එදාවේල දේශපාලනය පමණක් සිදු කරමින් 2021 අභියෝගයට මූණ දෙන්නේ කෙසේද ?
කොවිඩ් වසංගතය හමුවේ ප්‍රබල රටවල පවා ආර්ථිකය අඩපණ වෙමින් පවතී. ලබන වසරේ බොහෝ රටවල ආර්ථික වර්ධන වේගය ඍණ අගයක් ගනු ඇතැයි මේ වනවිට අනාවැකි පළවෙමින් පවතී. 2020ටත් වඩා 2021 වසර මේ ආකාරයෙන් බලද්දී අතිශයින් තීරණාත්මක වසරක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
අද වන විට ලංකාවට විදේශ විනිමය ගෙන එන ප්‍රධානම මාර්ගය වන විදේශ ශ්‍රමිකයන් දස දහස් ගණනකට රැකියා අහිමි වී මෙරට ගුවන් තොටුපළ යළි සක්‍රීය වෙන තෙක් හූල්ලමින් සිටිති. මේ නිසා රටේ විදේශ විනිමය සංචිතවලටද දැඩි බලපෑමක් එල්ල වී ඇත.
නමුත්, අවාසනාවකට මෙන් පක්ෂ විපක්ෂ භේදයකින් තොරව අපගේ නායකයන් සියලු දෙනාම පාහේ තවමත් මේ අභියෝගයට රටක් ලෙස සූදානම් විය යුතු යැයි සිතන බවක් පෙනෙන්ට නොමැත. එදාවේල දේශපාලනය පමණක් සිදු කරමින් 2021 අභියෝගයට මූණ දෙන්නේ කෙසේද ?, යන්න පිළිබඳව මෙතෙක් නිසි කතිකාවතක් ඇති වී නොමැත.
දැනට මෙම අභියෝගයට මුහුණ දීමට ගත හැකි සරලම විසඳුම වන්නේ අපනයනය වැඩි දියුණු කොට ආනයනය අවම මට්ටමේ පවත්වා ගෙන යෑමයි. නමුත්, අප රටක් ලෙස එම සරල විසඳුම හෝ ක්‍රියාත්මක කිරීමට සූදානම්ද ?
කොරෝනා රැල්ලේ එක් වින්දිතයෙකු වූ බ්‍රැන්ඩික්ස් ආයතනයට සහ ඒ සේවක සේවිකාවන්ට අපේ රටේ ජනතාව සහ ජනමාධ්‍ය එලවා එලවා පහර දුන්නේය. සිකරන ලද පරීක්ෂණ මගින් කොරෝනා රැල්ලේ ආරම්භය යුක්‍රේන ජාතික ගුවන් කාර්‍ය මණ්ඩලය සමග බැඳි ඇති බව හෙළිවී ඇති පසුබිමක පවා රටට සුවිශාල විදේශ විනිමය ප්‍රමාණයක් ගෙන එන මෙම ආයතනය වෙනුවෙන් පෙනී සිටින්නේ කවරෙක්ද ?. මෙසේ බ්‍රැන්ඩික්ස් ආයතනයට පහර දෙන පිරිස් අවසානයේ ලංකාවෙන් අපනයනය කරන්න බලාපොරොත්තු වන්නේ කොරෝනාද යන ප්‍රශ්නය ඇතැම් අවස්ථාවල ඇති වෙයි.
2018 වසර තුළදි ඇමරිකානු ඩොලර් බිලියන 5 ක් උපයාගත් අපි, 2025 වසර තුළදී ඇමරිකානු ඩොලර් බිලියන 8 ක ඉලක්කයක් කරා යෑමට බලාපොරොත්තු වෙමු. මෙම ඉලක්ක කරා යෑමට නම් බ්‍රැන්ඩික්ස් වැනි ආයතන ශක්තිමත් කිරීමට මහජනතාවගේ මට්ටමෙන්ම ක්‍රියාදාමයක් දියත් විය යුතුය.
ඇඟළුම් ක්ෂේත්‍රයට අමතරව ශ්‍රී ලංකාව රටක් ලෙස ඊ - ආර්ථිකයක් කරා වේගයෙන් ගමන් කළ යුතුය. නිදසුනක් ලෙස අන්තර්ජාලය හරහා දුරස්ථ සේවා සැපයීම අරමුණ කරගත් බී.පී.ඕ වැනි සේවා ප්‍රවර්ධනය කිරීමට වැඩි අවධානයක් යොමු විය යුතුය. බලවත් රටවල ආර්ථික කඩා වැටීම්වල ප්‍රතිඵලය වන්නේ රට තුළ සිදු කරන දුරස්ථ සේවා වඩාත් ඵලදායීව සහ අඩු මිලට කරගැනීමට දියුණු වෙමින් පවතින ආර්ථික හිමි රටවල් කරා යොමුවීමයි. එහිදී නිදහස් අධ්‍යාපනයෙන් සහ තාක්ෂණික සාක්ෂරතාවයෙන් ඉහළ මට්ටමක සිටින අපේ රටේ මානව සම්පත සුවිශාල වැඩ කොටසක් කිරීමට නියමිතය.
මීට අමතරව අපේ ගොවි, ධීවර සහ පශු කර්මාන්ත සිදුකරන ආකාරය රැඩිකල් මට්ටමේ වෙනස්කම්වලට භාජනය විය යුතුය. පරිප්පු වෙනුවට බඩ ඉරිඟු කන්න වැනි හුදු ගැලරිය පිනවන ප්‍රකාශ වලට පමණක් සීමා නොවී මහ පොළොවේ යථාර්තයක් කරගත හැකි සිහින දැකිය යුතුය.
මෙහිදි මැටි කර්මාන්ත ඇමතිවරයාගේ සේවය පැසසුමට ලක් විය යුතුය. සාමාන්‍යයෙන් මැටි වැඩ යනුවෙන් හඳුන්වන්නේ මෝඩ වැඩ ය. නමුත් මේ අවස්ථාවේ දුරදිග බලා වැඩකරන බවක් පෙනී යන්නේ මැටි අමාත්‍යවරයා පමණි. ඔහු ලෙසම අනෙකුත් ඇමතිවරුන්ද වැඩ කළ යුත්තේ ආනයනය අවම කිරීමේ සහ අපනයනය ඉහළ දැමීමේ ක්‍රියාවලියටය. එසේ නොමැති වුවහොත් 2021 වසරේදි ශ්‍රී ලංකාවට හිඟාකෑමට වනු නොඅනුමානය. ඊටත් වඩා ගැටලුව වනු ඇත්තේ හිඟා කන අපට හිඟමන් දීමට පවා කිසිවෙක් ඉතිරි නොවීමයි.