Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

පාවිච්චි වුණාද නැත්ද කියන එක ගැන පසුතැවිලි වෙන්නෙත් නෑ 
මම බැඳගත්ත බෙරේ ගහන කෙනෙක් නෙවෙයි 
රාජ්‍ය ඇමතිනී ගීතා කුමාරසිංහ 

පසුගිය කාලේ සද්ද බද්ද දාලා කෑගහලා හිටිය ගීතා කුමාරසිංහ අද වෙද්දි නිහඬයි. මොකද කලකිරීමක්වත් ඇතිවෙලාද?


සමහර දේවල් ගැන ගොඩක් කතා කරන්න තියෙනවා. සාධාරණත්වය ගැන කතා කරනකොට දේශපාලන පක්ෂ එක්ක අමාරුයි. ඉතින් ඒ නිසා මම හිතුවා වැඩිය සද්ද කරන්නෙ නැතුව නිකම් ඉන්න.

ඒ කියන්නෙ දැන් කතා කරන්න හිතෙන්නෙම නැද්ද?

නෑ කතා කරන්න හිතෙනවා. ඒත් කතා කරනවට වඩා නිශ්ශබ්දව ඉන්න එක හොඳයි.

ගීතාට ප්‍රශ්න තියෙනවා කතා නොකර හිටියට?

මට පෞද්ගලිකව කිසිම අසාධාරණයක් වෙලා නෑ. මම මගේ පෞද්ගලික ජීවිතේ ගැන කතා කරන්න නෙමෙයි දේශපාලනයට ආවෙ. මට පෞද්ගලික වශයෙන් නම් කිසිම ප්‍රශ්නයක් නෑ.

දැන් ජනතාවගෙ ප්‍රශ්න එහෙම කතා නොකර ඉන්න එක ඊට වඩා වැරදියි නේද?

නෑ මම කතා කරනවා. කිසි වෙලාවකට කතා නොකර ඉඳලා නෑ. හැබැයි මට චූටි කාලයක් දෙන්න. මට ඕනෙ කල්පනා කරලා තීරණයක් ගන්න. ක්ෂණික තීන්දු තීරණ ගන්න මම ලෑස්ති නෑ. ඒ නිසා මට කල්පනා කරන්න කාලය දෙන්න. මම සාමාන්‍ය ගැහැනියක්. අනිත් අය වගේ ගාඩ් දාගෙන දඟලන කරන කෙනෙක් නෙමෙයි.

දැන් ඔබ ජනතා ඡන්දයෙන් ආපු කෙනෙක්නෙ. ඔහොම නිහඬව ඉඳලා ජනතාවගෙන් ලැබෙන ප්‍රතිචාර මොන වගේද?

පෞද්ගලිකව මගේ පාක්ෂිකයෙක් කිසිම දෙයක් මට කියලා නෑ. මොකද ඒගොල්ලො දන්නවා මම අවුරුදු පහළොවක් තිස්සෙ ජීවිතයෙ කරපු කැප කිරීම. මගේ ස්විට්සර්ලන්ත පුරවැසිභාවය පවා අත්හැරියා. ස්විට්සර්ලන්ත පාස්පෝට් එක බාර දුන්නා. මගේ විවාහය පවා ඈත් කරන්න සිද්ධ වුණා. ඒ විතරක් නෙමෙයි කලාව පවා මම අතහැරියා. එහෙම කරනකොට මම මේ රටේ ජනප්‍රිය සහ හොඳම නිළිය සම්මාන ගත්ත කෙනෙක්. ඒ නිසා මම දේශපාලනයෙන් ගත්ත දෙයක් නෑ. මොකද මම දේශපාලනයට එනකොටත් නමක් තිබ්බ කෙනෙක්.

ඇත්තටම දේශපාලනයට ආවෙ මොකටද?

