Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රතිඑල නැවත ගණන් කිරීමට කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් එම දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී රෝහිණී කවිරත්න විසින් මැතිවරණ කොමිසමට යැවූ ලිපියක් මෙහි දැක්වෙයි.

මහින්ද දේශප්‍රිය මහතා,
සභාපති,
මැතිවරණ කොමිෂන් සභාව,
රාජගිරිය.

ප්‍රිය සභාපතිතුමනි,

මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රතිඑල නැවත ගණන් කිරීමට කර ඇති ඉල්ලීම සම්බන්ධයෙනි

අළුවිහාරේ රංජිත් ජිනතිස්ස හිටපු මන්ත්‍රීතුමා විසින් මාතලේ ඡන්ද නැවත ගණන් කරන ලෙස ඉල්ලීමක් කර ඇත. දේශපාලන පක්ෂ හා අපේක්ෂකයින් මැතිවරණයකට ඉදිරිපත් වන්නේ නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වෙන්නේය යන උපකල්පනය මත ය. මැතිවරණ දිනය, ඡන්ද ගණන් කිරීම සම්බන්ධයෙන් එම විශ්වාසය මා දන්නා තරමින් නම් මෑත ඉතිහාසයේ කිසිදු අවස්ථාවක කඩවී නැත.

ඡන්ද 312,576 ක් නිවැරදිව ගණන් කර වාර්තා තැබීමට මාතලේ රාජ්‍ය සේවකයින්ට හැකි බව මම හොඳින්ම දනිමි. රාජ්‍ය සේවයට බඳවා ගෙන ඇත්තේ නිසි ලෙස විභාග සමත්ව, ගණිතය ඇතුළු විෂයන් සමත්, උගත් පිරිසකි. ඔවුහු රාජකාරි අත්දැකීම්වලින්, තම කුසලතාව වර්ධනය කර ගෙන ඇති පිරිසක් ද වෙති. මනාප ඡන්ද 74,000 කට අඩු සංඛ්‍යාවක් ගණන් කර වගුගත කර, අතින් ද, ගණක යන්ත්‍ර මගින් ද, පරිගණක මෘදුකාංග මගින් ද, තහවුරු කර ගත් ප්‍රතිඑලයක් ලබාදීමට ඔවුන් සතු දැනුම ප්‍රමාණවත් වන්නේය යන්න මාගේ ද, මාගේ කාර්ය මණ්ඩලයේ ද විශ්වාසය යි.

අප පක්ෂයේ ද, මා විසින් නම් කරන ලද ගණන් කිරීමේ නියෝජිතයින්ට ද ඡන්ද ගණන් කිරීම ක්‍රමවේදය, කාර්ය පටිපාටිය හා කාර්ය සාධනය පිළිබඳ ගැටළුවක් නැත. මාතලේ

ගණන් කිරීමේ නිලධාරීන්, ගණන් කිරීම් සහායකයින් විසින් තේරීම් භාර නිලධාරිවරයා වෙතත්, මැතිවරණ කොමිෂන් සභාව වෙතත් ලබාදී ප්‍රකාශයට පත් කොට ඇති ප්‍රතිඑලය ගැන මම සෑහිමකට පත් වෙමි.

එක් පක්ෂයකින් මාතලේට 8 දෙනෙකු නාම යෝජනා දෙන අතර, නිතරගයෙන් පක්ෂයක් ජයගත්ත ද, අපේක්ෂකයින් තිදෙනෙකුට මන්ත්‍රීධූර හිමිවන්නේ නැත. පරාජයක සිත් තැවුල වසන් කර ගැනීම වෙනුවෙන්, මැතිවරණ ක්‍රමය පිළිබඳ විශ්වාසය බිඳ දැමීම විහිළු සහගත නමුත් අනුකම්පා කළ යුතු තත්වයකි. ක්‍රමන්ත්‍රණයක් මඟින් ඡන්දය ජය පරාජය තීරණය වන්නේ නම්, මැතිවරණ කාර්යය පසෙකලා මේ රටේ සියළු දේශපාලන පක්ෂ හා අපේක්ෂකයෝ කුමන්ත්‍රණ පමණක් කරනු ඇත්තේය.

අකුරණ ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ දී, අධිකරණ නියෝගයකින් ඡන්ද නැවත ගණන් කළ බව දනිමි. නමුත්, නැවත ඡන්ද ගණන් කළ කිසිදු අවස්ථාවක ජයග්‍රාහී පක්ෂය හෝ මනාප ලැයිස්තුව වෙනස් වූ බවක් නම් මා දන්නා ඉතිහාසයේ නැත. රාජ්‍ය නිලධාරින්, අධීක්ෂණ නිලධාරීන් හා පක්ෂ නියෝජිතයින් ඉදිරිපිට ඡන්ද ගණන් කිරීමේ දී දුෂණ සිදු නොවන්නේය යන විශ්වාසය මත, පසුගිය මැතිවරණ දෙකේදීම මම නිවෙසට වී විවේක ගැනීම පුරුද්දක් කොට ගතිමි. ප්‍රතිඑල ප්‍රකාශ කරන අවස්ථාවේ දී ජය පරාජය දැන ගැනීමට එක්වූවෙමි. 2015 මෙන්ම, 2020 ද මා ජයග්‍රහණය කළේය. ජයග්‍රහණයේ පරතරය පමණක් වැඩිවී ඇත. එදා තුන්වන ස්ථානයේ සිටි මම, මෙවර පළමු ස්ථානයට මාතලේ ජනතාව විසින් ඔසවා තබා ඇත.

මෙම මැතිවරණයේ දී, මැතිවරණ කොමිෂන් සභාව, මාතලේ දිසාපතිතුමා හා කාර්ය මණ්ඩලය, ගණන් කිරීමේ නිලධාරීන් හා කාර්ය මණ්ඩලය සිදු කළ ප්‍රශස්ත රාජකාරියට මම ගෞරව කරමි.

ඡන්ද පෙට්ටියක් නිවැරදිව ගණන් කළ නොහැකි රාජ්‍ය සේවකයින් පිරිසක් මාතලේ ඇතැයි මා නොසිතන අතර, මම ද විශ්‍රාමිකයෙකු වන රාජ්‍ය සේවකයින් එවැනි අවමානයකට කිසි කළෙක ලක් නොවිය යුතු යැයි ද සිතමි. විශ්වාස කරමි.

ඡන්ද ප්‍රතිඑල නිවැරදි බවට ‘කෝටි 50 ට ලක්ෂ 50 ක් ඔට්ටු අල්ලන්නට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වරක් ඉදිරිපත් වූ බව මම අසා ඇත. ඡන්දයට වියදම් කළ පසුව මා අත ඔට්ටු අල්ලන්නට කෝටි 50 ක් තබා ලක්ෂ 50 ක් වත් නැත. නමුත්, නැවත ගණන් කිරීමකින්, පක්ෂ ප්‍රතිඑලය තබා, මනාප ප්‍රතිඑලය හෝ වෙනස් නොවන බවට මම මගේ දේශපාලන ජීවිතයට ඔට්ටු අල්ලන්නට සුදානම් ය. පක්ෂ ප්‍රතිඑලය හෝ මනාප ප්‍රතිඑලය වෙනස් වී ජයග්‍රාහකයින් හා පරාජිතයින් වෙනස් වන්නේ නම්, මම කිසිදා නැවත කුමන හෝ ඡන්දයකට ඉදිරිපත් වන්නේ නැත. මන්ද, තේරීම් භාර නිලධාරියාට, ගණන් කිරීමේ නිලධාරියාට, සහකාර මැතිවරණ කොමසාරිස්තුමිය හා ඇයගේ කාර්ය මණ්ලයට ඡන්ද ප්‍රතිඑල නිවැරදිව ලබා දිය නොහැකි නම් මැතිවරණයකට ඉදිරිපත්වීමෙන් ද එලක් නොවන බැවිනි.

ඡන්දයට වෙහෙස මහන්සි වූ සියළුම රාජ්‍ය නිලධාරීන්ටත්, දිනය පුරා වෙහෙසී ඡන්ද ගණන් කිරීමේ නිරත වූ, මාතලේ ගණන් කිරීමේ නිලධාරීන්ටත්, එයට සම්බන්ධ සියළු කාර්ය මණ්ඩලයටත්, සියළු තරාතිරමේ නිලධාරීන්ටත්, සහායකයින්ටත් පොදුවේ සහ තනි තනිව ස්තුතිය පුද කිරීම සඳහා මම මෙය අවස්ථාවක් කර ගනිමි.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාටත් එහි සාමාජිකයින්ටත්, කොමසාරිස් ජෙනරාල්තුමා ඇතුළු සියළුම අතිරේක, නියෝජ්‍ය, සහකාර කොමසාරිස්වරුන්ටත් මාගේ සුබ පැතුම් පිළිගන්වමි.

මෙයට විශ්වාසී,

රෝහිණී කවිරත්න විජේරත්න

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook