පකිස්තානය මවිත කළ සබීතා පොඩිවුණ සුදු ඇඳ ඇතිරිලි මතින් ඉහළට යොමුවන කැමරාව ඇඳ මත දිගා වී සිටින ඇනට් හසු කර ගනී.
“ඔයාට මං ගැන පුදුම ඇති නේ?“ ඇනට් මාකලන්දගෙන් ඇසුවාය.
“ඇයි එහෙම ඇහැව්වේ“
“පිරිමියෙකු දැකපු දවසේ ම ඒ මිනිහත් එක්ක ඇඳට යන ගැහැනියක් ගැන ඔයාට පුදුම හිතෙන්නෙ නැද්ද“
“ම්....හහ්....“
“ඔයා තවම මගේ නමවත් දන්නේ නෑනේ!“ ඇනට් කීවාය.
“මම ඔයාගේ නම දැන ගත්තයි කියලා තියෙන වෙනස මොකක්ද?“ මාකලන්ද කීවේය.
ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ “සිසිල ගිනි ගනී“ චිත්‍රපටයේ එන ඇනට් ඔබට මතකද? එසේ නම් එම චරිතයට පණ දුන් සබීතා පෙරේරා ගේ විශිෂ්ට රංගන වින්‍යාසය ගැන කුමන කතා ද? මේ රංගනය දුටු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් කීවේ - “විනෝදකාමී සැහැල්ලු ජීවිතයකට හුරු වූ තරුණියක ගේ චරිතයේ සිට අවසානයේ දී ඛේදජනක හා සංකීර්ණ අවුල් ජාලයක පැටලෙන වැඩුණ කාන්තාවකගේ චරිතය දක්වා විකාශ වන භූමිකාවකට පණ ගන්වමින් සබීතා පෙරේරා, තමාට නිසි හා රිසි චරිතයක් ලදහොත් එතුළට ආවේශ වෙමින්, උචිත ලෙස භාව උත්පාදනය කරමින් නිර්ව්‍යාජ රංගනයක යෙදීමට කුසලතාවය ඇති නිළියක බැව් යළිත් වරක් ඔප්පු කර ඇති බවය.“
මේ චිත්‍රපටයේ මාකලන්ද ලෙස රඟපෑවේ සනත් ගුණතිලකය. සනත් හා සබීතා “විරාගය“ චිත්‍රපටයේ රඟපෑ අරවින්ද හා බතී ගේ චරිත දෙක ද එවැනිම සිංහල සිනමාවේ අති ප්‍රබල චරිත දෙකකි. “විරාගය“ නවකතාව කියවූ ඔබට අරවින්ද හා බතී අමතක නොවේ.
රෝගාතුරව කෘශ වූ ශරීරයකින් යුතු අරවින්ද දහසය හැවිරිදි පිරිපුන් තරුණියක් වූ බතී දෙස බලා සිටින්නේ කෝපයෙනි. ඇය ඇසපිය නොහෙළා මුරණ්ඩු ලෙස ඔහු දෙස බලයි.
“කවුද? මේ කවි ලිව්වේ“ පෙම් හසුනක් ඇතැතිව අරවින්ද බතීගෙන් ඇසීය.
“මම.“
“කවි හදන්න ඉගෙන ගත්තේ කොහොමද?“
“මම කවි හදන්න ඉගෙන ගත්තේ?“
“මම කවි හදන්න ඉගෙන ගත්තේ නැහැ.“
“ඉගෙන ගන්නේ නැතිව කවි හදන්න බැහැ.“
“මම කවි පොත් කියවල කවි හදන්න ඉගෙන ගත්තා.“
අරවින්ද කවිය කියවයි.
සඳකැන් රැයේ මල් පිබිදෙන වෙලාවක
ගංගා තොමෝ යයි සිපගෙන ඉවුරු දෙක
කවුළුව ළඟ හිඳිමි මම හුදකලා වෙක
නොදනි ද සුදෝ ඔබවත් මේ වියෝ දුක
“ඒ මිනිහා ලියුම් එව්ව ද?“
“නැහැ“
“පලයං කාමරේට“
සබීතා කියන්නේ “විරාගය“ බතීගේ චරිතය රඟපෑමේදී තරම් සිත සංවේදි වූ තවත් අවස්ථාවක් තම ජීවිතයේ නොතිබූ බව ය.
“මම මේ චිත්‍රපටයේ අවසන් දර්ශනයේ මරණාසන්නව සිටි අරවින්ද ලෙස රඟ පෑ සනත් දැක තමාට රඟ පෑමට බැරිව ගියා. තිස්ස අබේසේකර අයියා මේ දර්ශනය රූගත කරන අවස්ථාව ඉතා ප්‍රවේශමෙන්, මානසික ඒකාග්‍රතාවයෙන් අධ්‍යක්ෂණය කළේ. දර්ශන තලයේ සිටි සැවොම සිටියේ දැඩි නිශ්ශබ්දතාවයකින්. නිශ්ශබ්දතාව රජ කළා. ඒ දර්ශනයේ එන අති සෝභනීය අවස්ථාවක් මේ.“
“අනේ මහත්තයා මහත්තයට මෙච්චර අමාරු බවක් අම්මා කියල එව්වේ නැහැ. අපි ආවේ මහත්තයව අපේ අහ එක්ක යන්න. කවුරුවත් ඕන නැහැ. මේ අත් දෙකේ හයිය තියනකං මම මහත්තයව බලා ගන්නම්.“ මම එහෙම කියන විට අපේ කාර්මික පිරිසේ දෑස්වල කඳුළු බොඳවී තිබෙනු දැකල මම කාමරේට ගිහිං හොඳටම ඇඬුවා.“ සබීතා විරාගය තිරගත වන කාලයේදී මට කීවාය.
සබීතා කියන්නේ නිශාන්ත ද අල්විස් අධ්‍යක්ෂණය කළ “පොඩි විජේ“ චිත්‍රපටයේ යසා ලෙස රඟපෑ තමාත් පොඩි විජේ ලෙස ලෙස රඟ පෑ අමරසිරි කලංසූරියගේත් සැබෑ ස්වරූපය ප්‍රේක්ෂකයා නුදුටු බවය.
“පුංචි හාමුදුරුවන්ට හරි පුදුමයි. විජේ අයියා පන්සල් ආවට“ යසා කීවාය.
“ඇයි? අපි දෙන පිං දෙයියෝ බාර ගන්නේ නැද්ද?“ මීට පස්සේ හැමදාම යසා එක්ක පන්සල් යන්න එනවා.“
“අනුන්ගේ දේ කඩා වඩාගෙන පවුකාර ජීවිතයක් ගෙවන එක වැරදියි කියලා විජේ අයියට මෙච්චර ඉක්මනට තේරුම් ගිය එක ගැන මම උදේ හවස දෙවියන්ට පිං දෙනවා.“
සබීතා රඟපෑ “දෙවෙනි ගමන“ චිත්‍රපටයේදී තමාගේ විවාහයේ දෙවැනි ගමනේදී පවිත්‍රතාවය ඔප්පු කර පෙන්වීමට ගන්නා ආයාසය වෙනුවෙන් 1984 හොඳම නිළිය ලෙසත්, “පොඩි විජේ“ චිත්‍රපටයේ යසාට ද සම්මාන දිනුවාය.
මීට වසර 68 කට පෙර ප්‍රදර්ශනය වූ “කැලෑ හඳ“ චිත්‍රපටය නැරඹූ එදා සිටි ප්‍රේක්ෂකයන්ට නම් එහි ප්‍රධාන චරිතය වූ දඟකාර, විනෝදකාමි ජෝන් ජයපාලගේ චරිතය රඟ පෑ නවක නළුවා වූ ස්ටැන්ලි පෙරේරාව කිසිසේත් අමතක නොවනු ඇති. ඔහුගේ නම ස්ටැන්ලි පෙරේරා ය. ඔහු එදා රඟපෑවේ රුක්මණි දේවිය සමඟ ය.
මීට වසර 67 කට පෙර ප්‍රදර්ශනය වූ “සරදියෙල්“ චිත්‍රපටය නැරඹූ එදා සිටි ප්‍රේක්ෂකයන්ට නම් එහි ප්‍රධාන චරිතය වූ කටකාර, එඩිතර තංගම්මාගේ චරිතය රඟ පෑ නවක නිළියක වූ ගර්ලි ගුණවර්ධන ය. ඇය රඟපෑවේ සරදියෙල් ලෙස රඟ පෑ මතායස් ප්‍රනාන්දු සමඟ ය.
