ඉතිහාසයේ කිසිදිනක නොවූ ලෙස ශත 25ක බද්දකට ටතේව රට තුළට සීනි ආනයනය කර තිබියදීත් පසුගිය දින 10ක් තුළ සීනි තොග මිල් කිලෝ එකක් රුපියල් 25කින් ඉහළ ගොස් තිබේ. ඒ මේ වනවිට ලබන වසරේ මැයි මාසය දක්වා මෙරට පරිභෝජනයට ප්‍රමාණවත් තරම් සීනි තොග රට තුළ පවතින පසුබිමකය.
අපේ රටේ වාර්ෂික සීනි පරිභෝජනය ආසන්න වශයෙන් මෙට්‍රික් ටොන් ලක්ෂ 500ක් බවට ගණන් බලා ඇති අතර වසරකට රට තුළ දුඹුරු සීනී මෙට්‍රින් ටොන් 100ක් පමණ ප්‍රමාණයක් නිෂ්පාදනය කෙරේ. මෙට්‍රික්ටොන් 90,000ක් පමණ රට තුළට ආනයනය කර තිබියදීත් ආනයනික සීනි කිලෝග්‍රෑම් එකක් මත පනවා තිබූ රුපියල් 50ක බද්ද ඉකුත් වසරේ ඔක්තෝබර් මස 13 වැනි දා සත 25 දක්වා අඩු කළේ ය. සත 25ක බද්ද පැනවීමට සමගාමීව රජය සීනි අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස ප්‍රකාශයට පත් කර ඉකුත් වසරේ නොවැම්බර් මස 10 වැනි දා ආනයනික සුදු සීනි කිලෝග්‍රෑම් 1ක් ආනයනය සඳහා රුපියල් 85ක උපරිම මිලක්ද පැනවිය. එහෙත් එම උපරිම මිල පාලනයට රජය සමත් වූයේ නැත.
ඉකුත් පෙබරවාරි මස 08 වැනි දා සීනි අත්‍යවශ්‍ය භාණ්ඩ ලැයිස්තුවෙන් ඉවත් කිරීමේ රජයේ තීරණයත් සමග රුපියල් 85 උපරිම සිල්ලර මිලද අහෝසි විය. ඒ අනුව සීනි වලට අදාළව රජය ගත් ඊළඟ තීරණය වූයේ සීනි ආයනයන බලපත්‍ර අත්හිටුවීමයි. ඒ දක්වා මාස 8 ක පමණ කාලයක් තිස්සේ රටට සීනි ආනයනය කර ඇත්තේ කිලෝග්‍රෑම් එකක් සඳහා වන සත 25 ක ආනයන බද්දට යටත්වයි. එම කාලය තුළ රටේ වාර්ෂික සීනි අවශ්‍යතාව ද අබිබවා යමින් සීනි තොග ආනයනයකරුවන් විසින් මෙරටට ගෙන්වා රැස්කරගෙන තිබේ. සීනි ආනයනකරුවන්ගේ සංගමයට අනුව එම ප්‍රමාණය ආසන්න වශයෙන් මෙට්‍රික්ටොන් ලක්ෂ 600කි. එය ලබන වසරේ මැයි මාසය දක්වා මෙරට පරිභෝජනයට ප්‍රමාණවත් ය.
බලපත්‍ර අත්හිටුවීමේ තීරණය ඉකුත් මැයි මස 22 වැනිදා සිට බලපැවැත්වෙන බවට පැවසුවද පසුගියදා (06) සම කැබිනට් ප්‍රකාශක, වෛද්‍ය රමේෂ් පතිරණ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී අනාවරණය කර තිබුණේ සුදු සීනි ලංකා සතොස සහ සමූපකාරවල මැදිහත්වීම මත ආනයනය කර අලෙවි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බවය.
කෙසේ වෙතත් මේ වනවිට වෙළෙඳපොළේ සීනි මිල අසාමාන්‍ය ලෙස ඉහළ යමින් පවති.
කිලෝග්‍රෑම් 01ක් සඳහා පැවති රුපියල් 50 බද්ද සත 25ක් දක්වා අඩු කිරීමෙන් සිදුව ඇත්තේ සැලකිය යුතු බදු ආදායමක් රජයට අහිමිවීම පමණි.
සත 25 බද්දට සීනි ආනයනය කළ පිරිස් දැන් එම තොග හසුරුවන්නේ පාරිභෝගිකයින් සූරාකෑමට ලක්වන පරිදියි. අඩු වූ ශත 25ට සාපේක්ෂව සීනි මිල අඩු වියයුතු වුවද එවන්නක් දක්නට නැත.
පසුගිය දිනවල සංවාදයට ලක් වූ සීනි බදු වංචාවෙන් රජයට රුපියල් බිලියන 15ක පමණ බදු ආදායමක් අහිමි වූ බව රාජ්‍ය මුදල් කාරක සභාවේදී ආනාවරණය විය.
ඒ අවස්ථාවේ ආණ්ඩුව කියා සිටියේ, පාඩුවක් සිදු නොවූ බවය.
දැන් මෙට්‍රික්ටොන් ලක්ෂ 600ක් සත 25 බද්දට ගෙනැවිත් රැස්කර ඇත්නම් තොග ආනයන කරුවන් වෙළෙඳපොළේ මිල ගණන් අවශ්‍ය පරිදි හසුරුවන්නේ නම් ආණ්ඩුවට පසුගියවර අහිමි වූ බදු අදායමට වඩා වැඩි ලාභයක් මේ ව්‍යාපාරිකයින් උපයමින් සිටී.
මෙලෙස සීනි ආනයනය කර තිබුණේ ෂැංග්‍රිලා සභාපති සජාත් මවුසූන්ගේ ආයතනයක් වන පිරමිඩ් විල්මා සමාගම විසිනි. ඔවුන් එසේ සීනි ආනයනය කර තිබුනේ ගැසට් නිවේදනයක් මගින් සීනි ආනයනයේදී පනවා තිබූ බදු මුදල රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරීමේන් පසුවය. ඒ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක විසින් පාර්ලිමේන්තුවේදී අනාවරණය කළ අතර හිටපු කෝප් සභාපති සුනිල් හඳුන්නෙත්ති විසින් පසුගිය දිනක මෙම වංචාවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්ද ගොනු කළේය.