මේ ගේම් එක පිටිපස්සෙ ඉන්නෙත් ගුණා තමයි.’’
ඒ 1998 වර්ෂයේ එක්තරා දිනයකි. දහවල ගෙවී ගොස් රාත්‍රිය උදාවෙමින් තිබුණේය. මෝදර 362 වත්ත එහෙමත් නැත්නම් කිඹුලාඇළ ප්‍රදේශය ජනශූන්‍ය වෙමින් තිබිණි.
කිඹුලාඇළේ මුඩුක්කු නිවාස අතර පිහිටි එක්තරා නිවසක් තුළින් නොනවත්වා ඇසෙන මහා විළාපයකි. දරාගත නොහැකි වේදනාවකින් විළාප දෙන තරුණයාගේ අඳෝනාව මුළු කිඹුලාඇළම උණුසුම් කරන්නට සමත් වුණේය.
‘‘ගුණා’’ උසාවියේ නඩු අහන්න පටන් අරන්. අද එළිවෙනකල් ඔය අඳෝනාවල් අහන්න වෙයි.’’
කිඹුලාඇළේ පදිංචිකරුවන්ට මේ විළාපය අරුමයක් නොවීය. නොනවත්වා එල්ලවන පහරදීම් නිසා දරාගත නොහැකි වේදනාවෙන් සිටි තරුණයා විළාප ත බන්නට වුණේය.
‘‘අනේ.... ගුණා අයියෙ මං මීට පස්සෙ ඔය වගේ දේවල් කරන්නෙ නැහැ. මට අදට සමාව දෙන්න. මං ඒ වෙලාවෙ එහෙම හැසිරුණේ පොඩි අඩියක් ගහලා හිටිය නිසයි.’’
තරුණයා කිඹුලාඇළේ ගුණා විනිසුරුතුමා ඉදිරියේ හඬා වැළපෙමින් සමාව අයදින්න වුණේය.
‘‘තෝ දැනගනින් මේක කිඹුලාඇළ. මේ කිඹුලා ඇළේවත්, මෝදර හතර මායිමේවත් මේ වගේ දේවල් සිද්ධ වෙන්න බැහැ. ඕනෙම රෑක කෙල්ලෙකුට තනියම පාරේ බැහැල යන්න නිදහස තියෙන්න ඕනෙ. තොපි වගේ උන්ට පාඩමක් ඉගැන්නුවේ නැත්නම් අනිත් උන් හැදෙන්නෙත් නැහැ. අනිත් දවසෙ මේ වගේ දෙයක් කරලා තිබ්බොත් උඹේ ඔළුව කඳෙන් වෙන්කරලා මෝදර කෝවිල ළඟ එල්ලනවා....’’
කිඹුලාඇළේ ගුණාගේ නියෝග මත ක්‍රියාත්මක වූ ගෝල බාලයන් තරුණයාට ක්‍රිකට් පිතිවලින් නොසෑහෙන සේ පහර දුන්හ.
කිඹුලාඇළේ ගුණාගේ උදහසට ලක් වූ මේ තරුණයා මෝදර කෝවිල ආසන්නයේ පදිංචිකරුවෙකි. කිඹුලාඇළ ප්‍රදේශයේ පදිංචි ඇඟලූම් කම්හලක සේවය කරන රූමත් තරුණියක් රාත්‍රි වැඩමුරය නිමකර නිවසට එමින් සිටියාය.
කිඹුලාඇළ ප්‍රදේශයට ආසන්නයේ වූ මාර්ගයකදී බීමත් වූ තරුණයෙක් මේ රූමත් තරුණියට හිරිහැර කර තිබුණේය. තමන්ට විඳින්නට සිදු වූ ඒ අමිහිරි සිදුවීම සම්බන්ධයෙන් මේ රූමත් තරුණිය මෝදර පොලිසියට පැමිණිල්ලක් කළාය. දින කීපයක් ගත වුවද මෝදර පොලිසියෙන් මේ තරුණියට සාධාරණයක් ඉෂ්ට වුණේ නැත. තරුණියගේ ඥාතියකු විසින් මේ සිදුවීම පිළිබඳව කිඹුලාඇළේ ගුණාට පැමිණිලි කරන්නේ මේ අතරතුරදීය.
ඒ වන විට කිඹුලාඇළේ ගුණා මෝදර ප්‍රදේශයේ නීත්‍යානුකූල නොවන පොලිසියක් පවත්වාගෙන ගියේය. මේ පොලිසියේ ස්ථානාධිපතිවරයා වූයේ ගුණා ය. එමෙන්ම නීත්‍යානුකූල නොවන අධිකරණයක් ද පවත්වාගෙන ගියේය. මේ කැලෑ අධිකරණයේ මහෙස්ත්‍රාත්වරයා වුණේ ද ගුණාය. මේ අධිකරණයේ පැමිණිලි විභාග කර ඒ මොහොතේ ම දඬුවම් ලබාදීමට ගුණා විනිසුරුවරයා කටයුතු කළේය. තරුණියට සිදු වූ අතවරය සම්බන්ධයෙන් පැමිණිල්ල ලැබී පැය 24 ක් ගත වීමට පෙර ඊට සම්බන්ධ තරුණයා ගුණා විනිසුරුවරයා පැමිණිලි විභාග කළ කැලෑ උසාවියට දක්කාගෙන ආහ.
තරුණියට සිදු කළ අතවරය සම්බන්ධයෙන් පැමිණිල්ල විභාග කළ කිඹුලාඇළේ ගුණා ඒ මොහොතේ ම තරුණයාට දඬුවම් නියම කළේය. එදින රැය පහන්වන තුරුම කිඹුලාඇළ ප්‍රදේශයේ පිහිටි ගුණාගේ වධකාගාරය තුළ විවිධ වධ බන්ධනයනට ලක්වෙමින් සිටින්නට මේ තරුණයාට සිදුවුණේය. මෝදරට නීත්‍යනුකූල පොලිසියක් තිබුණ ද නීතිය ක්‍රියාත්මක කළේ ගුණාගේ කැලෑ පොලිසියේ මදාවියන් විසින් ය. ඒ කැලෑ නීතියට බිය වූ මෝදර ප්‍රදේශයේ ජනතාව දැඩි භීතියකින් සහ පීඩනයකින් යුතුව කාලය ගත කළහ.
සින්නයියා ගුණපාලන් නොහොත් කිඹුලාඇළේ ගුණා 90 දශකය පුරා මෙරට පාතාලය භීතියට පත් කරගෙන සිටි චරිතයක් විය. 80/90 දශක දෙක කොළඹ පාතාලය බෙහෙවින් දරුණු තත්ත්වයකට පත්ව තිබුණේය. කොළඹ මාලිගාවත්ත ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන ගොඩනැඟුණු දෙමළ පාතාලයට නායකත්වය දෙනු ලැබුවේ ඉසගමුත්තු සුදාකරන් ය. මේ දෙමළ පාතාලය කොයිතරම් ප්‍රබල ස්ථානයක සිටියේ ද කියතොත් ඒ කාල වකවානුවේ සිටි බොහෝ දේශපාලනඥයන් මෙන්ම උසස් පොලිස් නිලධාරීන් පවා මොවුන් සමඟ සම්බන්ධතා ගොඩනඟාගෙන සිටියහ. සුදාකරන්ට අවශ්‍ය වී තිබුණේ කොළඹ පාතාලයේ කිරුළු පැළඳීමටය. ඒ වෙනුවෙන් ඔහු නොකළ දෙයක් නැත.
සුදාකරන් ප්රමුඛ පාතාල කණ්ඩායමට කොළඹ ප්‍රදේශය පුරා කළ නොහැක්කක් නැති තරම් විය. සුදාකරන්ගේ නායකත්වය යටතේ සිටි පාතාල කල්ලියේ ප්‍රබල පාතාල චරිත කීපයක් සිටියහ. කිඹුලා ඇළේ ගුණා ඉන් එකෙකි. තමිල්නාඩුවේ බාලේන්ද්‍රන් නොහොත් තෙල් බාලා, සුදාකරන්ගේ අති සමීපතම පාතාල සගයා විය.
ඊට අමතරව තමිල්නාඩුවේ රමේෂ්, අම්බිගාර්, නඩරාජා විජේපාලන් වැනි පාතාල මැරයන් රැසක් මේ කල්ලියට සම්බන්ධ වී සිටියහ. සුදාකරන් මෙහෙය වූ දෙමළ පාතාලයට මුස්ලිම් තරුණයකු මෙන්ම සිංහල තරුණයන් දෙදෙනකු ද එක්ව සිටියහ. සුදාකරන් මෙහෙය වූ මේ දෙමළ පාතාලයේ සිටි එකම මුස්ලිම් තරුණයා වූයේ මොහොමඞ් නියාස් නවුෆර් නොහොත් පොට්ට නවුෆර්ය.
අතලූවහේවගේ උදය ප්‍රියදර්ශන නොහොත් ‘මල්ලියා’ සහ ජයකොඩි ආරච්චිගේ ඕල්කොට් පෙරේරා නොහොත් ‘ ඕල්කොට්’ සුදාකරන්ගේ දෙමළ පාතාලයට සම්බන්ධ වී සිටි සිංහල තරුණයන් දෙදෙනා වූහ. ‘ ඕල්කොට්’ පසු කලෙක කොළඹ පාතාලයේ දරුණුම ගණයේ අපරාධකාරයකු වූ අතර ඔහුට එරෙහිව මිනිස් ඝාතන සිය ගණනක් සම්බන්ධ චෝදනා එල්ල වී තිබුණේය.
පසු කලෙක ඕල්කොට් පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් කුරුණෑගලදී වෙඩි තබා ඝාතනය කර තිබුණේ මුළු රටටම කිසියම් අස්වැසිල්ලක් උදා කරමින්ය. සුදාකරන් ප්රමුඛ දෙමළ පාතාලය මාලිගාවත්ත ප්‍රදේශය සිය රාජධානිය කරගෙන සිදුකළ දරුණු අපරාධ දිනෙන් දිනම ඉහළ යමින් තිබුණේය.
මොවුන්ගේ ප්‍රධානම ආදායම් මාර්ගය වී තිබුණේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමය. ඊට අමතරව ධනවත් ව්‍යාපාරිකයන්ට මරණීය තර්ජන එල්ල කර රුපියල් ලක්ෂ ගණනින් කප්පම් ගැනීම ද මොවුන් ජයටම කරගෙන ගියහ. සුදාකරන් ප්රමුඛ පාතාල නරුමයන්ට ඇති බිය නිසා මොවුන්ට කප්පම් දුන් කිසිවකුත් පොලිසියට ඒ ගැන පැමිණිලි කළේ නැත. සුදාකරන් ප්රමුඛ මේ පාතාල මැරයන්ට එරෙහිව චවනයක් හෝ පිට කළ පුද්ගලයාට සිදුවන්නේ ඊට ජීවිතයෙන් වන්දි ගෙවීමටය.
කුලී මිනීමැරුම් මේ පාතාල මැරයන්ගේ තවත් ප්‍රධාන ආදායම් මාර්ගයක් විය. සුදාකරන් ප්රමුඛ දෙමළ පාතාලය එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ කෙළින්ම සම්බන්ධතා පවත්වාගෙන ගියහ. එල්.ටී.ටී.ඊ.ය හරහා ලබාගත් නවීන පන්නයේ අවි ආයුධ අලෙවි කිරීමෙන් සහ කුලී පදනම මත ලබාදීමෙන් සුදාකරන් ප්රමුඛ දෙමළ පාතාලය විශාල ධනයක් ඉපයූහ. මේ දෙමළ පාතාලයේ ක්‍රියාකාරකම් හමුවේ වැඩිපුරම අසරණ වී සිටියේ මාලිගාවත්තේ මුස්ලිම් ජාතිකයන් ය. සුදාකරන් ප්රමුඛ දෙමළ පාතාල කල්ලිය අතින් ඝාතනයට ලක් වූ මාලිගාවත්තේ මුස්ලිම් තරුණයන් ගණන අති විශාලය. අමානුෂික පහරකෑම්වලට, විවිධ තාඩන පීඩනවලට ලක්වූ අවස්ථා නිමක් නැත.
සුදාකරන් ප්රමුඛ දෙමළ පාතාලය මුදාහැර තිබූ මේ මහා භීෂණයට එරෙහිව මුස්ලිම් තරුණයන් පිරිසක් සංවිධානය වන්නේ ඔය අතරතුරදීය.
එවකට නාගරික මන්ත්‍රීවරයකුව සිටි ඉමිටියාස් වටා ගොඩනැඟුණු මාලිගාවත්තේ මුස්ලිම් තරුණයන් පිරිසක් සුදාකරන් ප්රමුඛ දෙමළ පාතාලයට එරෙහිව යුද වදින්නට තීරණය කළහ. කොළඹ මුස්ලිම් පාතාලය බෞතිස්ම ලබන්නේ ඒ ආකාරයට ය.
බාබර් ඉමිටියාස්ගේ නායකත්වයෙන් යුත් මුස්ලිම් පාතාල කල්ලියට සම්බන්ධ වී සිටි තරුණයන් අතර අයුබ් ඛාන්, ආනමාලූ ඉමිටියාස්, මලබාර් රිල්වාන්, දිගා ෆයිසර්, ලී මෝලවත්තේ රිස්වාන්, බයියා, පප්පා, ෆාජි, ටෝජි, වාමස්මී, අතකොට රිල්වාන් වැන්නවුන් සිටියහ.
බාබර් ඉමිටියාස්ගේ සමීපතම පාතාල සාමාජිකයා වූයේ මොහොමඞ් හනීෆා මොහොමඞ් නූර් නොහොත් කුඩු නූර් ය.
දෙමළ පාතාලය සමඟ සටන් වැදීමට මුස්ලිම් තරුණයන් එක්ව සිටිය ද, ඔවුන්ට අවි ආයුධ තිබුණේ නැත. දෙමළ පාතාලය එල්.ටී.ටී.ඊ.ය හරහා ලබාගත් ආයුධවලින් මුස්ලිම් පාතාලය වනසන්නට වූහ. එහෙත් මුස්ලිම් පාතාලය සටන අතහැරියේ නැත. මුස්ලිම් දේශපාලනඥයන්ගේ සහාය ඇතිව මොවුන් සුදාකරන් ප්රමුඛ දෙමළ පාතාලයට එරෙහිව සටන් කරන්නට වූහ.
සුදාකරන් ඝාතනයට ලක්වන්නේ මේ අතරතුරදී ය. සුදාකරන්ගේ නායකත්වයෙන් පසුව දෙමළ පාතාලය සීසීකඩ විසිර යන්නට වූහ. තෙල්බාලා තොටළඟ තමිල්නාඩුව ප්‍රදේශය සිය පාතාල රාජධානිය කරගෙන වෙනම පාතාලයක් බිහිකර ගත්තේය.
කිඹුලාඇළේ ගුණා මෝදර කිඹුලාඇළ ප්‍රදේශය සිය වාසස්ථානය කරගෙන ස්වාධීනව පාතාල කල්ලියක් මෙහෙයවන්න පටන් ගත්තේය. පොට්ට නවුෆර් පිටකොටුව ප්‍රදේශයටත්, ඕල්කොට් බොරැල්ල ප්‍රදේශයටත් ස්ථානගත වී වෙනම පාතාල කල්ලි පිහිටුවා ගත්හ.
90 දශකය වන විට මෙරට පාතාලය රට මෙහෙයවන තත්ත්වයට පත්ව සිටියහ. එදා පොලිසිය හෝ ආරක්ෂක අංශ පාතාලයට එරෙහිව සටන් කළේ නැත. බහුතරයක් ජ්‍යෙෂ්ඨ මෙන්ම කනිෂ්ඨ පොලිස් නිලධාරින් කළේ මේ පාතාල මැරයන් සමඟ සමීප සබඳතා පවත්වමින් ඔවුන්ගේ බඩගෝස්තරය තරකර ගැනීමය.
එදා සිටි දේශපාලනඥයන් බහුතරයක් කළේ ද මේ ක්‍රියාවමය. මැතිවරණයක් පැවැත්වෙද්දී මේ පාතාල මැරයන් ප්‍රබල දේශපාලනඥයන් වටා එක්රොක් වී ඔවුන්ගේ ජයග්‍රහණ සඳහා කටයුතු කළහ. විරුද්ධවාදීන් ඝාතනය කර කපා කොටා භීෂණය වපුරුවා තම දේශපාලන සගයා ජයග්‍රහණය කරවීමට මේ පාතාල මැරයන් කටයුතු කළහ.
එවකට සිටි මේ පාතාල මැරයන් අතර සිටි ප්‍රධානම පාතාල නායකයා ලෙස කටයුතු කළේ කිඹුලාඇළේ ගුණාය. ඉන්දියාවේ පාතාල කණ්ඩායම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලි සමඟ සමීප සබඳතා ගොඩනගාගෙන සිටි කිඹුලාඇළේ ගුණා ඔවුන්ගේ මාර්ගයෙන් හෙරොයින් තොග පිටින් මෙරටට ගෙන ආවේය. එවකට කොළඹ ප්‍රදේශය පුරා හෙරොයින් බෙදා හැරීමේ ප්‍රධානියා බවට පත්ව සිටියේ කිඹුලාඇළේ ගුණා ය. හෙරොයින් ජාවාරමෙන් ඉපයූ රුපියල් කෝටි ප්‍රකෝටි ගණන් මුදල් වැය කරමින් ගුණා අති සුඛෝපභෝගී ජීවිතයක් ගත කළේය.
විටෙක ගුණා සරදියෙල්ගේ චරිතය ද රඟපෑවේය. කෝටිපතියන් ධනවතුන් භීතියට පත් කර ඔවුන්ගෙන් ලබා ගන්නා මුදල් සහ නොයෙකුත් වටිනා දේපළ අසරණ මිනිසුන්ට නොමිලයේ බෙදා දුන්නේය. ඒ හරහා සද්ගුණවත් පුද්ගලයකුගේ චරිතය
ගොඩනගාගෙන සිටි කිඹුලාඇළේ ගුණා මොන අපරාධයක් කළ ද අත්අඩංගුවට ගැනීමට අවස්ථාවක් ලැබුණේ නැත.
මෝදර කිඹුලාඇළේ දුප්පත් ජනතාව පෝෂණය කළ නිසා ගුණා රැක ගැනීමට ඔවුන් දිවි හිමියෙන් කටයුතු කළහ. කිඹුලාඇළ ප්‍රදේශයට තබා මෝදර ප්‍රදේශයටවත් කරක් ගැසීමට එදා ආරක්ෂක අංශවලට ඉඩක් ලැබුණේ නැත. කිසියම් අපරාධයක් සම්බන්ධයෙන් චෝදනාවක් ලැබ සිටි ගුණා අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් කිඹුලාඇළ ප්‍රදේශයට ගියහොත් ඔවුන්ට ඉන් පිටතට එන්නට සිදුවන්නේ ඇඳිවත පවා අහිමි කරගෙනය. ඒ තරමටම කිඹුලාඇළ ප්‍රදේශය ගුණාගේ අණසකට යටත්ව තිබුණේය. එවකට මෝදර පොලිසියේ රාජකාරි කළ ස්ථානාධිපතිවරයාගේ සිට බහුතරයක් නිලධාරීන් ගුණා සමඟ සමීප සබඳතා පැවැත්වූහ.
ගුණාට හෝ ඔහුගේ සමීපතමයකුට පැමිණිල්ලක් කිරීමට අවශ්‍ය වුවහොත් පොලිසියේ පැමිණිලි පොත ගෙදරට ගෙන්වා ගන්නා තරමට ඔවුන් ප්‍රබල ස්ථානයක පසු වූහ.
ඒ වන විට මෝදර ප්‍රදේශයේ පොලිස් නීතිය වල්වැදී තිබුණේය. ක්‍රියාත්මක වුණේ ගුණාගේ කැලෑ නීතිය ය. දෙමළ දේශපාලනඥයන් කීපදෙනෙකුම ගුණාගේ පිටුපස යමින් ඔහුගේ මාර්ගයෙන් විවිධ උපකාර ලබාගත්හ. 90 දශකයේ යුද්ධය ඉතාම දරුණු අන්දමින් පැවති අවස්ථාවක නැෙඟනහිර ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ. නායකයකු ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රහාරයකින් මියගොස් සිටියේය. මේ එල්.ටී.ටී.ඊ. ප්‍රධානියා කිඹුලාඇළේ ගුණාගේ සමීප මිතුරකු විය. ගුණා එක්තරා දෙමළ දේශපාලනඥයකු සමඟ නැෙඟනහිර පළාතේ කොටි පාලන ප්‍රදේශය වෙත ගොස් එල්.ටී.ටී.ඊ. ප්රබලයාගේ අවමංගල්‍ය උත්සවයට ද සහභාගි වී ආපසු ආවේය.
කිඹුලාඇළේ ගුණා එවකට ප්‍රබල දේශපාලන චරිත මෙන්ම කොළඹ උසස් පොලිස් නිලධාරීන් සමඟ සමීප සබඳතා පැවැත්වූ බව ඔප්පු කෙරෙන එක්තරා සිදුවීමක් වාර්තා වී තිබුණේය. මේ සිදුවීම අද වනතුරුත් පවතින්නේ කාලයේ වැලිතලාවෙන් වැළලී ගිය රහසිගත සිදුවීමක් ලෙසය. 2001 වර්ෂය වන විට පැවතියේ චන්ද්‍රිකා - රනිල් ආණ්ඩුවකි. මේ ආණ්ඩුවේ නාගරික සංවර්ධන ඇමැතිවරයා වූයේ නැසීගිය මොහොමඞ් මහරුෆ් ය. මහරුෆ් ඇමැතිවරයා පදිංචිව සිටියේ ග්රෑන්ඞ්පාස් ප්රදේශයේය. සීනියා ටේ්රඩින් නමින් මහරුෆ් ඇමැතිවරයා ව්‍යාපාරයක් කරගෙන ගියේය.
ග්රෑන්ඞ්පාස් පරාක්‍රම පාරේ පිහිටි මේ ව්‍යාපාරික ස්ථානයට ආයුධ සන්නද්ධව කඩාවැදුණු පාතාල මැර කණ්ඩායමක් අවි පෙන්වා එහි සිටි පිරිස භීතියට පත් කර රුපියල් දහඅටලක්ෂයක මුදල් කොල්ලකාගෙන පලා ගියහ.
මේ මංකොල්ලය සිදුවෙද්දී ග්රෑන්ඞ්පාස් පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරි කළේ රවීන්ද්‍ර කරවිට මහතා ය. අපරාධ අංශය භාරව රාජකාරි කළේ අනුරාධ මහින්දසිරි මහතා ය. මංකොල්ලය සිදු වී පැය 72 ක් ගතවීමට පෙර ඊට සම්බන්ධ සැකකරුවන් පිරිසක් සහ කොල්ලය සඳහා යොදාගත් අවි ආයුධ කීපයක් ද අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වූහ.
කොල්ලය සඳහා පාවිච්චි කළ ගිනි අවිවලින් දෙකක් කෝට්ටේ දයා නමැති පාතාල මැරයා කුලී පදනම මත ලබා දී තිබූ ඒවාය. අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වූයේ තවත් ගිනි අවියක් එවකට පාතාලයේ කෙරුම්කාරයකු වූ මොරටු සමන් ලබා දුන් බවය. වහා ක්‍රියාත්මක වූ ග්රෑන්ඞ්පාස් පොලිසියේ අපරාධ අංශය මොරටු සමන් අත්අඩංගුවට ගත්හ. කොයිතරම් ප්‍රශ්න කළ ද කොල්ලකෑම පිළිබඳව හෝ ඊට යොදාගත් ආයුධ පිළිබඳව මොරටු සමන් කට ඇරියේ නැත. අවසානයේ ග්රෑන්ඞ්පාස් පොලිසියේ බාල්කයේ කකුල්කෙටි දෙකෙන් එල්ලී සිටියදී මොරටු සමන් සිය මුව විවර කළේය.
‘‘සර්.... ඉතුරු වෙපන් ටික දුන්නේ ගුණා... මේ ගේම් එක පිටිපස්සෙ ඉන්නෙත් ගුණා තමයි.’’
අවසානයේ මොරටු සමන්ගෙන් ප්‍රශ්න කිරීමේදී සියලූ දේ එළියට ආවේය. ඒ වන විට මොරටු සමන් අත්අඩංගුවට ගැනීමේ පුවත ලැව්ගින්නක් මෙන් පැතිර යමින් තිබුණේය.
මොරටු සමන් අත්අඩංගුවට ගැනීම පිළිබඳව ඇතැම් දේශපාලනඥයන් මෙන්ම උසස් පොලිස් නිලධාරීහු ද කඳුළු සලන්නටත් මහත් කලබලයටත් පත්ව සිටියහ.
මොරටු සමන් අත්අඩංගුවට ගත් විමර්ශන කණ්ඩායමේ ප්‍රධානියා වූ තරුණ පොලිස් පරීක්ෂකවරයාට එවකට කොළඹ දිසාව භාරව සිටි ජ්‍යෙෂ්ඨතම පොලිස් නිලධාරියකුගෙන් ඇමතුමක් ලැබුණේය. (පසු කලෙක විශ්‍රාම ගිය මේ උසස් නිලධාරියා අද ජීවතුන් අතර ද නැත.)
”අයිසේ ඔය සමන් කොල්ලා ඔය රොබරියට සම්බන්ධ නැහැනෙ. නිකන් බොරුවටනෙ ඌව පොලිසියෙ තියාගෙන ඉන්නේ. මිනිහව නිදහස් කරරලා දානවා.’’ උසස් නිලධාරියා තරුණ පොලිස් පරීක්ෂකවරයාට ගෝරනාඩු කළේය.
‘‘සර්.... මොරටු සමන් තමයි මේ මංකොල්ලෙට ආයුධ දීලා තියෙන්නේ. අපි මිනිහව ඇරස්ට් කළේ ඒ ආයුධත් එක්ක. කොහොමද සර් මිනිහව ඒකෙන් නිදහස් කරන්නේ.’’
තරුණ පොලිස් පරීක්ෂකවරයා සිදු වූ සියල්ල උසස් නිලධාරියාට කීවේය.
‘‘මං දන්නෙ නැහැ. උඩින් තමුසෙට කෝල් එකක් එයි. ඔය විස්තරේ කියනවා.’’ උසස් නිලධාරියා කීවේය. ඒ ඇමතුම අවසන් වී පැය භාගයක් ගත වීමට පෙර එවකට රජයේ ප්‍රබලම භූමිකාවක් නිරූපණය කළ පරිපාලන නිලධාරියෙක් ග්රෑන්ඞ්පාස් පොලිසියේ තරුණ පොලිස් පරීක්ෂකවරයාට ඇමතුමක් ලබා ගත්තේය.
විවිධ රජයන් යටතේ විවිධ නිලතල දැරූ මේ රාජ්‍ය නිලධාරියා පාස්කු ප්‍රහාරය සිද්ධිය සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වී සිටියි. ඔය සමන් ළමයා මොකක්ද කරලා තියෙන වරද. මිනිහා මංකොල්ලවලට සම්බන්ධ වෙලා නැහැනෙ. අනික කිඹුලාඇළේ ගුණාවත් තමුසෙල හොයනවද? ඔය මිනිහ කොහෙත්ම ඔය වගේ වැඩ කරන්නෙ නැහැ.
රාජ්‍ය නිලධාරියා මොරටු සමන් ගැන කිඹුල් කඳුළු හෙළුවේය. පොලිස් නිලධාරියා සිදු වූ සත්‍ය සිදුවීම් සියල්ල රාජ්‍ය නිලධාරියාට කීවේය. ඒ කථා සියල්ල අසා සිටි රාජ්‍ය නිලධාරියා දුරකථනය විසන්ධි කළේ කෝපයෙන් යුතුවය.
ඒ වන විට දහඅටලක්ෂයේ කොල්ලය සම්බන්ධයෙන් කිඹුලාඇළේ ගුණා අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් දෙකක් විමර්ශන පවත්වමින් සිටියහ.
තරුණ පොලිස් පරීක්ෂකවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් පොලිස් කණ්ඩායම් දෙකක් මෝදර කිඹුලාඇළ ප්‍රදේශයට ගොස් ගුණා සෙවීමේ මෙහෙයුමක් ආරම්භ කළහ.
මෙහෙයුම ගැන සැල වූ වහාම මෝදර පොලිසියේ නිලධාරීන් කලබල වූහ. එහි උසස් නිලධාරීන් කීපදෙනෙකුම ග්රෑන්ඞ්පාස් පොලිසියෙන් පැමිණ නිලධාරීන් සොයා ආහ.
‘‘ගුණා අපි එක්කත් බොහොම සම්බන්ධයි. මිනිහ ඔය වගේ වැඩ කරන්නේ නැහැ. ගුණා අල්ලන්න ඇවිත් නිකං අත පුච්ච ගන්න එපා. දන්නවනෙ මිනිහට තියෙන සම්බන්ධකම්.’’ මෝදර පොලිසියේ නිලධාරීන් ගුණා වැටලීමට පැමිණ සිටි ග්රෑන්ඞ්පාස් පොලිසියේ නිලධාරීන්ට අවවාද කළහ. කෙසේ හෝ ගුණා අල්ලා ගැනීමට මේ නිලධාරීන්ට ඉඩ ලැබුණේ නැත. එහෙත් ගුණාගේ සමීප සම්බන්ධතා පැවැත්වූ පාතාල මැරයන් දෙදෙනකු ආයුධ කීපයක් ද සමඟ අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් සමත් වූහ. පොලිස් කණ්ඩායම ග්රෑන්ඞ්පාස් පොලිසිය වෙත පැමිණි මොහොතේම උසස් නිලධාරියාගෙන් දුරකථන ඇමතුමක් ලැබුණේය.
‘‘හේතුවක් නැතිව මොරටු සමන්ව පොලිසියෙ තියන් ඉඳලා ප්‍රශ්න ඇතිකර ගන්න එපා. අද රෑ 10.00 ට සමන්ව අරගෙන යනවා කටුබැද්දෙ මල්ලිකා බේකරිය ළඟට. එතනට කළුපාට වෑන් එකක් එයි. ඒකෙ එන අයට සමන්ව භාර දෙනවා. උසස් නිලධාරියා ග්රෑන්ඞ්පාස් පොලිසියේ තරුණ පොලිස් පරීක්ෂකවරයාට නියෝග කළේය.
‘‘සර් සමන් මේ කේස් එකට සම්බන්ධයි. මිනිහට වෙපනුත් අහුවුණා. පොලිස් නිලධාරියාට කීමට ලැබුණේ එපමණකි. උසස් නිලධාරියා ඔහුගේ ඇඟට කඩාගෙන පැන්නේය.
‘‘තමුසෙ මං කියන දේ කරනවා පණ්ඩිතයා නොවී. මං තමුසෙව මාරුකරලා දානවා. අපි කියන විදිහට වැඩ කරන්න බැරි නම් පොලිසිය දාලා යනවා.’’
උසස් නිලධාරියාගේ තර්ජන ගර්ජන හමුවේ පොලිස් පරීක්ෂකවරයා නිහඬ වුණේය. නියෝගය අනුව එදින රාත්‍රියේ පොලිස් නිලධාරීන් පිරිස මොරටු සමන් රැගෙන කටුබැද්ද මල්ලිකා බේකරිය අසලට ගියහ.
අඩහෝරාවකට ආසන්න කාලයක් බේකරිය අසල මාර්ගයේ ජීප් රථය නතර කරගෙන පොලිස් නිලධාරින් බලා සිටියේ මොරටු සමන් රැගෙන යෑමට පැමිණෙන පුද්ගලයන් එන තුරුය. අන්ධකාරය මැදින් කළු පැහැති වෑන් රථයක් මතු වුණේය. වෑන් රථය පොලිස් නිලධාරීන් රැඳී සිටි ස්ථානය වෙත පැමිණ නතර කළේය. වෑන් රථයේ ඉදිරිපස අසුනේ කිසිම කලබලයකින් තොරව සිටින පුද්ගලයා දුටු සැනින් පොලිස් නිලධාරීන් අන්දමන්ද වූහ.
‘‘සර්.... මේ කිඹුලාඇළේ ගුණානෙ. අපිට සමන්ව භාරදෙන්න කිව්වේ ගුණාට ද? කනිෂ්ඨ පොලිස් නිලධාරියෙක් පොලිස් පරීක්ෂකවරයාගෙන් විමසුවේය. පොලිස් පරීක්ෂකවරයා වෑන් රථයේ සිටි ගුණා අසලට ගියේය. වෑන් රථයේ ඉදිරි අසුනේ සිටි ගුණා හඬ අවදි කළේය.
‘‘ලොකු මහත්තයා කිව්වා අපේ සමන් මල්ලිව එක්කරගෙන යන්න කියලා. අපි ආවේ ඒකට....’’
කිඹුලාඇළේ ගුණා කිසිම ගරු සරුවක් නොමැතිව පොලිස් පරීක්ෂකවරයාට කීවේය. තවත් කිරීමට කිසිවක් ඉතිරි වී නැත. උසස් පොලිස් නිලධාරියාගේ අණට කීකරු වී මොරටු සමන් කිඹුලාඇළේ ගුණා වෙත භාරදී යා යුතුය. නිල ඇඳුමක් ඇඟලා ගත් නීති ගරුක නිලධාරියකුට මේ ක්‍රියාව කළ නොහැක. එහෙත් ඉහළින් ආ නියෝගයට කීකරු විය යුතුය. පොලිස් පරීක්ෂකවරයා කිසිවක් නොකියාම මොරටු සමන් ගුණා වෙත භාර දී ආපසු ග්රෑන්ඞ්පාස් පොලිසිය වෙත ආවේ දැඩි කලකිරීමෙන් යුතුවය. උසස් නිලධාරියා සමඟ වාදකර ගැනීම වෙනුවෙන් පොලිස් පරීක්ෂකවරයාට පසු දිනම තුටු පඬුරක් ලැබී තිබුණේය. දහඅටලක්ෂයේ මුදල් කොල්ලය පිළිබඳ විමර්ශනයෙන් ඉවත් කර පොලිස් පරීක්ෂකවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි බොරැල්ල පොලිසියේ සාමාන්‍ය රාජකාරි සඳහා මාරු කර යවා තිබුණේය. ඒ කිඹුලාඇළේ ගුණා සහ මොරටු සමන් වෙනුවෙන් උසස් පොලිස් නිලධාරීන් පෙනී සිටි අයුරුය. එදා කිඹුලාඇළේ ගුණාට මොන තරම් දේශපාලන හයියක් පොලිස් බලයක් තිබුණේද යන්න කීමට තවත් අටුවා ටීකා අවශ්‍ය නැත.
ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග ඉලක්ක කර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වන්නේ 1999 වර්ෂයේදීය. කොළඹ නගර සභා පිටියේදී එල්ල වූ මේ ප්‍රහාරයෙන් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය දිවි ගලවා ගත්ත ද ඇයට ඇසක් අහිමි විය. මේ ප්‍රහාරයෙන් අහිංසක ජීවිත සිය ගණනක් අහිමි වූ අතර තුවාලකරුවන් සංඛ්‍යාව ද සිය ගණනකි.එවකට ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඉලක්ක කර එල්ල වූ එල්.ටී.ටී.ඊ. ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු තවත් පොලිස් කණ්ඩායම් කීපයක් විමර්ශන ආරම්භ කළහ.
මෙම ප්‍රහාරයට අදාළ වීඩියෝ දර්ශන නැරඹීමේදී ඉතාම වැදගත් සාක්ෂි රැසක් හෙළිවුණේය. බෝම්බකාරිය රැස්වීම් භූමියට පැමිණි ආකාරය එම වීඩියෝපට ආශ්රයෙන් හඳුනාගැනීමට හැකි විය. මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ කාන්තාව රැස්වීම් භූමියට පැමිණ සිටියේ එවකට රජයේ ප්‍රබල දේශපාලන චරිතයක්ව සිටි භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා සමඟ පැමිණි පෙළපාලිකරුවන් සමඟය.
මේ පෙළපාලිකරුවන්ගෙන් වැඩි පිරිසක් කැඳවාගෙන ආවේ කිඹුලාඇළේ ගුණාගේ සංවිධානයෙන් ය.
මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ කාන්තාව කිඹුලාඇළේ ගුණා සමඟ කොළඹ නගර සභා ක්‍රීඩාංගණයට ඇතුළුවන රූප රාමු හඳුනාගැනීමත් සමඟම විමර්ශන කණ්ඩායම් අන්දමන්ද වූහ. එදින රැස්වීම් භූමියට පැමිණෙන සියලූ පුද්ගලයන් දැඩි පරීක්ෂාවකට ලක්කිරීමට පොලිසිය කටයුතු කරමින් සිටියහ.
එහෙත් කිඹුලාඇළේ ගුණා සමඟ රැස්වීම් භූමියට ඇතුළු වූ කිසිවකුත් පරීක්ෂා කිරීමට පොලිසියට ඉඩකඩ ලැබුණේ නැත. බෝම්බකාරිය නිරුපද්‍රිතව රැස්වීම් භූමියට ඇතුළු වී තිබුණේ ගුණා ඇතුළු පිරිස සමඟය. මෙම සිද්ධි මාලාව මහත් ආන්දෝලනයට තුඩු දුන්නේය. කිඹුලාඇළේ ගුණා එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ සමීප සබඳතා පවත්වන බවට ඒ වන විටත් ආරක්ෂක අංශ සොයාගෙන තිබුණේය. එහෙත් ගුණාට තිබූ දේශපාලන හයිය පොලිස් බලය ඒ සියලූ දේ යටපත් කරවීමට සමත් විය. ගුණාට විරුද්ධව පොලිසිය විමර්ශන ආරම්භ කරන්නේ මේ බෝම්බ ප්‍රහාර සිද්ධියෙන් පසුවය.
චන්ද්‍රිකා කුමාරතුංග ඉලක්ක කර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ කාන්තාව දින ගණනාවක් සැඟ වී සිටියේ මෝදර ප්‍රදේශයේ කෝවිලකය. බෝම්බකාරිය බෝම්බ ඇඳුම් කට්ටලය ඇඳගෙන තිබුණේ ද මේ කෝවිලේ සිටමය. බෝම්බකාරියට මේ පහසුකම් සපයා දෙනු ලැබුවේ කිඹුලාඇළේ ගුණා විසින් බවට චෝදනා එල්ල වන්නට විය. භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර සමඟ පැමිණි පෙළපාලි කීපය අතරින් මෝදරින් පැමිණි පෙළපාලිය සංවිධානය කර තිබුණේ කිඹුලාඇළේ ගුණා විසින් ය.
එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයාව සිටි සේනක කුමාරසිංහ ඇතුළු නිලධාරීන් පිරිසක් ගුණා අත්අඩංගුවට ගැනීමට කිඹුලාඇළ වැටලූහ.
මෝදර කිඹුලාඇළේ පිහිටි ගුණාගේ නිවස තුන්මහල් එකකි. එහි තුන්වන මහලේ ඉදි වූ විශේෂ කුටියකි. ගුණා සෑම දිනකම මේ තුන්වන මහලේ පිහිටි විශේෂ කුටියට වී තම රාජධානිය වූ කිඹුලාඇළ ප්‍රදේශය නිරීක්ෂණය කිරීම ඔහුගේ දින චර්යාවේ කොටසක් කර ගත්තේය.
චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඉලක්ක කර බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගුණා අත්අඩංගුවට ගත්හ. රඳවා තබාගැනීමේ නියෝග මත ගුණා මාස ගණනක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ තබාගෙන ප්‍රශ්න කරනු ලැබීය. පසුව ගුණාට සෑහෙන කාලයක් බන්ධනාගාරයේ ද ලැගීමට සිදුවුණේය. ඇප මත මුදාහැරීමෙන් පසු ගුණා නැවතත් කිඹුලාඇළ පිහිටි සිය පාතාල රාජධානිය වෙත ආවේය. නගරසභා බෝම්බ ප්‍රහාර සිද්ධියට අදාළ නඩුව අධිකරණයේ විභාග වෙමින් තිබුණේය.
2002 වර්ෂය වන විට ගුණා හිටිහැටියේ ම අතුරුදන් වුණේය. ගුණා පැදුරටත් නොකියා ඉන්දියාවට පලාගොස් තිබුණේ නගර සභා බෝම්බ ප්‍රහාරයට අදාළ නඩුවට අධිකරණයේ පෙනී සිටින අතරතුරදීය. මන්නාරම මුහුදු තීරය ඔස්සේ බෝට්ටුවක් මගින් ඉන්දියාවේ ධනුෂ්කොඩි ප්‍රදේශයට පැන ගත් ගුණා පසුව තමිල්නාඩුවට ඇතුළු වී තිබුණේය.
එතැන් සිට විසි වසරකට ආසන්න කාලයක් තිස්සේ තමිල්නාඩුව සිය වාසභූමිය කරගත් කිඹුලාඇළේ ගුණා මහා පරිමාණ හෙරොයින් ජාවාරම් ඇතුළු නීති විරෝධී ක්‍රියාවල නිරතවෙමින් මහා ධනවතකු ලෙස ජීවත්වන්නට පටන් ගත්තේය.
ඉන්දියාවේ තමිල්නාඩුවේ සැඟවී සිටියද මෝදර පාතාලය පාලනය කළේ ගුණා විසින් ය. ගුණාගේ ගෝලබාලයන් මෝදර ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූහ. ගුණාගේ අණසකට ඉහළින් මෝදර කිසිවකුත් කටයුතු කළේ නැත. කොළඹ පාතාලයේ බොහෝ දේ ක්‍රියාත්මක වුණේ ද තමිල්නාඩුවේ සිට සිය කල්ලිය මෙහෙය වූ ගුණාගේ අවශ්‍යතාවන් මතය.
තමිල්නාඩුවේ දෙමළ දේශපාලනඥයන් කීපදෙනෙකු සමඟම සමීප සබඳතා ගොඩනගා ගෙන සිටි කිඹුලාඇළේ ගුණා සිය ජාවාරම් ඉතාම සාර්ථක අන්දමින් කරගෙන ගියේය. තමිල්නාඩු හිටපු මහ ඇමැතිනි ජයලලිතා සමඟ පවා සමීප සබඳතාවක් ගොඩනඟාගන්නටත් ඒ දේශපාලන සම්බන්ධතා ඔස්සේ විවිධ ප්‍රයෝජන ලබා ගැනීමටත් ගුණාට හැකිව තිබිණි. තමිල්නාඩුවේ ටැක්සි සර්විස් එකක් ආරම්භ කළ ගුණා ඒ හරරහා විශාල ධනයක් උපයා ගත්තේය. වසර ගණනක් ගතවෙද්දී ඔහු වාහන 400 - 500 ක පමණ ප්‍රමාණයක හිමිකරුවකු බවට පත් වුණේය. මේසා විශාල ධනයක් ඔහු උපයා ගත්තේ හෙරොයින් ජාවාරම හරහා ය.
මොන තරම් ධනපතියකුව සිටියද ගුණා තම බිරිඳ තමිල්නාඩුවට ගෙන්වා ගත්තේ නැත. බිරිඳ සහ දරු දෙදෙනා සිටියේ මෝදර කිඹුලාඇළ ප්‍රදේශයේම ය. බිරිඳට සහ දරුවන්ට අවශ්‍ය ආරක්ෂාව මෙන්ම සියලූ පහසුකම් සලසා දෙන්නට ගුණා කටයුතු කළේය. ඔවුන්ගේ ගමන් බිමන් සඳහා වෙනම වාහනයක් සහ රියැදුරකු යොදවා සිටි අතර ආරක්ෂාවට තම කල්ලියේ සාමාජිකයන් පිරිසක් ද යෙදවීමට ගුණා කටයුතු කර තිබුණේය.
