Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

අම්මා කොම්පඤ්ඤ වීදියෙ කෙනෙක්
පොලිසියෙන් ආවාම තාත්තා
පිස්තෝලෙන් වෙඩි තිබ්බෙ තමාය කියලා යාළුවා බේරලා

‘‘ඔබට මා විනාශ කළ හැකිය. එහෙත් ඔබට මා පැරදවිය නොහැකිය.’’ මේ ප‍්‍රකට කියමන ලොව හමුවේ තැබුවේ ‘මහල්ලා හා මුහුද’ ලියූ ලෝක ප‍්‍රකට සාහිත්‍යකරු අර්නස්ට් හෙමිංවේය. ප‍්‍රවීණ රංගධර කමල් අද්දරආරච්චි ගේ ජීවන මඟ දිහා බලන විට මට සිතෙන්නේ ද එහෙමය. තරුණ වියේ පටන්ම විවිධ අවස්ථාවල බොහෝ අභියෝගවලට මුහුණ දෙමින් හැල හැප්පුම් මැදින් දිවි මඟ එකලූ කරගත් කමල් නිසාම සමාජය හමුවේ සාධාරණය ඉල්ලා විලාප නැගූ දුක් කඳුළු සුසුම් හෙළු ඔහුගේ ඒ ආදරණීය මාතාව ලීලා අද ජීවතුන් අතර නැත.

එහෙත් තම පුත‍්‍රයා පසුකලෙක දිවි මඟ හිණි පෙතේ ඉහළටම නැඟ පිරිසිදු කුටුම්භයක යහතින් ජීවත් වනු දැක සැනැහුණු සිිතින් ඇය මිය ගියාය. එහෙත් කමල්ගේ තාත්තාට එවැනි වාසනාවක් නොතිබිණි. ඔහු මිය ගියේ තම පුත‍්‍රයා රෝහලේ ශල්‍ය කර්මයක සිටියදීය. එහෙත් ඒ තාත්තා ගේ යෝධ සෙවණැල්ල තම ජිවිතය වටා සකස් වූ හැටි කියන්නට බොහෝ දේ ඔහුට තිබේ. රංගධරයකු මෙන්ම ව්‍යාපාරිකයකු ද වන කමල් අද පියවරම අපේ තාත්තා විශේෂාංගය හැඩ කරයි.

සැන්ටා

‘‘මගේ තාත්තා සැම්සන් අද්දරආරච්චි. එතුමා දකුණු පළාතේ ඉමදූව කියන ගමේ උපන්නේ දෙසැම්බර් 25 වැනිදා දවසකයි. ඒ නිසා නත්තල් කුමාරයෙක්. කි‍්‍රස්මස් දවසේ උපන් නිසා පවුලේ අය මුලින්ම එයා අමතලා තියෙන්නේ ‘සැන්ටා’ කියන හුරතල් වචනයෙනි. අපි පිරිසිදු බෞද්ධ. තාත්තා ටිකක් විප්ලවකාරයෙක්. අපේ සීයාට අත්තම්මාට අයිති දේපළ ගොඩක් තිබුණාට සීයාගේ මරණයෙන් පස්සෙ මේ ඉඩකඩම් පරිපාලනයක් සිදු වෙලා නෑ. අත්තම්මා ඒවා ගැන සැලකිල්ලක් දක්වා නෑ. ඒ නිසා හිතූ හිතූ ආකාරයට වෙනත් වෙනත් අයට අවශ්‍ය ආකාරයට මේ ඉඩම් - කඩම් පාලනය වන්නට වුණා. මේ ගැන කලකිරිලා ගෙදර පරිසරය එපා වෙලා තාත්තා අවුරුදු 15 ක පමණ කාලෙදි කොළොම්තොටට ඇවිත්. නොයෙකුත් රක්ෂා කරලා අන්තිමේ හිතවත් අයත් එක්ක සංචාරක මඟ පෙන්වන්නෙක් හැටියට රස්සාව කරන කාලේ අම්මාව හමුවෙලා තියෙන්නෙ.

කුලී ගෙදර

අම්මා කොම්පඤ්ඤ වීදියෙ කෙනෙක්. එතුමියගේ මහ ගෙවල් තිබුණෙ එහෙ. කොහොම හරි අම්මාව දැකලා තාත්තා මාර ‘ට‍්‍රයි’ එකක් දාලා අම්මව යාළු කරගෙන තියෙන්නෙ. අම්මගේ පවුලේ අය මුලදී කැමැති නැති වුණත් දෙන්නා ගේ පේ‍්‍රමය නැවතුණේ නෑ. කැලණියේ මුලින්ම කුලී ගෙදරක තමයි අපේ කුටුම්බය ගොඩනැඟුණෙ. මං ඉපදිලා හරියටම මාස 11 කින් මල්ලි ලලිත් අද්දරආරච්චි ඉපදිලා තියෙන්නෙ. දැන් එයා ජපානයේ. ඊළඟට මට මතකයි අපි වරාගොඩ කුලී නිවසක හිටියා. ඊටත් පස්සෙ වැඩපළකුත් දාගෙන තොටළඟ පදිංචි වුණා. තාත්තා හරිම ධෛර්යවන්තයි. මොනවා හරි බිස්නස්ම කරන්නයි කල්පනාව. අන්තිමට ස්වර්ණාභරණ නිර්මාණය කළා. මැණික් බිස්නස් කළා. 1970 පමණ කාලේ මට අවුරුදු 7 ක් විතර. මට මතකයි තාත්තා හම්බ වෙන්න සුද්දෝ එනවා. සමහර විට සුද්දන්ට අපේ ගෙදරින් කෑම. ඉංගී‍්‍රසි කතා කරන පරිසරයක් අපේ ගෙදර හැදුණෙත් ඒ නිසාමයි. පස්සෙදී නංගිලා 3 දෙනෙක් ද අපේ පවුලට එකතු වෙනවා.

ඉංගී‍්‍රසි අධ්‍යාපනය එදා හුඟක් කීර්තිමත්ව තිබුණු වෙස්ලි විද්‍යාලයට තාත්තා මා ඇතුළු කරන්නෙම ඉංගී‍්‍රසි හින්දමයි. ඒ කාලේ ෆීලික්ස් පේ‍්‍රමවර්ධන නාට්‍යකරුවා ඒ ඉස්කෝලේ හිටියෙ. තාත්තා එයාගේ හොඳ යාළුවෙක්. එතුමා තුළ සෞන්දර්යයක් තිබුණා. ගායනයට කැමැතියි. හැබැයි ගායනා කරන්න නම් බැ. ගෙදර පැදුරු පාටි ආදිය දානවා. ජෝතිපාල, එම්. එස්. ප‍්‍රනාන්දු ළඟින් ඇසුරු කළා මතකයි.

චොප්පෙ සමගත් යාළුයි

ඇලෝසියස් මුදලාලි, මරදානේ චොප්පෙ, හුණු කඬේ චන්දරේ ඒ වගේ කට්ටියත් තාත්තා ඇසුරු කළා. මේ වටරවුමෙ කට්ටිය ටිකක් සූදුවටත් බරයි. වලියටත් බරයි. තාත්තා කොච්චර ‘බිස්නස්මන්’ වුණත් ටිකක් ඒ පැත්තටත් ඇදුණා. එතුමාට කොළඹ මැණික් හා ස්වර්ණාභරණ සාප්පුවක් තිබුණා මේ කාලේ. පාරිභෝගිකයාට ආකර්ෂණීය වදන් පවා මේ සාප්පුවේ පෙනෙන්නට ගහලා තිබුණා. ‘‘පාරිභෝගිකයාට තමා පාවිච්චි කරන භාණ්ඩය ගැන දැනුවත් වීමට අයිතියක් ඇත.’’ මේ වාක්‍යයම ඉංගී‍්‍රසියෙනුත් ගැහුව. තාත්තා සාමාන්‍යයෙන් ෆැක්ටරියක් පවා තියාගෙන හිටපු කෙනෙක්. ඒකෙ හැදුවේ ස්වර්ණභාරණ මැණික් ඔප දැමීම වගේ වැඩ. ඊටත් අමතර 1978 පමණ කාලේ එතුමා පිටරටවලට කාන්තාවන් පවා යැව්වා රස්සාවලට. ඒත් ශත පහක් ගත්තෙ නෑ.

ඉංගී‍්‍රසියේ වටිනාකම

ඒත් පසුකාලෙක තාත්තා මෙහෙම කියනවා. ඒ රට ගිය ගෑනු අකරතැබ්බවලට මුහුණ දුන් පුවත්, බිඳුණු පවුල් ගැන අහලා. ‘‘මේක වහල් සේවයක්. පිරිමිකමටත් ලැජ්ජයි. මං මීට පස්සෙ කාවවත් රට අරින්නෙ නෑ’ කියලා එතුමාම ඒක නවත්වලා දැම්මා. තාත්තා ‘ටුවරිස්ට්’ ලා එක්ක කළ ඒ ගනුදෙනුව නැවැත්තුවේ නෑ. ඒ නිසා මට හැම තිස්සෙම කීවා ‘‘පුතේ ඉංගී‍්‍රසි නැතිව කටුනායක ගුවන් තොටුපළින් එහාට යන්න බෑ. පිටරට දැනුම ලබා ගන්නත් බෑ. ඒ නිසා ඉංගී‍්‍රසි ඉගෙන ගනින්’’කියලා.

අපේ තාත්තා හොඳ කුක් කෙනෙක්. සූපවේදියෙක් වගේ එයා උයන කෑම කන්න මාත් පවුලේ දරුවනුත් කැමැතියි. නිවාඩු දවස්වලට අම්මට පොඩි විශ‍්‍රාමයක් දීලා එයා උයනවා. හරිම රස කෑම. කොළඹ ‘ජුවෙල් ටේ‍්‍රඞ් ඉන්ටර්නැෂනල්’ කියන සාප්පුව තිබෙන කාලේ අපේ පවුලට ශක්තිමත් අඩිතාලමක් වැටුණා. නංගිලත් පාසල් ගියේ මියුසියස් එකට. පවුල ශක්තිමත් වනවිට එයා දරුවන් දිහා බැලූවෙ. ඒත් නරක ඇබ්බැහිකම (සූදුව* තාත්තා පසුපස හඹා ආවා.

යාළුවෝ නිසා ‘පරිප්පු’

තාත්තා කුකුළු කේන්තිකාරයා. අනෙක යාළුවන් වෙනුවෙන් සටනට ඉදිරිපත් වෙනවා. ඒ අය බේරා ගන්න කැපවීම් කරනවා. එක් වතාවක් ටර්මිනස් මුදලාලි ක්ලබ් එකකට ගිහින් පොඞ්ඩක් වැඩි වෙලා පිස්තෝලයක් අරන් හතර වටේ වෙඩි තියලා. පොලිසියෙන් ආවාම තාත්තා පිස්තෝලෙන් වෙඩි තිබ්බෙ තමාය කියලා යාළුවා බේරලා. අන්තිමේ රිමාන්ඞ් ගත කළා මතකයි. මාත් යාළුවන් වෙනුවෙන් ඒ කැපවීම් කරන්නෙ තාත්තගෙන් ආපු දෙයක් නිසා වෙන්න ඇති. දැන් රට පුරා ‘ස්පා’ නමින් වෙනත් වැඩ කරන ඕනෑ තරම් සාප්පු තියෙනවා. ඒත් මගේ අවංක මිත‍්‍රයෙකුට ඕන වුණා ලෝකෙ පිළිගත් ආයුර්වේද සම්බාහන ක‍්‍රමයක් නීත්‍යානුකූලව පවත්වන්න. ඒක ජනතාව අතර ආකර්ෂණීයයි. එයා ඒක නීත්‍යනුකූලව කළේ. මේක සම්බාහන ආයතනයක් විතරයි. ඒකට අපේ පවුලේ එයාගේ පවුලේ අයත් සම්බන්ධ වෙල ජීවිතය සෞඛ්‍යදායි කර ගන්න වෙහෙසුණා. මේ සම්බාහන ආයතනය තිබුණු තැන හරි කෙළින් පිට පැත්තෙ තිබුණේ ඉහළ පොලිස් නිලධාරියකුගේ ගෙයක්. එයා ඒක නිසා මේ නීත්‍යනුකූල සම්බාහන ආයතනය වැරදි කෝණයකින් පෙන්නලා වැටලෙව්වා. මගේ යාළුවා ඉන්නෙ බොහොම ඈත. මාත් නෝනත් මේ වැටලීම වෙලාවේ හිටියෙ ඒ කිට්ටුව සාප්පු සංකීර්ණයක ආරංචි වූ ගමන් අප ගියා එතැනට.

