Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

ජීවිතය අහිමිවූනේ නීතීඥ වෘත්තියේ නියැළු බාහිර කථිකාචාර්යවරියට 
සහ හෝටල් ව්‍යාපාරික සැමියා සහ සිගිත්තාට

රටම කම්පාවට පත් කරමින් ඊයේ (21)  මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේ සඝමිත්තා මාවතේ පස් මහල් සංචාරක නවාතැන් නිවසක් ගිලා බැස කඩාවැටීමෙන් පසු අවට නිවාස වලට හානිවී එක් නිවසක් මතට වැටුණ කොන්ක්‍රීට් තට්ටුවලට යටවී අලුත විවාපත් යුවළක් හා ඔවුන්ගේ මාසයයි දවස් 18 ක් වයසැති කිරිකැටි බිළිඳිය අවාසනාවන්ත ලෙස මියගොස් තිබුණි.

මෙම නිවස ගිලාබැසීම සම්බන්ධ මාධ්‍ය වාර්තා අතර එක්තරා අමානුෂික පැත්තක් ගැන

හැම තැනම කියැවුනේ නිවසේ හිමිකරුවන් ගිලාබැසීම ගැන දැනදැන අන්අයගේ ජීවිත අනතුරේ පවතිද්දී නොකියාම පළාගියේද යන සැකයද ඉතිරි කරමිනි. නිවස කඩාවැටෙන්නට ආසන්න අවස්ථාවේ පාන්දර 3 ට 3.30 ට පමණ බල්ලන් පූසන්ද රැගෙන නිවසේ අය මෙලෙස පළාගිය බව කියා තිබුනේ අසල්වාසීන්ය. සමහරු කියන්නේ ඔවුන් යාමට සූදානම්වී එළියට පැමිණ නිවස කඩාවැටෙන හැටි බලා සිටි කතාවකි.

කඩාවැටුණ නිවසේ රෝලර් දොර සහිත ඉදිරිපස තාප්පය හා කුඩා ගේට්ටු කොටස පමණක් ඉතිරිවී සම්පූර්ණ නිවසම ගිලා බැස අවට නිවාස වලට හානිවීම පාන්දර 5 ට පමණ සිදුවූ බව පොලිස් වාර්තා වල දැක්වේ.

ඒ අනුව පැය එකහමාරක කාලයක් තුළ කඩාවැටීමේ අනතුරු ඇඟවීම අවට සිටි අයට දන්වන්නට ඔවුනට හැකියාව තිබුණ බවත් නොඑසේනම් පොලිසියට හෝ දන්වා ජීවිත බේරාගන්නට යමක් කළ හැකිව තිබුණ බවත් කියැවිණි. නමුත් කඩාවැටුණ නිවසට යටවූ අසල්වැසි නිවසේ සිටි කාන්තාව 119 අංකයට ඇමතුමක් දී 'අපිව බේරාගන්න' යන පණිවිඩය කියනතුරු කිසිවෙකු කිසිම දැනුම් දීමක් මේ ගැන පොලිසියට කර තිබුනේ නැත.

ඇමතුම ගත් තරුණ කාන්තාව හා ඇය අසළ සිටි වැඩිහිටි මවගේ ජීවිත බේරුණත් එම නිවසේ විසූ පසුගිය වසරේ නොවැම්බරයේ විවාහවූ යුවළ හා පසුගිය අගොස්තු 03 වනදා ඉපැදුණ ඔවුනගේ කිරිකැටි බිළිඳිය නිදාගෙන සිටි කාමරය කොන්ක්‍රීට් කණුවලට යටවී තිදෙනාගේම ජීවිත අහිමි කරමිනි.

මෙවැනි විපතක් සිදුවෙද්දී කඩාවැටුණ නිවැසියන් රහසේ පළාගිය බවට චෝදනා අසල්වැසියන්ගෙන් එල්ල වුවත් එම නිවසේ අය ගැන ඊයේ මාධ්‍ය වෙත පොලිසිය හරහා කිසිදු තොරතුරක් නිකුත්වූයේ නැත. අඩුතරමින් කඩාවැටුණ නිවස හිමිකාර කාටද යන්නවත් හෙළි කරනු ලැබුවේ නැත.

ඊයේ සවස රථවාහන මංතීරු නීතිය ගැන කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් මෙම කතුහලය ප්‍රශ්න කර තිබුනේ ස්වර්ණවාහිනියේ මාධ්‍යවේදියෙකු විසින්ය. ඔහුට මාධ්‍ය ප්‍රකාශක ලබාදුන් පිළිතුර වූයේ මෙම නිවසේ හිමිකරුවන් ගැන පොලිසියට තවම වාර්තාවී නැති බවත් පළායාමක් ගැන තොරතුරු තවම වාර්තාවී නැති බවත්ය. මාධ්‍යවේදීයා නැවත විමසා සිටියේ නිවස හිමිකරු පොලිසිය හා සමීප ඇසුරක් පවතින අයෙකු නිසා මෙම තොරතුරු සඟවන්නේද? යන්නයි. නමුත් එවැනි සැඟවීමක් නොකරන බවත් විමර්ශන පවතින බව පමණක් ඔහු පිළිතුරු දුන්නේය.

මේ අතර 'නුවර අපි' යනුවෙන් පවත්වා යන ෆේස් බුක් සමූහයක මෙම සිදුවීම ගැන වාර්තාවක් පළවී තුබූ අතර එහි කොමෙන්ටුවක සටහන්ව ඇති පරිදි ලෙව්කේ නමැති පිළිමතලාවේ දොඩම්වෙල නාථ දේවාලයේ හිටපු බස්නායක නිලමේ වරයෙකුට මෙම නිවස අයත්ව ඇත. ඔහු හා පවුලේ අය අලුයම නිවසින් ඉවත්ව තිබෙන්නේ අසල්වැසියන් දැනුවත් නොකරය. වැරදි ඉදිකිරීමකට අනුමැතිය දෙමින් මහනුවර මහ නගර සභාවේ 'ජරාව කන' සැලසුම් අංශයේ නිලධාරීන්ද මෙයට වගකිව යුතු බව එහි චෝදනා නගා ඇත.

මෙම කඩා වැටුණ නිවස තට්ටු 5 කට නිමකර ඇත්තේ කාමර ගණනාවක් ඇති පරිදිය. මෙය එක් පවුලක් පමණක් පදිංචියේ යෙදවූ නිවසක් නොවූ අතර මහනුවර සංචාරය සඳහා පැමිණෙන සංචාරකයන්ට නවාතැන් ලබාදීම පිණිස ඉදිකරන ලද්දකි. මෙම නිවස පමණක් නොව මෙම නිවස පිහිටි ධර්මරාජ විද්‍යාලය අසළ සංඝමිත්තා පාරේ බොහෝ ගොඩනැගිලි සංචාරකයින් සඳහා තාවකාලික නවාතැන් ලෙස කුලියට ලබාදෙන ස්ථාන බවද වාර්තා විය.

කෙසේ වෙතත් කොරෝනා වෛරස් උවදුර නිසා විදෙස් සංචාරකයින් හිඟවීම මත මෙම ව්‍යාපාර රැසක් තාවකාලිකව නතර කර ඇති බව වාර්තා විය. කඩාවැටෙන අවස්ථාවේ පෙරකී පවුල පමණක් එහි සිටියේ එබැවිනි. වසංගත ප්‍රශ්නය නොවී සාමාන්‍ය කාලයක මෙම කඩාවැටීම සිදුවන්නේ නම් අහිමිවන ජීවිත ප්‍රමාණය තවත් ඉහළයාහැකි බව ඒ අනුව අනුමාන කළ හැකිය.

නිවස කඩාවැටෙන්නට ආසන්න වෙලාවේ එහි කිසියම් ආනතවීමක් සිදුවන්නට ඇති බව හා ඒ අනුව වහාම නිවැසියන් වාහනයේ නැගී පළායන්නට ඇතිය යන සැකය ඉතිරිවී ඇත. කඩාවැටෙන්නට පෙර රෝලර් දොරද ඇර නැවත වසා නොතිබිණි.

කඩාවැටෙන අයුරු නිවැසියන් බලාසිටියේද නැද්ද යන්න තවම තහවුරු කර නැත.

නිවසේ සීසීටීවී පද්ධතියක් සවිකර තිබූ අතර කඩාවැටීම සිදුවූ ආකාරය ගැන ඉදිරි විමර්ශනවලදී එහි දත්ත ලැබෙනු ඇතැයි අනුමාන කෙරේ.

මෙම සිද්ධිය නිසා මියගිය චමිල ප්‍රසාද් (35) මහනුවර නත්තරම්පොත දිගන පාරේ හෝටල් 2 ක් පවත්වා ගිය අයෙකි. ඔහු හෝටල වැඩ සඳහා අලාබයට පත්වූ නිවසේ සිට නිතිපතා වැඩට ගිය බව කියැවේ. එම හෝටලයක සේවය කරන ඥාති සොයුරියකද මෙම නිවසේ නතරවී සිටි අතර සිද්ධිය අවස්ථාවේ පොලිසියට ඇමතුම ගත්තේ ඇයයි.

බිරියගේ මව සමග ඇය එකම කාමරයක නිදාගෙන සිටි බව කියැවේ.

චමිලගේ බිරිය අචලාද සිද්ධියෙන් මියගියාය. 32 හැවිරිදි ඇය මහනුවර විවෘත විශ්ව විද්‍යාලයේ නීති උපාධිය සම්පූර්ණ කිරීමෙන් පසු නීතීඥ වෘත්තියේ නියැළුනියකි. ඇය බාහිර කථිකාචාර්යවරියක ලෙස විවෘත විශ්ව විද්‍යාලයේද අමතරව සේවය කළාය.

මේ දෙන්නා විවාහවී තවම අවුරුද්දක් නැත. කුළුඳුල් දරු උපත සිදුවූයේ පසුගිය මාසයේ 3 වනදාය. ඔවුනට ලැබුනේ දුවකි. දුවගේ උපතින් මාස එකයි දින 18 කදී ඔවුන් මෙවන් අවාසනාවන්ත ඉරණමකට ගොදුරුවේයයි කිසිවෙකුට විශ්වාස කරන්නට පවා බැරිය.මෙම විපත සිදුවන්නේ ලස්සණ පවුලේ අනාගතය එහෙමම තිබියදීය.

මෙම නිවසේ ඇති දැඩි කළ ලැබ්‍රොඩර් වර්ගයේ සුනඛයෙකුද සිටි අතර මියගිය චමිල ඌට බෙහෙවින් ආදරය කළේය.

කඩාවැටීම නිසා ඌට අනතුරක් නැත.මෙම විපතින් බේරුණ තුන්වැනියා ලෙස ඌවද නම් කළ හැකිය.









Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook