අන්තිමට මට දරුවත් නැතිවුණා
කොරෝනා වසංගතයෙන් මිනිස් ජීවිත ඇතුළු සියලුම අංශවලට සිදු වූයේ ඉමහත් ව්‍යසනයකි. ඉන් දරුවන්ගේ අධ්‍යාපනයට අත්වූයේ වසර ගණනාවක් ගියද ආපස්සට හැරවිය නොහැකි තරමේ මිල කළ නොහැකි පාඩුවකි. දරුවන්ගේ අධ්‍යාපනයට එලෙස කොරෝනා මාරයා ඉමහත් පාඩුවක් සිදුකරද්දී යම් පමණක හෝ අස්වැසිල්ලක් වූයේ ඔන්ලයින් අධ්‍යාපනයෙන් ලැබුණු ජීවය පමණි. එම දුරස්ථ අධ්‍යාපනයටද මීට මාස තුනකට පමණ පෙරදී තිත තැබුණේ ගුරුවරුන්ගේ උද්ඝෝෂණ රැල්ලත් සමඟිනි. ගුරුවරුන් එලෙස සිය අයිතිවාසිකම් දිනා ගැනීමට උද්ඝෝෂණ සිදුකරද්දී කබලෙන් ළිපට වැටුණේ දරුවන්ය. දෙමාපියන් විසින්ද දරුවන්ට ඔන්ලයින් අධ්‍යාපනය සඳහාම විවිධාකාරයේ උපකරණ (Devise) රැගෙන දුන්නේද අගහිඟතා මධ්‍යයේ ණයතුරුස්ද වෙමිනි.
ඔන්ලයින් අධ්‍යාපනය ඇණහිටීමත් සමඟින් ඇතැම් දරුවන් එම උපකරණ භාවිත කරන්නට වූයේ ‘වඳුරට දැලි පිහිය හසුවූවා මෙනි.’
එහි ඛේදනීයම අවස්ථාවක් ගෙවී ගිය සතියේ වාර්තා වූයේ බණ්ඩාරගම ප්‍රදේශයෙනි. බණ්ඩාරගම, රයිගම, පතහවත්ත ශ්‍රී ස්වර්ණජෝති මහා විද්‍යාලයේ 11 ශ්‍රේණියේ උගත් ඉසුරු අශේන් ඉකුත් 11 වැනිදා සවස් යාමයේ නිවෙසේ මුළුතැන්ගෙයි කොන්ක්‍රිට් බාල්කයක එල්ලී ගෙළ වැළලාගෙන තිබුණේය. ඒ, ඔන්ලයින් අධ්‍යාපනය අඩපණ වීමත් සමඟින් දැඩි සේ පරිගණක ක්‍රීඩාවන්ට ඇබ්බැහි වීමේ ප්‍රතිඵලයක් ලෙසිනි.
"ඔන්ලයින් ඉගෙනීමත් නැහැ. අන්තිමට මට දරුවත් නැතිවුණා. මං වැඳලා ඉල්ලන්නෙ දරුවන්ට ෆෝන්නම් දෙන්න එපා" යැයි පවසමින් අශේන්ගේ වියෝව උහුලාගත නොහැකිව හඬා වැටුණේ අශේන්ගේ පියාණන් වන 46 හැවිරිදි මෝලි වික්‍රමආරච්චිය.
බණ්ඩාරගම, රයිගම, ගුන්ගමුව, හර්බට් වික්‍රමසිංහ මාවතේ පදිංචි මෝලි වික්‍රමආරච්චි ජීවිකාව ලෙස බුලත්විට විකිණීම සිදු කරති.
ඔහු බුලත්විට රැකියාවට පෙර ගල් වැඩපළක සේවයේදී වූ අනතුරකින් එක් අතක ඇඟිලිද නොමැතිව දුක් මහන්සියෙන් දරුවා උස්මහත් කිරීමට කැපව සිටියේය. ඔහුගේ බිරිය 43 හැවිරිදි අශෝකා රංජනි බණ්ඩාරගම ඇඟලුම් කම්හලක සේවය කරන්නීය. දෙදෙනාගේ එකම දරුවා ඉසුරු අශේන් ඇතිදැඩි කර තිබුණේ ඇස් දෙක මෙනි. එසේම ඉසුරු ගමේ කා අතරත් ප්‍රියමනාප දරුවෙකි.
ඉසුරු සියදිවි හානිකර ගත් දින ඉසුරුගේ පියාද නිවෙසේ සිටියේය. ඔහු සිය දරුවාගේ අවසන් මොහොත ගැන සිහිපත් කළේ,
"එදා මගේ බිරිය වැඩට ගිහින් හිටියේ. අපි දෙන්න සාලයේ ටීවී බලමින් හිටියේ. මම දැක්කා පුතා ෆෝන් එක ඔබමින් ගේම් ගහමින් ඉන්නවා. පස්සෙ දවල්ට දෙන්නම සාලයේ ඉඳගෙනම බත් කෑවා. කාලා ඉවරවෙලා මම පුවක් කැපුවා. පුතා කාමරේට ගියා. මං හිතුවේ නිදාගන්න යන්න ඇති කියලා. හවස 2.45ට විතර පහළ කඩෙන් කෝල් එකක් ආවා බුලත්විට එකක්වත් නෑ ගේන්න කියලා. මම පුතාට කතා කරලා කිව්වා, පුතේ විට ටිකක් ඉක්මනටම ඔතාගන්න ඕනෙ කියා. ඉක්මනටම පුතත් එක්ක එකතු වෙලා විට ටික හදාගෙන මම මගේ ත්‍රිවිල් එකෙන් කඩේට ගියා. ඒ ගිහින් පැයක් යනකොට ආවා; පුතේ කියලා කතා කළා. සාමාන්‍යයෙන් පුතාගේ පුරුද්ද තමයි මං කොහේ ඉඳන් හෝ එක්වරක් කතා කළොත් ඇයි තාත්තා කියලා අහන එක. කිසිම ශබ්දයක් නෑ... මං කාමරේ බැලුවා... කුස්සියට ගිහින් බලනකොට තමයි..." ඉසුරුගේ පියා හඬා වැටෙයි.
මුළුතැන්ගෙයි බාල්කයේ එල්ලී සිටි ඉසුරුගේ සිරුර අසල්වාසින්ගේද සහායෙන් මෝලි විසින් විනාඩි පහක් වැනි කෙටි කාලයකදී හොරණ රෝහලට රැගෙන ගියත් අශේන් ඉසුරු මෙලොව හැර ගොස් සිටියේය.
ඉසුරුගේ හදිසි මරණය පිළිබඳව බණ්ඩාරගම පොලිසිය සහ පාණදුර කොට්ඨාස අපරාධ ස්ථාන නිලධාරින් විසින් විමර්ශන සිදුකරද්දී දුටුවේ ඔන්ලයින් අධ්‍යාපන කටයුතුද නොමැති සමයක් වුවත් ඉසුරුගේ කාමරයේ සඟවා තිබූ ඩෙටා කාඩ් 50කට ආසන්න ප්‍රමාණයකි. විවිධ මිල ගණන් වූ එම ඩෙටා කාඩ්වලට අමතරව දුරකථන ගේම් සඳහා භාවිත කරන මාපට ඇඟිලි ආවරණ තුනක්ද සොයා ගැනීමට හැකි වූහ. ඒ කිසිවක් අශේන්ගේ මාපියන් දැන සිට නැත.
ඉසුරු පාවිච්චි කළ ස්මාර්ට් ජංගම දුරකථනය පරීක්ෂාවේදී එහි වූ ඡායාරූප 500ක් පමණ වූ ප්‍රමාණයෙන් සියයට අනූනවයක්ම තිබී ඇත්තෙ පරිගණක ක්‍රීඩා ඡායාරූප සහ ඊට අදාළ විවිධාකාර වැකි සහිත ඡායාරූපයි. විමර්ශන නිලධාරින් ඇතුළු ඉසුරුගේ මරණය සැලවූ විද්වතුන්ගේද සැකයට භාජනය වූයේ ඉසුරු දුරකථන ක්‍රීඩාවකින් පරාජය වීම හෝ අධික ලෙස ගේම්වලට ඇබ්බැහි වීමෙන් වූ පීඩනය නිසා සියදිවි හානි කරගන්නට ඇති බවටයි.
පාසල් අධ්‍යාපන කටයුතු මනා ලෙස සිදු කරමින් නර්තනයෙන්ද හපන්කම් පෑ අශේන් ඉසුරු දෙමාපියන්ට ඉතාම කීකරුව හැදී වැඩුණු දරුවෙකි. අශේන්ගේ ජීවිතය විනාශ කළේ ජංගම දුරකථනය බවට ඔහුගේ දෙමාපියන් නඟන අඳෝනාවයි. එසේම ගුරුවරුන්ගේ ඔන්ලයින් අධ්‍යාපන වර්ජනයද දරුවාගේ විනාශයට හේතු වූ බවට එකම දරුවාගේ වියෝවේ දුක වාවාගත නොහැකිව වැළපෙන ඉසුරුගේ පියාණන් දැඩි ස්වරයෙන් නඟන චෝදනාවයි. ඉසුරුගේ මරණ පරීක්ෂණය පසුගිය 13 වැනිදා හොරණ මූලික රෝහලේදී හදිසි මරණ පරීක්ෂක සුමේධ ගුණවර්ධන විසින් පැවැත්වීය. එම මරණ පරීක්ෂණයේදී සාක්කි දෙමින් ඉසුරුගේ පියා මෝලි වික්‍රමාරච්චි පැවැසුවේ,
"ඇත්තටම ගුරුවරුන්ගෙ අධික මුදල් තණ්හාව නිසා මේ වගේ වසංගත කාලයකදී ඔවුන් ගැනම සිතමින් මුදල් වැඩි කරගැනීමට උද්ඝෝෂණය කළා. ඔන්ලයින් පන්ති නවත්වා දරුවන් අසරණ කළා. ඉන් දරුවන් ජංගම දුරකථනවලින් අනවශ්‍ය ක්‍රීඩාවල යෙදෙමින් අනවශ්‍ය දේවල් නැරඹීමට පුරුදු වුණා. මේ නිසා දරුවන් විශාල පිරිසක් නොමඟ ගියා. මගේ දරුවත් නොමඟ ගියා. අපි එදා දෙවිවරු ලෙස දැකපු ගුරුවරු අද අප දකින්නේ දේවදත්තයන් විදිහට. තවත් මෙවැනි දරුවන් අපට අහිමි වී යා හැකියි. මේ දරු පරපුරට කළ අසාධාරණයට මුල් වී වැඩ කරන ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට හෙන හතම වදින ලෙස මම ප්‍රාර්ථනා කරනවා. මගේ පුතා ඉගෙන ගත්තෙ රයිගම පතහවත්ත පාසලේ 11 ශ්‍රේණියේ. පාසලේ විදුහල්පතිතුමිය දෙමාපියන්ට රැස්වීමක් තියලා කිව්වා දරුවන්ට පහසුකම් ඇති ජංගම දුරකථනයක් අරන් දෙන්න කියලා. දෙමාපියන් පොඩි දුරකථනයක් පාවිච්චි කරන්න කියලා. ඒ නිසාම මම පහසු ගෙවීමේ ක්‍රමයට ජංගම දුරකථනයක් අරගෙන දරුවාට අධ්‍යාපන වැඩ සඳහා ලබා දුන්නා. මුල් කාලයේ දරුවා ඉතා හොඳින් දුරකථනයෙන් සියලුම පන්ති සඳහා සම්බන්ධ වුණා. ඒවායෙන් දෙන පැවරුම් කටයුතු හරියටම කළා. ඔහු ගොඩක් වෙලාවට අධ්‍යාපනයේම නියැළි හිටියා.
අශේන් විසින් දිවි හානි කරගැනීම නිසා සොවෙන් තැවෙන මව සහ පියා
මටයි බිරිඳටයි ඕන වුණේ මගේ එකම දරුවා හොඳ තැනකට ගේන්න. ඒ නිසා අපි දෙන්නම මහන්සියෙන් වැඩ කළා; පුතාගේ අධ්‍යාපනය වෙනුවෙන්.
මුලින් කුඩා දුරකථනයක් භාවිත කළත් ඉසුරුට ඔන්ලයින් අධ්‍යාපනය සඳහාම ඔහුගේ පියා විසින් එම ස්මාර්ට් දුරකථනය මිලට ගෙන දී තිබුණේ රුපියල් 33,000ක මුදලකටයි. ඒ, මාස හයක ගෙවීමේ පදනම මතයි.
පසුගිය සමයේ උත්සන්නව පැවැති කොරෝනා මාරයාගෙන් ගැලවුණු දරුවන් කිහිප දෙනෙකුගේම ජීවිත අවාසනාවන්ත ලෙස ඔන්ලයින් අධ්‍යාපනයට සිය දෙමාපියන් ලබා දුන් ජංගම දුරකථන නිසා අහිමි වී අවසානය. එසේ ජංගම දුරකථන නිසා පසුගියදා මාතර, රොටුඹ ප්‍රදේශයේ දරුවෙක්ද සියදිවි හානිකර ගත්හ. තවද දින කීපයකට පෙරදී ගාල්ල ප්‍රදේශයේ පියෙක් විසින් දරුවකුට පහර දීම නිසා මරණයට පත්වූයේත් එම දරුවා ඔන්ලයින් අධ්‍යාපනයෙන් බැහැරව පරිගණක ගේම්වලට ඇබ්බැහිවීමේ ප්‍රතිඵලයක් නිසාවෙනි.
මෙලෙස මාර්ගගත පරිගණක ක්‍රීඩා ව්‍යසනයෙන් දරුවන් බේරා ගැනීම සඳහා වහා මැදිහත් වන ලෙස ඉල්ලමින් 'ලක්මව දියණියෝ' කාන්තා ව්‍යාපාරය විසින් ඉකුත් 14 වැනිදා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට ලිපියක්ද බාර දුන්නේය. එම සංවිධානයේ ජාතික සංවිධායිකා ප්‍රියංගා කොතලාවල එදින පැවැසුවේ, "පසුගිය දවස්වල අපිට අසන්න දකින්න ලැබුණු දරුණුම ඛේදවාචක ප්‍රවෘත්තිය තමයි දරුවන්ගේ සියදිවි නසා ගැනීම්. එහිදී දරුවන් වීඩියෝ ගේම්වලට ඇබ්බැහි වීම නිසා සියදිවි හානි කරගැනීම මහත් ඛේදවාචකයක්.
අමිල මලවිසූරිය
ඡායාරූප - සමීර අබේසිංහ