විදේශයෙන් ගෙන්වන විට ඒවායේ මිල ගණන් රුපියල් මිලියනයේ සිට කෝටි ගණනක් දක්වා වැඩියි
වෛද්‍යවරයා මෙය නිෂ්පාදනය කර ඇත්තේ LED විදුලි බල්බ සවිකර ඇති කුඩා කැමරාවක් හරහා
හොඳම දේ නම් කොවිඩ් - 19 වයිරසයෙන් ආරක්ෂා වීමය. තම නිවෙසටම වී කාලය ගත කිරීමය. මේ වනවිට කොවිඩ් - 19 වයිරසයට ගොදුරු වූ රෝගීන් බේරා ගැනීමට සමාජයේ බොහෝ දෙනෙක් උත්සාහ ගනිමින් සිටිති.
ඒ අතර දැඩි සත්කාර ඒකකයට ඇඳන් නිපදවීම, කොවිඩ් - 19 රෝගීන්ගේ ශ්වසන අපහසුතා මඟ හැරීමට අවශ්‍ය වෛද්‍ය මෙවලම් නිර්මාණය කිරීම, වයිරසය විනාශ කිරීමට නිරෝධායන ස්ථාන ඇති කිරීම, රෝගීන්ට ප්‍රතිකාර කිරීමට රොබෝ යන්ත්‍ර නිපදවීම ඇතුළු බොහෝ දේ විය. මේවා නිපදවන අයගේ මූලික අරමුණ වන්නේ කොවිඩ් - 19 වයිරසය මෙරටින් තුරන් කිරීමය. එනිසාම මෙම නිර්මාණ බිහිවූයේ කාගේවත් බලපෑමකට හෝ ඉල්ලීමකට නොවේ.
මේ ආකාරයට නිපදවූ උපකරණ විදේශයෙන් ගෙන්වන විට ඒවායේ මිල ගණන් රුපියල් මිලියනයේ සිට කෝටි ගණනක් දක්වා වැඩි විය. නමුත් ඊට අඩු මුදලකට දේශීය නිර්මාණකරුවන් අතින් මෙම උපකරණ නිපදවීම අගය කළ යුතුමය. කොවිඩ් - 19 වැනි විපතකට මුහුණදී තිබියදී රටට බොහෝ දේ නිර්මාණය කිරීමට හැකිවීම ආර්ථික අතින්ද හොඳ ශක්තියකි.
මේ ආකාරයට කොවිඩ් -19 වයිරසයට ගොදුරු වී ඇති රෝගීන්ගේ ශ්වසන අපහසුතා පරීක්ෂා කිරීමට හැකි Vidio laryngoscope නම් උපකරණය ලංකාවේ නිෂ්පාදනය කිරීමට ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ජේයෂ්ඨ ලේඛකාධිකාරි වෛද්‍ය සංකල්ප විතානගේ මහතා ඉදිරිපත් වී සිටියි. මෙම උපකරණය මඟින් සිදුකෙරෙන්නේ ශ්වාසනාල හරහා පෙණහලුවලට ටියුබයක් ඇතුළු කිරීමය.
ශ්වසන අපහසුතා ඇති රෝගීන්ට එලෙස ටියුබය ඇතුළු කළ පසු ඔවුන් වෙන්ටිලේටර් යන්ත්‍රයකට යොමු කෙරෙයි. සාමාන්‍යයෙන් රෝගීයාගේ කටින් මෙම ටියුබය ඇතුළු කරන විට ඔහුට ළං වී පියවි ඇසෙන් බලා මෙම ටියුබය උගුර ඇතුළට දැමීම සිදුකෙරෙයි. එලෙස ඇතුළු කිරීමේදී රෝගියාගේ හිස උඩුබැලි අතට නමා හොඳට කට ඇරවා ටියුබය රෝගියාගේ ශ්වසනාලයට ඇතුළු කෙරෙයි. එම ක්‍රියාවලියේදී භාවිත කෙරෙන උපකරණය වන්නේ Laryngoscope එකය. එයට වීඩියෝ කැමරාවක් සවි කෙරී තිබේ. ලංකාවේ ප්‍රධාන රෝහල්වලද මෙම උපකරණය භාවිත කෙරේ.
අදාළ උපකරණවල වර්ග අනුවත් ගුණාත්මකභාවය අනුවත් මේවායේ මිල ගණන් වෙනස් වෙයි. ලක්ෂ නවයේ සිට ඉහළට ඒවායේ මිල ගණන් වෙනස් වෙයි. එම උපකරණ අනුරුවට අනුව ඉන් එහාට ටිකක් වැඩි දියුණු කළ Vodio Laryngoscope එකක් නිර්මාණය කිරීමට වෛද්‍ය සංකල්ප විතානගේ මහතාට හැකි වී තිබේ.
වෛද්‍යවරයා මෙම උපකරණය වැඩි දියුණු කොට ලංකාවේ නිෂ්පාදනය කර ඇත්තේ LED විදුලි බල්බ සවිකර ඇති කුඩා කැමරාවක් හරහාය. එමඟින් මීටරයේ දුර ආරක්ෂා කර ගනිමින් අදාළ කැමරාව වෛද්‍යවරයාගේ ජංගම දුරකථනයට සම්බන්ධ කර රෝගීයාගේ රෝග ලක්ෂණ පරීක්ෂා කළ හැකිය. මෙම කැමරාව හරහා ශරීරයේ නිරීක්ෂණයට අපහසු තැන් පරීක්ෂා කළ හැකිය.
කොවිඩ් - 19 රෝගීන්ගේ ශ්වසන අපහසුතා ඇති වූ විට පෙණහලුවලට ටියුබයක් ඇතුළු කොට පරීක්ෂා කිරීමට සුදුසු බව ලොව වෛද්‍ය මතය වෙයි. එහිදී වඩාත් සුදුසු යැයි තීරණය වූයේ Video Laryngoscope ක්‍රමයයි. එමඟින් වෛද්‍යවරයාගේ ආරක්ෂාවද තහවුරු වෙන බව වෛද්‍ය මතය විය. අවදානම අඩු කොට රෝගියාට ප්‍රතිකාර කිරීමට මෙහිදී හැකියාව ලැබේ. මේ ආකාරයට විශේෂඥ වෛද්‍ය අනූප සහ විශේෂඥ වෛද්‍ය අනුර යන වෛද්‍යවරුන් දෙපළද මීට පෙර Video laryngoscope උපකරණයක් නිර්මාණය කර තිබිණි. ඔවුන් එය නිර්මාණය කර තිබුණේ රෝගියාගේ මුවට ඇතුළු කරන laryngoscope උපකරණයට පිටින් විඩියෝ කැමරාව අලවා තබමිනි.
එහෙත් වෛද්‍ය සංකල්ප විතානගේ නිර්මාණය කළ Video laryngoscope උපකරණයේ කැමරාව සවිකර ඇත්තේ උපකරණය ඇතුළේමය. එය නිර්මාණය කර ඇත්තේ විදේශයෙන් මෙරටට ගෙන්වනVideo laryngoscope උපකරණයේ අනුරුවට සමාන ලෙසය. මුල් උපකරණයේ පැවැති අඩුපාඩු අවම කර ගැනීමට වෛද්‍ය සංකල්ප විතානගේ උත්සාහ කර තිබේ. ඒ යටතේ අදාළ උපකරණය මඟින් රෝගියාගේ පෙණහලු තුළට ටියුබය ඇතුළු කිරීමේදී එය නිරීක්ෂණය කළේ ජංගම දුරකථනයට සවිකරන ලද වයරයක් මඟිනි. නමුත් අලුතෙන් ලංකාවේ නිෂ්පාදනය කෙරෙන Video laryngoscope උපකරණය රැහැන් රහිතව නිර්මාණය කිරීමට වෛද්‍ය සංකල්ප විතානගේ මහතා බලාපොරොත්තු වෙයි. එය අලුත් අත්දැකීමකි. අලුත් නිර්මාණයකි.
කොවිඩ් - 19 රෝගීන්ගෙන් පිටවෙන බිඳිති රෝගය පැතිරීමට ඇති විශාල අවදානමකි. එය රෝගියාගේ සෙම, කෙළ, සමඟ පිටවිය හැකිය. එනිසා ප්‍රතිකාර කරන වෛද්‍යවරයා මෙම වයිරසයට ගොදුරු වීමට ඇති ඉඩකඩ වැඩිය. එම නිසා ආරක්ෂිත ඇඳුම් ඇඳීම මෙන්ම ආරක්ෂිතව ප්‍රතිකාර කිරීමද කළ යුතුය. එම නිසා Video laryngoscope උපකරණය හරහා වෛද්‍යවරයාට රෝගය බෝවීමේ අවදානම අඩු කර ගත හැකිය.
මෙම උපකරණය තැනීමේදී වෛද්‍ය සංකල්ප විතානගේ මහතාට උපකාර කළ පිරිසක්ද සිටිති. ඒ අතර බොරලැස්ගමුවේ ධම්මික නමැති ෆයිබර් වැඩ කරන අයෙක්ද සිටියි. වෛද්‍ය සංකල්ප තම නිර්මාණය ගැන ධම්මිකට කියූ විට ඊට පසුවදාම ධම්මික ෆයිබර්වලින් laryngoscope උපකරණයේ අනුරුවක් නිර්මාණය කරදී තිබේ. එහි සුළු වෙනස්කම් කරමින් තවත් අනුරුවක් හදාගෙන තිබේ. ඒවාට මුදල් අය කෙරී නැත. මෙය මහා පරිමාණයෙන් කිරීමට ධම්මිකට අපහසු බැවින් වෛද්‍ය සංකල්පට තම අවශ්‍යතාව සපුරා දිය හැකි අයකු සොයා ගැනීමට අවශ්‍ය විය. ඒ අනුව ඔහු මිතුරකු මාර්ගයෙන් හෝමාගම කර්මාන්ත පුරයේ වාහන සඳහා බොඩිකිට් නිර්මාණය කරන දුමින්ද අමරසිරි හමු වී තිබේ. ඒ අනුව laryngoscope උපකරණය කාබන් ෆයිබර් යොදා ගනිමින් නිර්මාණය කර තිබේ.
එම නිර්මාණයේ සැකිල්ල හැදීමට පමණක් රුපියල් හයදහසක් පමණ වියදම් වෙයි. කැමරා උපකරණ සහ ටැබ් යන්ත්‍රයද සමඟ මෙම උපකරණය ලංකාවේ නිෂ්පාදනය කිරීමට රුපියල් 25,000ක් පමණ වැය වෙයි. හොඳම කැමරා සහ ටැබ් යොදා මෙම උපකරණය හදන්නේ නම් රුපියල් 50,000 - 60,000ක් පමණ වියදම් වෙයි. නමුත් කොවිඩ් - 19 අවශ්‍යතාව අනුව සාමාන්‍ය උපකරණයක් හොඳටම ප්‍රමාණවත් බව වෛද්‍ය සංකල්පගේ අදහසය. මෙවැනි උපකරණ 100ක් නිපදවා රෝහල් 100ක් වෙත ලබා දීමටද වෛද්‍ය සංකල්ප බලාපොරොත්තු වෙයි.
මේ අය මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් තිබේ. ඒ laryngoscope උපකරණය නිපදවුවත් ඊට යොදා ගන්නා LED බල්බ සහිත USB Endorsecop සොයා ගැනීමට නොහැකිවීමය. ඇඳිරි නීතිය නිසා කැමරා මිලදී ගත හැකි ස්ථාන සොයා ගත නොහැකි වී තිබේ. මේ ගැන දැමූ වීඩීයෝ පටයක් හරහා එවැනි කැමරා තිබූ 6 දෙනකු පමණ සිය කැමරා නොමිලේ ලබාදී තිබේ. මෙබඳු කැමරා ඇති අය සිටිත් නම් එය මහත් පිනකි.
දැනට නිපදවා ඇති උපකරණ දෙකක් ඒවායේ තත්ත්වය පරීක්ෂා කිරීමට කළුබෝවිල සහ රාගම රෝහල්වලට දී තිබේ. එවිට අඩුපාඩු සොයා ඒවා සකසා අලුතෙන් නිපදවෙන උපකරණය හැදීමට දුමින්ද කටයුතු කරයි.
දිනකට නිපද වෙන්නේ උපකරණ හතරක් පමණකි. කාබන් ෆයිබර් මේ සඳහා යොදාගෙන ඇත්තේ එය පිරිසුදු කිරීමට ඇති හැකියාව, නම්‍යශීලී බව, විසබීජහරණයේදී ඕනෑම උෂ්ණත්වයකට ඔරොත්තුදීමේ හැකියාව ආදී ලක්ෂණ ඇති හෙයිනි. එසේම ප්ලාස්ටික් අච්චුවක් හැදීමට ගියහොත් එය කල්ගත වෙයි. ඒ සඳහා භාවිත කරන යන්ත්‍රය මඟින් එය කිරීමටද අපහසුය. දැනට කර්මාන්තශාලා වසා ඇති බැවින් එම ගැටලුව පැන නැඟී ඇත. එසේම ප්ලාස්ටික්වලින් එම අච්චුව හැදීමට මාසයක් පමණ ගත වෙයි. ඒ සඳහා විශාල වියදමක්ද වැය වෙයි. ප්ලාස්ටික් අච්චුව හදාගත් පසු ඉන් laryngoscope සැකිල්ල ඉක්මනින් හදාගත හැකිය. නමුත් ෆයිබර්වලින් හදන අච්චුව එක දවසකින් නිර්මාණය කරගත හැකිය. ඉන් දිනකට හැදීමට හැක්කේ උපකරණ හතරක් පමණි.
වෛද්‍ය සංකල්ප විතානගේ උත්සාහ කරන්නේ ඉක්මනින් මෙම උපකරණ නිපදවා රෝහල්වලට ලබාදීමටය. එනිසා ඒ සඳහා අවශ්‍ය කැමරා ලබාදිය හැකි නම් මෙම උත්සාහය වඩාත් පලදායී වනු ඇත.
ප්‍රගීත් සම්පත් කරුණාතිලක
mawbima