Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement


රොහා එක්ක සම්බන්ධකම් තියෙන දෙතුන්දෙනෙක් ඉන්නවා. උන්ව අයින්කරලා දාමු
පාතාලයට සම්බන්ධවුණේ කුඩු ගහන්න සල්ලි නැති නිසා

ගල්කිස්සෙ එස්. එස්. පී. මට ලොකු මිනිහෙක් නෙවෙයි. මා එක්ක හැප්පෙන්න ආවොත් එයාගෙ ළමයෙක් මරනවා. පොලිසියේ ඉන්නෙ ගෝතයො. ගල්කිස්ස පොලිසියේ ඕ. අයි. සී. ව දණ ගස්සනවා. උඹ මේවා රෙකෝඞ් කරගෙන ගිහින් උන්ට දීපං.... මම ධර්මසිරි පෙරේරා ඩුබායි සිට අමතන්නෙ.....’’

රත්මලානේ ධර්මේ දුරකථනය ඔස්සේ දිගින් දිගටම කරන තර්ජන ගර්ජන නිමක් නොවීය. මොරටුව සොයිසාපුරයේ අවන්හලක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයකු වූ ලසන්ත මේ තර්ජන ගර්ජන හමුවේ බියට පත් වුණේ නැත. රත්මලානේ ධර්මේ නමැති පාතාල මැරයාට නීතියෙන් පිළිතුරක් දීමට ලසන්ත කටයුතු කළේය. කප්පම් මුදල් ලබා නොදීම නිසා මේ මැරයා ලසන්ත සමග පසු වූයේ දැඩි වෛරයෙන්ය.

උඹ ඔය පොලිසියේ ලොක්කෝ අල්ලාගෙන මගේ කොල්ලො ටික ඇතුළට දැම්මොත් මුලින්ම මරන්නෙ උඹේ දරුවව. ඊට පස්සෙ උඹේ ගෑනිව අම්මව සහෝදරයව මරනවා මං. උඹව මරන්නෙ නෑ. හැම එකෙක්ම මැරෙනවා දැක දැක උඹට විඳවන්න අරිනවා.

රත්මලානේ ධර්මේ ලසන්තට එක දිගටම තර්ජනය කළේය. ගල්කිස්ස, රත්මලාන, මොරටුව ප‍්‍රදේශවල ජනතාව භීතියට පත් කරගෙන වසර ගණනාවක් තිස්සේ ඩුබායි රාජ්‍යයේ සුරසැප විඳිමින් සිටි ධර්මසිරි පෙරේරා නොහොත් රත්මලානේ ධර්මේ නමැති පාතාල මැරයා පසුගිය නොවැම්බර් 30 වැනිදා ඩුබායි පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තේය. ධර්මසිරි පෙරේරා අත්අඩංගුවට ගත් පුවත ඇසීමෙන් ගල්කිස්ස, රත්මලාන, මොරටුව ප‍්‍රදේශවල ජනතාව දැඩි ලෙස පී‍්‍රතියට පත් වූහ. ඒ වසර ගණනක් තිස්සේ මේ පාපතරයා අතින් පීඩාවට පත්ව අසරණ වී සිටි ජනතාව ඒ පීඩාවෙන් නිදහස් වීමේ පුවත ඇසීම නිසයි.

පාතාල ලෝකයේ මෙන්ම හෙරොයින් ජාවාරමේ මහා කෙලිකාරයකු වීමට සිහින මැවූ මේ පාපතරයාගේ ඉතිහාස කතාව එතරම් සුන්දර එකක් නොවීය.

මොරටුව විශ්වවිද්‍යාලය ආසන්නයේ පදිංචිව සිටි සාමාන්‍ය පවුලක හැදීවැඩුණු ධර්මසිරි පෙරේරා හොඳ අධ්‍යාපනයක් ලබා ගනිමින් ජීවිතය ජය ගන්නට උත්සාහ කළ තරුණයෙකි.

පාසල් අධ්‍යාපනයෙන් පසුව මෙරට ප‍්‍රකට ඇඟලූම් ආයතනයක රත්මලානේ පිහිටි කර්මාන්ත ශාලාවක පරීක්ෂක ශ්‍රේණියේ

රැකියාවකට සම්බන්ධ වූ ධර්මසිරි පෙරේරා අනාගතය යහපත් කර ගන්නට සිහින මැව්වේය.

එහෙත් පාපමිත‍්‍ර සේවනය ධර්මසිරිගේ සියලූ අනාගත බලාපොරොත්තු සැලසුම් සුණු විසුණු කර දැමුවේය. පාප මිත‍්‍ර සේවනය හරහා හෙරොයින් භාවිතයට ඇබ්බැහි වූ ධර්මසිරි පෙරේරා වැඩි කාලයක් ගත වන්නට පෙර දැඩි මත්ද්‍රව්‍ය ලෝලියකු බවට පත් කළේය.

දුක් මහන්සියෙන් උපයා ගත් සියලූ ධනය හෙරොයින්වලින් දවා අළුකර දැමූ ධර්මසිරි අනාගත සුබ සිහින එකින් එක බොඳ කර ගත්තේය.

ධර්මසිරි හෙරොයින් මිලට ගත්තේ ගොනා කෝවිලේ ලන්සියාගෙනි. ඒ කුඩා කල සිටම ධර්මසිරි ලන්සියාව දැන හඳුනාගෙන සිටි නිසාය. ඒ වනවිට රත්මලාන, මොරටුව, ගල්කිස්ස ගොනාකෝවිල බඩෝවිට ප‍්‍රදේශ එකම කුඩු පුරයක් බවට පත්ව තිබුණේය. මේ ප‍්‍රදේශ කේන්ද්‍ර කරගෙන මහා පරිමාණයෙන් හෙරොයින් ජාවාරමේ නිරත වූයේ රෝහණ නොහොත් ගොනාකෝවිලේ රොහා සහ ලන්සියා නමැති පාතාල මැරයන් දෙදෙනා විසින්ය.

මොරටුව පාතාලයේ අග රජු ලෙස කලක් වැජඹෙමින් සිටි මොරටු සමන් නමැති පාතාල අපරාධකාරයාගේ සෙවණේ හැඳී වැඩෙමින් පාතාල අපරාධ විද්‍යාව හැදෑරූ රෝහණ සහ ලන්සියා පසුකලෙක පාතාල ලෝකයේ මහා කෙලිකාරයන් බවට පත් වූහ. මොරටු සමන් ඝාතනයට ලක් වීමත් සමගම ඔහුගේ පාලනය යටතේ පැවති පාතාල කල්ලිය සී සී කඩ වී ගියේය. රෝහණ නොහොත් ගොනාකෝවිලේ රොහා වෙනම පාතාල කල්ලියක් බිහි කර ගත්තේය. ලන්සියා තමන්ට හිතවත් මැරයන් පිරිසක් සමග එක්ව තවත් පාතාල කල්ලියක් ස්ථාපිත කළේය. මේ මැරයන් දෙදෙනාගේ ප‍්‍රධානම ආදායම් මාර්ගය වී තිබුණේ මහා පරිමාණ හෙරොයින් ජාවාරම සහ ව්‍යාපාරිකයන්ට මරණ තර්ජන එල්ල කර කප්පම් ගැනීමය.

හෙරොයින් ජාවාරම් සහ කප්පම් ගැනීම් මුල් කරගෙන රොහාගේ කල්ලිය සහ ලන්සියාගේ කල්ලිය අතර ගැටුම් හට ගත්තේය. සුළුවෙන් ආරම්භ වූ මේ ගැටුම් පසුකාලීනව එකිනෙකා මරාගන්නා තත්ත්වයේ මිනිස් ඝාතන පොකුරක් දක්වා දුරදිග ගියේය. හෙරොයින් මිලදී ගැනීමට නිතර පැමිණීම නිසා ධර්මසිරි ලන්සියා සමග කුළුපග වුණේය. මුදල් නැති බොහෝ අවස්ථාවල ලන්සියා ධර්මසිරිට හෙරොයින් ණයට ලබා දුන්නේය.

ණය මුදලට ලබා ගත් හෙරොයින් ප‍්‍රමාණය දිනෙන් දින ඉහළ යද්දී ධර්මසිරිට ණයට හෙරොයින් දීම නතර කිරීමට ලන්සියා තීරණය කළේය.

මේක හැමදාම කරන්න බැහැ. අපිත් සල්ලි දීලා මේ බඩු ගේන්නෙ. අනික සල්ලිවලට බඩු ගන්න ඕනෙ තරම් මිනිස්සු ඉන්නවා. ඒ නිසා මීට පස්සෙ ණයට හෙරොයින් දෙන්න බැහැ. ණය පොත ඉහළ යෑම නිසා කෝපයට පත් වූ ලන්සියා ධර්මසිරිට නිතර බැන වැදුණේය.

අනේ ලොක්කා එහෙම කරන්න එපා මං හැමදාම ණය බේරනවනෙ. පඩි ගත්ත ගමන්ම සේරම ගෙවලා දාන්නම් ධර්මසිරි හෙරොයින් ඉල්ලා ලන්සියා ඉදිරියේ නිතර කන්නලව් කළේය. ලන්සියාගෙන් හෙරොයින් නොලැබුණු තැන උගේ ගෝලයන් මුණගැසී ණයට හෙරොයින් ලබා ගන්නට ධර්මසිරි කටයුතු කළේය.

එහෙත් ඒ සෙල්ලම ද වැඩි කාලයක් කරගෙන යන්නට ධර්මසිරිට ඉඩ ලැබුණේ නැත. අවසානයේ ලන්සියා මෙන්ම උගේ ගෝලයන් ද ධර්මසිරිට හෙරොයින් ණයට ලබා නොදී පන්නා ගැනීමට කටයුතු කළහ.

ධර්මසිරි තම හෙරොයින් ජාවාරමට සම්බන්ධ කර ගැනීමේ සිතක් ලන්සියාට පහළ වන්නේ මේ අතරතුරදීය.

‘‘හරි උඹේ ඔය ණයට හිලව් වෙන්න මාත් එක්ක වැඩ කරපන්. හොඳට වැඩ කළොත් මං උඹට හොඳ ගානක් ගෙවනවා.’’ ලන්සියාගේ යෝජනාවට ධර්මසිරි එක පයින් කැමැති වුණේය. ඒ වනවිට හෙරොයින් පානය ගැන පමණක් නොව හෙරොයින් ජාවාරම පිළිබඳව ද හසල දැනුමක් ලබා ගෙන සිටි ධර්මසිරි ලන්සියා සමග එක්ව ජාවාරම් කරන්නට පටන් ගත්තේය.

කොළඹ නගරයේ පමණක් නොව කොළඹින් බැහැර ගාල්ල, මාතර, රත්නපුරය වැනි පළාත්වලට ද හෙරොයින් බෙදාහැරීමේ කාර්ය ධර්මසිරි විසින් සිදු කළේය.

හෙරොයින් ජාවාරමට සම්බන්ධ වීමෙන් පසු ධර්මසිරිගේ අතමිට සරුවන්නට පටන් ගත්තේය. හිතේ හැටියට හෙරොයින් පානය කිරීමේ අවස්ථාව ද ඔහුට ලැබුණේය. ඇඟලූම් කර්මාන්ත ශාලාවේ රැකියාවට පයින් ගැසූ ධර්මසිරි ලන්සියා සමග එක්ව හෙරොයින් ජාවාරම දිගටම කරගෙන යන්නට පටන් ගත්තේ ඉන් පසුවය.

හෙරොයින් ජාවාරම හරහා මොරටුව පාතාලයට ද සම්බන්ධ වූ ධර්මසිරි විවිධ අපරාධවලට ද සම්බන්ධ වුණේය. ධර්මසිරි පෙරේරා රත්මලානේ ධර්මේ ලෙස පාතාලයේ භෞතිස්ම ලබන්නේ ඉන් පසුවය.

ගොනාකෝවිලේ රොහා සහ ලන්සියා අතර පාතාල ගැටුම් ඉතාම උග‍්‍ර තත්ත්වයට පත්ව තිබුණේය. ගොනාකෝවිලේ රොහා ඒ වන විට විශාල දේශපාලන බලයක් ගොඩනඟාගෙන සිටියේය. රටේ ඉහළම දේශපාලනඥයන් කීපදෙනෙකුගේම සුවච කීකරු ගෝලයකු බවට පත්ව සිටි රොහා මොරටුවේ ජනප‍්‍රිය දේශපාලනඥයකුගේ ද සමීපතම ගෝලයා බවට පත්ව සිටියේය.

මේ දේශපාලන හයිය නිසා රොහා ලන්සියාට වඩා ගව් ගණනක් ඉදිරියෙන් සිටිමින් සිය පාතාල බලය ව්‍යාප්ත කළේය. එහෙත් ලන්සියා ද රොහාගේ මේ දේශපාලන බලය ඉදිරියේ දණ නැමුවේ නැත. ඒ වන විට ලන්සියාගේ සොහොයුරා වූ අංජු ද ඔහුගේ කල්ලියට එක්ව සිටියේය. හෙරොයින් ජාවාරම හරහා පාතාලයට අත්පොත් තැබූ ධර්මසිරි පෙරේරා නොහොත් රත්මලානේ ධර්මේට ද ඒ වන විට ලන්සියාගේ කල්ලියේ සැලකිය යුතු ස්ථානයක් හිමිවිය.

ලන්සියා සහ රොහා මෙහෙයවූ පාතාල කල්ලි දෙක අතර ගැටුම් උත්සන්න වුණේය. මේ ගැටුම්වල ප‍්‍රතිඵලයක් ලෙස

ගොනාකෝවිලේ රොහා ලන්සියා ඝාතනය කරන්නේ මොරටු පාතාල පුරයම උණුසුම් කරමින් ය.

නඩුවකට ඉදිරිපත් වීම සඳහා මහර අධිකරණය වෙත පැමිණ සිටි ලන්සියා සිය බිරිඳ සමග‘ ආපසු යන්නට සූදානම් වෙද්දී එහි කඩාවැදුණු ගොනාකෝවිලේ රොහා ඔහුට වෙඩි තබා ඝාතනය කර පලා ගියේය.

තම පාතාල කල්ලියේ නායකයා ලෙස කටයුතු කළ ලන්සියා ඝාතනය කිරීම අංජුට ධර්මසිරි ඇතුළු පාතාල සගයන්ට එල්ල වූ මරු පහරක් විය. ලන්සියා ඝාතනය වීමෙන් පසු ඔහු මෙහෙයවූ කල්ලියට නායකත්වය දීමට ඉදිරිපත් වුණේ අංජුය. ලන්සියාගේ සොහොයුරා වන අංජු එතැන් පටන් මත්ද්‍රව්‍ය ජාවාරම මෙන්ම පාතාල ක‍්‍රියාකාරකම් කරගෙන යන්නට පටන් ගත්තේය.

රොහාට මොන දේශපාලන හයිය තිබ්බත් ඌව ඉවරයක් කරලා දාන්න ඕනෙ. ඌ එක්ක ගනුදෙනු කරන හැම එකෙක්ම නැති කරලා දැම්ම දාට තමයි මට නින්ද යන්නේ. රොහා මගේ අයියව මරලා කර ගත්තෙ ලොකු විනාශයක්. අංජු ඒ වන විට තම කල්‍යාණ මිතුරු මෙන්ම පාතාල සගයා බවට පත්කර ගෙන සිටි රත්මලානේ ධර්මේ සමඟ කීවේය.

‘‘අංජු උඹ බයවෙන්න එපා. මම හැම දේකටම උඹත් එක්ක ඉන්නවා. අපි කොහොම හරි රොහාව ඉවරක් කරලා දාමු.’’

ධර්මසිරි අංජුගේ සිත සැනසුවේය. ඒ වන විට ගොනා කෝවිලේ රොහා ඉතාම ප‍්‍රබල තත්ත්වයක පසුවුණේය. දේශපාලන හයිය මෙන්ම මුදල් ශක්තිය අතින් ද රොහා සිටියේ ඉහළ තත්ත්වයකය.

‘‘රොහාට රිදෙන්න අපි ඌ එක්ක සම්බන්ධකම් තියන දෙතුන්දෙනෙකුට ගහලා දාමු. නැත්නම් අපි වැටිලා කියලා, රොහා හිතාගෙන ඇති. අපේ බලේ පෙන්නන්නත් එක්ක වැඩ දෙක තුනක් දෙන්න ඕනෙ...’’

අංජු රොහාගෙන් පලිගන්නා ආකාරය පිළිබඳව ධර්මසිරි සමඟ නිතර සාකච්ඡා කළේය. ලන්සියා ඝාතනයට ලක්වීමෙන් පසු ඔහුගේ සොහොයුරා අංජු පාතාල කල්ලිය මෙහෙයවීමේ කටයුතු භාරගෙන සිටින බව ඒ වන විට රොහා දැන සිටියේය.

රොහා අංජුට පණිවිඩ පිට පණිවිඩ යවමින් මරණ තර්ජන කළේය. ‘‘උඹේ අයියට වෙච්ච දේමයි උඹටත් වෙන්නේ. දන්නවනෙ මට මේ ඒරියා එකේ කරන්න බැරි දෙයක් නැහැ. උඹ ඔය සෙට් එක අතඇරලා පණ බේරගෙන හිටපං. නැත්නම් උඹටත් අයියා ගිය තැනට යන්න වෙයි වැඩිකල් යන්න ඉස්සර.’’

රොහාගේ තර්ජන ගර්ජන හමුවේ අංජු දැඩි ලෙස කෝපයට පත් වුණේය. එහෙත් රොහාගේ කල්ලිය සමඟ හැප්පීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බව අංජු මෙන්ම ධර්මසිරි ද හොඳින් දැන සිටියහ. තමාට එල්ල වී තිබෙන මරණ තර්ජන පිළිබඳව අංජු දිගින් දිගටම සිතන්නට වුණේය. ඔහු නිතරම මේ පිළිබඳව ධර්මසිරි සමඟ සාකච්ඡා කළේය.

රොහාගෙන් පලිගන්න නම් අපි ජීවත්වෙලා ඉන්න ඕනේ. රොහා කොයි වෙලාවක හරි මාව නැති කරලා දැම්මොත් අපේ ප්ලෑන් සේරම ඉවරයි. ඒ නිසා මං ටික කාලෙකට රටින් පනිනවා. උඹ මෙහෙ වැඩ ටික බලාගෙන හිටපන්.

අංජු තම ප‍්‍රධානම පාතාල සගයා වන ධර්මසිරිට කීවේය. ධර්මසිරිද අංජුගේ යෝජනාව අනුමත කළේය.

උඹේ ප්ලෑන් එක හරි. මේ වෙලාවේ ටිකක් මාරුවෙලා ඉන්න ඕනෙ. එහෙම නොවුණොත් අනිවාර්යයෙන් ම රොහා අපි දෙන්නවත් මරනවා. මෙහෙ වැඩ ටික මං බලාගන්නම්. උඹට තියෙන්නේ කොහෙ හරි රටකට පැනලා මේ වැඩ ටික හැඞ්ල් කරන්න.

ධර්මසිරි කීවේය. අංජු හොර රහසේම ඩුබායි රාජ්‍යයට පලා යන්නේ ඉන් පසුවය. අංජු රටින් බැහැර වූ පසු පාතාල කල්ලිය මෙහෙයවීමේ සම්පූර්ණ බලය ලැබෙන්නේ ධර්මසිරි වෙතය. ණයට හෙරොයින් ඉල්ලා ලන්සියා ඉදිරියේ පිංසෙන්ඩු වෙමින් සිටි ධර්මසිරි පෙරේරා රත්මලානේ ධර්මේ ලෙස පාතාලයේ චන්ඩියකු වන්නට පටන් ගත්තේ ඉන් පසුවය.

ඩුබායි රාජ්‍යයේ සිට සිය පාතාල කල්ලිය මෙහෙයවූ අංජු රොහා ඝාතනය කිරීම සඳහා විවිධ සැලසුම් සකස් කරන්නට පටන් ගත්තේය.

රොහා එක්ක සම්බන්ධකම් තියෙන දෙතුන්දෙනෙක් ඉන්නවා. උන්ව අයින්කරලා දාමු. එතකොට රොහාට උණ ගැනෙනවා.

ධර්මසිරි අංජුට කීවේය. කි‍්‍රකට් කී‍්‍රඩක ධනංජය සිල්වාගේ පියා වූ රංජන් ද සිල්වා ඝාතනය කිරීමට අංජු සහ ධර්මසිරි සැලසුම් සකස් කරන්නේ ඉන් පසුවය. ඩුබායි රාජ්‍යයේ සිටි අංජු මේ ඝාතනය සඳහා උපදෙස් සහ මුදල් ලබා දුන්න ද ප‍්‍රහාරයේ සියලූ සැලසුම් සකස් කරන්නේ රත්මලානේ ධර්මේ විසින් ය.

රංජන් සිල්වාට ගහපු ගමන් මුළු ලංකාවම ඇවිස්සෙනවා. ඒ වෙලාවේ උඹ ලංකාවේ ඉන්න එක ඇඟට ගුණ නැහැ. මම උඹවත් ඩුබායිවලට ගෙන්න ගන්නම්. පාස්පෝට් එකයි ටිකට් එකයි හදාගනින්. අනිත් වැඩ ටික මං බලා ගන්නම්.

අංජු ඩුබායි රාජ්‍යයේ සිට ධර්මසිරිට කීවේය. අංජුගේ උපදෙස් මත ධර්මසිරි ඩුබායි රාජ්‍යයට පැන ගැනීමට අවශ්‍ය සියලූ කටයුතු සූදානම් කර ගත්තේය.

රංජන් සිල්වා ඝාතනය කළ පසු දිනම ඩුබායි රාජ්‍යයට පලායෑමට ගුවන් ටිකට්පතක් ද ලබාගත් ධර්මසිරි ඝාතන සැලසුමට අවශ්‍ය කටයුතු ද සූදානම් කර ගත්තේය.

2018 වර්ෂයේ මැයි 24 වැනිදා රාත‍්‍රිය ඉතාම දීර්ඝ එකක් විය.

විදෙස් කි‍්‍රකට් සංචාරයක් සඳහා යෑමට ධනංජය සිල්වා සූදානම් වෙමින් සිටියේය. ධනංජයගේ නිවස ද එදින බෙහෙවින් කලබලකාරී විය. එදින රාති‍්‍රයේ රත්මලානේ ධර්මේ සිය පාතාල කල්ලියේ සගයන් කීපදෙනකු සමග මෝටර් රථයකින් රංජන් සිල්වාගේ නිවස අසලට ආවේය. මෝටර් රථය පදවාගෙන ආවේ ධර්මසිරිය.

තම පාතාල සගයන්ට අවශ්‍ය උපදෙස් ලබාදුන් ධර්මසිරි රන්ජන් සිල්වා ඝාතනය කිරීමට නියෝග ලබා දුන්නේය. පාතාල මැරයන් රන්ජන් සිල්වාගේ නිවසට කඩාවදින විට ඔහු සිටියේ මිදුලේ බංකුවක ඉඳගෙනය.

මැරයන් රංජන් සිල්වා සහ ඔහු සමඟ සිටි තවත් කීපදෙනකුට වෙඩි තබා නිරුපද්‍රිතව පලා ගියහ.

තම සැලසුම ඒ ආකාරයෙන්ම කි‍්‍රයාත්මක කළ ධර්මසිරි පසුදිනම ඩුබායි රාජ්‍යයට පැන ගත්තේය.

රංජන් සිල්වා ඝාතනයෙන් මුළු රටම ගිනි ගත්තේය. ඝාතනයේ සැකකරුවන් සොයා පොලිසිය මෙහෙයුම් ආරම්භ කරද්දී එහි මහ මොළකරු රත්මලානේ ධර්මේ සිටියේ ඩුබායි රාජ්‍යයේ සුඛෝපභෝගී හෝටලයකය. රොහා සමඟ සම්බන්ධකම් පැවැත්වූ තවත් කීපදෙනකුට ද වෙඩි තැබීමට අංජු සහ ධර්මසිරි කටයුතු කළහ. ඒ අතර දේශපාලනඥයන් සහ ව්‍යාපාරිකයෝ ද වූහ.

අපි කොහොම හරි අපේ ප‍්‍රධානම සතුරා නැති කරල දාන්න ඕනෙ. එහෙම නොකළොත් අපට කවදාවත් ආපහු ලංකාවට යන්න වෙන්නෙ නැහැ. ඒ නිසා කීයක් ගියත් කමක් නැහැ රොහාව පරලොව යවන්න ඕනෙ. අංජු තම පාතාල සගයා වූ ධර්මසිරිට කීවේය. අංජු සිය ෆේස්බුක් ගිණුම හරහා රොහාට තර්ජනය කළේය. රොහාගේ මරණය වෙනුවෙන් කෝටි 3 ක මුදලක් ගෙවීමට ද තමන් සූදානම් බව අංජු තම ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබුණේය.

ලන්සියා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව සිටි රොහා ඒ වන විට සිටියේ බන්ධනාගාරගතවය. බන්ධනාගාරය තුළ දී රොහා ඝාතනය කිරීම සඳහා අංජු සහ ධර්මසිරි සැලසුමක් සකස් කළේය. මගේ ගෝලයො කීපදෙනෙක් ඉන්නවා රිමාන්ඞ් එකේ. ඒ අය හරහා අපට යමක් කරන්න පුළුවන්. ලොකු ගාණක් දීලා හරි අපි රොහාව ඉවරයක් කරල දාමු එහෙම නොවුණොත් අපට හැමදාම මෙහෙට වෙලා තමයි ඉන්න වෙන්නෙ.

ධර්මසිරි තම කල්‍යාණ මිතුරු වූ අංජුට කීවේය. බන්ධනාගාරය තුළ දී රොහා ඝාතනය කිරීමේ සැලසුමක් සකස් වන්නේ ඉන් පසුවය.

සැලසුමේ මහ මොළකරු වූයේ ධර්මසිරිය. බන්ධනාගාරය තුළ සිටි තම ගෝලයන් දෙදෙනකුට රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් ලබාදී රොහා ඝාතනය කිරීමේ සැලසුම සකස් කළේය.

සයනයිඞ් විෂ ශරීරගත කිරීමෙන් රොහා ඝාතනය කිරීමට සැලසුම් සකස් කෙරිණි. ඒ සඳහා අවශ්‍ය කරන සයනයිඞ් අඩංගු කුප්පියක් ද බන්ධනාගාරය වෙත යැවීමට අංජු සහ ධර්මසිරි කටයුතු කළහ. මොවුන්ගේ සැලසුම වී තිබුණේ සයනයිඞ් විෂ ඉන්ජෙක්ෂන් එකක් මාර්ගයෙන් රොහාට ශරීරගත කිරීමය.

එහෙත් මේ සැලසුම කි‍්‍රයාත්මක කිරීමට දින දෙක තුනකට උඩදී සයනයිඞ් විෂ අඩංගු කුප්පිය බන්ධනාගාර නිලධාරීන් අතට පත් වුණේය. සැලසුම කි‍්‍රයාත්මක කිරීමට සූදානමින් සිටි රැඳවියන්ගෙන් ප‍්‍රශ්න කිරීමේදී රොහා ඝාතන සැලසුම හෙළි විය.

රොහා මරා දැමීමට ගත් උත්සාහය ව්‍යර්ථ වීම පිළිබඳව අංජු සහ ධර්මසිරි සිටියේ දැඩි සිත්තැවුලෙන් යුතුවය.

සයනයිඞ් විෂ ශරීරගත කර රොහා ඝාතනයට ගත් උත්සාහය ව්‍යර්ථ වීමෙන් පසු ධර්මසිරි තවත් සැලසුමක් සකස් කළේය.

රොහාව ඇතුළෙදි මරන්න අමාරුයි මොකද ඌට ලොකු සෙට් එකක් ඇතුළෙ ඉන්නවා. රොහා උසාවියට ගේන කොට මඟදි ගහලා දාන්න ඕනෙ. අපි ඒකට ප්ලෑන් එකක් හදමු. ධර්මසිරි අංජුට කීවේය. රොහා ගල්කිස්ස අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට රැගෙන එද්දී ඔහුට ප‍්‍රහාරයක් එල්ල කිරීමට අංජු සහ ධර්මසිරි සැලසුමක් සකස් කළහ.

අංජුගේ කල්ලියේ සාමාජිකයකු වන රෝසා නමැති මැරයාට මේ කාර්ය භාර දීමට කටයුතු කළේ ධර්මසිරිය.

රොහා අධිකරණ භූමිය වෙත රැගෙන එද්දී එහි රැඳී සිට වෙඩි තබා ඝාතනය කිරීම ඔවුන්ගේ සැලසුම විය.

ගල්කිස්ස උසාවිය එළිමහන වැඩිපුර චෙක් වෙන්නෙ නැහැ. රොහා බන්ධනාගාර බස් එකෙන් බස්සගෙන එද්දි එළියෙදි ඌට ගහන්න ඕනෙ. වැඬේට ඕන කරන ආයුධ ටික අපි ලෑස්ති කරල දෙන්නම්. ධර්මසිරි සහ අංජු රෝසාට කියා සිටියහ. ප‍්‍රහාරය එල්ල කිරීම සඳහා සූදානමින් සිටියේ රෝසාය. කකුල්වල කලවා ප‍්‍රදේශ දෙකේ පිස්තෝල දෙකක් බැඳගෙන ගොස් රොහා රැගෙන එද්දී ඔහුට වෙඩි තබා ඝාතනය කිරීම රෝසාගේ සැලසුම විය.

පරීක්‍ෂාවට ලක් නොවී ගල්කිස්ස අධිකරණ භූමිය වෙත ඇතුළුවීමට රෝසා සැලසුමක් සකස් කළේය. රත්මලාන ප‍්‍රදේශයේ දරුවන් පිරිසක් කි‍්‍රකට් තරගයක් නැරඹීම සඳහා රැගෙන යෑමට රෝසා කටයුතු කළේය.

දරුවන් පිරිසක් සමඟ යද්දී පරීක්‍ෂාවකට ලක් නොවන නිසා ඔවුන් සමඟ අධිකරණ භූමියට ඇතුළු වීම රෝසාගේ සැලසුම විය. මැච් එක බලන්න යන්න ඉස්සර මට ගල්කිස්ස උසාවියට පොඞ්ඩක් යන්න වෙනවා. මගේ යාළුවෙක් හම්බවෙලා විනාඩියෙන් ආපහු එනවා. රෝසා දරුවන් ද සමඟ ගල්කිස්ස අධිකරණ භූමියට ඇතුළු වූහ. රෝසා සිතුවේ දරුවන් පිරිසක් සමග අධිකරණ භූමියට ඇතුළු වෙද්දී පරික්‍ෂාවට ලක් නොවනු ඇතැයි කියාය.

එහෙත් එදින ගල්කිස්ස අධිකරණය දැඩි සෝදිසි කිරීමකට ලක් කෙරිණි. පොලිස් නිලධාරීහු රෝසා ද පරීක්‍ෂා කළහ. කලවා ප‍්‍රදේශයේ බැඳගෙන තිබූ පිස්තෝල දෙක පොලිස් නිලධාරීන් අතට පත් විය.

ඒ මොහොතේ රෝසා පලා ගියද පසුව ඔහු පොලිසියට කොටු වුණේය. අධිකරණයට රැගෙන එද්දී රොහා ඝාතනය කිරීමට අංජු සහ ධර්මසිරි සකස් කළ දෙවැනි සැලසුම ද ව්‍යර්ථ වුණේ ඒ ආකාරයටය.

ගොනා කෝවිලේ අංජු පාතාල කල්ලියට නායකත්වය දුන්න ද කල්ලිය මෙහෙයවීම් කටයුතු සිදු වුණේ ධර්මසිරිගේ අභිමතය පරිදිය. රත්මලාන, මොරටුව, ගල්කිස්ස, ගොනාකෝවිල, බඩෝවිට ප‍්‍රදේශය පුරා හෙරොයින් බෙදාහැරීමේ කටයුතු මෙහෙයවනු ලැබුවේ ධර්මසිරිය.

හෙරොයින් ව්‍යාපාරයට අමතරව ව්‍යාපාරිකයන්ගෙන් මාසිකව ලක්‍ෂ ගණනින් කප්පම් මුදල් ලබා ගැනීම ද ධර්මසිරි ජයටම කරගෙන ගියේය. ඩුබායි රාජ්‍යයේ සිට දුරකථන මාර්ගයෙන් ධනවත් ව්‍යාපාරිකයන්ට තර්ජනය කර කප්පම් මුදල් ලබා ගැනීමට ධර්මසිරි කටයුතු කළේය.

එසේ කප්පම් මුදල් ලබා නොදෙන පුද්ගලයන්ට පහර දීම පැහැරගෙන යෑම විවිධ හිංසනයන් කිරීම සඳහා ධර්මසිරි තම ගෝලබාලයන් යොදා ගත්තේය. ගොනාකෝවිලේ අංජු සහ ධර්මසිරි අණක් ගුණක් නැති පාතාල මැරයන් බව දන්නා නිසා ව්‍යාපාරිකයන් කප්පම් මුදල් ලබාදී ජීවිත ආරක්‍ෂා කර ගැනීමට කටයුතු කළහ.

මොරටුව සොයිසාපුර ප‍්‍රදේශයේ ප‍්‍රධාන පෙළේ අවන්හලක් පවත්වාගෙන ගිය ලසන්ත නමැති ව්‍යාපාරිකයාගෙන්ද ධර්මසිරි විශාල මුදලක් කප්පම් වශයෙන් ඉල්ලා සිටියේය. එහෙත් ධර්මසිරිගේ තර්ජන ගර්ජනවලට බියනොවූ ලසන්ත ඔහුට කප්පම් මුදල් ලබාදීම ප‍්‍රතික්‍ෂේප කළේය.

රත්මලානේ ධර්මේ නමැති මේ පාතාල මැරයාගේ පාපතර කි‍්‍රයාවන් ගැන මුළු රටම දැන ගත්තේ මොරටුවේ ලසන්ත නමැති ව්‍යාපාරිකයාගෙන් කප්පම් ඉල්ලා සිටීමේ සිද්ධියත් ඊට පසුව සිදුවීම් මාලාවත් සමගය.

දීර්ඝ කාලයක සිට ව්‍යාපාර කරගෙන ගිය නිසා ලසන්ත ප‍්‍රදේශයේ උසස් නිලධාරීන් කීප දෙනෙකුම ඇසුරු කළේය. ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටි ධර්මසිරි ලසන්තට දිගින් දිගටම තර්ජනය කරමින් කප්පම් මුදල් ඉල්ලා සිටියේය. කප්පම් මුදල් නොදීම නිසා ලසන්ත කෙරෙහි දැඩි වෛරයකින් පසුවූ ධර්මසිරි ඔහුට අයත් සොයිසාපුරයේ තිබූ අවන්හලට පහරදී විනාශ කර දැමීමට තීරණය කළේය.

ලසන්තගේ අවන්හලට ප‍්‍රහාර එල්ල කිරීමේ කොන්ත‍්‍රාත්තුව ධර්මසිරි විසින් ලබාදුන්නේ කොණ්ඩ ජනියා නමැති පාතාල මැරයා වෙතය.

මේ තර්ජන කිරීම්වලින් පසුව එක්තරා දිනයක රාති‍්‍රයේ කොණ්ඩ ජනියා ඇතුළු පාතාල මැරයන් පිරිසක් ලසන්තට අයත් සොයිසාපුරයේ අවන්හලට කඩා වැදුණාහ.

මැරයන් අවන්හලේ දේපොළවලට ප‍්‍රහාර එල්ල කරමින් ඒවා විනාශකර දැමූහ. ඒ වන විට සේවයේ යෙදී සිටී සේවකයන් පිිරිසක්ද පාතාල මැරයන්ගේ ප‍්‍රහාරයට ලක්ව තුවාල ලැබූහ. අවන්හලට රුපියල් ලක්‍ෂ ගණනක අලාභයක් සිදුකළ මැරයන් නිරුපද්‍රිතව පලා ගියහ.

ප‍්‍රහාරය එල්ලවී සුළු මොහොතකට පසු ධර්මසිරිගෙන් ලසන්තට දුරකථන ඇමතුමක් ලැබුණේය. පේනවා නේද උඹට කරපු දේ. ඕක ට‍්‍රයල් එකක් විතරයි. ඉස්සරහට ඔයිට වැඩිය දේවල්වලට මුහුණ දෙන්න වෙනවා. උඹ පරිස්සමින් හිටපන් මේවා පොලිසිය එහෙම දැන ගත්තොත් උඹට යහතින් ඉන්න දෙන්නේ නැහැ. ධර්මසිරිගේ තර්ජන ගර්ජන හමුවේ අසරණ වූ ලසන්ත කර කියා ගන්නට දෙයක් නොමැතිව දස අතේ කල්පනා කළේය. ව්‍යාපාරික ස්ථානය වසා දැමූ ලසන්ත ගෙවල් දොරවල්ද අතහැර දමා ආරක්‍ෂිත ස්ථානයක් සොයා ගියේ තම ජීවිතය ආරක්‍ෂා කර ගැනීමටය. පොලිසියට පැමිණිලි කිරීම තත්ත්වය තවත් බරපතළ වනු ඇතැයි ඔහු සිතුවේය. මේ ප‍්‍රහාරය එල්ලවී දින හයකට පසුව ගල්කිස්ස මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයාගෙන් ලසන්තට දුරකථන ඇමතුමක් ලැබුණේය. ගල්කිස්සේ එස්.එස්.පී. මහත්තයා කිව්වා ඇවිත් එයාව හම්බ වෙන්න කියලා.

මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයාගේ දැනුම්දීම මත ලසන්ත ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් පේ‍්‍රමරත්න මහතා හමුවීමට ගියේය. පැමිණිල්ලක් නොකළද ලසන්තට සිදුවී ඇති සියලූ අකටයුතුකම් ඒ වන විට රොහාන් පේ‍්‍රමරත්න මහතා දැන සිටියේය.

ලසන්ත ඔයා කිසි දේකට බය වෙන්න එපා. ආයෙත් බිස්නස් පටන් ගන්න මම ඔයාට හැම ආරක්‍ෂාවක්ම ලබාදෙනවා. රෙස්ටුරන්ට් එකටයි ගෙදරටයි මං පොලිස් ගාර්ඞ් එකක් දෙන්නම්. බලමු අපි කොහොමද මේකට මුහුණ දෙන්නෙ කියලා. රොහාන් පේ‍්‍රමරත්න මහතාගේ උපදෙස් මත ලසන්ත සිය අවන්හල නැවත විවෘත කළේය. ඒ වන විට පොලිස් කණ්ඩායම් කීපයක් ලසන්තගේ අවන්හලට සහ නිවසට ආරක්‍ෂාව ලබාදීමට යොදවා තිබුණේය.

ලසන්ත ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා අල්ලාගෙන තමන්ට පාඩමක් ඉගැන්වීමට උත්සාහ කරන බවට දැනගත් ධර්මසිරි දණ්ඩෙන් පහර කෑ නාගයකු මෙන් කෝපාවිශ්ඨ වුණේය. ධර්මසිරි ලසන්තගේ අවන්හලට නැවත ප‍්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කරන්නේ ඉන් පසුවය.

මත්ද්‍රව්‍ය ජාලයේ පහළ පෙළේ ව්‍යාපාරිකයන් කීප දෙනෙකු මේ ප‍්‍රහාරය සඳහා සම්බන්ධ කර ගන්නට ධර්මසිරි කටයුතු කළේය. ප‍්‍රහාරය සඳහා අවශ්‍ය කරන ටී-56 ගිනි අවිය සහ මිලි මීටර් 9 වර්ගයේ පිස්තෝලය පාතාල සාමාජිකයන් වෙත ලබාදීමට කටයුතු කරනු ලැබුවේද ධර්මසිරි විසින්ය.

අවන්හලට ප‍්‍රහාර එල්ල කර දින දෙක තුනක් ගත වන්නට මත්තෙන් නැවතත් ප‍්‍රහාරයක් එල්ල කිරීමට ධර්මසිරි කටයුතු කළේ ප‍්‍රසිද්ධියේම පොලිස් නිලධාරීන්ටද අභියෝග කරමින්ය. අවන්හල වෙත පොලිස් ආරක්‍ෂාව යොදා තිබියදීම එහි පැමිණි පාතාල මැරයන් ටී-56 අවි සහ පිස්තෝල යොදාගෙන ඊට දිගට හරහට වෙඩි තබා නිරුපද්‍රිතව පලා ගියහ.

මේ සිදුවීමෙන් මුළු රටම උණුසුම් වුණේය. අවන්හලට ප‍්‍රහාර එල්ල කරන ආකාරය මාධ්‍ය ඔස්සේ දිගින් දිගටම ප‍්‍රචාරය වන්නට පටන් ගත්තේය.

ධර්මසිරි නමැති පාතාල මැරයා ජංගම දුරකථනය ඔස්සේ ව්‍යාපාරිකයාට තර්ජනය කරන හඬ පට බොහොමයක් මාධ්‍ය ඔස්සේ සහ ෆේස්බුක් සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේද ප‍්‍රචාරය වුණේය. විදේශ ගතව සිටින තුට්ටු දෙකේ කුඩුකාරයකු උසස් පොලිස් නිලධාරීන්ට, ව්‍යාපාරිකයන්ට මේ ආකාරයට මරණීය තර්ජන එල්ල කිරීම පොලිසියට ප‍්‍රසිද්ධියේම කළ නිග‍්‍රහයක් විය.

ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටිමින් මෙරට පාතාලය මෙහෙයවන ධර්මසිරි පෙරේරා නමැති තුට්ටු දෙකේ පාතාල මැරයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය ජාත්‍යන්තර පොලිසියේ සහය ලබා ගැනීමට තීරණය කරන්නේ ඉන් පසුවය.

ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් පේ‍්‍රමරත්න මහතා විසින් අධිකරණය හරහා ධර්මසිරි පෙරේරා අත්අඩංගුවට ගැනීමට රතු වරෙන්තුවක් ලබා ගත්තේය.

ධර්මසිරි පෙරේරා නොහොත් රත්මලානේ ධර්මේ අත්අඩංගුවට ගැනීමේ ජාත්‍යන්තර පොලිස් මෙහෙයුම පටන්ගන්නේ ඉන් පසුවය. ඩුබායි රාජ්‍යයට වී සුර සැප විඳිමින් මෙරට අහිංසකයන් තලා පෙළා දමා තරුණයන්ට මත්ද්‍රව්‍ය පොවා රුපියල් කෝටි

ගණනින් කප්පම් මුදල් ලබා ගනිමින් සිටි ධර්මසිරි පෙරේරා නමැති පාතාල මැරයා ජාත්‍යන්තර පොලිසියට කොටුවන්නේ ඩුබායි අබුඩාබි නගරයේදීය.

ඒ වන විට ගොනාකෝවිලේ අංජු ඩුබායි රාජ්‍යයෙන් පිටවී සිිටියේය. ආරංචි මාර්ග පවසන්නේ අංජු මේ වන විට සිටින්නේ ඉතාලියේ කියාය. ඩුබායි රාජ්‍ය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් ධර්මසිරි පෙරේරා නමැති පාතාල මැරයා මෙරටට ගෙන ඒම සඳහා මේ වන විට දෙරට පොලිසි සහ විදේශ කටයුතු අමාත්‍යාංශ මට්ටමින් සාකච්ඡා පැවැත්වෙමින් තිබේ.

මෙවැනි තුට්ටු දෙකේ පාතාල මැරයන් මව් රටට ගෙන්වා මොවුන්ට මහජනතාවගේ මුදලින් කන්න බොන්න දී ඔවුන් බලා කියා ගැනීමෙන් ඵලක් නැත.

මෙරට නීතිගරුක පුරවැසියන්ගේ එකම පැතුම වන්නේ මෙවැනි පාපතරයන්ට මාකඳුරේ මධුෂ්ට අත්වූ ඉරණම අත්වනු ඇතැයි කියාය.

හේමන්ත රන්දුණු


Latest news

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook