පොලිස් වසමකින් මෙරටදී තහවුරු වූ වැඩිම රෝගීන් ගණන මෙයයි
කතාව දිග්ගස්සනට උපකාර කළ වත්තෙන් වත්තට ගොස් කොණ්ඩය කැපූ ජංගම කරණනවෑමියා
බණ්ඩාරනායක මාවතට ගිහින් එන්න කිව්වා. වැඩිම රෝගීන් ගාණක් හම්බ වුණේ එහෙන්. පොඩ්ඩක් වටපිටාව බලමුද?
මාධ්‍ය ආයතනයෙන් වාහනයට ගොඩ වූයේ උදෑසනය. වසර ගණනක් කොළඹ ජීවත් වුවද අසා දැන නැති මේ බණ්ඩාරනායක මාවත දැන් අපේ රට ජාත්‍යන්තරයට ගෙනගොස් තිබීම ඊට හේතුව විය.
බණ්ඩාරනායක මාවතට ගිහිල්ලා නෑ. වෙන්න බෑ මහත්තයා. මිනිස්සු ඔය බණ්ඩාරනායක මාවත කියලා කිව්වාට දන්නේ නෑ තැන. බණ්ඩාරනායක මාවත කියන්නේ කොටුවේ ගල්වළට. රියැදුරු මහතාගේ පැහැදිලි කිරීම දෙපා හිරිවට්ටන්නට හේතු වූවා යැයි නොකීවේ නම් වැරැද්දකි. මෙරට ‘හාඩ්වෙයා’ හෙවත් යකඩ ඇණයේ පටන් කන්ටේනර් පෙට්ටිය දක්වා යකඩ හා බැ¾දුණ වෙළෙ¼දාමේ හදවත වන්නේ ගල්වළයි. ගල්වළෙන් බඩු නොයනා හාඩ්වෙයාර් එකක් ශ්‍රී ලංකාවේ ඇති නම් එය වෙනම කතා කළ යුතු මාතෘකාවකි. ගල්වළ හෙවත් මේ කියනා පරිදි බණ්ඩාරනායකපුර මාවත දිනකට යකඩ ටොන්වලින් නම් ටොන් දහස් ගණනක් හා මුදලින් නම් කෝටි තිහ හතළිහක් එහා මෙහා මාරු වෙන හතරමං හන්දියකි.
එහෙත් අද.....
අපි එදෙසට ළඟා වෙද්දීම මඟ දිගට ලැබුණේ අවවාද හා මඟපෙන්වීම්ය. අවසානයේ ආරක්ෂිත ඇ¾දුමක්ද ලැබිණි. ගල්වළ හන්දියෙන් එපිටට අඟලක් හෝ යන්නට ඉඩක් නැත. මෝටර් බයිසිකලයක් හරවන්නට ඉඩ නැති ගල්වළේ අද මැස්සෙක් හෝ නැත.
ඔය දිගට දිගේ තියෙන තට්ටු ගෙවල් ටික තියෙන්නේ පාර දෙපැත්තෙම. ඔය හැම ගෙදරකම වගේ 10-15ක් වගේ මිනිස්සු ඉන්නවා.
අසල සිටි ආරක්ෂක නිලධාරියා ඇඟිල්ල දිගු කරමින් පැවැසූයේය. සාමාන්‍ය නිවෙසක දහයයි දහයේ කාමරයක් තරම් වූ එම නිවාස කොටස් සියල්ලේම පාහේ මිනිසුන් අට්ටි ගසා ඇතිවාට සැක නැත. ඔවුන් ඉඳහිට ජනේලයකින් ඔළුව දමා බලයි. නිවෙස් ඇතුළේ කෑ කෝ ගසා කතා කරනා හඬ එකට එක්ව ඇසෙන්නේ එකම ගාලගෝට්ටියකි.
අපි මෙතැන වහපු මුල් දවස්වල ඔච්චර කෑ ගැහුවේ නෑ. දැන් නම් එයාලා එයාලගේ සාමාන්‍ය කෑකෝ ගැසීම එහෙමම කරනවා.
මේ අසා සිටියදී මතකයට නැඟුණේ දහසකට වැඩි පිරිසක් නිරෝධායනයට රැගෙන ගොස් ඇති නම් ඒ නිවෙස්වල සිටින්නේ කවුදැයි යන්නයි.
නිරෝධායනයට අරන් ගියේ මුලින්ම හමුවුණු රෝගියා හා ඇය නිසා වයිරසයට නිරාවරණය වුණා කියලා හ¾දුනා ගත් පිරිසත්, එවැනි අවදානමක් තිබුණු පිරිසත්. මේ හන්දියෙන් පාරවල් කිහිපයක් තියෙනවා. වතු බර ගාණක් තියෙනවා. මෙහේ වතු කියන්නේ ගෙවල්වල අංක සමාන ඒවා. උදාහරණයක් කිව්වොත්. මුල්ම රෝගී කාන්තාව විධියට හමුවුණු දඹදිව වන්දනාවේ ගිය තැනැත්තිය ජීවත් වෙන්නේ 146 වත්තේ. ඒ කියන්නේ මෙයාලගේ ගෙවල් තියෙන්නේ 146/1, 146/2, 146/3 ආදී ලෙසට. අන්න ඒ ගෙවල් ටික එක වත්තක්. ඔය එක ඉලක්කමක් ඇතුළේ ගෙවල් බර ගාණක් තියෙනවා. සමහරවිට ගෙවල් තිහක් විතරත් තියෙනවා. ඒ හැම ගෙයක්ම එකකට එකක් සම්බන්ධයි. ඉස්සර මේකේ නිවාස ව්‍යාපෘතිය හදද්දී ඔහොම ගෙවල් තිබුණාට දැන් ඒ ගෙවල් අස්සේ තව ගෙවල් හදලා. ඒ කියන්නේ දැන් තියෙන ලිපින 146/1/A 146/1/B ආදී විධියට. එහෙමත් බැලුවාම පර්චස් තිහක් වගේ වෙන මේ එක වත්තක තියෙනවා පවුල් ඒකක 50 - 100 අතර ගණනක්.
බණ්ඩාරනායක මාවතේ සෑම ගොඩනැඟිල්ලකම පහළ මහල කුමක් හෝ කඩයකි. ඉහළට ඉහළට ඇති නිවාස ඒකක ගණන පොළොවේ සිට ගණන් කර වටහා ගත හැකි තරමේ ඒවා නොවේ. එකම නිවෙසේ මාර්ගය දෙසට පිවිසුම දමා එක නිවෙසකුත් එම ගොඩනැඟිල්ලේම පිටුපසට මුහුණත දමා තවත් නිවෙසකුත් ලෙස ගොඩනඟා ඇති තැන්ද වේ. වයිරසයක් නොවේ, මෙවන් නිවාසවල එක ගෙදරක නිදා සිටින්නකු ගොරවන්නේ නම් අහල පහළ නිවාස දහයක පහළොවක පමණ සිටින්නන්ට නින්දක් නැතිවා විය යුතුය. මෙතෙක් කලක් රට නොදැක සිටි කුකුල් අට්ටි ජීවිත දෙස බලන්නට දැන් සිදුව තිබේ.
රෝගී කාන්තාව ලෙස මුලින්ම හ¾දුනා ගන්නා තැනැත්තියගේ නාමය බණ්ඩාරනායක මාවතේ ඉතිහාසයට එක්කාසුවෙනු ඇත. ඉන්දියාවට ගොස් හෝ ඒ ගොස් එන අතරමඟදී කොරෝනාව දායාද කොටගත් ඇය එය රැගෙන බණ්ඩාරනායක මාවතට පැමිණියේ මාර්තු මාසයේ 12 වැනිදාය. ඇය පැමිණෙද්දී සුපුරුදු ආකාරයට ගුවන්තොටුපොළේදී තමා පැමිණි රට මෙන්ම නිසි සියලු විස්තර ලබාදුනි. දඹදිව සිට ඇයත්, ස්වාමියාත්, වැඩිමහල් පුතාත් පැමිණි ගුවන් යානයේ ඇය අසල අසුන්ගෙන පැමිණි විදේශිකයාට දරුණු ලෙස කැස්ස වැලඳී තිබීම පිළිබඳවද ඇය ගුවන් යානයේ කාර්ය මණ්ඩලය දැනුවත් කළාය. වෙනත් අසුනක්ද ඉල්ලා ගත්තාය. එහිදීද කිසිවක් නොවීය. රෝගය පාලනය කරන්නට නිල වශයෙන් වගකීම පවරා තිබූ සියල්ලෝම අදාළ මොහොතේ ඉවත බලද්දී, කොරෝනා වයිරසයද රැගෙන කාන්තාව බණ්ඩාරනායකපුරට එන්නේ පෞද්ගලික වාහනයකය. ඇයත් සමඟ දඹදිව ගිය 30ක පිරිසක්ද කිසිදු මඟ බාධාවක් නොමැතිව නිවෙස් කරා පැමිණියාය.
අදාළ කාන්තාව කලෙක පටන්ම ඇදුම රෝගයෙන් පීඩා විඳින්නියකි. එබැවින් ඇගේ ශ්වසන මාර්ගයේ යම් සිරවීමක් සිදුවුවද, උගුරු වේළුණද ඇය සිතන්නේ ඒ ඇයගේ සුපුරුදු ඇදුම රෝගය නිසා බවය. මේ කියනා ඇදුම රෝගය උත්සන්න මට්ටමට පැමිණීම හේතුවෙන් පසුගිය මාර්තු 27 වැනිදා ඇය අසල සායනයකින් ඔෟෂධ ලබා ගන්නීය. එය තවත් දරුණු වීම නිසා ඇය අප්‍රේල් මස 15 වැනිදා කොළඹ ජාතික රෝහලට ඇතුළත් විය. මේ අතරේ වටපිටාවෙන් මෙන්ම මාධ්‍ය හරහා දිගින් දිගට කළ දැනුවත් කිරීම්වලට බිය වූ ඇය වහාම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක
කාර්යාලය දැනුවත් කරන්නේ කොරෝනාවට නිරාවරණය විය හැකි ස්ථාන හා පුද්ගලයන් රැසක් හරහා තමන් පැමිණි බැවිනි. වහාම ඇයටත්, ඇයගේ ස්වාමියාටත්, වැඩිමහල් පුතුටත් කොරෝනා රෝගයට අදාළ පරීක්ෂණ
සිදු කරන්නේ ඒ වන විට මෙරට කොරෝනා ප්‍රස්තාරයන් සමතලා කරන්නට සියල්ලෝම උත්සාහ ගන්නා පසුබිමකය. කොරෝනා ප්‍රස්තාරය සමතලා වෙනු වෙනුවට නොසිතූ විරූ ලෙස එය ඉහළට යන්නට හේතු සකසමින් බණ්ඩාරනායක මාවතේ කාන්තාවට කොරෝනා රෝගය ආසාදනය වී ඇති බව තහවුරු විය.
කෙසෙල්වත්ත පොලිස් බලප්‍රදේශයට අයත් මෙකී කාන්තාවට කොවිඩ් - 19 ආසාදනය වීමත් සමඟ කෙසෙල්වත්තම පීරන්නට බුද්ධි අංශවලට සිදුවිය. වර්ග මීටර් දෙසීයක පමණ වපසරියක වූ කෙසෙල්වත්ත 146 වත්තෙන් මෙන්ම ඇගේ ඥාතීන් සිටින 137 වත්තෙන් මෙන්ම 107 හා 166 වත්තෙන්ද මේ වන විට පුද්ගලයන් 1500ක් නිරෝධායනය සඳහා යැවීමට සිදුව තිබේ. මේ පිරිස පවුල් දෙසීය හැත්තෑවකට පමණ අයත් වූවන්ය. එක් ප්‍රදේශයකින් නිරෝධායනයට යොමුවූ වැඩිම පිරිස වාර්තා වූයේ එම සිදුවීමත් සමඟිනි. ඉකුත් අප්‍රේල් 19දා මෙම කත පදිංචි ප්‍රදේශයෙන් නිරෝධායනයට ගෙනගිය 203 දෙනාගෙන් 31ක්ම ආසාදිතයන් බවට පසුදිනම වාර්තා විය. මේ නිසාම කෙසෙල්වත්ත පොලිසිය ඇතුළු කොළඹ මධ්‍යම කොට්ඨාසයට අයත් පොලිස් ස්ථානවල බුද්ධි නිලධාරීන්ද නිරෝධායනය සඳහා පිටත් කර යැවීමට සිදුවී ඇත. මේ ලිපිය ලියවෙනා මොහොත වන විට අදාළ තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව 66කි.
තවත් පැහැදිලිව කියන්නේ නම් එක් පොලිස් වසමකින් මෙරටදී තහවුරු වූ වැඩිම රෝගීන් ගණන මෙයයි. එපමණක්ද නොවේ. කාන්තාවට වඩා කතාව දිග්ගස්සනට උපකාර කළේ වත්තෙන් වත්තට ගොස් කොණ්ඩය කැපූවා යැයි කියනා කරනවෑමියෙකි. ඔහු ජංගම කරණනවෑමියෙකි. හේ වත්තෙන් වත්තට ගොස් කොණ්ඩා, රැවුල කැපීම සිදු කරන්නෙකි. ඔහු කොරෝනා රෝගියකු බව තහවුරු වන මොහොත වන විට හේ කොණ්ඩය කැපීමට පමණක් මේ අවට ඇති 107 වත්ත, 137 වත්ත, 166 වත්ත ආදී ලෙස වතු ගණනක පුද්ගලයන් 20 - 25ක් පමණ මුණගැසී ඇත. ඒ ඔහුට අන් ආකාරවලින් නිරාවරණය වූවන්ට අමතරවය.
දැන් යමකුට සාධාරණ ගැටලුවක් ඇතිවනු ඇත. රටටම ඇඳිරි නීතිය දැම්මේ පසුගිය මාර්තු 19 වැනිදාය. එය එසේ නම් මෙලෙස නිවාස නිවාස අතර මිනිසුන් ගමන් කළේ කෙසේද යන්නයි.
සැබෑවටම මේ කියනා වතුවල නිවාස අතර මාරු වීම සාමාන්‍ය නිවෙසක කාමර කාමර අතර මාරුවීමට වඩා වෙනසක් නැත. එකම කොරිඩෝවේ නිවාස 20ක් පමණ තිබේ. එවන් නිවාස ඒකක අතර ඇඳිරි නීතියට කරන්නට හැකි දෙයක් නැත. එසේම මෙම නිවාසවල වසනා දනා දවසේ වැටුපට කුමක් හෝ රස්සාවක් කොට දිවිය ගැටගසා ගන්නවුන්ය. ඔවුන්ගේ නිවාසවල ජීවත් වන්නෝ කොටසක් රාත්‍රියේ වැඩ කරති. ඔවුහු නිවෙසට පැමිණ දහවලේ නිදති. එම නිවෙසේම සිටිනා අනෙක් අයවලුන් දහවලේ රස්සාව කොට රාත්‍රියේ නිදති. මේ ඔවුන්ගේ සාමාන්‍ය ජීවන විලාසයයි. දැන් ඇඳිරි නීතිය බැවින් දෙගොල්ලටම එකට නිවෙසේ වෙසෙන්නට සිදුව තිබේ. රස්නය උහුලා ගත නොහැකිය. හුළං පොදක් වදින්නට නිවෙසෙන් එළියට යා යුතුය. එළියට කියා යා හැක්කේ ඉදිරිපස නිවාස එකිනෙක සම්බන්ධ වෙනා කොරිඩෝවටය. වැඩිම වුණොත් නිවාස ඉදිරියෙන් දිව යන බණ්ඩාරනායක මාවතටය. මාවතේ පොලිස් ජීප්ය. එබැවින් සියල්ලෝ එක්කාසු වන්නේ කොරිඩෝවටය. කොරිඩෝවේ මීටරයක දුරක් තබා ගැනීම කෙසේ වෙතත් දෙදෙනෙක් දෙපසට මාරු වෙන්නට හෝ ඉඩක් නැත. මේ බණ්ඩාරනායක මාවතේ වත්තේ තත්ත්වයයි. ඉතින් කොරෝනා එහි රජ වීම අරුමයක් නොවේ.
කෙසෙල්වත්තේ සිදුවීම වඩාත් බරපතළ වන්නේ මහල් නිවාස මෙන් එක් බිත්තියෙන් වෙන්වූ තට්ටු නිවාස පෙළක් සහිත කුඩා ප්‍රදේශයක 166 වත්තේ ජනතාව පදිංචි වී සිටීමය. 166 වත්තෙන් පැමිණි කොවිඩ් වසංගතය රටේ නීතිපති දෙපාර්තමේන්තුව පවා වසා දමන්නට මුල්විය. ඒ නීතිපති දෙපාර්තමේන්තුවේ පෞද්ගලික ආරක්ෂක සේවයක නිරත අයකු බණ්ඩාරනායක මාවත හා සබඳතා තිබූ අයකු වීමය. මෙරට නීතියේ ඉහළම ආයතනය වූ ශේර්ෂ්ඨාධිකරණය පිහිටා ඇත්තේද මේ කියනා බණ්ඩාරනායකපුර මාවතට හූවක දුරිනි. එබැවින් අලුත්කඩේ අධිකරණ සංකීර්ණයද බණ්ඩාරනායකපුර රශ්මියෙන් උණුසුම්ව පවතී.
නීතිපති දෙපාර්තමේන්තුව වසා දැමෙන්නේ එහි ආරක්ෂක කටයුතු සඳහා යොදා සිටි පෞද්ගලික ආරක්ෂක අංශයේ තරුණියකටද කොවිඩ් වැලඳීමත් සමඟය. ඇය සමඟ සේවය කළ තවත් හත්දෙනකු ස්වයං නිරෝධායනයට යොමු කරන්නේත් මෙවන් පසුබිමකය.
කෙසෙල්වත්තේ ඇවිළී ගිය කොවිඩ් ගින්න දැන් කොළඹ අවට බොහෝ තැන් වෙළාගෙන හමාරය. මේ වන විට 166 වත්ත ඇතුළුව කෙසෙල්වත්ත පාළු ස්වභාවයක් ගෙන ඇත්තේ ආසාදිතයන් හා සම්බන්ධ වූවන් එක රොත්තට සොයාගැනීම නිසාවෙනි. එහිදී රාජ්‍ය බුද්ධි සේවාව හා හමුදා බුද්ධි අංශ රටපුරා උකුසු ඇස් යොමු කර ඇති අතර කෙසෙල්වත්ත පුරා තවදුරටත් මෙහෙයුම්වල නිරතව සිටිති. කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවතේ පදිංචි කාන්තාවගේ දෙවැනි පුතා මාළු වෙළෙඳාම් කළ අයෙකි. ඔහු සමඟ මාළු වෙළෙඳාමේ ගිය මාලිගාවත්ත, මහල් නිවාස සංකීර්ණයේ පදිංචි අයකුද දැනටත් නිරෝධායනයට යොමුකර ඇත. මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණයේ පදිංචිකරු මෙම අප්‍රේල් 18දා නිරෝධායනය සඳහා වැලිසර නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කර ඇත. ඔහුගේ බිරිය, දරු දෙදෙනා හා පියාට නිවෙසේ සිට නිරෝධායනය වීමට උපදෙස් දී තිබේ. යම් හෙයකින් මොවුන්ටත් කොවිඩ් ආසාදනය වී ඇත්නම් කෙසෙල්වත්තේ භීතිය මාලිගාවත්තටත් පැතිරෙනු ඇත.
කෙසෙල්වත්තේ කුලී වැඩ කරන හා නිකරුණේ ගැවසෙන පුද්ගලයන් සොයා යුද හමුදාව ප්‍රදේශය පීරද්දී නිරෝධායනයට බිය වී පැනගිය අයකු කොහුවල පොලිසිය 20 වැනිදා කළුබෝවිලදී අත්අඩංගුවට ගෙන තිබේ. මහජන සෞඛ්‍ය නිලධාරීන් හා කොහුවල පොලිසිය එක්ව මොහු අල්ලාගෙන කළුබෝවිල රෝහලේ කොරෝනා සැක සහිත රෝගීන් ඇතුළත් කරන වාට්ටුවේ නවත්වා පරීක්ෂණ ඇරැඹීය. අප්‍රේල් 19දා කළුබෝවිලට පැනවිත් සැඟ වී සිටි මොහු මත්කුඩු භාවිතයටද ඇබ්බැහි වූවෙකි.
ගුණසිංහපුර බස් නැවතුමේ වතුර බෝතල් විකුණමින් යාචකයන් හා කුඩුවලට ඇබ්බැහි වූවන් සමඟ කටයුතු කළ අයකුටද කොවිඩ් වැලඳී හමාරය. ඔහු නිසා එම ප්‍රදේශයේ යාචකයන් ඇතුළු 326ක්ද දැන් ඇත්තේ නිරෝධායනයට යොමු කරමිනි. කෙසෙල්වත්ත පොලිස් වසමේ මාර්ග පිරිසුදු කිරීමේ කටයුතු සිදුකළ පෞද්ගලික ආයතනයක සේවය කළ දෙමටගොඩ ආරාමය පෙදෙස හා බේස්ලයින් පාරේ පදිංචි දෙදෙනකුත් 20 වැනිදා සවස කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කෙරුණේය.
බණ්ඩාරනායක මාවත මෙරට ඉතිහාසයට තවත් දරුණු මතක ඉතිරි නොකරනු ඇතැයි යන විශ්වාසය හා ප්‍රාර්ථනයෙන් අපි එහි සිට නැවත එන්නට ආවෙමු.
ප්‍රසාද් අබේවික්‍රම
සේයාරු - සජීව චින්තක කහඳගමගේ