Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

කෝටි 49ක මහා පරිමාණ කුඩු ගිණුම
කුඩු අංජු ඉතාලියේ 
ඇල්ටෝ ධර්මෙ ඩුබායි රාජ්‍යයේ

ඉකුත් මැයි මස 22 දින රත්මලාන ජයසුමනාරාම ප‍්‍රදේශයේ පදිංචි ප‍්‍රභාත් චතුරංග නමැති පුද්ගලයෙක් බස්නාහිර දකුණු දිශාව අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලබන්නේය. අපරාධ කොට්ඨාස විසින් ඔහුව අත්අඩංගුවට ගනු ලබන්නේ හෙරොයින් ග‍්‍රෑම් 9 මිලි ග‍්‍රෑම් 500 ක් ළඟ තබාගැනීමේ වරදටය. එහි දී අත්අඩංගුවට පත් සැකකරුගෙන් පොලිසිය විසින් කරන ලද වැඩිදුරටත් ප‍්‍රශ්න කිරීම් හමුවේ හෙළි වී ඇත්තේ අත්අඩංගුවට ගත් පුද්ගලයා කලක පටන් හෙරොයින් ජාවාරමේ නිරත පුද්ගලයෙකු බවත් ප‍්‍රදේශයේ ක‍්‍රියාත්මක පාතාල කල්ලියක ප‍්‍රබල සාමාජිකයෙකු ලෙස කටයුතු කරන පුද්ගලයකු බවත්ය.

ඒ අනුව අත්අඩංගුවට ගත් පුද්ගලයාගෙන් වැඩිදුරටත් ප‍්‍රශ්න කරන පොලිසිය මහා පරිමාණ කුඩු ජාවාරමක් පිළිබඳව වැඩිදුර තොරතුරු අනාවරණය කරගැනීමට සමත් වී ඇත. එහිදී හෙළි වී ඇති වැදගත්ම තොරතුර බවට පත්වන්නේ මෙම මහා පරිමාණ කුඩු ජාවාරම මෙහෙයවන සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයන් දෙදෙනකුගේ නම් ගම් සහ ඔවුන් විසින් මෙම කුඩු ජාවාරම මෙහෙයවන ආකාරය පිළිබඳ වැදගත් තොරතුරු කීපයක්ය. කලක පටන් හෙරොයින් ජාවාරමේ නිරත වූ පුද්ගලයෙකු වූ ප‍්‍රභාත් චතුරංග එම සියලූ තොරතුරු පොලිසිය හමුවේ අනාවරණය කර සිටින්නේ තවදුරටත් පොලිස් ඇසට වැලි ගැසීමෙන් තමන්ට ගැලවීමක් නොමැති බව වැටහීමත් සමගින්ය.

සැකකරු විසින් වමාරන ලද තොරතුරු වලට අනුව මෙම මහා පරිමාණ කුඩු ජාවාරම මෙහෙයවා ඇත්තේ රත්මලාන, ගල්කිස්ස කේන්ද්‍ර කොට ගනිමින් පාතාල අධිරාජ්‍යයක් ගොඩ නැංවීමට තැත් දැරූ ප‍්‍රබල පාතාල නායකයන් දෙදෙනෙක් වන අමල් ශමින්ද සිල්වා හෙවත් කුඩු අංජු සහ එල්ලාවලගේ ධර්මසිරි පෙරේරා හෙවත් ඇල්ටො ධර්මෙ නම් පාතාල සාමාජිකයන් දෙදෙනා විසින්ය. කලක පටන් ඔවුන්ගේ මෙහෙයවීම මත ගල්කිස්ස, රත්මලාන ඇතුළු තදාසන්න ප‍්‍රදේශ කිහිපයක මිනීමැරුම් කුඩු ජාවාරම් ඇතුළු විවිධ අපරාධ රැසක් සිදු වී තිබෙන අතර මේ වන විට මෙම අපරාධකරුවන් දෙදෙනා තම අපරාධ කල්ලිය මෙහෙයවනු ලබන්නේ රටින් පැන ගොස් විදේශගතව ජීවත් වෙමින්ය. ඒ අනුව කුඩු අංජු ඉතාලියේ සිට ද ඇල්ටෝ ධර්මෙ ඩුබායි රාජ්‍යයේ සිටද තමන්ගේ පාතාල සාමාජිකයන් මෙහෙයවන්නේය. තවත් ප‍්‍රතිවිරුද්ධ පාතාල කල්ලියක් සමග කලක පටන් ගැටුම් ඇති කර ගන්නා මෙම පාතාල නායකයන් දෙදෙනා ජීවිත ආරක්ෂාව පිණිස එලෙස විදේශගතව තම පාතාල කණ්ඩායම මෙහෙයවන අතර මීට පෙර මෙම පාතාල කල්ලි දෙක අතර පවතින ගැටලූ හේතුවෙන් දෙපාර්ශ්වයේම සාමාජිකයන් කීප දෙනෙක් මරණයට පත්ව ඇත්තේ එකිනෙකාට විරුද්ධව වෙඩි පත්තු කර ගැනීමේ හේතුවෙන්ය.

කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් ප‍්‍රභාත් චතුරංග විසින් හෙළි කරන ලද කරුණු වලට අනුව ඔහු සන්තකයේ තිබී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ කුඩු අංජු සහ ඇල්ටෝ ධර්මෙ විසින් මෙරටට ගෙන්වනු ලබන හෙරොයින්ය. එහිදී පොලිසිය විසින් වැඩිදුරටත් හෙළිකරගත් කරුණු බවට පත්වන්නේ මෙම මහා පරිමාණ කුඩු ජාවාරමට සම්බන්ධ දැවැන්ත මුදල් කන්දරාවකින් යුත් බැංකු ගිණුමක් මෙරට ක‍්‍රියාත්මකව පවතින බවත් එම බැංකු ගිණුමට මුදල් බැර කිරීමෙන් අනතුරුව අලෙවිය සඳහා හෙරොයින් ලබා ගැනීමේ වෙනම වැඩපිළිවෙළක් එළිපිට ක‍්‍රියාත්මක වන බවත්ය. එම ගිණුමට මුදල් බැර කිරීමෙන් පසු වෙනත් පුද්ගලයන් මාර්ගයෙන් කුඩු අලෙවි කරන්නන් වෙත අදාළ කුඩු තොගය ලැබෙන බවත් අවබෝධ කරගන්නා පොලිසිය ඉන් අනතුරුව අවධානය යොමු කරනු ලබන්නේ සැකකටයුතු බැංකු ගිණුම පිළිබඳවය. ඒ සම්බන්ධයෙන් සිදුකළ පුළුල් විමර්ශනයකින් අනතුරුව එම බැංකු ගිණුම සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට පොලිසිය සමත් වී ඇත. ඒ අනුව එම ගිණුම හරහා රුපියල් ලක්ෂ 4900 මුදලක් ඒ වන විට සංසරණය වී ඇතැයි හඳුනා ගන්නා පොලිසිය ඉන් අනතුරුව විමර්ශන කටයුතු ආරම්භ කරනු ලබන්නේ එම බැංකු ගිණුම් හිමිකරු කවුරුන්ද යන්න සොයා බැලීම පිණිසය. එහිදී පොලිසිය විසින් එම ගිණුමේ හිමිකරු ලෙස හඳුනාගනු ලබන්නේ ගයාන් චතුරංග නමැති තිස් හැවිරිදි පුද්ගලයෙක්ය.

ඔහුද මෙම පාතාල කල්ලියට සම්බන්ධ පුද්ගලයෙක් බව හඳුනාගන්නා පොලිසිය ඉකුත් ජූනි මස 17 වන දින එම පුද්ගලයාව අත්අඩංගුවට ගනු ලබන්නේ රත්මලාන ප‍්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක් මගින්ය. ඔහුගෙන් සිදු කළ ප‍්‍රශ්න කිරීමේදී සැකකටයුතු බැංකු ගිණුම පිළිබඳව වැඩිදුරටත් සිදු කරන ලද විමර්ශන ආදියෙන් පොලිසිය විසින් මෙම මහා පරිමාණ කුඩු ජාවාරම පිළිබඳව වැඩිදුරටත් තොරතුරු අනාවරණය කරගැනීමට සමත් වී ඇත. එහිදී අනාවරණය වූ තොරතුරුවලට අනුව සැකකටයුතු පුද්ගලයන් විසින් අදාළ ගිණුමේ තැන්පත් කොට තිබෙන මුදල් වරින්වර ලබාගෙන තිබෙන අතර එම මුදල් අන්තර්ජාල මූල්‍ය සේවා හරහා විදේශයන්ට හා වෙනත් වෙනත් පුද්ගලයන්ගේ බැංකු ගිණුම් ආදියට වරින්වර බැර කොට ඇත.

මේ අතර ඉකුත් විසිදෙවැනිදා මෙම ගිණුම හරහා රුපියල් කෝටි අටක මුදලක් වෙනත් ගිණුමකට බැර වන ආකාරය දකින පොලිසිය ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන අතර එහිදී හෙළිදරව් වී ඇත්තේ රත්මලාන ප‍්‍රදේශයේ පදිංචි විසි හැවිරිදි දමිළ ජාතිකයෙක් සතු බැංකු ගිණුමකට එම මුදල බැර වී ඇති බවය. ඒ අනුව ක‍්‍රියාත්මක වන පොලිසිය එම පුද්ගලයාවද අත්අඩංගුවට ගනු ලබන්නේ ඉන් අනතුරුවය. ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරු ගල්කිස්ස අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රඳවා තබා ගැනීමේ නියෝග මත වැඩිදුරටත් ප‍්‍රශ්න කිරීම ආරම්භ කරන අතර රුපියල් කෝටි 49ක මහා පරිමාණ ”කුඩු ගිණුම” පිළිබඳව වැදගත් තොරතුරු රැසක් අනාවරණය වන්නේ ඉන් අනතුරුවය.

එහිදී අනාවරණය වී ඇති තොරතුරු වලට අනුව මෙම ගිණුම හරහා මීගමුව ප‍්‍රදේශයේ පදිංචි තවත් පුද්ගලයන් දෙදෙනකු වෙත මුදල් බැර කොට ඇති අතර එම මුදල රුපියල් කෝටි 23ක්ය. ඒ අනුව ඉකුත් 23 වන දින කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය විසින් එම පුද්ගලයන් දෙදෙනාවද අත්අඩංගුවට ගනු ලබන්නේය. එලෙස අත්අඩංගුවට ගනු ලබන්නේ මීගමු නගර සභාවේ සෞඛ්‍ය අංශයේ සේවය කළ සුළු සේවකයෙක් සහ මෝටර් රථ අමතර කොටස් අලෙවිකරුවෙක්ය. නගර සභා සුළු සේවකයාගේ ගිණුමේ තැන්පත් මුදල රුපියල් කෝටි 18ක්ය. ව්‍යාපාරිකයා සතු ගිණුමට බැර කොට ඇති මුදල රුපියල් කෝටි 5ක්ය. එම සැකකරුවන්ව අධිකරණයට ඉදිරිපත් කරන කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය අධිකරණය මගින් ලබාගත් රැඳවුම් නියෝග යටතේ සැකකරුවන්ගෙන් වැඩිදුරටත් ප‍්‍රශ්න කරගෙන යන අතර දැනට අනාවරණය වෙමින් පවතින තොරතුරු වලට අනුව එලෙස තම ගිණුම්වලට මුදල් බැර වීමෙන් අනතුරුව එම ගිණුම් හිමිකරුවන් එම මුදල් වෙනත් වෙනත් පුද්ගලයන්ගේ ගිණුම්වලට බැරකර ඇති බවට මේවන විට තොරතුරු තහවුරු වී ඇත. එම කටයුත්ත සඳහා කුඩු ජාවාරම්කරුවන් විසින් මෙම ගිණුම් හිමියන්ට කොමිස් මුදලක් ගෙවා ඇති බවටද වැඩිදුරටත් තොරතුරු තහවුරු වෙමින් ඇත.

කෙසේ වෙතත් කලක පටන් ක‍්‍රියාත්මක මහා පරිමාණ කුඩු ජාවාරමක සුලමුල මෙම සිදුවීම් හරහා කරළියට පැමිණ තිබෙන අතර නගර සභා සුළු සේවක කම්කරුවා පවා මහා පරිමාණ කුඩු ජාවාරමක කොටස්කරුවන් බවට පත්ව හමාරය. දැනට සිදුකරගෙන යන පරීක්ෂණවලට අනුව මෙම මහා පරිමාණ කුඩු ජාවාරම මෙහෙයවා ඇත්තේ කුඩු අංජු සහ ඇල්ටෝ ධර්මෙ විසින් බවට පොලිසිය විසින් සැක පහළ කර ඇත. ඒ අනුව මෙම මහා පරිමාණ කුඩු ජාවාරම මෙහෙයවා ඇත්තේ මෙරට තවත් පාතාල ප‍්‍රබලයන් දෙදෙනකු වන ඉහත සඳහන් පුද්ගලයන් දෙදෙනා විසින්ය. මීට කලකට ඉහත ප‍්‍රතිවිරුද්ධ පාතාල කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන ලද ප‍්‍රබල පාතාල සාමාජිකයෙකු වන ලන්සියා නමින් හඳුන්වන තැනැත්තාගේ සහෝදරයෙකු වන කුඩු අංජු රත්මලානේ පදිංචිව සිටි පුද්ගලයෙකු වන අතර අනෙක් පුද්ගලයා කලක් මොරටුමුල්ල පදිංචිකරුවෙක් ය.

කෙසේ වෙතත් දැනට විදේශගතව සිටින මෙම ගජ මිතුරන් දෙදෙනා තම ගෝලබාලයන් යොදාගනිමින් කුඩු ජාවාරම සිදු කර ගෙන යන අතර ක‍්‍රමයෙන් මේවන විට හෙළිදරව් වෙමින් පවතින්නේ ඔවුන් විසින් සිදුකරගෙන යනු ලබන කියුම් කෙරුම් ආදියේ සුළු සුළු කොටස් පමණය.

ඉහත සඳහන් සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සහ බස්නාහිර පළාත් දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති කපිල කඩුපිටිය, බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ලලිත් අබේසේකර පොලිස් අධිකාරී රොහාන් පෙරේරා යන මහත්වරුන්ගේ අධීක්ෂණය මත බස්නාහිර - දකුණ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක මෙන්ඩිස් ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් වැඩිදුරටත් පරීක්ෂණ සිදුකරමින් ඇත.

රුවන් ජයවර්ධන - Divaina

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook