ඇය කාගේත් ‘අපේ අම්මා‘ ය. කලෙක දූ දරුවන්ට සිප්සතර කියා දුන් ඇය දැන් අන්තර්ජාලය ඔස්සේ ඒ කාර්යය ලොවටම කියා පාන්නීය. ඇයගේ යූ ටියුබ් නාලිකාව දැන් ලෝක ප්‍රසිද්ධය. අපි ඇය සොයා ගියෙමු. ඇය පාසල් රැසක ගෘහ ආර්ථික විද්‍යා විෂය ඇතුළු විෂයයන් 10කට ආසන්නව උගන්වා ඇත.
ගුරුවරියක් ලෙස ගෘහ ආර්ථික විද්‍යා විෂය උගන්වා තිබුණු නිසාම ඇය තම දස්කම හෙළි කරන්නට කැමැති වන්නට ඇත. අපි ඇගේ කතාව ඇයගේ හඬින්ම අසමු.
‘‘ 2010 වසරේ පිටරට ඉන්න මගේ ඥාතියෙක් මට කතා කරල කිවුවා අපේ රටේ කෑම හදන හැටි ගැන විඩියෝ එකක් ඉන්ටර්නෙට් එකේ තියෙනව බලන්න කියලා. මම ඒක බැලුවා. වයසක ආච්චි කෙනෙක් කෑම උයනවා. මැස්සො වහලා. බලන්නත් අප්පිරියයි. ඒක හරහා ඇත්තෙන්ම ලංකාව ගැන ලෝකෙට යන්නේ වැරැදි චිත්‍රයක්. ඒක දැකපු මට හිතුණා අපේ රස කෑම ගැන සමාජය දැනුම්වත් කිරීම කළ යුතුයි කියල.
‘අපේ අම්මා.....‘
‘‘අම්ම කෙනෙක් කවදාවත් දරුවන්ට ව්‍යාපාර කරන්නෙ නැහැනෙ. ආදරයනෙ බෙදා දෙන්නෙ. ඒක නිසයි ඒ නම යෙදුවෙ. මම කවදාවත් මේ චැනල් එක හරහා ව්‍යාපාර දිරි ගන්වන්න කටයුතු කළේ නැහැ. කටට රසට ගුණදායක ආහාරයක් අඩු මුදලට අවම පහසුකම් යටතේ හදා ගන්න දැනුම්වත් කිරීමයි මට ඕන කළේ. අද කාලෙ දරුවො ගෙදර කෑම කන්න අදිමදි කරනවා. ඒකට හේතු දෙකක් තියෙනවා.
2016 අවුරුද්දෙ දෙසැම්බර් 21 වෙනිදා තමයි යූ ටියුබ් චැනල් එක පටන් ගත්තෙ. එහි පළමු වීඩියෝ බොහොම ඉක්මනින් ජනප්‍රිය වුණා. එයින් මම තේරුම් ගත්තා මේ නාලිකාවට ලොකු ඉල්ලුමක් තියෙනවා කියලා. මාස 9ක් යනකොට ‘සබ්ස්ක්‍රයිබස්ලා‘ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගියා.
මාස 4ක් යනකල් යූටියුබයෙන් යන වෙළෙඳ දැන්වීම් පළ කරන්න මම අනුමැතිය දුන්නේ නැහැ. මොකද මම කවදාවත් ටියුෂන් කරපු ගුරුවරයෙක් නෙමෙයි. ඒ වගේම කවදාවත් කිසිම දරුවෙකුගෙන් තෑගි ගත්ත ගුරුවරයෙක් නෙමෙයි. මට මතකයි ඒ දවස්වල අම්මලත් ගුරුවරුන්ට තෑගි ගෙනැත් දෙනවා. සමහර වෙලාවට දරුවන් අතේ එවනවා. මම දැක්කෙ ඒ තෑගි දීමේ වෙනම පැත්තක්.
‘අපේ අම්මා කොහොමද මේ ඉවුම් පිහුම් ක්ෂේත්‍රයට පිවිසුණේ. අපි ඒ ගැනත් සොයා බැලිය යුතුයි‘
‘‘ඒකත් දෛවයේම කොටසක් කියලයි මට හිතෙන්නේ. එතකොට මට වයස අවුරුදු 9ක් විතර ඇති. අම්මගෙ අත කැඩිල උයන්න බැරිව හිටියෙ. අම්ම මට කෑම උයන හැටි කියනව. මම ඒ විදිහට ඉවුවා. කෑම උයන්න මම කොහොමත් ආසාවෙන් හිටියෙ. ඒක ඇත්තෙන්ම මට තිබුණු පිස්සුවක්. එදා ඉඳල මම උයන්න පිහන්න පුරුදු වුණා. අනෙක් අය උයන පිහන හැම දෙයක් දිහාම මම බලන් ඉන්නවා. අම්ම ගෙදර නැතිවෙලාවට එක එක ජාතියෙ කෑම හදන්න පුරුදු වුණා. අම්ම ලොකු රස්සාවක් කරපු කෙනෙක් නෙමෙයි.
ඒ වගේම ඉස්කෝලෙ යන කාලෙ ඉස්කෝලෙට කිට්ටුව සයිවර් කඩයක් තිබුණා. ඒකෙ පිටිපස්ස හරියට වෙන්න තමයි අපේ ඉස්කෝලෙ ගේට්ටුව තිබුණෙ. මම ආසාවෙන් බලාගෙන හිටියා ඒකෙ කෑම හදන හැටි. ඒ වගේම මුස්ලිම් කඩේක ගෝදම්බ රොටි හදන හැටි දැක්කා. ලේන්සුවක් විසි කරනවා වගේ රොටි හදන හැටි ආසාවෙන් බලාගෙන හිටියෙ. ඒ විදිහට අහලා දැකලා තමයි පුරුදු වුණේ. යූ ටියුබ් නාලිකාව ජනප්‍රිය වුණායින් පස්සෙ ඒකට දිගටම ආහාර වර්ග හදන හැටි යොමු කළා.
‘කොහොමද ආහාරවල ගුණ දන්නෙ?‘
‘‘ ගුරුවිදුහලේ ගුරුවරියක් ලෙස ඉන්න කාලේ මම ව්‍යාපෘතියක් කලා ඔසු පැල කියලා. එ්කෙන් තමයි වැඩියෙන්ම ආහාර වල ගුණ ගැන දැනගෙන හොයන්න පටන් ගත්තේ. අනෙක් කරුණ තමයි මම මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ පරපුරෙන් පැවත ගෙන එන කෙනෙක්.
රටේම ජනතාවට කියන්න තියෙන්නෙ ජීවන රටාව හරියට හදා ගන්න. කෘත්‍රීම රසකාරක මොනම දේකටවත් භාවිත කරන්න එපා කියලා. හැම පැත්තෙන්ම විනාශයක් විතරයි වෙන්නෙ. ඒ වගේම කෑම වේල නිසි වේලාවට ප්‍රමිතියට ගන්න ඕන. මේවා සාමාන්‍ය දැනුමනේ. උදේට හොඳින් ආහාර ගෙන රාත්‍රියට සැහැල්ලු ආහාරයක් ගත යුත්තේ. උදේ ආහාරය නම් 8ට කලින්. දවල් ආහාරය දවල් 12ත් 1ත් අතර සහ රාත්‍රී ආහාරයත් රාත්‍රී 8ට කලින් ගැනීමයි වැදගත් වෙන්නෙ. ඒත් අපේ අය උදේ ආහාරය ගන්නෙ 10ත් පහුවෙලා. රාත්‍රී ආහාරය ඉතා හොඳින් ගන්නවා. මේ චර්යා රටාව හදා ගන්නෙ නැතුව නම් අපිට නීරෝගි දිවියක් කරා යන්න බැහැ.
ඒ වගේම අපේ දේශීය ආහාර වර්ග හා ඒවායේ ගුණ ගැන දැනගත යුතුම වෙනවා. අනිවාර්යයෙන්ම රසම්, ඒ කියන්නෙ මිරිස් හොදි, කිරි හොදි වගේ දේශීය ආහාර දැන ගත යුතුමයි. ඒ වගේම තමයි අපි තේරුම්ගත යුතුයි එක් එක් ආහාර වර්ගය වුණත් රට රට වල ඒවා පිසින ආකාරය ඒ රටවල දේශගුණයට අනුව වෙනස් බව. උදාහරණයක් ලෙස කියනවානම් ඉන්දියාවේ ඇතැම් සීතල පළාත්වල කෑම පිසින ආකාරයට අපේ රටේ ආහාර පිසීම නොකළ යුතුයි. එයින් වෙන්නේ සීතල දේශගුණයට අදාළ ආහාර ගැනීමෙන් අපට යම් යම් අපහසුතාවලට මුහුණ දීමටයි.
සමහර චැනල් මුදල් ගෙවලා ගන්නවා. මගෙනුත් කීප දෙනෙක්ම කතා කරල ඇහුව චැනල් එක විකුණන්න කැමැතිද කියලා. මගෙන් පස්සෙ මේ දැනුම අනෙක් පරපුරට ගෙනියන්න අවශ්‍ය නිසයි මම මේ චැනල් එක ආරම්භ කළේ. ඒක මිසක් වෙන ආදායම් මාර්ගයක් ගැන හිතල නෙමෙයි. ඇත්තෙන්ම එහෙම ආදායමක් ගැන මම දැනගෙන හිටියෙත් නැහැ. ඒ වගේම වෙළෙඳ ආයතනවලින් මට කතා කරල කිවුව ඒ අයගේ නිෂ්පාදන වීඩියෝ එකේ පෙන්වන්න මට යම්කිසි මුදලක් දෙනවා කියලා. ඒත් මම එකම ආයතනයකටවත් එහෙම කැමැත්තක් දුන්නේ නැහැ. මට අවශ්‍ය රසකාරක නැති කෑමක් පහසු ආකාරයෙන් තනා ගන්න හැටි කියා දෙන්න විතරයි. රටේ නීරෝගි පරපුරක් හැදෙන්නෙ එතකොටයි. අපේ අම්මා ෆේස්බුක් පේජ් එක සහ අපේ අම්මා යූටියුබ් චැනලය ඔස්සේ අපේ රටේ අඩු ආදායම්ලාභි කාන්තාවන්ට ස්වයං රැකියා කරන්න පුළුවන්.
ඒත් කනගාටුවට කරුණ වෙලා තියෙන්නෙ මගේ මේ වැඩසටහන්වලින් ප්‍රයෝජන අරගන්නෙ අඩු ආදායම්ලාභී අය නෙමෙයි. යමක් කමක් තියෙන අයයි. ඒ අය වීඩියෝ බලල අඩු ආදායම්ලාභී අය හරහා මේ ආහාර සාදා අලෙවි කරනවා. අඩු ආදායම්ලාභීන්ට අන්තර්ජාල පහසුකම් නැතිවීම එකක්. අනෙක් කරුණ එයාලට අන්තර්ජාල තිබුණත් ආහාර පිසීමේ භාණ්ඩ පහසුකම් නැහැ. කොහොම වුණත් මම ආහාර පිසීමේදී දර ළිපේ පවා කේක් හදන හැටි කියා දී තියෙනවා. මහ ලොකු පහසුකම් නැතුව කෑම හදන හැටි මම කියා දීල තියෙනවා. තැටියට වැලි දමා කේක් හදන්න මම උගන්වා තියෙන්නෙ පාසලේ ගෘහ විද්‍යාව කරන කාලයේදී.
මම පුංචි කාලෙ තිබුණු සමඟිය සමඟ තිබුණු වෙළෙඳ ක්‍රමය නෙමෙයි අද තියෙන්නෙ. එදා එක ගෙදරක ආප්ප හදනවා. දෙමළ ගෙදර තෝසෙ වඩේ හදනවා, මුස්ලිම් ගෙදර ගෝදම්බ රොටි හදනවා. සිංහල ගෙදර පිට්ටු හදනවා. තවත් ගෙදරක මනිපිට්ටු හදනවා. අද එහෙම නෑනෙ එක ළඟම එකම වර්ගයේ කෑම කඩ දාගන්නවා. ඒ වගේම මම හරක්මස්, එළුමස් වගේම ඌරුමස්වලින් කිසිම කෑමක් හදන හැටි පෙන්වා නැහැ.
මම දවස ගානේ නාලිකාවට අලුතෙන් වීඩියෝ එකතු කරනවා. මේ වන විට වීඩියෝ 1700කට අාසන්න ප්‍රමාණයක් එකතු කරලා තියෙන්නෙ. දවස ගානෙ වීඩියෝ එකතු කරන එක පහසු වැඩක් නෙමෙයි. ග්‍රැෆික් ඩිසයින් කරන්න වෙනවා. ඒකට වෙනම දෙන්නෙක් ඉන්නවා. 8 දෙනෙක් පමණ මේ වැඩවලට සම්බන්ධ වෙනවා. මම අලුතෙන් හදන රෙසිපි මාසෙට 7-8 වතාවක් කරනවා. රස බලනවා කොහොමද ඒවා වීඩියෝ ඔස්සේ ලබා දෙන්න ඕනේ කියලා. ආයුර්වේදයට අනුව මම සකස් කරලා බලනවා. ඒ සියල්ලටම සැලකිය යුතු වියදමක් යනවා. ඒ වගේම කියන්න ඕන අපේ අම්මා නමින් තුනපහ හෝ වෙනත් කුළුබඩු නිෂ්පාදන ආහාර වර්ග කිසිවක් හෝ පුවත්පතක්වත් මම වෙළෙඳපොළට නිකුත් කර නැහැ. මම කලින් කිවුවා වගේ මගේ ව්‍යාපාරික අරමුණක් නැහැ.
මම පළමුවරට පෙන්වූයේ ආප්ප නිවැරැදිව සාදන ක්‍රමයයි. ඇත්තෙන්ම ආප්පයේ රස මෙන්ම ගුණ රඳා පවතින්නේ පෙර දින රාත්‍රියේ ඊට අදාළ පිටි සකස් කළොත් පමණයි. ඒ වගේම අද ෆ්‍රයිඩ් රයිස් කියල කියන්නෙ ඒ දවස්වල අපේ රටේ තිබුණු එළවළු බතට රසකාරක එකතු කරලනෙ. ඒකට සුදුසු තුනපහ එකතු කරල ඒ රසට අපි හුරුවිය යුතුයි. මම ඒ වීඩියෝ හඳුන්වා දී තියෙනවා.
මම දර කුස්සියේ සිට පවා මේ වීඩියෝ හඳුන්වා දෙනවා. ඒ නිසා ඕනෑම අඩු පහසුකම් යටතේ වුණත් ආහාර පිස ගැනීමට හැකියාව තිබෙනවා.
ගුරු පුහුණුවේදී අපට උපදෙස් දුන්නා ලස්සනට අඳින්න කියලා. දරුවන් ආසයි රෝස පාට, රතුපාට වගේ වර්ණවලට. ඒ වගේම මාල වළලු දාල එනවට දරුවන් ආසයි.
අපේ අම්මා දේශපාලනයට එනවාද කියලත් මගෙන් අහල තියෙනවා. මම පාසල්වල උගන්වන කාලයේ පොලොන්නරුවේ ගොවිතැන් පවා කළා. ඇතිවෙන්න මඩ නාගෙන තියෙනවා. හැබැයි ඒ මඩ නෑවෙ ජනතාවට බත සපයන්න. දේශපාලනයට ඇවිත් මඩ නාගන්න මම කැමැති නැහැ. යූ ටියුබ් නාලිකාවක් ජනප්‍රිය වුණහම ඒක වට්ටන්න නැත්නම් සල්ලිවලට ගන්න සමාජයේ ගොඩක් අය බලාගෙන ඉන්නවා. මටත් ඒ තත්ත්වය ඇතිවෙලා තියෙන්නෙ. විවිධ ක්‍රම මඟින් මේ නාලිකාව වට්ටන්න බලනවා. ඒකට නොගන්න උත්සාහයක් නැහැ.
ඒත් මැරෙනකම් මම දන්න ශාස්ත්‍රය අනෙක් අයට කියල දෙන එක තමයි මගේ එකම බලාපොරොත්තුව මට දැන් අවුරුදු 64ක්. ළමා කාලයේ ලබපු පන්නරය නිසා මොන දේ වුණත් වැටි වැටී නැඟිටින්න මට පුළුවන්. ‘‘
‘අපේ අම්මා‘ යූ ටියුබ් නාලිකාව ශ්‍රී ලංකාවේ වැඩිම ආදායමක් උපයන යූටියුබ් නාලිකාව බවට පත්ව ඇතැයි අමෙරිකාවේ ආර්ථිකය සම්බන්ධ වෙබ් අඩවියක් වන CashnetUSA.com වෙබ් අඩවිය ප්‍රසිද්ධ කර තිබුණි. එමෙන්ම එය ආසියාව් අංක එකේ යූ ටියුබ් නාලිකාවක් බවද එම වෙබ් අඩවියේ දක්වා තිබුණි. එහෙත් ‘අපේ අම්මා‘ පවසන්නේ එවැනි මුදලක් තමාට නොලැබුණු බවයි. රුපියල් කෝටි 35ක මුදලක් ලැබුණු බවට එසේ දැක්වුණද එය නැරැඹුම්වාර අනුව යූ ටියුබ් නාලිකාව විසින් ගෙවීම් කරනු ලබන අනුමාන බවත් විදෙස් රටවල සිංහල භාෂාවෙන් ප්‍රචාරය වන වැඩසටහන් ඔස්සේ මෙරට දැන්වීම් ප්‍රචාරය වීම හරහා එවන් අතිවිශාල මුදලක් ගෙවීමට කටයුතු කරන්නේ කෙසේදැයි ඇය විමසයි.
තාරක වික්‍රමසේකර