මාධ්‍යවේදී තරිදු ජයවර්ධන විසින් පැනවූ SSP සහ ASP ට එරෙහි නඩුව නිෂ්ප්‍රභ කෙරේ. සාමකාමී විරෝධතා පෙළපාලියක් අවහිර කිරීම පිණිස මාර්ග බාධක යෙදීම තුළින් දණ්ඩ නීති සංග්‍රහයේ 332 වගන්තිය වන අයුතු අවහිරය කිරීම සහ ජාතික මං මාවත් පනතේ 59 (1) වගන්තිය උල්ලංඝණය වූ බැව් පවසා. මාධ්‍යවේදී තරිදු ජයවර්ධන විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකණයේදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් ඩයස් සහ සහකාර පොලිස් අධිකාරි නලීන් දිල්රුක්ට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 136(1) (අ) යටතේ ගොනුකර තිබු පෞද්ගලික පැමිණිල්ල විභාගයට ගැනීමෙන් තොරව නිෂ්ප්‍රභ කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පසුපසුගියදා (25) දින නියෝග කළේය.
එම පැමිණිල්ලට අදාලව පැමිණිලිකරු තරිදු ජයවර්ධන වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ඇතුළු නීතිඥ මඩුල්ලක් පෙනී සිටි අතර,නීතිපති වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතීඥ ෂමින්ද්‍ර වික්‍රම මහතා පෙනී සිටින ලදී. එහිදී ෂමින්ද්‍ර වික්‍රම මහතා පෞද්ගලික පැමිණිල්ලට දැඩි විරෝධය පළ කරමින් කියා සිටියේ පැමිණිලිකරු විසින් කරුණු යටපත් කර ඇති බවත් පෞද්ගලික පැමිණිල්ලක් ගොනු කිරිමට නීතිපතිවරයාගේ අවසරය අත්‍යවශ්‍යය බවත්, මෙලෙස නීතිපතිවරයාගේ අනුමැතිය නොමැතිව නඩු පැවරීම තුලින් රෙක්ස් එදිරිව මීරා සයිබු නඩුවේ සදහන් පරිදි පැමිණිලිකරු සිය නීතීඥවරයා මාර්ගයෙන් කරුණු වසන් කර අධිකරණය “ගණිකාවක් ” ලෙස භාවිතා කිරීමට කටයුතු කර ඇති බවය.
එයට පිළිතුරු වශයෙන් ජනාධිපති නීතීඥ සාලිය පීරීස් මහතා පෙන්වා දුන්නේ අයුතු ජනරාශියක් නොතිබූ බවත් කරුණු වසන් කිරීමක් නොවු බවත්ය.
නීතිපතිවරයාගේ ස්ථාවරය පිළිගනිමින් ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නඩුව ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳ තීන්දුව අද දිනයේ ප්‍රකාශයට පත් කරමින් පවසා සිටියේ යම් නීති විරෝධි රැස්වීමක් හෝ අපරාධමය වරදක් සිදු වන්නේ නම් අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන අනුව කටයුතු කිරීමට පොලිසියට බලය ඇති බැවින්, මෙම නීති කෘත්‍යය විභාගයට ගැනීමෙන් තොරව මුල් අවස්ථාවේදිම නිෂ්ප්‍රභ කරන බවය.