හොඳම දේ වන්නේ පිරිසිඳුකම
එන්නත් මගින් වෛරසයේ හෝ බැක්ටීරියාවක යම් සුළු ප්‍රමාණයක් අප ප්‍රතිශක්තීකරණ පද්ධතියට ඇතුල් කරනවා
කොරෝනා වෛරසයෙන් ජීවිත බේරා ගැනීම සඳහා සුදුසු ඖෂධයක් නිෂ්පාදනය කවදා සිදු වේද යන්න පිළිබඳව ලෝකයම අවදානයෙන් පසුවනවා.
මේ ඒ පිළිබඳ ව බීබීසී වෙබ් අඩවියෙහි පළ වූ ලිපියක පරිවර්තනයකි.
එන්නතක් සොයා පර්යේෂණ කෙරෙන ආකාරය
ඒ සඳහා විද්‍යාත්මක පර්යේෂණ ඉතා කඩිනමින් සිදු වේ. මේ වන විට එන්නත් 20ක් පමණ දියුණු කෙරෙමින් පවතී. ඉන් එක් එන්නතක් මීට දින කිහිපයක ට ඉහත දී මිනිසුන් යොදා ගෙන අත්හදා බැලීම ඇමෙරිකාවේ දී ඇරඹිණි. එන්නතක ආරක්ෂාකාරී බව හෝ යෝග්‍යත්වය අත්හදා බැලීම සතුන් යොදා ගෙන සිදු කිරීම සාමාන්‍ය ක්‍රමවේදය වුවද මෙහිදී එය සිදු නොවිණි.
තවත් සමහර විද්‍යාඥයින් පිරිසක් සතුන් යොදාගෙන පර්යේෂණ සිදු කරන අතර මිනිසුන් යොදා ගෙන කෙරෙන අත්හදාබැලීම්වල ප්‍රතිඵල මෙම වසර අග දී ලබා ගැනීමට නියමිතය.
නමුත් එන්නතක් දියුණු කිරීමේ ජයග්‍රහණය මෙම වසරේදීම සැමරීමට විද්‍යාඥයින්ට හැකියාව ලැබුණ ද තවත් සුවිසල් අභියෝගයක් ඇත. එනම් එසේ සොයාගනු ලබන එන්නත අවශ්‍යතාවයට සරිලන ආකාරයට නිෂ්පාදන කිරීමේ අභියෝගය යි.
එනම්, සත්‍ය වශයෙන් ම කිසිදු එන්නතක් ලබන වසරේ මැද වන තෙක් භාවිත කිරීමට නොහැකි වනු ඇත.
එසේ වුව ද එම පර්යේෂණ කටයුතු නව ක්‍රමවේද භාවිත කරමින් ඉතා කඩිනමින් සිදුවේ. නමුත් සියල්ල බලාපොරොත්තු වන ආකාරයට ම සිදුවෙතැයි කිසිවෙකුටත් කිව නොහැකි ය.
මතක තබාගත යුතු එක් කරුණක් ඇත. එනම් කොරෝනා වෛරසයේ ප්‍රභේද හතරක් මේ වන විටත් මනුෂ්‍යයින් අතර පැතිර පවතී. එමගින් සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව ඇති කරයි. නමුත් ඒ කිසිදු ප්‍රභේදයකට ප්‍රතිරෝධී එන්නත් අප සතුව නැත.
එමගින් සියලු වයස් ඛාණ්ඩවල මිනිසුන් ට ආරක්ෂාව සැපයිය හැකි වෙයි ද?
වයස්ගත වන විට ශරීරයේ ප්‍රතිශක්තිකරණ හැකියාව දුබල වීම සාමාන්‍ය තත්ත්වයකි. එබැවින් වයස්ගත පුද්ගලයින් ට එවැනි එන්නතකින් පූර්ණ ආරක්ෂාවක් ලැබෙතැයි අපේක්ෂා කළ නොහැක.
අතුරු ආබාධ ඇති විය හැකි ද?
සාමාන්‍ය වේදනා නාශක ද ඇතුළු සියලු ඖෂධ නිසා අතුරු අබාධ ඇති වේ. නමුත් පර්යේෂණ තත්ත්වයේ ඇති එන්නතකින් ඇති විය හැකි අතුරු අබාධ පිළිබඳ ව නිවැරදි විද්‍යාත්මක පර්යේෂණයකින් තොරව දැන ගැනීමට හැකියාවක් නැත.
ඖෂධ නියාමන අධිකාරීත්වය ඇති ආයතන එම කරුණ පිළිබඳ ව දැඩි අවධානයකින් සිටිතැයි බලාපොරොත්තු විය හැකිය.
එන්නතක් දෙන විට කාහට ප්‍රමුඛත්වය ලැබේවි ද?
එන්නතක් නිෂ්පාදනය කළහොත් මුල් අවදියේ දී සැපයුමෙහි අඩුවක් ඇතිවිය හැකිය. එබැවින් ප්‍රමුඛත්වය හිමි විය යුත්තේ කාටද යන්න තීරණය කිරීම වැදගත් ය.
කොවිඩ් -19 අසාදිත රෝගීන්ට නිරාවරණය වන සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ සේවයේ යෙදෙන්නන් ට අනිවාර්යෙන් ම ප්‍රමුඛත්වය හිමි වේ.
වයස්ගත පුද්ගලයින් ට මෙම වෛරසය වැළඳුනොත් මරණය පවා සිදුවිය හැකි බැවින් එම වයස් ඛාණ්ඩයේ අයට එන්නතෙන් සාර්ථක ප්‍රතිඵල ලැබේ නම් ඔවුන්ට ද ප්‍රමුඛත්වයක් හිමි වනු ඇතැයි පැවසේ. නමුත් වයස්ගත පුද්ගලයින් සමග ජීවත්වන හෝ වයස්ගත පුද්ගලයින් ගැන සැළකිලිමත් වන අයට වැඩි ප්‍රමුඛත්වයක් දීම වඩා හොඳ බවට ද අදහස් පළ වේ.
දැනට පවතින ඖෂධ කෙසේද?
දැනට භාවිතයේ පවතින වෛරස් නාශක ඖෂධ කොරෝනා වෛරසයට එරෙහිව ක්‍රියා කරන්නේ ද යන්න පිළිබඳ ව වෛද්‍යවරු අත්හදාබැලීම් සිදු කරති. මෙමගින් පර්යේෂණ වේගවත් කිරීමට පහසු වන්නේ එම ඖෂධ මිනිසුන් ට ලබාදීම ආරක්ෂාකාරී බව දන්නා හෙයිනි.
ඊට අදාළ පූර්ව පරීක්ෂණ මෙම වෛරසය පැතිර ඇති රටවල රෝහල්වල සිදු කෙරේ. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය බ්රූස් අයිල්වාර්ඩ් පෙබරවාරි මාසයේ පැවසුවේ, “මේ වනවිට වඩාත් ප්‍රතිඵල සහිතයි කියලා අපි හඳුනාගෙන තිබෙන්නේ එක් ඖෂධයයි. ඒ රෙම්ඩේසිවිර්,” යනුවෙනි.
“එය වර්ධනය කර තිබෙන්නේ ඉබෝලා රෝගයට යොදාගත හැකි ඖෂධයක් ලෙසයි. නමුත් එමගින් විවිධාකාර වෛරස රැසක් නැසිය හැකි බව හඳුනාගෙන තිබෙනවා. අපි තවමත් අත්හදාබැලීම් ප්‍රතිඵල එනකම් ඉන්නේ.”
එසේම එච් අයි වී සඳහා යොදා ගැනෙන ඖෂධ දෙවර්ගයක් (lopinavir and ritonavir) ගැන ද බලාපොරොත්තු තබා තිබිණි. නමුත් එම ඖෂධ අත්හදාබැලීමෙන් ලැබුණු ප්‍රතිඵල අසාර්ථක බව විද්‍යාඥ මතය වේ.
“එමගින් රෝගීන් සුව වීම හෝ මරණ ප්‍රමාණයේ අඩුවක් හෝ වුණේ නැහැ. එසේම කොවිඩ් -19 උත්සන්න රෝගීන්ගේ කොරෝනා වෛරසය අඩුවීමක් හෝ වුණේ නැහැ”.
නමුත් එම අත්හදාබැලීම් සඳහා යොදාගෙන තිබුණේ ඉතා අසාධ්‍ය රෝගීන් ය. ඉන් හතරෙන් එකක් මිය ගොස් තිබුණි. දරුණු ලෙස අසාදිත තත්ත්වයේ පසු වූ රෝගීන්ට එම ඖෂධ දීමෙන් ඖෂධයට ක්‍රියාකාරී වීමට කාලය මඳ වීම ඊට එක් හේතුවක් වන්නට ඇතැයි අනුමාන කෙරේ
මැලේරියාව ට ප්‍රතිකාර කිරීමට භාවිත කෙරෙන chloroquine නම් පැරණි නමුත් මිල අඩු ඖෂධය කෙරෙහි ද විද්‍යාඥ අවදානය යොමුවී තිබේ. එම ඖෂධයට කොරෝනා වෛරසය නැසිය හැකි බව විද්‍යාගාර පර්යේෂණවලදී තහවුරු වී ඇත. නමුත් රෝගීන්ට එම ඖෂධය දීමෙන් කුමන ආකාරයේ ප්‍රතිඵලයක් ලැබේ ද යන්න පිළිබඳ ව තවමත් නිශ්චිතව කිව නොහැක. ඊට අදාළ අත්හදාබැලීම් ඇමෙරිකාව සහ වෙනත් රටවල සිදුකෙරේ.
එන්නතක් හෝ සුදුසු ප්‍රතිකාරයක් සොයා ගන්නා තෙක් කළ හැක්කේ කුමක් ද?
මේ අවස්ථාවේ කළ හැකි හොඳම දේ වන්නේ පිරිසිඳුකම ගැන සැළකිලිමත් වීමය.
ඔබට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්නම් බොහෝ දෙනෙකුට එය බරපතළ නොවේ. තම නිවසේදී ම ඊට ප්‍රතිකාර කළ හැකිය. අවශ්‍ය වන්නේ විවේකය, නියමිත පැරසිටමෝල් මාත්‍රාව සහ අවශ්‍ය ප්‍රමාණයට දියර වර්ග පානය කිරීම ය. සමහර රෝගීන්ට රෝගය උත්සන්න විය හැකි ය. ඔවුන් රෝහල් කරා යොමු කළ යුතුය.
එන්නතක් නිර්මාණය කරන්නේ කෙසේ ද?
එන්නත් මගින් වෛරසයේ හෝ බැක්ටීරියාවක යම් සුළු ප්‍රමාණයක් අප ප්‍රතිශක්තීකරණ පද්ධතියට නිරාවරණය කෙරේ. අප ශරීරයේ ආරක්ෂකයෝ එය ආක්‍රමණිකයෙක් ලෙස හඳුනාගෙන ඊට එරෙහිව සටන් කිරීමට උගනී.
එවිට අදාළ වෛරසයට අප නිරාවරණය වුවහොත් ඊට එරෙහිව සටන් වැදීමට සිරුර හැඩගැසී සිටී. දසක ගණනාවක් පුරා එන්නත්කරණයේදී සිදු වූයේ මුල් වෛරසය භාවිත කිරීම ය.
සරම්ප, කම්බුල්ගාය සහ රුබෙල්ලා එන්නත සාදා ඇත්තේ එම වෛරසවල දුබල අනුවාද භාවිතයෙනි. එමගින් දරුණු අසාදිත තත්ත්වයක් ඇති වීම වළක්වයි.
කොරෝනා වෛරසයට එරෙහි එන්නතක් නිර්මාණය කිරීම සිදු කෙරෙන්නේ නව ක්‍රමවේදයන් භාවිත කරමිනි. මේ වන විටත් නව කොරෝනා වෛරසයේ ජාන කේතය විද්‍යාඥයෝ දනිති. එය Sars-CoV-2 ලෙස හඳුන්වයි.
සමහර පර්යේෂකයෝ කොරෝනා වෛරසයේ කුඩා ජාන කේතයන් ඉවත් කර හානිකර නොවන වෛරස සමග මුහු කරති.
එමගින් යම් ප්‍රතිරෝධයක් නිර්මාණය කළ හැකි යැයි අනුමාන කෙරේ.
තවත් සමහර විද්‍යාඥයින් පිරිසක් ඩීඑන්ඒ හෝ ආර්එන්ඒ භාවිත කර වෛරස් ප්‍රෝටීන නිර්මාණය කරති. ඒවාට එරෙහිව සටන් කිරීමට අප ප්‍රතිශක්තිකරණ පද්ධතිය හැඩගැසෙනු ඇතැයි ඔවුහු අනුමාන කරති.