ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රයත්නය සාර්ථක කර ගැනීමට අඛණ්ඩව උදව් කරන බවට දැන් දිවයිනට පැමිණ සිටින චීන මහජන සමූහාණ්ඩුවේ ඉහළ පෙළේ දූත පිරිසේ ප්‍රධානියා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට සහතික වෙයි.
චීන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා දැනටමත් බෙහෙවින් සතුටුදායක මට්ටමක පවතී. මේ මිත්‍රත්වය පවත්වා ගැනීමත්, වර්ධනය කර ගැනීමත් චීන ජනාධිපති ෂී ජිං පින් මැතිතුමාගේ ප්‍රමුඛතාවකි. චීනය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය ඇතුළු අන්තර්ජාතික වේදිකාවලදී ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් නොසැලී පෙනී සිටින බව ද චීන දූත පිරිසේ ප්‍රධානියා කියා සිටී.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩල සාමාජික සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විදේශ කටයුතු කොමිසමේ කාර්යාල අධ්‍යක්ෂ යං ජියෙෂි මහතා (Yang Jiechi) ප්‍රමුඛ සත් පුද්ගල දූත පිරිස අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රාජපක්ෂ මැතිතුමා හමු වූහ.
දිගු කලක සිට චීන විදේශ අමාත්‍යාංශයේ විවිධ තනතුරුවල සේවය කළ යං ජියෙෂි මහතා 2001-2005 කාලයේ අමෙරිකා එක්සත් ජනපදයේ චීන තානාපති ධූරයත්, 2007- 2013 කාලයේ විදේශ අමාත්‍ය ධූරයත් හෙබවීය. චීන පාලන තන්ත්‍රය තුළ ඔහු උප අගමැතිවරයෙකු ( Vice Premier) හා සමානය.
පසුගිය මහා මැතිවරණයේ දී අත්කරගත් විශිෂ්ඨ ජයග්‍රහණය පිළිබඳව ෂී ජින් පිං මැතිතුමාගේ සුබ පැතුම් රාජපක්ෂ මැතිතුමා වෙත පුද කළ යං මහතා තමා වසර 35කට පෙර භාෂා පරිවර්තකයෙකු ලෙස චීන දූත පිරිසක් සමග ශ්‍රී ලංකාවට පැමිණි බව සිහිපත් කළේය. රටවල් 04ක් ඇතුළත් සිය ආසියානු චාරිකාවේ ප්‍රථම රට ශ්‍රී ලංකාව බව සඳහන් කළ ඔහු චීන ජනාධිපතිතුමා ශ්‍රී ලංකාව සමග ද්විපාර්ශ්වික සබඳතා වර්ධනයට ඉහළ ප්‍රමුඛත්වයක් දී ඇතැයි පැවසීය.
චීන – ශ්‍රී ලංකා සබඳතාවල වත්මන් අවධිය ගැන සතුට පළ කරමින් සංවාදය ආරම්භ කළ ජනාධිපති රාජපක්ෂ මැතිතුමා චීනය බලයේ සිටින ආණ්ඩු ගැන වෙනසක් නැතිව ශ්‍රී ලංකාවට උපකාර කළ දිගුකාලීන මිතුරෙකැයි හැඳින්වීය. ත්‍රස්තවාදය පරාජය කිරීමට චීනයෙන් ඉමහත් සහයෝගයක් ලැබිණ. යුද්ධය අවසන් වීමෙන් පසු ද්විපාර්ශ්වික සබඳතා තවත් ඉහළ මට්ටමකට ළඟා විය. දිවයිනේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා චීනයෙන් ලැබුණු දායකත්වය එතුමා විසින් විශේෂයෙන් සිහිපත් කරනු ලැබීය.