මගේ හිතේ හැම තිස්සෙම තිබුණු දෙයක් තමයි ජනතාවට දෙයක් කරන්න ඕන කියලා. දේශපාලනයෙන් මම ගත්ත දෙයක් නෑ: මට හුඟක් දේ නැතිවුණා
සිරිමාවෝ මැතිනිය මගේ පරමාදර්ශී චරිතයයි
මට තරම් අසාධාරණකම් වූ කවුරුවත් දේශපාලනයේ නෑ
වැඩක් කරන්න පුළුවන් අමාත්‍යංශයක් දුන්නේ රනිල් මහත්තයයි
මහින්ද මහත්තයා එක්ක දේශපාලනේ පටන් ගත්තා: අන්තිමට එයාලා මාව අතහැරියා
හුඟක් දේවල් කියන්න තියෙන නිසා හොඳම දේ සද්ද නැතුව ඉන්න එකයි
මම අනිත් අය වගේ ගාඩ් දාගෙන දඟලන කෙනෙක් නොවේ



දැන් ඔබ ආවෙ ජනතාවට දෙයක් කරන්නනෙ. වසර පහළොවක දේශපාලන ඉතිහාසය ගත්තාම ඔබ ජනතාව වෙනුවෙන් දෙයක් කළා කියලා හිතනවද?

මෙහෙමයි. අපි ගන්න සමහර තීන්දු තීරණ ගැන පසුතැවිලි වීමෙන් වැඩක් නෑ. අර කැපකිරීම කළා, සිනමාවෙන් අයින් වුණා වගේ දේවල් ගැන හිතලා පසුතැවිලි වීමෙන් වැඩක් නෑ. පසුතැවිලි වීම මගේ චරිත ස්වභාවය නෙමෙයි.

ඔබට හිතෙන්නෙ නැද්ද සිනමාවට කැපවෙලා හිටිය නම් අද මීට වඩා දුරක් යන්න තිබුණා කියලා?

මගේ රංගන ජීවිතයේදි ලබාගත යුතු සියලුම සම්මාන මම දේශපාලනයට එනකොට ලබාගෙන තිබුණෙ. මට තිබුණෙ හොඳම නව කෘතීන් බිහි කරන්න විතරයි. එහෙම තිබුණෙ ආසාවක් පමණයි. හැබැයි මට තව අවුරුදු දහයක් ඇතුළත ඒ දේ කරන්න බැරිකමකුත් නෑ. නමුත් දැන් මම දේශපාලනයට කැපවෙලා ඉවරයි.

දැන් ඔබට වෙලා තියෙන්නෙ බැඳගත්ත බෙරේ ගහන්න?

අර විවාහයේදි කියනවා බැඳගත්ත බෙරේ කොහොම හරි ගහන්න ඕනෙ කියලා. හැබැයි මම එහෙම කෙනෙක් නෙමෙයි. ඒ වගේම මේ දේශපාලනය කියන්නෙ කරන්නං වාලෙ කළ යුතු දේකුත් නෙමෙයි. හැබැයි මට තරම් අසාධාරණකම් වෙච්ච කවුරුත් නෑ. මගේ මන්ත්‍රී ධුරය පවා ගත්තා. එහෙම ද්විත්ව පුරවැසිභාවය තියෙන අය ඉන්නකොට තමයි එහෙම කළේ. මම ජනතාවගෙ ඡන්දයෙන් ආපු කෙනෙක්.

ඒ වෙලාවෙ ඔබගේ නායකයො පෙනී හිටියෙ නැද්ද?

ඇහුවා මොකද වෙන්නෙ කියලා. එහෙම වුණාට පක්ෂයෙන් නීතිඥයෙක් හෝ සහායක් ලැබුණෙම නෑ. මොකද හේතුව ඒ වෙලාවෙ උතුරා යන්න තරම් මන්ත්‍රීවරු එයාලා ළඟ හිටියනෙ.

ඔබ කතා කරන විදිහෙන් තේරෙන්නෙ පක්ෂයෙන් කෙනෙහිලිකමට ලක්වෙලා වගේ?

එහෙම එකක් නැහැ. නමුත් පක්ෂය මීට වඩා ක්‍රියාශීලී විය යුතුයි.

ඔබ ජනාධිපතිවරු තුන්දෙනෙක් එක්ක වැඩ කරලා තියෙනවා. මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ වර්තමාන ජනාධිපති. මේ අයගෙන් ඍජු තීරණ සහ දැඩි තීන්දු ගන්නෙ කවුද?

වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා. එතුමා අවශ්‍ය තැනට අවශ්‍ය තීන්දු තීරණ ගන්නවා. මම ඉතාම සමීපව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය, රණසිංහ ප්‍රේමදාස මහත්මයා ආශ්‍රය කරලා තියෙනවා. හැබැයි සිරිමාවෝ මැතිනිය මම ඉතාම ගරු කරන දේශපාලන නායිකාවක්. මැතිනියගෙ කාලෙ ගත්ත තීන්දු තීරණ ක්‍රියාත්මක වුණා නම් අපි චීනයට වඩා දියුණු රටක් බවට පත්වෙලා.

මහින්ද රාජපක්ෂ මහත්තයා එක්ක සමීප සබඳතාවයක් නැද්ද?


තියෙනවා තියෙනවා. එතුමා ජනාධිපතිවරණයට එනකොට එතුමා මට කෝල් කරලම කිව්වා ජයග්‍රහණය වෙනුවෙන් වේදිකාවට එන්නම කියලා. මම මගේ හස්බන්ඩ්ගෙන් අහලා එන්නම් කිව්වා. හස්බන්ඩ් ඒ වෙලාවෙ කිව්වා, ඔයාට පිස්සුද ඔය මිනිස්සු ඔයාව පාවිච්චි කරලා ඡන්දෙ දිනන්න යන්නෙ කියලා. නමුත් මම ඒක අහන්නෙ නැතුව වේදිකාවට ගියා. මම ඒ වෙලාවෙ කිව්වා මම කැමැතියි මගේ ගම් පළාතෙන් දේශපාලනයට එන්න කියලා. එතනින් තමයි මගේ දේශපාලනය පටන් ගත්තෙ.

ඔබගේ සැමියා කිව්ව විදිහට දැන් හිතෙන්නෙ නැද්ද ඔබ පාවිච්චි වුණා කියලා?

මම කිව්වනෙ මම අතීතය ගැන පසුතැවිලි වෙන්නෙත් නෑ. ඒ ගැන හිත හිත ඉන්නෙත් නෑ කියලා. අතීතය අතීතයම තමයි.

ඔබගේ දේශපාලන පරමාදර්ශී චරිතය කවුද?

සිරිමාවෝ මැතිනිය. සමහර අය ඉන්නවා. ඒත් ඒ අය පරමාදර්ශී නෑ. මොකද මට පුළුවන් තරම් කෙනෙහිලිකම් කළා. මගේ පක්ෂය ඇතුළෙන්ම මාව පරාජය කරන්න කොච්චර උත්සාහ කළාද?

මොකද ඔච්චර තරහ?

මෙහෙමයි. දිනන්න ඉන්න කෙනෙක්ට මම ආවොත් ගෙදර යන්න වෙනවනෙ. දෙවැනි කාරණේ මට සමහර අය ඊර්ෂ්‍යා කළා. ගොඩක්ම පිරිමි.

ඇත්තටම පොහොට්ටුවට දැන් මොකක්ද වෙලා තියෙන්නෙ?

පොහොට්ටුවට වෙලා තියෙන්නෙ මොකක්ද කියලවත් මම දන්නෙ නෑ. පොහොට්ටුවට පිපෙන්න දීලා බලාගෙන ඉන්නවා.

දැන් ඔබගේ සමීපතම නායකයා රනිල් වික්‍රමසිංහ මහත්තයා නේද?

ඔව් එතුමා මගේ කැබිනට් ඇමැතිතුමා. මට බාරදීලා තියෙන්නෙ එතුමා භාරධූර කර්තව්‍යයක්. එතුමා මට දක්වපු විශ්වාසය අනෙක් අය මට දැක්වුවෙ නෑ.

ගෝඨාභය රාජපක්ෂ මහත්තයගේ පළවෙනි ඇමැති මණ්ඩලයෙදි ඔබ කැපුණා නේද?

මන්ත්‍රීවරුන්ගෙන් පනස් දෙකකට ඇමැතිකම් දුන්නා. මම තමයි හැලුණු එකම එක්කෙනා.

ඉතින් එහෙම කැපෙන්න හේතුව මොකක්ද? ඇහුවෙ නැද්ද?

මම ඇහුවා. මම රුස්වීමක් ඉවරවෙලා එතුමගෙ මේසෙ ළඟට ගිහිල්ලා ඇහුවා. ඒ වෙලාවෙ එතුමා කිව්වා අපිට මඟහැරුණා කියලා. එතුමා ඒ වෙලාවෙ හිනා වුණා. මම එතුමට මම කරපු කැපවීම කියා දුන්නා. එතුමා හිනාවෙලා සමාව ඉල්ලුවා. අන්තිමට මම හොයලා බලද්දි ඒ නාම ලැයිස්තුව ගිහින් තියෙන්නෙ නෙළුම් මාවතෙන්. දැන් ඔයා අහනවා පොහොට්ටුවට මොනවද වෙලා තියෙන්නෙ කියලා. ඔහොම දෙයක් වුණාම බලන්න පුළුවන්ද?

ඔබට දෙවැනි වතාව දුන්නනෙ?

මට දෙවැනි වතාව දුන්නා කලා සහ මොකක්ද කියලා අමුතු එකක්. මම ඒ වෙලාවෙ හිතාගත්තා මේකෙන් කලාකරුවන්ට හරි දෙයක් කරනවා කියලා. නමුත් ඒක කර ගන්න හම්බවුණේ නෑ.

ඔබගේ වසර පහළොවක දේශපාලනය තුළ සතුටින්ම ඉන්න කාලෙ නේද මේ කාලෙ?

ඇත්තටම සතුටුයි. මොකද වැඩක් කරන්න පුළුවන් අමාත්‍යාංශයක් හම්බවුණා.

මෙහෙම ගිහිල්ලා ඔබ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගෙ දෑත් ශක්තිමත් කරන්න යයිද?

මම හිතන්නෙ ඔබ ඒ ප්‍රශ්නෙ අහන එක හරි නෑ.

නෑ අපි අහන්නෙ පොහොට්ටුවෙන් එච්චර අසාධාරණයක් වෙලා තියෙද්දි තවදුරටත් පොහොට්ටුවෙ ඉඳියිද?

මම කිව්වනෙ ඉස්සෙල්ලාම මම තීන්දු තීරණ ගන්න එක ගැන හිතනවා කියලා. එහෙම නැතුව පත්තරයකින් අහපු ගමන් මට ඒක කියන්න බෑනෙ. අපි ජීවිතේ තීරණ ගනිද්දි මොළේ කල්පනා කරලා වැඩ කටයුතු කරනවා. මහින්ද මහත්තයා එක්ක දේශපාලනය පටන් ගත්තා. අවසානයේ එයාලම මාව අතහැරියා. මට ඒගොල්ලො අමාත්‍ය ධුරයක් නොදීම ගැන තියෙන්නෙ ලැජ්ජාවක්. හේතුව මට විතරක් වෙච්ච අසාධාරණයක් නිසා. ලේකම්තුමත් වග කියන්න ඕනෙ ඒකට. ඔය සාගරයි මමයි තමයි 2010 ඇල්පිටියෙන් එකට තරග කළේ.

I ගයාන් ගාල්ලගේ

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook