ආසියානු සංවර්ධන බැංකුව මගින් ඩොලර් 10,000,000ක්
ලෝක බැංකුව මගින් ඩොලර් 128,000,000ක්
කෝවිඩ්-19 වෛරසය ලංකාවට බලපෑ දින සිට මේ දක්වා විදෙස් සංවිධාන ආධාර සහ ණය ලෙස ලැබී ඇති මුදල ඩොලර් කෝටි 45කට අධික මුදලක් හෙවත් රුපියල් බිලියන 82 අධික මුදලක් ලැබී ඇති බව රාහුල් සමන්ත මාධ්‍ය වාර්තාවකින් සඳහන් කරනවා.
කෝවිඩ්-19 වෛරසය ලංකාවට බලපෑ දින සිට මේ දක්වා විදෙස් සංවිධාන මගින් විටින්විට ශ්‍රී ලංකාවට ආධාර (ප්‍රදානයන්) ලෙස හා ණය ලෙස ඩොලර් 447,038,886ක් ලැබී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා.
මෙම මුදල් සෞඛ්‍ය අමාත්‍යාංශයේ කෝවිඩ්–19 සෞඛ්‍ය හා සමාජ ආරක්‍ෂණ අරමුදල වෙත ලැබී ඇතැයිද තොරතුරු දැනගැනීමේ පනතට අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් විමසීමේදී අනාවරණය වුණා.
එසේම මෙහිදී ප්‍රදානයන් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ඩොලර් මිලියන 1.9ක්, එක්සත් ජාතීන්ගේ අරමුදලින් ඩොලර් 212,260ක්, යුනිසෙෆ් ආයතය මගින් ඩොලර් 60000- 65000ක්, ආසියානු සංවර්ධන බැංකුව මගින් ඩොලර් 5,000,000ක මුදලක් සහ ගෝලීය අරමුදල මගින් ඩොලර් 1,194,424ක්ද ලැබී තිබෙනවා.
එමෙන්ම ණය මුදල් ලෙස ආසියානු සංවර්ධන බැංකුව මගින් ඩොලර් 10,000,000 ප්‍රමාණයක් හා ලෝක බැංකුව මගින් ඩොලර් 128,000,000ක මුදල් ප්‍රමාණයක්ද ලංකාවට ලැබී ඇති බව වාර්තා වනවා.
ඊට අමතරව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් තවත් ඇමෙරිකානු ඩොලර 634918.59 ක මුදලක් ලැබී ඇති අතර ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් 300,000,000 ක මුදලක් ලැබී තිබෙනවා.
ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබුණ එම මුදලින් ඩොලර් 150000000ක් වෙන් වී ඇත්තේ සෞඛ්‍ය ක්ෂේත්‍රය, සමාජ ආරක්ෂණය හා සංචාරක ක්ෂේත්‍ර සඳහායි.
එමෙන්ම මේ වනවිට ශ්‍රී ලංකාව තුළ පෙරේදා (17) දිනය වනවිට පී.සී.ආර්. පරීක්‍ෂණ 388,149ක් සිදුකර තිබෙන අතර, ඒ සඳහා දළ වශයෙන් ඩොලර් එක්කෝටි විසිතුන් ලක්‍ෂයකට අධික මුදලක් වැය වී තිබෙනවා.
මෙම පී.සී.ආර්. පරීක්‍ෂණ තුළින් පසුගිය ජූලි 25 වැනිදා දක්වා පරීක්‍ෂණ 153,022ක් සිදුකර තිබෙන අතර, අනෙකුත් පී.සී.ආර්. පරීක්‍ෂණ 235,127ක් සිදුකර ඇත්තේ, එතැන් සිට ඔක්තෝබර් මස 17 වැනිදා දක්වා යි.
මීට අමතරව බොහෝ දෙනෙකු තම පෞද්ගලික වියදමින්ද පී.සී.ආර්. පරීක්‍ෂණ සිදුකර ගෙන තිබෙනවා.
එමෙන්ම මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය එස්.එච්. මුණසිංහ මහතාගෙන් සිදුකළ විමසීමකදී හෙතෙම පවසා සිටියේ,
‘සිදුකරන ලද පී.සී.ආර්. පරීක්‍ෂණ සඳහා හැරුණු කොට මෙම අරමුදල් පී.සී.ආර්. පරීක්‍ෂණ කටයුතු සිදුකිරීම සඳහා අවශ්‍ය පර්යේෂණ පහසුකම් වැඩි කිරීම සඳහා යාපනයේ හා මඩකලපුවේ පර්යේෂණගාර වැඩිදියුණු කිරීමටත්, පී.සී.ආර්. පරීක්‍ෂණ සඳහා ලබාගන්නා උපකරණ සඳහාත් යොදාගත්තා.
අපි සමාජය දැනුවත් කිරීම් කටයුතු සඳහාද මෙම මුදල් භාවිත කරලා තියෙනවා. ඊට අමතරව ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් සකස් කරන ලද රූපවාහිනී දැන්වීම් කිහිපයක් සඳහාද මෙම මුදල් යොදවා තියෙනවා. එමෙන්ම අදාළ උපකරණවලට අමතරව දිනකට විශාල මුදලක් වැය වෙනවා.
එමෙන්ම සෞඛ්‍ය හැරුණු කොට ඒ සඳහා පත් කරගෙන සිටින කමිටුවක් මගින් වෙනත් ක්ෂේත්‍ර සඳහාද මෙම මුදල් වැය කරනවා. ඒ සම්බන්ධයෙන් මම දැනුවත් නැහැ* යනුවෙනුයි.
කෙසේ නමුත් තොරතුරු දැනගැනීමේ පනතට අනුව කෝවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්‍ෂණ අරමුදලේ ශේෂය කොපමණද යන්න හා එම මුදල් වියදම් කර ඇති ආකාරය සම්බන්ධයෙන්ද විමසීමක් සිදු කළ අතර, සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය මෙතෙක් ඊට පිළිතුරු ලබා දී නොමැති බවයි රාහුල් සමන්තගේ වාර්තාව මගින් සඳහන් වන්නේ.