“මහ පරිමාණ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති ගණනාවකට චීනය දායක වුණා. හම්බන්තොට වරාය, වරාය නගර ව්‍යාපෘතිය, දක්ෂිණ අධිවේගී මාර්ගය ඉන් කිහිපයක්. හම්බන්තොට වරායක් ඉදිකිරීම චීනයේ නොව ශ්‍රී ලංකාවේ අදහසක්. එය ඉහළ ආදායම් සහ රැකියා උත්පාදන විභවතාවක් සහිත ව්‍යාපෘතියක් බව අප තේරුම් ගත්තා. ඊට අරමුදල් සම්පාදනය කිරීමට චීනය ඉදිරිපත් වුණා. බොහෝ භූ දේශපාලන විශ්ලේෂණවල මේ ව්‍යාපෘති අර්ථ කතනය කරන්නේ ශ්‍රී ලංකාව චීනය ඇටවූ ‘ණය උගුලක’ සිරවීමක් ලෙස. එය එසේ නොවන බවත්, මේ මහා පරිමාණ ව්‍යාපෘති ජනතාවගේ ජිවන මට්ටම වර්ධනය කිරිමට ඉවහල් වන බවත්, සනාථ කරන්න මට අවශ්‍යයයි. ඒ සඳහා අපට උදව් කරන්න”, ජනාධිපතිතුමා චීන දූත පිරිසට පැවසීය.
ජනාධිපති ධූරයට පැමිණීමට පෙර 13 වරක් චීනයේ චාරිකා කළ තමාට චීනය අත්කරගෙන ඇති සංවර්ධනය ප්‍රගතිය සියැසින් දැකගැනීමට හැකි විණැයි ජනාධිපතිතුමා කීය. “ විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල විශාල සංවර්ධනයක් මා දුටුවා. මගේ ඉලක්කය ඊට සමාන සංවර්ධනයක් අපේ රටේ විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල ඇති කරන්න; ග්‍රාමීය ජනතාවගේ ජීවන මට්ටම දියුණු කරන්න. ඉදිරි සිව් වසර ඇතුළත වරාය නගර ව්‍යාපෘතියේ දෘශ්‍යමාන ප්‍රගතියක් දකින්න මම අපේක්ෂා කරනවා”, ජනාධිපතිතුමා අවධාරණය කළේය.
චීනය සමග වෙළෙඳාමේදී ශ්‍රී ලංකාවේ වෙළෙඳ හිඟය විශාල අගයක් ගන්නා බව පෙන්වා දුන් ජනාධිපතිතුමා එය අඩුකරනු පිණිස ශ්‍රී ලංකාවෙන් මිලදී ගන්නා භාණ්ඩ ප්‍රමාණය වැඩි කරන්නැයි දූත පිරිසේ නායකයාගෙන් ඉල්ලීමක් කළේය.
“ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශය ශක්තිමත්. ඔවුන් විවිධ භාණ්ඩ නිෂ්පාදනය කරනවා. ඒ සඳහා චීන වෙළෙඳපොළ විවෘත කරන්න. ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන මෙන් චීන ව්‍යාපාරිකයින් දිරිමත් කරන්න. ශ්‍රී ලංකාවේ සංචාරය සදහා චීන වැසියන් උනන්දු කරවන්න. ශ්‍රී ලංකාවේ තේ වෙන්දීසියට සහභාගිවීමට චීනයට හැකිනම් එය ආර්ථික ස්ථාවරත්වයට විශාල ශක්තියක්”, ජනාධිපතිතුමා පැවසීය. උසස් පෙළ සමත්වන ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ට විවෘතව ඇති උසස් අධ්‍යාපන ඉඩ ප්‍රස්ථා සීමාසහිත බව පැහැදිළි කළ ජනාධිපතිතුමා ඔවුන් උදෙසා තාක්ෂණ විශ්ව විද්‍යාලයක් ආරම්භ කිරීම චීනයට ශ්‍රී ලංකාවේ ආයෝජනය කළ හැකි ක්ෂේත්‍රයක් ලෙස හඳුන්වා දුන්නේය.
ජනාධිපතිතුමාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ අන්තර්ගත සංවර්ධන අරමුණු සපුරා ගැනීමට වචනයෙන් නොව ක්‍රියාවෙන්ම උදව් කිරීමට චීනය සුදානම් යැයි යං ජියෙෂි මහතා පැවසීය.
ශ්‍රි ලංකාව සමග බහුපාර්ශ්වික සහයෝගිතා වර්ධනයට සුදුසු ක්ෂේත්‍ර ගණනාවක් චීනය හඳුනාගෙන ඇත. දැනටමත් ආරම්භ කර ඇති මහා පරිමාණ ව්‍යාපෘති නිම කිරීමට අමරතව කෘෂිකර්මය, අධ්‍යාපනය, සංචාරක ව්‍යාපාරය, ජල සම්පාදනය, සෞඛ්‍යය, වෛද්‍ය සැපයුම්, නූතන තාක්ෂණය, ඩිජිටල් ආර්ථිකය, නිල් ආර්ථිකය ( Blue Economy) සහ ශ්‍රමික පුහුණුව ඉන් කිහිපයකි. චීන ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡා යළි පටන් ගැනීමටත්, හම්බන්තොට කර්මාන්තපුර යෝජනා ක්‍රමය ඉක්මණින් නිම කිරීමටත් සැලසුම් කර ඇතැයි ද චීන දූත පිරිසේ ප්‍රධානියා පැවසීය.
කොවිඩ් 19 උවදුර සාර්ථක ලෙස පාලනය කළ පසු ජනාධිපති රාජපක්ෂ මැතිතුමා නිල චාරිකාවක් සඳහා චීනයට එනු ඇතැයි ඉමහත් බලාපොරොත්තුවෙන් සිටින බවද යං ජියේෂි මහතා සඳහන් කළේය.
චීන අන්තර්ජාතික සහයෝගීතා සංවර්ධන අධ්‍යක්ෂ වෑං ෂියාඕ තාවෝ, චීන විදේශ අමාත්‍යාංශයේ සහාය අමාත්‍ය ඩෙං ලි, කොළඹ චීන තානාපති කාර්යාලයේ ප්‍රධානී හූ වෙයි, චීන විදේශ අමාත්‍යාංශයේ ආසියානු කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් චෙං සොං, විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ, චීනයේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත්කරනු ලැබ සිටින ආචාර්ය පාලිත කොහොන යන මහත්වරු සාකච්ඡාවට එක්ව සිටියහ.
– ජනාධිපති මාධ්‍ය අංශය
හිටපු චීන විදේශ අමාත්‍ය සහ වත්මන් කොමියුනිස්ට් පක්ෂ දේශපාලන කාර්යාංශයේ සාමාජික යැංග් ජියේචී (Yang Jiechi) මැතිතුමාගේ නායකත්වයෙන් යුත් ඉහළ පෙළේ චීන දූත පිරිස අද 2020.10.09 දින අරලියගහ මන්දිරයේදී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් හමු වූහ.
ගෝලීය කොරෝනා වසංගතයෙන් අනතුරුව චීන රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිසක් දකුණු ආසියානු කලාපයේ සංචාරයේ නිරත වන ප්‍රථම අවස්ථාව මෙය වේ.
කොවිඩ්-19 ගෝලීය වසංගතයට එරෙහිව සටන් කිරීම සහ ආර්ථික සබඳතා පුනර්ජීවනය කිරීම යන ක්ෂේත්‍රයන්හි ශ්‍රී ලංකා – චීන සහයෝගිතාවය තවත් ශක්තිමත් කිරීම උදෙසා මෙම හමුව පැවැත්විණි.
හිටපු චීන විදේශ අමාත්‍ය සහ වත්මන් කොමියුනිස්ට් පක්ෂ දේශපාලන කාර්යාංශයේ සාමාජික යැංග් ජියේචී (Yang Jiechi) මැතිතුමා ඇතුළු දූත පිරිස, පිළිගනිමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙසේ ද පැවසීය.
“යැංග් ජියේචී (Yang Jiechi) මැතිතුමා නැවත වතාවක් ශ්‍රී ලංකාවට පිළිගැනීමට ලැබීම ගැන ඉතා සතුටුයි. මම හිතනවා ඔබ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ ඉතා හොඳ සාකච්ඡාවකට එක්වන්නට ඇති කියා. අප සෑම විටම දෙරට අතර සමීප සහයෝගීතාවය ඉදිරියට පවත්වාගෙන යෑමට බලාපොරොත්තු වනවා” යැයි අග්‍රාමාත්‍යතුමා පෙන්වා දුන්නේය.
අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙසේ ද පැවසීය,
ගෝලීය කොරෝනා වසංගතයෙන් අනතුරුව චීන රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිසක් දකුණු ආසියානු කලාපයේ සංචාරයේ නිරත වන ප්‍රථම අවස්ථාව මෙයයි. මෙම සංචාරය තුළින් පවත්නා ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා යළි තහවුරු කිරීමට ශ්‍රී ලංකාවට හා චීනයට හැකිවීම ගැන මම සතුටු වෙනවා.කොවිඩ්-19 වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා ශ්‍රී ලංකාවට නොමසුරුව සහයෝගය දැක්වීම පිළිබඳව චීන රජයට මම කෘතඥතාව පළ කරනවා.
කොවිඩ්-19 වසංගතය හමුවේ ශ්‍රී ලාංකික පුරවැසියන් ආරක්ෂා කිරීම සඳහා පරිත්‍යාග කරන ලද ආරක්ෂක උපකරණ සහ වෛද්‍ය සැපයුම්වලට චීන රජයට ස්තූතිවන්ත විය යුතුයි.කොවිඩ්-19 වසංගත තත්ත්වයෙන් පසුව රට තුළ ඇති වූ ආර්ථික බලපෑමෙන් ගොඩ ඒමට බොහෝ දේ කළ යුතුයි.
අපේ රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා කටයුතු කිරීමේදී ආයෝජකයින් අතර විශ්වාසය නැවත ගොඩනගා ගැනීමට චීන රජය අතර පවත්නා අපගේ දිගුකාලීන මිත්‍රත්වය භාවිතා කිරීමට හැකි වනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා.
කොවිඩ්-19 වසංගත තත්ත්වයෙන් පසුව, රජය ලොව පුරා ආයෝජන පිළිගැනීමට උනන්දුවක් දක්වන බවත් එහිදී ප්‍රමුඛතාවය වන්නේ කොළඹ වරාය නගරය බවත් අග්‍රාමාත්‍යතුමා පැවසීය.
ශ්‍රී ලංකාවට පැමිණ ආයෝජන කිරීමට චීන සමාගම් දිරිමත් කිරීමට චීන රජයට හැකි වනු ඇතැයි බලාපොරොත්තු වන බව කී අග්‍රාමාත්‍යතුමා, එය අපනයන ආදායමක් ඇති කිරීමට මෙන්ම ශ්‍රී ලාංකිකයින්ට, විශේෂයෙන් තරුණ තරුණියන්ට රැකියා අවස්ථා නිර්මාණය කිරීමට උපකාරී වනු ඇතැයි විශ්වාසය පළ කළේය.
මේ තත්ත්වය හමුවේ, සංචාරක ක්ෂේත්‍රයට ගෝලීය වශයෙන් දැඩි ලෙස බලපෑම් ඇති වී ඇති බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යතුමා, සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව කටයුතු කරමින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නැවත ගොඩනැගීමට සහ ලොව පුරා සංචාරකයින් සඳහා ආරක්ෂිත සංචාරක ගමනාන්තයක් සැපයීමට ශ්‍රී ලංකාව උනන්දු වන බවද පැවසීය.
මෙම ගෝලීය වසංගතය අවසන් කිරීමේ සටන සහ ශ්‍රී ලංකාවේ ආර්ථික සබඳතා වර්ධනය කිරීම ඇතුළු වසංගතයෙන් මතු වන පොදු අභියෝගයන්ට විසඳුම් සෙවීම සඳහා සාමූහික විසඳුම් සෙවීමට චීන රජය සමඟ සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද අග්‍රමාත්‍යතුමා ප්‍රකාශ කළේය.
මෙහිදී හිටපු චීන විදේශ අමාත්‍ය සහ වත්මන් කොමියුනිස්ට් පක්ෂ දේශපාලන කාර්යාංශයේ සාමාජික යැංග් ජියේචී (Yang Jiechi) මැතිතුමා ද අදහස් පළ කළේය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මැතිවරණ ජයග්‍රහණයට සුබ පැතුම් එක්කරන බව පැවසූ යැංග් ජියේචී (Yang Jiechi) මැතිතුමා මහජන චීන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකාව අතර පවතිනුයේ ඵෙතිහාසික දැඩි මිත්‍රත්වයක් බව පෙන්වා දුන්නේය.
දෙරට අතර එම මිත්‍රත්වයේ බැඳීම මේ දක්වා යාවත්කාලීන වෙමින් පවතින බව සඳහන් කළ යැංග් ජියේචී (Yang Jiechi) මැතිතුමා කොවිඩ් -19 වසංගත තත්ත්වය පරාජය කිරීම වෙනුවෙන් රටවල් දෙකම එකට අත්වැල් බැද කටයුතු කරමින් සිටින බව සිහිපත් කළේය.
චීනය කොවිඩ්-19 පරාජය කිරීම වෙනුවෙන් අවශ්‍ය සහය ලෝක සෞඛ්‍ය සංවිධානයට නොමදව ලබා දෙන බවත්, ශ්‍රී ලංකාව කොවිඩ්-19 තත්ත්වය ඉතා විශිෂ්ට අයුරින් පාලනය කර ඇති බවත් යැංග් ජියේචී (Yang Jiechi) මැතිතුමා පැවසීය.
දෙරට අතර ආර්ථික සහයෝගීතාවයේදී ලැබූ ජයග්‍රහණ චීනයට මෙන්ම ශ්‍රී ලංකාවටද ඇති බව පෙන්වා දුන් යැංග් ජියේචී (Yang Jiechi) මැතිතුමා සෑම විටම ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට චීන සමාගම්වලට අවශ්‍ය දිරිමත් කිරීම චීන රජය විසින් ඇති කර තිබෙන බවට විශ්වාසය පළ කළේය.
යැංග් ජියේචී (Yang Jiechi) මැතිතුමා මෙසේ ද පැවසීය.
කොළඹ වරාය නගරය ඇතුළු අනෙකුත් ව්‍යාපෘතිවලට අදාළව සංවර්ධන ක්‍රියාදාමයට අපගේ දායකත්වය ශ්‍රී ලංකාවට දැනටමත් හිමිව තිබෙනවා. සංචාරක ක්ෂේත්‍රය දෙරට අතර සබඳතාවට ඉතා වැදගත්. කොවිඩ්-19 තත්ත්වය පාලනය වු වහාම එම සබඳතා නැවත අඛණ්ඩව පවතිනු ඇතැයි අප විශ්වාස කරනවා. චීනය ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදන ආනයනය කිරීම ඉහළ දමා තිබෙනවා.
අපගේ මෙම සංචාරය ඔස්සේ දෙරට අතර සබඳතාව තවත් පුළුල් වනු ඇතැයි විශ්වාස කරනවා. ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා හා චීන ජනාධිපති ෂී ජිං පිං මැතිතුමා එක්ව ද්විපාර්ශවීය සබඳතා තවත් වර්ධනය කිරීම ඔස්සේ ආර්ථික සහයෝගීතාව මත දෙරටේම සංවර්ධන කටයුතු තවත් පුළුල් වනු ඇතැයි මා විශ්වාස කරනවා. යැයි යැංග් ජියේචී මැතිතුමා පැවසීය.
මෙම අවස්ථාවට අමාත්‍යවරුන්වන දිනේෂ් ගුණවර්ධන, නාමල් රාජපක්ෂ, විමල් වීරවංශ, බන්දුල ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහාචාර්ය ජී.එල්. පීරිස්, පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, විදේශ අමාත්‍යංශයේ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ, මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්.ආටිගල, චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහත්ම මහත්මීන් ඇතුළු චීන දූත පිරිස එක්ව සිටියහ.
– රොහාන් වැලිවිට