ප්‍රේක්ෂකයකුගේ හදවතේ තරුවක් වෙන්න කලාකරුවකුම වාසනාව ලැබෙන්නේ කලාතුරකින්. කාලයක් පුංචි තිරයේ නිතර දකින්නට නොලැබුණත් අමතක නොවන චරිතයක් වෙන්න ඔවුන් තුළ සුවිශේෂී හැකියාවක් තිබිය යුතුමයි.
මේ දවස්වල විශේෂ වැඩක් නම් නැහැ. ස්ටාර්ගේසර් (Stargazer) නමින් කොන්සර්ට් එකක් තිබෙනවා. මේ දවස්වල ඒ ඉවෙන්ට් එකට ලෑස්ති වෙනවා. ඒ වැඩෙත් එක්ක කාලෙකට පස්සේ මම නර්තනයකට සහභාගී වෙනවා. ඒ හැරෙන්න ප්‍රධාන වශයෙන් මම මගේම ව්‍යාපාරයක් විදියට කෝයල් නමින් සාරී ව්‍යාපාරයක් ආරම්භ කරන්න සූදානමින් ඉන්නවා.
ඔබ පසුගිය කාලය පුරාම පුංචි තිරයේ වැඩිය දකින්න ලැබුණේ නැහැ නේද?
ඇත්තටම මම එදා ඉඳලම නිර්මාණවලට දායක වුණේ ටිකක් තෝරලා බේරලා තමයි. වෙනසක් නැහැ දැනුන් එහෙමම තමයි. මොකද නිර්මාණවලට සම්බන්ධ වෙද්දි මේ තිබෙන විදියත් එක්ක මම ඒ තරම්ම සෑහීමකට පත්වෙන්නේ නැහැ. ඒ පිළිවෙළ, වැඩ කරන විදිය ඉස්සරට වඩා හුඟක් වෙනස්වෙලා තිබෙනවා.
අලුත් නිෂ්පාදන වැඩකට අතගහන්න අදහසක් නැද්ද?
අලුත් නිර්මාණයක් කරන්න ඇත්තටම හරිම ආසාවෙන් ඉන්නවා. පසුගිය දිනවලත් මම සූදානම් වුණා. නමුත් පසුගිය කාලයේ තිබුණු අයහපත් තත්ත්වයත් එක්ක මූල්‍යමය පසුබිමත් එක්ක අපට නිර්මාණයක් කරලා ඒ යන වියදමවත් හොයා ගන්න බැරි පසුබිමක් නිර්මාණය වෙලා තිබෙනවා. මොකද මම ආවට ගියාට නිර්මාණයක් කරන්නෙ නෑ. විශේෂයෙන් ප්‍රේක්ෂකයෝ රවට්ටන්න නිර්මාණ කරන්නෙ නැහැ.
කොහොමද කලාවට එකතු වෙන්නේ?
මම හැදුනේ වැඩුනේ දකුණු පළාතේ. පස්සේ පදිංචියට කොළඹට ආවා. නිළියක් වෙන්න මට පුංචි කාලේ ඉඳලා හීනයක් තිබුණා. හැබැයි පොඩි කාලේ මගෙන් කවුරු වෙන්නද කැමති කියලා කවුරුහරි ඇහුවම මම ඒ හීනේ හිතේ හංගගෙන වෙන වෙන දේවල් කියනවා. මොකද ඒ කාලේ කිව්වට නිළියක් වෙන්න බැරි වුනොත් ලැජ්ජයිනේ කියලා ඒ දවස්වල හිතුනා. ඒ පුංචි කාලේ ඉඳලා දැකපු හීනේ තමා මේ සැබෑවක් වෙලා තියෙන්නේ.
ඔබ අවසන් වශයෙන් නිෂ්පාදනය කළ ත්කඳ ලිහිණියා නිර්මාණයට ලැබුණ ඇගයීම් ගැන කතා කළොත්?
ඉතාමත්ම හොඳ ඉහළ ඇගයීමක් ඒ නිර්මාණයට ලැබුණා. ඒ දවස්වල පාසල්වල ගුරුවරු දරුවන්ට පවා ඒක බලන්න නිර්දේශ කරලා තිබුණා. මම හිතන්නේ ඒ නිර්මාණය මගේ ජීවිතේ සාර්ථක ලෙස කරපු නිර්මාණයක්. විශේෂයෙන් මම මේ අවස්ථාවේදි එහි අධ්‍යක්ෂකවරයා නැවතත් මතක් කරනවා සරත් ධර්මසිරි මහතා, ඒ වගේම මලින්ද පෙරේරා මොවුන් දෙදෙනා නිසා තමයි මේ නිර්මාණය වඩාත් සාර්ථකව කරගන්න ලැබුණේ. ඒ වගේම රංගන ශිල්පි ශිල්පිනියන් ඇතුළු පිරිසගෙන් පවා හොඳ සහයෝගයක් තිබුණා.
කලා ජීවිතේ අමතක නොවන සිදුවීම් එහෙම ඇති නේද?
ඇත්තටම හැම දෙයක්ම අමතක නොවන සිදුවීම්. කලා ලෝකය කියන්නේම ජීවිතේ මට අමතක නොවෙන දේවල් රැසක් දුන්න තැනක්. ඒ නිසා කලාව කියන්නේ මම ජීවිතේ ආසාවෙන් පැලඳගත්ත ආභරණයක්. මොකද මට ජීවිතේ හැමදෙයක්ම ලැබුණේ මේ නිසා. ඉතින් ඒ නිසා හැම දෙයක්ම මතක හිටින මතකයන්.
සටහන - නයනා උදයංගනී