Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

“අනේ සර්... මගේ දරුවව බේරලා දෙන්න
මේ වෙලාවේ කියත් තලයක් පවා කැඩිලා විසිවෙලා ගියා

වයස අවුරුදු තුන ඉක්මවූ පුංචි දර්ශන් වේදනාවෙන් කෑ මොර දුන්නේය. ඔහු ළඟ සිටින පියා කරකියාගත හැකි දෙයක් නොමැතිව අසරණ වී සිටියේය. ඒ අසරණකම තේරුම්ගත් ගිලන්රථ රියැදුරා වේගයෙන් යන්නට වූයේ කොළඹ මහ රෝහලේ හදිසි අනතුරු අංශය වෙතටය.

“දරුවව ඉක්මනින් ළමා රෝහලේ හදිසි අනතුරු අංශයට අරන් යන්න” අපි මෙතැනින් එතැනට දන්වන්නම්.

කොළඹ මහ රෝහලේ හදිසි අනතුරු අංශයේ දැනුම්දීම අනුව වත්තල, හැඳල සිට පැමිණි ගිලන්රථය ඊළඟට පියඹා ගියේ රිජ්වේ ළමා රෝහල බලාය.
මේ මොහොත වන විට ළමා රෝහලේ හදිසි අනතුරු අංශ කාර්ය මණ්ඩලය රෝගියා භාර ගැනීමට ලකලෑස්ති වී සිටියේය.


“අනේ සර්... මගේ දරුවව බේරලා දෙන්න. එයාගේ අත පරිප්පු වඩේ හදන මැෂිමට හිරවුණා. දර්ශන්ගේ පියා හැඬු කඳුළින් අසරණව කීවේය.

දරුවාගේ දකුණතේ තත්ත්වය අයහපත් විය. ජීවිත අවදානමක් නැතත් යකඩ උපකරණයේ සිරවී දරුණු ලෙස තුවාල වී තිබූ දකුණත බේරා ගැනීම සැබැවින්ම සංකීර්ණ හා ගැටලු සහගත තත්ත්වයක් විය. එහෙත් මේ අභියෝගය රිජ්වේ ළමා රෝහලේ හදිසි අනතුරු අංශයට සම්බන්ධ ප්ලාස්ටික් ශල්‍යකර්ම පිළිබඳ විශේෂඥ වෛද්‍ය රොමේෂ් ගුණසේකර මහතා ප්‍රමුඛ විශේෂඥ වෛද්‍ය නිලධාරී කණ්ඩායම භාර ගත්තේය.

“බැලූ බැල්මට ඒ යකඩ උපකරණයෙන් දරුවාගේ අත එළියට ගන්න එක ලේසි පහසු නෑ කියලා අපිට තේරුණා. මොකද ශල්‍යාගාරයක යකඩ කපන මෙවලම් නැහැනේ.

ඉතිං ඒ අනුව මම වහාම රිජ්වේ රෝහල් භූමියේ අලුතින් ඉදිකරන ගොඩනැඟිල්ලට ගියා.”

මේ සම්බන්ධව තොරතුරු දැනගැනීමේ අටියෙන් අප මුණගැසුණු පුහුණු විශේෂඥ වෛද්‍ය රන්දිල් ද අල්විස් මහතා පවසා සිටියේය.

රිජ්වේ රෝහල් භූමියේ අලුතින් ඉදිකෙරෙන ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් කටයුතුවල නිරතව සිටියේ නාවික හමුදාවයි. එම හමුදාවේ ඉන්ජිනේරු අංශයට සම්බන්ධ මේ පිරිස වෙත ගිය පෙර කී වෛද්‍යවරයා, දරුවාගේ අනතුර ගැනත්, ඒ සම්බන්ධව තම කණ්ඩායම මුහුණ දී තිබෙන ගැටලු සහගත තත්ත්වය ගැනත් කාරුණිකව දන්වා සිටියේය.

“අපිට ඔය සම්බන්ධව ඉදිරිපත් වෙන්න ඉහළින් අවසර ගන්න වෙනවා” ඔවුහු කීහ. ඒ අනුව රන්දිල් ද අල්විස් පුහුණු විශේෂඥ වෛද්‍යවරයා ඔවුන් සමඟ එක්වී නාවික හමුදාවේ ඉහළ නිලධාරීන් දැනුවත් කරන්නට පටන් ගත්තේය.

“ඊට පස්සේ ඒ නිලධාරින් අවශ්‍ය ආම්පන්න අරගෙන මා සමඟ ආවා. ඒ අනුව අපේ වෛද්‍ය කණ්ඩායම මුලින්ම කළේ ඒ නාවික හමුදා නිලධාරීන් දෙදෙනා ශල්‍යගාර ඇඳුම් අන්දවලා සියලු උපකරණ ජීවාණුහරණය කිරීමයි.”

ඒ අනුව, පස්දෙනකුගෙන් සමන්විත නාවික හමුදා නිලධාරීන්ගෙන් දෙදෙනෙක් ශල්‍යාගාරයට ඇතුළු වී වෛද්‍ය කණ්ඩායමේ නිරීක්ෂණය යටතේ පිට්ටු බම්බුවක් වැනි වඩේ අඹරන යන්ත්‍රය කොටස් වශයෙන් කපා දැමූහ.

නාවික හමුදා සෙබළා කල්පනාකාරීව තමන්ගේ යුතුකම ඉටුකරද්දී ඔහුට සහාය වෙමින් පුහුණු විශේෂඥ වෛද්‍ය රන්දිල් ද අල්විස් මහතා ඇතුළු වෛද්‍යවරු දැඩි අවධානයකින් සිටියහ.

“මෙහෙම කපා දමන කොට දරුවාගේ අතට තවත් තුවාල සිදුවෙන්න පුළුවන්නෙ. ඉතිං ඒ නිසා තමයි අපි කල්පනාකාරීව සිටියේ”

මෙහෙයුම මේ ආකාරයට සිදුවෙද්දී ශල්‍යාගාරය තුළ තිබෙන අනෙකුත් වෛද්‍ය ආම්පන්න සියල්ල බේරාගැනීමේ ආවරණ මෙහෙයුමක්ද විශේෂඥ වෛද්‍ය නිලධාරින් කණ්ඩායම ප්‍රමුඛ පිරිස ක්‍රියාවට නංවා තිබිණි. ඒ ශල්‍යාගාරය පුරා ඇසෙන රළු කඨෝර ශබ්දය ඉවසමිනි.

“මේ වෙලාවේ කියත් තලයක් පවා කැඩිලා විසිවෙලා ගියා. හැබැයි වාසනාවට එයින් අපට අනතුරක් වුණේ නැහැ.”

ඒ මදිවට යකඩ කපන මැෂිම රත්වෙනවා. මේ නිසා නවත්ත නවත්ත ඉවසාගෙන ඉඳලා තමයි කොටස් වශයෙන් ඒ යකඩ උපකරණය කපා දමන්න සිද්ධ වුණේ.”

මේ ආකාරයට පැය දෙකක පමණ කාලයක් ගත විය. ඔරලෝසුවේ කටු ඒ විදිහට කරකැවී ඉදිරියට ගමන් කරද්දී ශල්‍යගාරය පිටත සිටි ‘දර්ශන්’ පුතුගේ තාත්තා කඳුළු පිරි දෑසින් ඊළඟට අසන්නට ලැබෙන ආරංචිය යහපත් එකක්ම වේවායි පතමින් දෙවියන් සිහි කළේය.

“ඇත්තටම අර යකඩ උපකරණය අපි ඉවත් කළාට පස්සේ තමයි මේ අනතුරේ දරුණුකම අපි දැක්කේ.

දරුවගේ දකුණු අතේ දෙවැනි ඇඟිල්ල (දබරැඟිල්ල) සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වී තිබුණා. ඒ ලේ නහර කැඩිලා ගිහින් තිබුණා. ඊට අමතරව අස්ථි දෙකක් බිඳිලා තිබුණා. ඒ වගේම අල්ලේ වගේම පිටඅල්ලේ දරුණු තුවාල තිබුණා.”

විශේෂඥ වෛද්‍ය කණ්ඩායම මුලින්ම අවධානය යොමු කළේ විනාශ වී තිබෙන දබරැඟිල්ල ඉක්මනින් යථා තත්ත්වයට පත්කළ හැකි තත්ත්වයක් තිබේදැයි බැලීමටය. ඒ අනුව ඔවුහු කැපී තැළී තිබුණු ලේ නහර දබරැඟිල්ල හා සම්බන්ධ කිරීමට දැඩි පරිශ්‍රමයක් දැරූහ.

“මේක අපි කළේ ලොකු විශ්වාසයකින්. ඇත්තටම අපේ කැපවීම සාර්ථක වුණා. දරුවාගේ වාසනාවට ඒ ඇඟිල්ල යථා තත්ත්වයට පත්වන බව අපේ කණ්ඩායමට දැනුණා.

මේක හිතාගන්න බැරි දෙයක්. ඒ දරුවා ඇත්තටම හරිම වාසනාවන්ත දරුවෙක්.

විශේෂඥ වෛද්‍ය කණ්ඩායම ඉන් අනතුරුව යෙදුණේ බිඳීගොස් තිබුණු අස්ථි යථා තත්ත්වයට පත්කිරීමේ කාර්යයෙහිය.

“මේ ආකාරයට අපි පසුදා පාන්දර 3 පහුවෙනතුරුම මේ සැත්කම කළා. අපේ නිර්වින්දන වෛද්‍ය කණ්ඩායම වගේ විශේෂඥ වෛද්‍ය රොමේෂ් ගුණසේකර සර්ගෙනුත් අපි දිගින් දිගටම උපදෙස් ලබාගත්තා. මේක ඇත්තටම අපේ කණ්ඩායමටත් මතක හිටින සැත්කමක්.

“නාවික හමුදාවේ නිලධාරීන්ගේ සහයෝගය නොලැබෙන්න අපි මේ සැත්කම කොහොම කරගන්නද? ඔවුන් ඒ පරිප්පු අඹරන මැෂිම කියතින් කොටස් වශයෙන් කපා දැම්මා. අපේ කණ්ඩායම ඒ කටයුත්තේදී ඔවුන්ට උදවු කළා.”

“කොහොම හරි දැන් ඉදිරියට මේ දරුවාව අප සායනවලට යොමුකළ යුතු වෙනවා. ඒ භෞත චිකිත්සක ප්‍රතිකාර අවශ්‍ය නිසා.

“ඇත්තටම සැත්කම සාර්ථක වුණත් ඉදිරියේදී මවුපියෝ ඒ පුතාව හුඟක් පරිස්සමින් බලාගන්න ඕනෑ”

පුහුණු විශේෂඥ වෛද්‍ය රන්දිල් ද අල්විස් මහතා එසේ සඳහන් කරමින් පැය 07ක ප්ලාස්ටික් සැත්කම් විස්කම පිළිබඳ කතාව අවසන් කළේය.

එහෙත් අපට මේ කතන්දරය අවසන් කළ නොහැකිය. ඒ මේ දුක්බර කතාන්දරය යට ඇති ඛේදවාචකය හොඳින් දැනෙන නිසාය.

කලෙකට පෙර විශාරද එඩ්වඩ් ජයකොඩි සංවේදී ගායනාවක් කළේය. ඒ මෙසේය.

“කැරකෙන රෝදේ... පුංචි කරත්තේ

ඉඳගෙන මම ඉන්නේ

පදික වේදිකා පසුකර යන්නට

තල්ලු කරන් පුතුනේ...

තල්ලු කරන් පුතුනේ..”

මේ ගීතයෙන් කියැවුණේ දරිද්‍රතාවෙන් පෙළෙන පවුලක කතාන්දරයක් නොවේ. සමස්ත දුප්පතුන්ගේම කතාන්දරයකි. එදා වේල සොයා ගැනීමට, වෙහෙසෙන, බොහෝ පවුල්වල මවුපියන්ට හය හතර නොතේරෙන දරුවන් පවා උදවු කරන, සහාය වන අන්දම එමඟින් මනාව පෙන්නුම් කෙරෙයි. එය අතිශයෝක්තියක් නොවේ. අපි නොදන්න සමාජ යථාර්ථයයි.

දර්ශන් පුතුගේ පවුලේ ඛේදවාචකයත් එයමයි. පරිප්පු වඩේ සාදා හන්දි ගාණේ විකුණන ඔහුගේ පියාට ගෙදර හැමෝම උදවු කරති. 

“දර්ශන් පුතා මේ දේවල්වලට උදවු කරන්න පුංචි වැඩියි. ඒත් එයාත් අක්කා උදවු කරන හැටි පුතා බලාගෙන හිටියා. ඉතිං පරිප්පු මැෂිමට දාලා ඇඹරෙන්න ඉඩ හැරලා අක්කා ටිකක් එහාට මෙහාට වුණු ගමන් දර්ශන් පුතාත් ඒ දේ කරන්න ගිය එකේ ප්‍රතිඵලය තමයි මේ.

ඇත්තටම ඒ වෙලාවේ අම්මාත් ගෙදර ඉඳලා නැහැ.”

මෙසේ කීවේ හැඳල, වත්තල ප්‍රදේශයේ පදිංචි ඔවුන්ගේ අසල්වැසියෙකි.

මේ කතන්දරය අවසන් කිරීමට පෙර අපි තවත් වගකිවයුතු පුද්ගලයකුගේ හෘදයාංගම අදහසක් මෙයට එක් කරන්නට සිතුවෙමු. එය කොළඹ රිජ්වේ ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය මහතා පැවැසූ ඔවදනක් මූලික කරගෙනය.

“අපේ ළමා රෝහලට හුඟාක් දරුවෝ මේ විධියට අනතුරට පත්වෙලා අරගෙන එනවා. ඇත්තටම ඒ අනතුරු අතර වැඩිපුරම තියෙන්නේ පිලිස්සීම්වලින් ඇතිවුණු ඒවා. ඊළඟට උඩකින් වැටිච්ච දරුවෝ.

“මීට අමතරව නිවෙසේ පුංචි මාළු ටැංකිවලට පවා වැටිලා අනතුරු සිදුකරගත් දරුවෝ පවා අපේ රෝහලට ගෙන එනවා. විශේෂයෙන්ම ඔය පුංචි පුංචි ඇටවර්ග උගුරේ සිරකර ගත් දරුවොත් ඒ අතර ඉන්නවා.

“ඉතිං පුංචි දරුවෝ ඉන්න ගෙවල්වල වැඩිහිටියෝ ඒ දරුවන් ගැන වැඩි අවධානයකින් සිටිය යුතුයි. මොකද දරුවකුට අනතුරක් වෙන්න පුංචිම පුංචි කාලයක් වුණත් ඇති.”

කෙසේ හෝ දැන් දරුවාගේ දකුණත ආරක්ෂිතයි. කපා දමන්නට සිදුවේ යැයි සිතූ දබරැඟිල්ලට පවා දැන් පණ ඇවිත්. ඒ මානුෂික මෙන්ම අද්විතීය ශල්‍යකර්මය සිදු කළේ හදවතින්ම ඊට එක්වූ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමකි. ඉඳින් මේ සටහන අවසන් කරන්නට පෙර ඔවුන්ගේ නම් සඳහන් කිරීමටද හදවතින්ම කළ යුත්තකි.

මේ කණ්ඩායමට නායකත්වය ලබාදුන්නේ රිජ්වේ ළමා රෝහලේ ප්ලාස්ටික් සැත්කම් අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය රොමේෂ් ගුණසේකර හා විශේෂඥ වෛද්‍ය අරුණජිත් ගුණසේකර, පුහුණු විශේෂඥ වෛද්‍යවරුන් වන රන්දිල් ද අල්විස්, හසිත විජේසූරිය, වෛද්‍ය ජගත් ගමගේ යන මහත්වරුන්ය.

නිර්වින්දන වෛද්‍යවරියන් ලෙස කටයුතු කළ වෛද්‍ය ඉන්ද්‍රාණි, මෙලෝනි, නාලිනි හා දර්ශි යන පිරිසද අමතක කළ නොහැකිය. එමෙන්ම මෙම සාර්ථක සැත්කම කිරීමේදී උදවු වූ අමාලි ප්‍රමුඛ හෙද නිළධාරිනියන් හා සුළු සේවක පිරිස ගැන සඳහන් කළ යුතුය. ඒ මේ ජයග්‍රහණයේ විජයග්‍රහණය ඔවුන්ට හිමි විය යුතු නිසා.

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook