අඳුරු වලා අතර ඉඳහිට රිදී රේඛා ද දැකිය හැකිය. අසීරු සහ අභියෝගාත්මක කාලයක් ගෙවමින් සිටින රටකට ජාත්‍යන්තරය හමුවේ ලැබෙන ඕනෑම ඇගැයීමකින් පවා ලැබෙන්නේ අපූරු ආශීර්වාදයකි.
දක්ෂ චිත්‍ර ශිල්පියකු මෙන්ම මූර්ති ශිල්පියකු ලෙස ප්‍රකට ඔහු වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ඉවතලන වාහන කොටස්, ලෝහ සහ ප්ලාස්ටික් අමුද්‍රව්‍ය යොදා ගනිමින් මූර්ති නිර්මාණය කරන විස්මිත නිමැවුම්කරුවකු ලෙසටය. ඔහු අතින් ලෝභ භාවිතයෙන් නිම වූ සත්ත්ව රූ සහිත මූර්ති අලංකාරයෙන් මෙන්ම ජීවමාන බවින් ද අනූනය. ලලිත් සේනානායක විශිෂ්ට නිර්මාණ ශිල්පියකු පමණක් නොව පරිසර ප්‍රේමියෙකි.
" මගේ නිර්මාණ තුළින් ලෝකයට අපේ රටේ නම ගෙනියන්න ලැබීම විශාල සතුටක්."ලලිත් සේනානායක සිය සතුට වදන්වලට මුසු කළේ එලෙසිනි. අපූරු අත්දැකීම්වලින් පිරුණු සිය නිර්මාණ සැරිය ගැන ලලිත් ආවර්ජනය කළේ ඒ සතුට ද සමඟිනි.
ග්‍රේෂන් සේනානායක සහ මානෙල් සේනානායක යුවළගේ දරුවන් සිවුදෙනා අතර නිවුන් පුතුන්ගෙන් කෙනකු වන ලලිත් උපන්නේ වත්තල හැඳල දීය. කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයෙන් අකුරු කළ ලලිත් කුඩා වියේදී සිටම චිත්‍ර ශිල්පයට ඇලුම් කළේය. ඊට හේතු වූයේ කුඩා වියේ සිට ඔහු අත් දුටු පවුලේ තිබූ කලා පසුබිමයි.
"පුංචි කාලේ ඉඳලම මගේ ආසාව තිබුණේ චිත්‍ර ඇඳිල්ලටමයි. හතේ පන්තියේදි මම ගණන් පීරියඩ් එකේ චිත්‍ර ඇන්දා කියලා දවසක් ගණන් සර් මාව පන්තියෙන් එළියට දැම්මා. මම එළියෙ ඉන්නවා දැකලා ඉල්නේෂස් සහෝදරතුමා මාව එතුමාගේ කාර්යාලයට එක්කගෙන ගිහින් චිත්‍ර අඳින්න පොතක්, පාට පෙට්ටියක් දුන්නා. ඒකෙන් පස්සේ මගෙ චිත්‍ර අඳින ආශාව තවත් වැඩි වුණා."
කෙමෙන් කෙමෙන් ලලිත්ගේ ඒ ආශාවට පියාපත් ලැබෙන්නට විය. 10 වසරේදී ඔහුට හමුවන ජයන්ත නානායක්කාර නම් ගණිත ගුරුවරයා පාසලේ මාධ්‍ය ඒකකයක් ආරම්භ කිරීමත් සමඟ වැඩි වැඩියෙන් කලා කටයුතුවල නියැළෙන්නට ඔහුට අවස්ථාව ලැබුණි. එපමණක් නොව කාටුන් ඇඳීමට ලලිත් හුරු වන්නේ ද මේ කාලයේය. ඒ, 1993 වසරේදී නිදහස් කාටුන් ශිල්පියකු ලෙස උපාලි පුවත්පත් සමාගමට සම්බන්ධ වීමෙනි.
ජාතික පුවත්පතක දේශපාලන කාටුන් ශිල්පියකු ලෙස සිය දක්ෂතා දක්වන ලලිත් සේනානායක, 2004 වසරේ ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උලෙළේදී හොඳම කාටුන් ශිල්පියා ලෙස සම්මානයට පාත්‍ර විය. පුවත්පත් කලාවට Info Graphics ගෙන ආ ප්‍රවීණයන් අතර වසන්ත සිරිවර්ධන මෙන්ම ලලිත් සේනානායක ද වේ. ද අයිලන්ඩ් පුවත්පතින් පසු ලලිත් එක් වන්නේ රිවිර ඉරිදා පුවත්පතටය. ඒ එහි නිර්මාණ කතුවරයා හැටියටය. මේ අතර ලලිත් වරින් වර ප්‍රදර්ශන කිහිපයක් පවත්වමින් සිය දක්ෂතා රටටම විදහා පෑවේය.
" මගේ චිත්‍ර කලාව දියුණු කර ගැනීමට මට උදවු කළ අය අතර ෆ්‍රලැසිඩස් සහෝදරතුමා වගේම කල්‍යානි විජයතුංග ගුරුතුමියවත් සිහි කළ යුතුයි. ඒ වගේම 1999දී ජායි ඇන්තනී ගුරුතුමා සහ තිමෝසියස් නම් චිත්‍ර ශිල්පියා මාර්ගයෙන් මට ජාතික කොඩිය නිර්මාණය කළ එස්.පී. චාල්ස් හඳුනා ගන්නට ලැබීමත් මට විශාල භාග්‍යයක් වුණා. ඒ හරහා මට චිත්‍ර ශිල්පය පිළිබඳ වැඩිදුර හැදෑරීමට අවස්ථාව ලැබුණා. මහාචාර්ය සරච්චන්ද්‍ර ජීවගෙන් මූර්ති පිළිබඳ ඉගෙන ගැනීමට ලැබීම මගේ ජීවිතයේ තවත් සුවිශේෂ අවස්ථාවක්. වසර දෙකක් පමණ ඒ පිළිබඳ ඉගෙන ගත්තා.
මේ වන විට ශ්‍රී ලංකා ජාතික ධජය සහිතව චීනයේ චෙංග්ඩු නගරය අලංකාර කරන ඔහු විසින් නිර්මාණය කරන ලද මනරම් නිර්මාණ ගැන අපි ලලිත්ගෙන් වැඩිදුරටත් විමසුවෙමු.
"2019 වසරේදී හිටපු අද්මිරාල් ජයනාත් කොළඹගේට චීනයේ නගර සැලසුම් පිළිබඳ ව්‍යාපෘතියක් සඳහා මෙරටින් මූර්ති ශිල්පීන් නම් කර එවන ලෙස චීන තානාපති කාර්යාලයෙන් දන්වා තිබෙනවා. එහිදී මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මගේ නම යෝජනා කර තිබෙනවා. ඒ අනුව චීන තානාපති කාර්යාලයේ පැවැති සම්මුඛ පරීක්ෂණයකින් පසුව මාව තෝරා ගත්තා.
ඊට පසුවයි නිර්මාණ කටයුතු ආරම්භ වුණේ. අපේ නිර්මාණ කටයුතුවලට සහාය සඳහා චීන විශ්විද්‍යාල සිසුන් ලබා දී තිබුණා. මගේ පළමු නිර්මාණයේ තේමාව වුණේ' සේද මාවත දිගේ ආ අශ්වයා'. අනිත් නිර්මාණයේ තේමාව 'මිත්‍රතත්වේය යි.
ලලිත්ගේ කලා කටයුතුවලට බිරිය සහ දෙදරුවන්ගෙන් ලැබෙන්නේ ද අපූරු සහායකි. ඔවුන් ද කලාකාමීන්ය. බිරිය රුවන්ති පුරාවිද්‍යාව පිළිබඳ උපාධිධාරිනියක වන අතර, ඇය මේ වන විට කොළඹ වුල්ෆැන්ඩාල් විදුහලේ ස්වේච්ඡා ගුරුවරියකි. දියණිය යානි(13) මෙන්ම පුතු පවන්(12) ද චිත්‍ර ශිල්පයටත් මූර්ති ශිල්පයටත් සහජ දස්කම් දක්වති. සිය කුසලතා තුළින් රටට ලොවටත් ඵලදායී යමක් කිරීම මේ අපූරු නිර්මාණවේදියාගේ නිබඳ අපේක්ෂාවයි.