුන් ශිල්පියා ලෙස සම්මානයට පාත්‍ර විය. පුවත්පත් කලාවට Info Graphics ගෙන ආ ප්‍රවීණයන් අතර වසන්ත සිරිවර්ධන මෙන්ම ලලිත් සේනානායක ද වේ. ද අයිලන්ඩ් පුවත්පතින් පසු ලලිත් එක් වන්නේ රිවිර ඉරිදා පුවත්පතටය. ඒ එහි නිර්මාණ කතුවරයා හැටියටය. මේ අතර ලලිත් වරින් වර ප්‍රදර්ශන කිහිපයක් පවත්වමින් සිය දක්ෂතා රටටම විදහා පෑවේය.

" මගේ චිත්‍ර කලාව දියුණු කර ගැනීමට මට උදවු කළ අය අතර ෆ්‍රලැසිඩස් සහෝදරතුමා වගේම කල්‍යානි විජයතුංග ගුරුතුමියවත් සිහි කළ යුතුයි. ඒ වගේම 1999දී ජායි ඇන්තනී ගුරුතුමා සහ තිමෝසියස් නම් චිත්‍ර ශිල්පියා මාර්ගයෙන් මට ජාතික කොඩිය නිර්මාණය කළ එස්.පී. චාල්ස් හඳුනා ගන්නට ලැබීමත් මට විශාල භාග්‍යයක් වුණා. ඒ හරහා මට චිත්‍ර ශිල්පය පිළිබඳ වැඩිදුර හැදෑරීමට අවස්ථාව ලැබුණා. මහාචාර්ය සරච්චන්ද්‍ර ජීවගෙන් මූර්ති පිළිබඳ ඉගෙන ගැනීමට ලැබීම මගේ ජීවිතයේ තවත් සුවිශේෂ අවස්ථාවක්. වසර දෙකක් පමණ ඒ පිළිබඳ ඉගෙන ගත්තා.

 2006දී මම පැවැත්වූ මූර්ති ප්‍රදර්ශනයත් එහි ප්‍රතිඵලයක්. එකලස් කිරීමේ කලාව තුළින් මූර්ති ශිල්පය ප්‍රගුණ කරන්න මට හැකියාව ලැබුණා. මුලින්ම මම ඒ විදිහට නිර්මාණය කළේ කුඩා කුරුල්ලන් දෙන්නෙක්. ඒ ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි ප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පී ජෙෆ්රි බාවාගේ සමකාලීනයකු වූ ඇන්ජලේන්ද්‍රන් නමැති ප්‍රවීණ ගෘහ නිර්මාණ ශිල්පියා ඔහු අර කුරුල්ලන් දෙන්නා මගෙන් මිලදී අරගෙන මට කිවුවා, ඔයා කවදහරි මේ ක්ෂේත්‍රයේ ඉහළට එනවා. ඒ නිසා මේ කලාව හොඳින් ප්‍රගුණ කරන්න කියලා. ඒ වචන ටික මම හොඳට හිතට ගත්තා වගේම ඒ වෙනුවෙන් වෙහෙසුණා. ඒ වෙහෙසීම තමයි මගේ නිර්මාණ ජීවිතේ සාර්ථකත්වයට හේතු වුණේ"

මේ වන විට ශ්‍රී ලංකා ජාතික ධජය සහිතව චීනයේ චෙංග්ඩු නගරය අලංකාර කරන ඔහු විසින් නිර්මාණය කරන ලද මනරම් නිර්මාණ ගැන අපි ලලිත්ගෙන් වැඩිදුරටත් විමසුවෙමු.

"2019 වසරේදී හිටපු අද්මිරාල් ජයනාත් කොළඹගේට චීනයේ නගර සැලසුම් පිළිබඳ ව්‍යාපෘතියක් සඳහා මෙරටින් මූර්ති ශිල්පීන් නම් කර එවන ලෙස චීන තානාපති කාර්යාලයෙන් දන්වා තිබෙනවා. එහිදී මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මගේ නම යෝජනා කර තිබෙනවා. ඒ අනුව චීන තානාපති කාර්යාලයේ පැවැති සම්මුඛ පරීක්ෂණයකින් පසුව මාව තෝරා ගත්තා. 

2019 අප්‍රේල් 21 වැනිදා මම චීනයට ගියා. රටවල් 26කින් පැමිණි මූර්ති ශිල්පීන් 30 දෙනකු ඒ කණ්ඩායමට ඇතුළත්ව සිටියා. නිරිත දිග චීනයේ ෂෙහාන් ප්‍රාන්තයේ චෙංග්ඩු නගරය 2025 ලෝකයටම සංචාරක පුරයක් බවට පත් කිරීමේ අරමුණින් ඒ සඳහා සුදුසු මූර්ති නිර්මාණය කිරීම ඔවුන් අපට බාර දුන්නාය. එහිදී ඔවුන්ට අවශ්‍ය වුණේ මූර්ති ශිල්පීන් නියෝජනය කරන රට සහ චීනය අතර තිබෙන සබඳතා නිරූපණය වන ආකාරයේ නිර්මාණයි. ඔවුන් අපිට මුළු නගරයම නැරඹීමට අවස්ථාව සලසා දුන්නා.

ඊට පසුවයි නිර්මාණ කටයුතු ආරම්භ වුණේ. අපේ නිර්මාණ කටයුතුවලට සහාය සඳහා චීන විශ්විද්‍යාල සිසුන් ලබා දී තිබුණා. මගේ පළමු නිර්මාණයේ තේමාව වුණේ' සේද මාවත දිගේ ආ අශ්වයා'. අනිත් නිර්මාණයේ තේමාව 'මිත්‍රතත්වේය යි. 

මුලින් මැටිවලින් නිර්මාණය කර පසුව යකඩ උණු කරලයි අශ්වයාව නිර්මාණය කළේ. මාස 3ක් ඇතුළත මම මගේ නිර්මාණ සැලසුම් කළා. නිර්මාණ කටයුතු අවසන් කිරීමට මාස 3ක් ගත වුණා. මූර්ති ශිල්පීන් 30 දෙනා අතරින් තෝරාගත් ශිල්පීන් 6 දෙනකු විසින් නිර්මාණය කළ නිර්මාණ 12ක් තමයි අවසානයේ උද්‍යානය අලංකාර කිරීමට තෝරා ගත්තේ. ඒ එක් අයකුගෙන් නිර්මාණ දෙක බැඟින්"

ලලිත්ගේ කලා කටයුතුවලට බිරිය සහ දෙදරුවන්ගෙන් ලැබෙන්නේ ද අපූරු සහායකි. ඔවුන් ද කලාකාමීන්ය. බිරිය රුවන්ති පුරාවිද්‍යාව පිළිබඳ උපාධිධාරිනියක වන අතර, ඇය මේ වන විට කොළඹ වුල්ෆැන්ඩාල් විදුහලේ ස්වේච්ඡා ගුරුවරියකි. දියණිය යානි(13) මෙන්ම පුතු පවන්(12) ද චිත්‍ර ශිල්පයටත් මූර්ති ශිල්පයටත් සහජ දස්කම් දක්වති. සිය කුසලතා තුළින් රටට ලොවටත් ඵලදායී යමක් කිරීම මේ අපූරු නිර්මාණවේදියාගේ නිබඳ අපේක්ෂාවයි.

Latest news

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook