කොරෝනා පළමු රැල්ලට පස්සේ නැවත වතාවක් කොරෝනා පැතිරයන තැනට පත්වෙද්දී ඇත්තටම, ඊට වගකියන්න ඕන කවුද ? කොරෝනා ගැන බරපතලට නොහිතුව ජනතාව පූර්ව ආරක්ෂණ උපාය මාර්ගයන් අනුගමනය නොකර සිටියාද ? නැත්නම්, ජනතාව ඒකරාශී වන තැන්වලදී එබඳු පූර්ව ආරක්ෂණ ක්‍රමවේද නිසිලෙස පැවතුණේ නැත්ද ? කියන කාරණය නැවත වතාවක් ප්‍රශ්න කරන්නට සිද්ධ වෙනවා.
කොවිඩ් 19 වසංගතය තත්ත්වය හමුවේ වුණත් වාර්ෂිකව දියත්වන කොළඹ පොත් ප්‍රදර්ශනය මෙවරත් පහුගිය සැප්තැම්බර් මාසයේදී පැවැත්වුණා. විශාල පිරිසක් එක තැනකට ඒකරාශී වීමේදී ඇතිවෙන්න පුළුවන් භයානක තත්ත්වය ගැන සෞඛ්‍ය බලධාරීන් අඛණ්ඩව දැනුවත් කිරීම් කළා. ඒත්, සුපුරුදු විදියටම කොළඹ බුක් ෆෙයාර් එකට හතරවටින් කට්ටිය ආවා. මුහුණු ආවරණ පැළඳගෙන හිටියත්, මේ ජනගඟට එක්වුණු පොත් මිලදීගන්න ආව පිරිස මීටරේ දුරින්ම හිටියාද ?. ඒ විතරක් නෙමෙයි ජීවිත අවදානම ද නොතකා කුඩා දරුවන් පවා රැගෙන මාපියන් පොත් මිලදීගන්න එක්වෙලා හිටියා. අනෙක් අතට තමන්ගේ පාරිභෝගිකයින්ගේ සුරක්ෂිතතාව වෙනුවෙන් පොත් අලෙවි කරන අය කළේ මොනවද ?. තමන්ගේ වෙළඳ කුටි තුළ නිසි සෞඛ්‍ය ප්‍රමිතීන් අනුගමනය කරන්නට ඔවුන්ට පවා නොහැකි වුණා.
පොදු ප්‍රවාහන සේවාවන් නැවත යථා තත්ත්වයට පත්කිරීම
පළමු රැල්ල මැකී යද්දී, ජනමාධ්‍ය වලින් කොරෝනා ගැන කෙරුණු වාර්තාකරණය හීනවී යද්දී කොවිඩ් මාරයා ඇවිල්ලා ගියා කියලා හිත සනසාගත්තු අපේ ජනතාව ඊළඟට කළේ මොකක්ද ?. අප්‍රේල් 30 වැනිඳා ඉඳන් මාස දෙකක කාලයක් පුරාවට සමාජය තුළින් කොවිඩ් ආසාදිතයින් වාර්තා නොවීම නිසා ගම්පහ, කොළඹ වැනි ප්‍රදේශ වල ඉඳන් සෙසු නගර වලට ගමන්කරන පොදු ප්‍රවාහන සේවාව සුපුරුදු විදියට ජූනි මාසයේදී ආරම්භ වුණා. දුම්රිය වගේම බස් ගමනාගමනයත් මීට ඇතුළත් වුණා. මේ පොදු ජනතාව එකට ගැවසෙන ඒවගේම කොරෝනා පැතිරයන්න වැඩිම ඉඩකඩ තියෙන තැන්.
මීටරේ පරතරය තබාගැනීම, මුහුණු ආවරණ පැළඳීම, ආසන ගාණට පමණක් මගීන් ඇතුළත් කරගත යුතු බවට රජයෙන් උපදෙස් දුන්නත් ඒ දේවල් එලෙසම සිද්ධ වුණේ නැහැ. වෙනදට වඩා බස් රථ ධාවනය නොවෙද්දී මීටරේ පරතරේ පැත්තක දාලා එකට ගාල්වෙන්න මිනිස්සුන්ට සිද්ධ වුණා. කොරෝනා බිය තුරන් වෙලා ගිය නිසා මාස්ක් පාවිච්චියත් අමතක වෙලා ගියා. අනෙක් කාරණේ ජනතාව නිසි සෞඛ්‍ය ප්‍රමිතීන් අනුගමනය කරනවද කියලා හොයාබලන්න කෙනෙක් හිටියේ නැහැ. ඉතිං, මිනිස්සුන්ගේ බිය ඉබේම තුරන් වෙලා ගියා.
ජනතා නියෝජිතයින්ටත් සෞඛ්‍යාරක්ෂණ ප්‍රමිතීන් අමතක වෙලා
‘ඔවා දෙනු පරහට - තමා සම්මතයේ පිහිටා සිට‘ කියලා කතාවක් තියෙනවානේ. පාර්ලිමේන්තුවේදී මහා හයියෙන් කොවිඩ් 19 පරද්දන්න කතාකරන දේශපාලඥයින්ට පවා කොවිඩ් කියන්නේ මාරයෙක් බව අමතක වුණා. සමාජේ කියන තැන කොවිඩ් පැතිරීමේ අවධානමක් තවදුරටත් නැහැ කියලා ජනතාව වෙනුවෙන් තීරණ ගන්න දේශපාලඥයොත් විශ්වාස කළා. අධිකරණ අමාත්‍ය අලි සබ්රි මාස්ක් පැළඳගන්නේ නැතුව සැප්තැම්බර් 1 වැනිදා කළුතරදී ජන හමුවක් අමතමින් කිව්වේ ‘අද මාස්ක් නැතිව අපි ඔක්කොම එකට ඉන්නෙ ඇයි ? හේතුවක් තියෙනවා. සමාජයේ කිසිම සම්ප්‍රේෂණයක් වෙන්නෙ නෑ‘ කියලයි.
කොහොම වුණත්, මේ දවසෙම කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති හමුදාපති ශවේන්ද්‍ර සිල්වා කිව්වේ කොරෝනා නැවත වතාවක් අපේ රට තුළ ව්‍යාප්ත වීමේ අවදානම බැහැර කරන්න නොහැකි බවත් ජනතාව මුඛ ආවරණ නොපැළඳ ගමන් කරනවා දකින්න ලැබීමත් කණගාටුවට කරුණක් බවයි. සෞඛ්‍ය අංශවලින් ලබාදී තියෙන උපදෙස් අනුව කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග අඩුවකින් තොරව දිගටම පිළිපදිනා ලෙසත් ඔහු එහිදී ඉල්ලීමක් කළා.
අපි දිනුවද ?
කොරෝනා වසංගතය මැඩලන්න කටයුතු කරන රටක් විදියට ලංකාව සම්භාවනාවට ලක්වන බව අගෝස්තු මාසේ අග වෙද්දී පෙනුණත් ඒ වෙද්දී කොරෝනා මරණ 12 ක් වෙලා තිබුණා වගේම 2995 දෙනෙකුටත් කොරෝනා වැළඳිලා තිබුණා. මේ වගේ තත්ත්වයක් ඇතුළේ ආපන ශාලා, හෝටල්, කඩ සාප්පු වගේ ස්ථාන වල දුරස්ථභාවය හා කොවිඩ් මැඩලන්න හේතුවන සෞඛ්‍යාරක්ෂණ ප්‍රමිතීන් අනුගමනය කරන බව පිටතින් පේන්න තිබුණත් ඒවා ඇතුළට ගමන් කළොත් ඒ ප්‍රමිතීන් නිසිලෙස පිළිපදින බව නම් දකින්න ලැබෙන්නේ නැහැ. උදාහරණයක් විදියට ගත්තොත් දෑත් සෝදා, උණ තත්ත්වය පරීක්ෂා කර, මාස්ක් පැළඳගෙන මේ වගේ ස්ථාන වලට පැමිණිය යුතු බව අනිවාර්ය කර තිබුණත් ඒ ස්ථාන ඇතුළට ගියාම මේ එක ප්‍රමිතියක් වත් පවත්වාගෙන යන බව නම් දකින්න ලැබෙන්නේ නැහැ.
සැප්තැම්බර් අග සෞඛ්‍ය බලධාරීන් කළ අනතුරු ඇඟවීම අපි භාරගත්තද ?
පළමු රැල්ලේදී කොවිඩ් වැළඳුණු රෝගියෙකු මෙරට සමාජයෙන් වාර්තා වෙන්නේ අගෝස්තු 3 වැනිදා එවැනි තත්ත්වයක් හමුවේ මෙරටින් පිටරට රැකියා වලට ඇදීගිය පිරිස් නැවත පැමිණීමත් සමග කොවිඩ් රෝගීන් වාර්තාවීම සිද්ධවෙනවා. ‘සමාජය තුළ කොරෝනා පැතිරීම වැළැක්වීමේ පියවරක් ලෙස ක්‍රියාත්මක වන සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරන්න වගේම ගෝලීය වසංගතය තවමත් පැතිරෙමින් තියෙන බව ජනතාවට අමතක වී තිබෙන තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර පසුගිය සැප්තැම්බර් මාසේ අගභාගයේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පවසනවා. ඒවගේම කොරන්ටයින් මධ්‍යස්ථාන වල සිටින පිරිස් වැඩිවීමත් සමග නිවසේ ඉඳන්ම කොරන්ටයින් වීමේ කාලය වැඩි ඈතක නොවන බවත් ඔහු අනතුරු අඟවා සිටිනවා. ඔවුන් අනතුරු ඇඟවූ කාලය වැඩිකලක් නැතිවම උදාවෙන්නේ ආයතනික මට්ටමින්ද පූර්ව සෞඛ්‍යාරක්ෂණ ප්‍රමිතීන් අනුගමනය නොකිරීමේ විපාක අත්පත්කරදෙමිනුයි.
ඔක්තෝබර් මාසේ මුල් භාගයේදී හුදකලා කර තිබූ ප්‍රදේශ තරමක් ලිහිල් කළාම රට අනතුරේ වැටෙන්න තියෙන අවදානම වැඩි බවට අනතුරු ඇඟවීම් කෙරුණා. කරදර බලෙන් ඉල්ලා හිටින අයට මේ තත්ත්වය බොහොම වාසි සහගත වුණා. සති කීපයක් තිස්සේ කොරෝනා ආසාදිතවූවන් වාර්තා නොවීමෙන් පේන්නේ වසංගතය දැන් අවසන් වී ඇති බව නම් නොවෙන වග පැහැදිලි වුණා. කොරෝනා මැඩලූවා යැයි උදම් අනද්දී නවසීලන්තයේ කොරෝනා දෙවැනි රැල්ල පැනනැගුණේ මාස තුනක විරාමයකිනුත් පස්සේ යන වග අපේ රටේ මිනිස්සුන්ට අමතක වුණා. ඉතිං, ඉක්මන් වෙලා ජයග්‍රහණය සමරන්න ගියපු අපිට වුණු වැරදීමට ආයතනික මට්ටමිනුත් වගකීමක් දරන්න සිද්ධ වෙන බව මෙහිදී සිහිපත් කළයුතුයි.