මෙරට පාතාලයේ දරුණු අපරාධකාරයන් බොහෝදෙනකු ගුණාගෙන් විවිධ උදව් උපකාර ලබාගත්හ. කොටහේන ප්‍රදේශය සිය පාතාල රාජධානිය කරගෙන සිටි පූකුඩිකන්නා මෙන්ම කෙනඩි නොහොත් බුම්මා ද ගුණාගේ රැකවරණය ලබාගත් ප්‍රධාන පෙළේ අපරාධකරුවන් දෙදෙනෙකි.
කිඹුලාඇළේ ගුණා තමිල්නාඩුවේ සිට හෙරොයින් තොග පිටින් පොම්ප කරන්නට පටන් ගත්තේය. ගුණාගේ ගෝලබාලයන් රටපුරා මේ හෙරොයින් තොග අලෙවි කරමින් ශ්‍රී ලංකාව කුඩු පුරයක් කරන්නට පටන් ගත්හ. පොලිසිය කිඹුලාඇළේ ගුණා අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසියේ සහාය පතන්නට වූහ. ජාත්‍යන්තර පොලිසිය හරහා රතු වරෙන්තු කීපයක් ලබා ගන්නට පොලිසිය කටයුතු කළහ. ඒ වන විට ඉන්දියාවට පලාගොස් සිටි පාතාල අපරාධකාරයන් ගණනාවක්ම සිටියේ ගුණාගේ රැකවරණය ලබමින්ය. ගුණාගේ වැඩිමහල් පුත්‍රයා ද තමිල්නාඩුවට වී තම පියාගේ අඩිපාරේ යමින් විවිධ ජාවාරම්වල නිරත වීමට පුරුදු පුහුණු වෙමින් සිටියේය. පූකුඩුකන්නා මෙන්ම බුම්මා ද ඒ වන විට සිටියේ ගුණා සමඟය. ජාත්‍යන්තර පොලිසිය මගින් ගුණා අත්අඩංගුවට ගත්තේ ඔය අතරතුරදීය. ගුණා සමග‘ ඔහුගේ පුත්‍රයා මෙන්ම පාතාලයේ මහා කෙරුම්කාරයකු යැයි කියා ගන්නා කෙනඩි ප්‍රනාන්දු නොහොත් බුම්මා ද පොලිස් අත්අඩංගුවට පත් වූහ. බුම්මා යනු මිනිස්කමක් අණක් ගුණක් නැති මිනීමරුවෙකි. පූකුඩුකන්නා මෙහෙයවූ පාතාල කල්ලියේ වෙඩික්කරුවා වූයේ බුම්මා ය.
කොටහේන ජම්පටාවීදිය කේන්ද්‍ර කරගත් පාතාල ගැටුමේ ප්‍රධාන හවුල්කාරයා වූයේ බුම්මා ය. ජම්පටාවීදියේ කුඩු සෙල්ලිගේ පුත්‍රයන් දෙදෙනා වන රිමෝෂන් සහ කැනිස්ටස් සමඟ යුද වැදුණු බුම්මා පුද්ගලයන් හත්අටදෙනකුම ඝාතනය කළේය.
කුඩු සෙල්ලීට වෙඩි තබා දැමුවේ ද බුම්මා විසින් ය. මේ මිනිස් ඝාතන වැල ක්‍රියාත්මක කිරීමත් සමඟම බුම්බා ඉන්දියාවට පලාගොස් කිඹුලාඇළේ ගුණාගේ රැකවරණය ලබමින් රහසිගත ජීවිතයක් ගත කරමින් සිටියේය. මෙරට පාතාලයට සම්බන්ධ වීමට පෙර කෙනඩි ප්‍රනාන්දු නොහොත් බුම්මා එල්.ටී.ටී.ඊ. සන්නද්ධ අංශයේ ප්‍රබල සාමාජිකයකු ලෙස ද කටයුතු කර තිබුණේය. යුද හමුදාවට එල්ල කළ ප්‍රහාර ගණනාවකට බුම්බා සම්බන්ධ වී සිටි අතර අවස්ථා දෙකකදී මොහු හමුදා ප්‍රහාරවලින් තුවාල ලැබුවේය. බුම්මාගේ උදරය පහළ කොටසේ සහ එක් පාදයක මේ ප්‍රහාරවලින් ලත් තුවාල කැළල් ද පවතී.
කිඹුලාඇළේ ගුණා සහ බුම්බා අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය අවස්ථා කීපයකදීම ජාත්‍යන්තර පොලිසියේ සහාය ඉල්ලා සිටියේය. ජාත්‍යන්තර රතු වරෙන්තු පවා ලබාගෙන තිබුණේය. ගුණා සහ බුම්බා ඉන්දීය පොලිසියට කොටුවන්නේ ඔය අතරතුරදීය. ඒ මේ අපරාධකාරයන්ට එරෙහිව ලබාගෙන තිබූ රතු වරෙන්තු නිසාය. මේ වන විට ගුණා ඔහුගේ පුත්‍රයා සහ බුම්බා සිටින්නේ ඉන්දීය පොලිසිය භාරයේ ය. තමිල්නාඩුව තුළ විශාල බලයක් ගොඩනඟාගෙන සිටින ගුණාට එරටදී කළ නොහැක්කක් නොමැති තරම් ය. විසි වසරකට පසු අල්ලා ගත් මේ පාතාල මැරයා එහෙමත් නැත්නම් මහා මත්කුඩු ජාවාරම්කරුවා කෙසේ හෝ මෙරටට ගෙන්වාගැනීමට කටයුතු කළ යුතුය. දශක තුන හතරක් තිස්සේ මේ අපරාධකරුවා ශ්‍රී ලංකාවට කළ හානිය මෙතෙකැයි කිව නොහැක. එසේ නම් මේ අපරාධකාරයාට ද මෙරට පාතාල මැරයන්ට ලබාදෙන දඬුවම් ලබාදිය යුතුය. එසේ නොකරන්නේ නම් තවදුරටත් මේ පාතාල මැරයන්ගේ සහ මත්කුඩු ජාවාරම්කාරයන්ගේ හිංසනයට ලක්වෙමින් අපට ජීවත්වීමට සිදුවනු ඇත.
හේමන්ත රන්දුණු