කාලය ගෙවී ගියේය. වෙන්නප්පුවේ පදිංචි වර්ණසූරිය ඔස්වත්ත ලියනගේ ඇන්තනී ස්ටැන්ලි පෙරේරා, ගල්කිස්සේ පදිංචිව සිටි දෝන ගර්ලි ග්‍රේස් ගුණවර්ධන පිළිබඳ සිත් ඇති කරගෙන 1956 වසරේ විවාහ වූහ. එහෙත් ඔවුන් සිනමාවේ පෙම්වතුන් ද වූහ.
ස්ටැන්ලි හා ගර්ලිට ගැහැනු දරුවන් හතර දෙනෙක් සිටියහ. සන්ධ්‍යා, සද්නා, සබීතා, චන්දිමා දියණියන්ගෙන් මවුපියන් අනුව සිනමාවට එක් වූයේ සබීතා ය. ජනප්‍රිය, මෙන්ම හොඳම නිළිය ලෙස ද සම්මාන ලැබූ ඇය විදේශීය චිත්‍රපටවල රඟපෑමෙන් ජාත්‍යන්තර සිනමා සම්මාන ද ලබා ගත්තාය.
“මම චිත්‍රපට නිළියක් වීම ගැන මට ම පුදුමයි. මොකද? මම වෙන්නප්පුව ශුද්ධ වූ කන්‍යාරාමයේ හා කොළඹ විශාඛා විද්‍යාලයේ ඉගෙනීම ලබන කාලේවත් නාට්‍යයකවත් රඟපාල නැහැ. හැබැයි තාත්තා අම්මා එක්ක සිංහල වගේම හින්දි චිත්‍රපට බලලා ගෙදර ඇවිත් රඟපාලා තියෙනවා. දවසක් අම්මා එක්ක මම “හතර කේන්දරේ“ චිත්‍රපටයේ තාත්තා රඟපානව බලන්න ගියා. මේ 1966 අවුරුද්දේ. මට වයස අවුරුදු පහක් විතර ඇති. චිත්‍රපට අධ්‍යක්ෂ එල්.එම්. පෙරේරා අන්කල් තාත්තට මෙහෙම කිව්වලු.
“ස්ටැන්ලි, ළමා චරිතයකට උඹේ සබීතා දුවව ගනිමුද?“
එහි ප්‍රතිඵලයක් හැටියටලු මාව කුඩා චරිතයකට අරං තියෙන්නේ. මේ කාලෙම ආනන්ද ජයසිංහ අන්කල් නිෂ්පාදනය කළ “ඉවසන දනා“ චිත්‍රපටයේත් අම්මයි, අසෝක පොන්නම්පෙරුම අන්කල් එක්ක දුව හැටියට රඟපාන්න අවස්ථාව ලැබිලා තියෙනවා යාන්තමට මතකයි.“
සබීතාව චිත්‍රපට නිළියක් කිරීමට අවශ්‍යව ඇත්තේ ගර්ලිට ය. තම පියා ස්ටැන්ලි හා රෝයි ද සිල්වා සම අධ්‍යක්ෂණය කළ “ටොම් පචයා“ චිත්‍රපටයේ කුඩා චරිතය රඟ පෑ අයුරු සබීතාට මතක තිබේ.
“ජේ. සෙල්වරත්නම් ‘බබීතා‘ කියලා චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමට සැරසෙන විට එහි ප්‍රධාන චරිතයට මාව ගන්න කියලා බලකරල කියලා තියෙන්නේ නැටුම් අධ්‍යක්ෂක රොනල්ඩ් ප්‍රනාන්දු සහ කොණ්ඩා සැරසිලි ශිල්පි සෑම් පෙරේරාලු. චිත්‍රපටයට මා තෝරා ගත්තාම සෙල්වරත්නම් තම චිත්‍රපටයේ මුලින් හිතා සිටි බබීතා වෙනුවට ‘සබීතා‘ කියලා වෙනස් කළා.“ සබීතා කීවාය.
1962 නොවැම්බර් 30 වැනිදා වෙන්නප්පුවේ උපත ලැබූ සබීතා ජානකී පෙරේරාට දැල්වෙන නිල්මිණි දෑසක් උරුම වූයේ සිංහල සිනමාව මෙන්ම ජාත්‍යන්තර සිනමාවත් ජය ගැනීමට ද? ඒ නිල්මිණි දෑස නිසා 1986 වසරේ පාකිස්තාන් සිනමාවට එක්ව එම වසරේම පාකිස්තානයේ වාර්ෂිකව පැවැත්වෙන අල්ශකාර් චිත්‍රපට උලෙළේදී හොඳම නිළියට හිමි සම්මානය සබීතා දිනා ගත්තේ Nadiya නම් උර්දු චිත්‍රපටය වෙනුවෙනි. මෙහිදී හොඳම නළුවාට හිමි සම්මානය පාකිස්තානු දක්ෂ නළුවෙකු වූ ජාවේඩ් ද, අධ්‍යක්ෂ ලෙස නසර් සබාර් ද සම්මාන හිමි කර ගත්හ. එතැන් සිට සබීතා Kabhie alwida nakehna;Ruby; Bobby; Zemeen aur Aqsmaan:Aag hi Aay; Mazdoot වැනි උර්දු චිත්‍රපටවලත්, රඟ පෑ සබීතා පසු කලෙක “ගී නිජාඩ්“ (සැනසුම) “ඒක් සේ බද්කර් ඒක්“ (අනික් කෙනාට වඩා අනික් එක්කෙනා උසස්) චිත්‍රපටවලත්; ලංකාවේ දෙබස් කවා තිරගත කළ “සදා කල් රැඳේවා“ ඇතුළු චිත්‍රපට කීපයක රඟපෑවාය.
සබීතා රඟපෑ “මමයි රජා“, “නොම්මර 17“ (Box office) බොක්ස් ඔෆීස් වාර්තා පිහිටවූහ. චිත්‍රපට ගණනාවක රඟපෑ අතර පිටගම්කාරයෝ, රන් කහවණු, ඇසළ කළුවර, අකාල සන්ධ්‍යා යන ටෙලි නාට්‍යවල ද රඟපෑවාය.
මීට වසර 23 පමණ එපිට සබීතා කීර්තිමත් වෙළඳ ව්‍යාපාරිකයකු වූ උපාලි ජයසිංහ හා විවාහ වූවාය. ඩී.පී. ජයසිංහ සහ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා වූ උපාලි දක්ෂ ගායකයෙකි. සබීතා රඟ පෑ චිත්‍රපට නරඹා තිබුණත්, හමු වී ඇතත්, කතාකර නොතිබූ උපාලි දිනක් ජීප් රථයක් විකිණීමට ඇති බව කියැවෙන ඉංග්‍රීසි වෙළඳ දැන්වීමකට අනුව එහි ගිය විට ජීප් රථයේ අයිතිකාරිය වූ සබීතා හා මුල්වරට කතා කිරීමට අවස්ථාව ලැබී ඇත. මේ මුල් හමුව ඔවුනොවුන්ගේ හදින් බැඳීමට අත්තිවාරමක් වූහ. වසර තුනකින් පසු ඒ ආදරය මල්ඵල දැරීය.
මහා පරිමාණයේ ඉංජිනේරු සමාගමක අධිපතිවරයා වූ උපාලි ජයසිංහ කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේ සිටම ජෝතිපාලගේ ගීත ගැයීමට දක්ෂයෙක් විය. අදත් තම සමීප මිතුරන්ගේ සාදවල ගී ගායනය ඇරඹෙන්නේ උපාලිගෙනි. උපාලි පවසන්නේ තම බිරිය කිසිදා කිසි කෙනෙකුගේ ඕපාදූප නොසෙවු, අසීමිත ඉවසීමක් ඇති කෙනෙකු බවය. ගෙදරදී ඇති වන පුද්ගල ප්‍රශ්නවලදී ඇය තර්ක විතර්කයෙන් තොරව ඉවසා සිටින බව ය. මේ නිසා උපාලි හා සබීතා කැදැල්ලේ සමගිය, සාමය ආරක්ෂා කරන්නේ නිශ්ශබ්දව සිටීමෙන්ලු. ඇය ක්ෂණික පිළිතුරක් වුවද දෙන්නේ ද, හොඳට සිතා බලා බව කියන උපාලි සබීතා තමාගේ බිරිය මෙන් ම, හොඳම මිතුරිය හා යෙහෙළිය ද වන බව කියයි.