උපාය දූතයා

පොලිසිය මුලින්ම කීවෙ මේ තායි කාන්තාවන් 4 දෙනාට වීසා නැතැයි කියලයි. ඒත් එහෙම නොවෙයි කියලා ඔප්පු කළාම මේකෙ අයථා දේවල් සිද්ධ වෙනවා. අපි උපාය ¥තයකු යොදවා හොයා ගත්තැයි කීවා. කවුද? උපාය දූතයා. මොනවාද? හොයා ගත්තෙ. මේක පිළිගත් ආයුර්වේද ක‍්‍රමයක් කියලා මා තර්ක කළා. නඩුවක් දැම්මා. තායි කාන්තාවෝ බය වෙලා හිටියෙ. ඒත් නඩුවෙන් ඔප්පු වුණා. අපි වැරැුද්දක් නොකළ බව. නිදොස් කොට සියලූ දෙනා නිදහස් කළා. යාළුවකුගේ ආයතනයක්. මාත් තාත්තා වගේ පරිප්පුවක් කෑවා. ඒත් රටේ මිනිස්සු ඇත්ත තේරුම් ගත්තා. අපේ තාත්තාත් හැමදාම අලූත් අලූත් දේ කළා. බම්බලපිටියේ බතික් ප‍්‍රදර්ශනාගාරයක් පවා දැම්මා. කලාකරුවන් ආශ‍්‍රය කළා. රෙක්ස් කොඩිප්පිලි කියන රංග ශිල්පියාත් තාත්තා දැන හිටියා.

නරක ඇබ්බැහිකම්

තාත්තා තුළ ජීවත් වන දිරිය මිනිසාට වඩා වේගයෙන් එයා තුළ ජීවත් වූ නරක ඇබ්බැහි මිනිසා ඉදිරියට ආවා. එතුමා ළඟ ක්ලබ් යෑම, සූදු කෙළිම, ඔට්ටු ඇල්ලීම වගේ දේවල් තිබූ නිසා අන්තිමේ තාත්තා බංකොළොත් වුණා. එතුමාගේ ගේ පවා බැංකුවට ගියා. සුමතිපාල මුදලාලිත් ළඟින් ආශ‍්‍රය කළා. තිලංග පොඩි කාලේ ඉඳන්ම මාත් දන්නවා. තාත්තා මාව වෙස්ලි විදුහලට දාපු එක මට ආශීර්වාදයක්. ඉංගී‍්‍රසි හැදුණා. ඒකෙදී වේදිකාව හුරු වුණා. මං මුලින්ම පාසල් වේදිකාවේ හිටියේ බැසිල් මිහිරිපැන්නගේ නර්තන ඉසව්වක කෝච්චියක රෝදයක් විදියට.

හේගි කරුණාරත්න කියන පාසල් ගුරු භවතා මාව මෙහෙයවූවා. නිමල් සර්ගේ දෙබස් නාට්‍යයකට රඟපෑවා. ගාමිණී සමරකෝන්ගේ අභිරූපණ රංගනවල කළ දේ නිසා පාසලේ මා ජනපි‍්‍රය වුණා.

අනේ අබ්ලික්

මේ සිද්ධිය වෙනකොට මට අවුරුදු 16 යි. ආචාර්ය නෝබට් ජේ. මයර් කියන ප‍්‍රසිද්ධ නාට්‍යකරුවාගේ නාට්‍යයකට මාව තෝරා ගැනුණා. මෙහි පුහුණුවීම් සඳහා මට මාස 3 ක් වෙන්කර ගන්න සිදු වුණා. ජයන්ත චන්ද්‍රසිරි, ශි‍්‍රයන්ත මෙන්ඩිස් මේ කාලේ නළුවන් වෙන්න පුහුණු වෙනවා. ජයන්තත් ඉස්සෙල්ලාම ආවෙ රඟපාන්න. දැන් මේකට පාසලෙන් නිවාඩු අනුමත කර ගන්න එක ප‍්‍රශ්නයක්. මං පි‍්‍රන්සිපල් ඒ. එස්. වීරසිංහ මහතා හමුවුණා. එතුමා හොඳම විදුහල්පතිවරයෙක්. එයා කීවෙ ‘‘උඹ උපන් ගෙයි නළුවා. ඔය චරිතය කරන්න’’ කියලයි. අපේ තාත්තාට නම් කලාව ගැන ලොකු හැඟීමක් නෑ. එයා හිටියෙ ‘‘කලාකරුවෝ කියන්නෙ ගිඟන්නො’’ කියන සාම්ප‍්‍රදායක මතයෙ. මං අම්මාගෙන් අවසර පැතුවාම එයා තාත්තාට කියන්න බය වුණා. ඒත් පාසලින් අනුග‍්‍රහය ලැබුණ නිසා ම නෝබට් ජේ. මයර් මහත්මයාගේ ‘අනේ අබ්ලික්’ නාට්‍යයේ රඟපෑවා. මං පාසලේ වැඩවලටත් මඟ හරින්නෙ නෑ. දීප්තිමත් සිසුවෙක්. වාර විභාගවලදී වුවත් 2 වැනියා/ 3 වැනියා වෙන්නෙ. මා හිතන්නෙ පර්මිෂන් ලැබුණේ ඒ නිසයි. ආනන්ද අබේනායක මහත්මයා මේ නාට්‍යය බැලූවා. එතුමා ‘සාගරයක් මැද’ ගාමිණී ෆොන්සේකා මහතාගේ පුතාට මා හොඳ යැයි හිතලා මාව සම්මුඛ පරීක්ෂණයට ගාමිණී මහා රංගධරයා ළඟට යැව්වා. මට නිකම් ‘චූ’ යන්න එනවා සිනමා සක්විති ගාමිණී දැක්කාම. මං එතකොට හරිම කෙට්ටුයි. ගාමිණී මහත්මයා ධර්ම ශී‍්‍ර මුණසිංහ මහත්මයා කැඳවලා ඇහුවා අර චරිතෙට මෙයා සුදුසුද? කියලා. එයා කීවෙ මෙයාගෙ ඇඟ ටිකක් මදි නේද? කියලයි. එතුමා ඒ වෙලාවෙ මෙහෙම කීවා. ‘‘නෑ. මිස්ටර් මුණසිංහ මං හිත හිතා හිටියෙ මේ වගෙ කෙනෙක් ගන්න’’ කියලා. කොහොම හරි මට අවස්ථාව ලැබුණා. දැන් තාත්තාගෙන් අවසර ගන්න එක තමයි ප‍්‍රශ්නෙ. අම්මාට කිට්ටු කළා. කාරණය කිව්වා. අනේ, ලොකු පුතා මට නම් කියන්න යන්න බෑ’’ අම්මා කීවා. මං එතකොට පාසලේ බෞද්ධ සංගමයේ ලේකම්. අපේ පන්ති භාර ටීචර්ගේ අත්සනත් කොල්ලන්ට ගහලා දෙනවා. ‘ලෙටර්හෙඞ්’ වුණත් පහසුවෙන් ගන්න පුළුවන්. මේ පහසුකම් නිසා මං ලියුමක් ලීවා පි‍්‍රන්සිපල් ලියන විදියට. එතකොට මං බාලදක්ෂයෙක්. ඉංගී‍්‍රසියෙන් ලියුම ලීවෙ.

පුතාගෙ ලියුම

‘‘ඔබේ පුතා අහවල් දින සිට අහවල් දා තෙක් සතියක් පුරා බණ්ඩාරවෙල පැවැත්වෙන බාලදක්ෂ කඳවුර සඳහා තෝරාගෙන තිබෙනවා. ඔබේ කැමැත්ත දන්වා එවන්න’ කියලා මම්ම ලියාගෙන දැන් ලියුම ගෙදර ගෙනිහින් තාත්තාට දුන්නා. පි‍්‍රන්සිපල්්ගේ අත්සන ගහන එක හුඟක් ලේසියි. ලියුම එවන්නෙ පි‍්‍රන්සිපල් විදියට අත්සන් කළා. අම්මා කුස්සියෙ වැඩක් කරන අතරේ හොරෙන් හිනැහෙනවා මට පෙනෙනවා. තාත්තා ලියුම නොබලා මටම කියවන්න කීවා. හොඳයි. මේ විදියට උත්තර ලියපන් කියලා තාත්තා දැන් අවසර දෙනු බව කියා ලියුමක් මා ලවාම ලියවනවා. වැඬේ හරි. දැන් සාගරයක් මැද? ෂුටින් යන්න පුළුවන්. කියපු දා යන්නෙ කොහොමදැයි තාත්තා ඇහුවා. මා කීවා වාහනයක් එන බව. එදා තාත්තා වැඩට යන්න පරක්කු වෙලා මට වාහනයක් නොආ බව තේරුම් ගත්තා. මං ඒ වනවිට බස් එකෙන් දර්ශන තලේටත් ගිහින්. තාත්තාට සැක හිතිලා පාසලට යාවි කියන බයට අම්මා ඉස්කෝලෙට ගිහින් ගුරුවරුත් පි‍්‍රන්සිපලූත් හමුවෙලා ඇත්ත කතාව කියලා. කොහොම හරි පි‍්‍රන්සිපල් හොඳ නිසා වැඬේ ෂේප්. තාත්තාට චිත‍්‍රපටි ගැන කලාකරුවන් ගේ අනාගතය ගැන වැරදි ආකල්ප තිබුණේ. තාත්තා ආගම දහමට නැඹුරුයි. එතුමා නාරාහේන්පිට පන්සලක බස්නාගොඩ විමලරතන කියලා හිමිනමක් හා කැලණියේ මහා නායක හිමිනමක් ද හොඳින් දැන සිටියා. එතුමා ස්වාධීනව දේශපාලනය ගැන වුණත් හිතුවෙ. ආර්. පේ‍්‍රමදාස මහතාටත් බොරැුල්ලේ එම්. එච්. මොහොමඞ් මහත්මයාටත් ගරු කළා. ජනාධිපති නීතිඥවරු තිලක් මාරපන. අර්ඞ්ලි පෙරේරා වැනි අය සමග හිතවත්ව හිටියා.

මගේ යාළුවෝ තාත්තාට බයයි

ජයන්ත චන්ද්‍රසිරි ගේ මුල්ම නාට්‍ය නිෂ්පාදනය කළේ ‘‘මගේ අම්මා’’ තාත්තාට පෞද්ගලිකව ගෙදර පොඩි බාර් එකක් තිබුණා. මේකෙ බියර් ආදිය නැති වෙනවා මගේ යාළුවෝ එකතු වුණාම. ඒ වෙලාවට ‘අසමජ්ජාතියො පල් වැඩ කරනවා’ කියලා තාත්තා බණිනවා. ඒ නිසා ජයන්තලා ශි‍්‍රයන්තලා පණ බයයි අපේ තාත්තාට. තාත්තා ඉන්න වෙලාවට එන්නෙ නම් නෑ. මං ටිකින් ටික රඟපානවා දැන්. ‘ඔත්තුකාරයා’ දර්ශනයක් බලන්න තාත්තා ආවා. ජයන්තගේ හුඟක් නාට්‍යවල මං තමයි ඇඳුම් නිර්මාණයත් කළේ. තාත්තා නාට්‍ය බලන් ඉන්න ගමන් අම්මාගෙන් අහනවාලූ. ‘‘අර අරකා ඇඳගෙන ඉන්නෙ මගේ කලිසමක් නේද?’’ කියලා. මං තාත්තාගෙ කලිසමක් හොරෙන් ගෙනිහින් ඒ දර්ශනයට ගත්තෙ. එච්චරයි. මට එතැනදිවත් පිට තැනකදිවත් ආයිත් ඒ ගැන ඇහුවෙ නෑ.

තාත්තාට වකුගඩුවල ආබාධයක් ආවා. දියවැඩියාව තිබුණා. මා ජීවිතයේ මුහුණ දුන් බර්තොලමියුස් සිද්ධිය ගැන කම්පාවෙන් හිටියෙ. ඒක අපි කවුරුත් කම්පා කළ දෙයක්. ඒත් දෙවැනි වතාවේ මා රිමාන්ඞ් කළ සිද්ධිය ගැන තාත්තා බොහොම වේගයෙන් කතා කළා මතකයි. ‘‘පුතේ, වැරදි විදියට යමක් කරන්නෙ නැති බව මා දන්නවා. කම්පා වෙන්න එපා. ජීවිතයේ වැටෙන වෙලාවට වෙනදාටත් වඩා කෙළින් හිටගනින්’’ එතුමා මට කීවා.

පියන අරින්න එපා

මා කොළඹ මහ රෝහලේ නිකටේ තරමක ගැටිත්තක් ඇවිත් ශල්‍ය කර්මයකට මුහුණ දුන්නා. ඒ කාලේ අපේ ගෙදර අමාරුකම් ආවා. ප‍්‍රශ්න පිට ප‍්‍රශ්න මටත් ආවා. තාත්තාත් වැටිලා. පැය පහමාරක් ශල්‍යකර්මය කරලා මා සුව වුණාම ඒ මොහොතේ තමයි තාත්තා මාව දාලා ගිහින් තියෙන්නෙ. සියලූම දෙනා කිව්වා සොහොන්පිටිය පැත්තටවත් ඔයා යන්න එපා කියලා. ඒත් මං තාත්තා ගේ මිනිය ගෙන ආපු සොහොන් පිටියට ආවා.

පියන ඇරලා තාත්තා පෙන්වන්න කෙනෙක් උත්සාහ කළත් මා ඒක එපා කියලා වැළැක්වූවා. හේතුව මා දන්නවා ඒ පෙට්ටිය ඇතුළේ ඉන්නෙ පුෂ්ටිමත් ජවසම්පන්න මා දුටු තාත්තා නොවේ. කේඬෑරි වූ ලෙසින් ඔත්පළව මියගිය මිනිසෙක්. ඒ විදියට තාත්තා පිළිබඳ අන්තිම මතකය මගේ මනසට එකතු කර ගන්න මට අවශ්‍ය වුණේ නෑ. මං හිතට දහිරිය දාලා තාත්තාගේ මිනියෙ අන්තිම ඡුායාව ඇහැට ගත්තෙ නෑ. ඒ නිසා මගේ තාත්තා තවමත් මට ජවසම්පන්නයි.

අපේ තාත්තාත් මේ රටේ අධ්‍යාපන ක‍්‍රමයෙන් අතරමං වෙච්ච මිනිහෙක්. තාත්තා කොළඹ ආවේ අවුරුදු 15 වුණාට එයාට අධ්‍යාපනයක් තිබුණා. අපේ අධ්‍යාපන ක‍්‍රමය තුළ ශිෂ්‍යයන් පාසල හැර යන විට හරියට ඒ ඒ තැන්වලට ස්ථානගත කරන ප‍්‍රායෝගික වැඩපිළිවෙළක් නෑ. ඒ අයට පාසල් හැර ගියාම ජීවත් වෙන්න ක‍්‍රමවේදය ප‍්‍රාග්වෘත්තීය වැඩක් තිබෙන්නට ඕනෑ.

හම්බ කළාට වියදම දන්නෙ නෑ

අපේ තාත්තා ඉබාගාතේ හැම තැනම දිව්වා. සල්ලි හම්බ කළා. හැබැයි ඒවා වියදම් කරන්න දැන ගත්තෙ නෑ. මැණික් කැප්පෙව්වා. ස්වර්ණාභරණ හැදෙව්වා. ගාමන්ට්ස් පවා අම්මත් එක්ක කරලා තියෙනවා. සංචාරක මඟ පෙන්වන්නෙක් වුණා. කොළඹ සාප්පු දැම්මා. තොටළඟ වැඩපළ දැම්මා. මොනවා දැන ගත්තත් අන්තිමේ එයාගේ සහජ දුර්වලතාව එයාව වසා ගත්තා. එයා නැති වුණේ සූදුවට ඔට්ටු අල්ලලා. ඒත් අම්මටත් අපටත් දුකක් දුන්නෙ නෑ. එයා ගේ යාළුවා ආබ්දීන්. එයා ‘භව කර්ම’ හා ‘භව දුක’ හැදුවා. ඒත් තාත්තා ඒවා ගැන පැහැදීමකට ආවේ නෑ. තාත්තා සූදු කරන්නෙ නැතිව චිත‍්‍රපටි හැදුවා නම් එයා හොඳ නිෂ්පාදකයෙක්. එදා සිනමාවේ ස්වර්ණමය කාලය බවත් අමතක කරන්න එපා. ඒ නිෂ්පාදකයා යටතේ මටත් මීටත් වඩා ගමනක් තිබෙනවා එහෙනම්. ඔස්වල්ඞ් ජයසිංහ, තලතා ගුණසේකර, පියදාස විජේකෝන් මේ අයත් තාත්තාව හොඳට දැනගෙන හිටියා.

ව්‍යාපාරික ඥානය

තාත්තාට ව්‍යාපාරික ඥානය ඉහළින්ම තිබුණා. එක වතාවක් ව්‍යාපාරය අන්තයටම වැටිලා තිබෙන වෙලාවක මං ස්වර්ණාභරණ බඩු තියෙන සාප්පුවේ හිටියා. එයා දහවල් ඇවිත් ඇහුවා මොනවාද? විකුණුවෙ කියලා. මං කීවා මොනවාද? විකුණන්න තියෙන්නෙ තාත්තෙ කියල. එයා ස්වර්ණාභරණ තිබුණු ලොකු පෙට්ටියක් අරගෙන (ඒකෙ මුදු, කරාබු ආදිය තිබෙනවා* මේකෙ වටිනාම දේ මට පෙන්වන්න කීවා. මා ඒ පෙට්ටියේ බඩු අත ගාලා මුද්දක් අතට අරන් මේක තමයි වටින්නෙ කීවා. එයා ඒ වතාවේ පෙට්ටිය නැවත අවුස්සලා මා පෙන්වපු මුද්දම අතට ගත්තා. ඔයා හරි, ඔයා වෙනත් දේවල් විකුණන්න එපා මෙන්න. මේ මුද්ද විකුණන්න කියලා. එයා ඒ වගේ කෙනෙක්.

මං පොඩි කාලේ තාත්තා ලොකු අයිසින් කේක් ගෙඩියක් ගෙනැත් මේසය උඩින් තියලා ඇඟ සෝදා ගන්න නාන කාමරයට ගියා. ඒකෙ උඩ කවරයේ අර කේක් ගෙඩියෙ අයිසින් ටික තැවරිලා. කවරයට යටින් නංගිලා තුන් දෙනා ටිකක් හාරන් කාලා. මං අර කේක් ගෙඩියේ අයිසිත් තැවරුණු කොටස ඇඟිල්ලෙන් හූරගෙන කෑවා. තාත්තා ඇවිත් බලනකොට කේක් ගෙඩිය දරුවෝ පහුරු ගාලා. එයා පරීක්ෂා කළා.

පරීක්ෂා කරලා පියනේ අයිසින් හූරපු මගේ ඇඟිලිවලට සමාන බව තේරුම් ගත්තා. නංගිලාට දඬුවම් නෑ. මාව එතැනම පැදුරක් දාලා වාඩි කරවලා කේක් ගෙඩිය තියලා දැන් ඉතින්! ඔක්කොම කන්ට ඕනෑ කියලා කියනවා මාත් ටිකක් ගිජුකමට කෑවට වැඩිය කන්න බෑ. ඒ නිසා මං දැන් අඬනවා. නංගිලා පැත්තක ඉඳන් අඬනවා. ඒ අය අඬන්නෙ මං අපහසුතාවට පත්වුණු එක ගැන නොවේ. ඒ අයට කේක් කන්න නොලැබෙන නිසයි. තාත්තා දුන් ඒ දඬුවම් නිසා අප හැදුණා.

නිවැරදිකාර තාත්තා පිළිගැනීම

මං පුනර්භවය පිළිගන්නවා. මගේ තාත්තා මේ සංසාර සාගරයේ තවමත් කොහේ හරි ඉන්නවා. එතුමා දැන් වැරදි හදාගෙන ඇති. මැරෙන වෙලාවෙත් තාත්තා සූදු ඔට්ටු අල්ලපු ඒවා ගැන මතක් වෙන්න ඇති. ඒවා ගැන කම්පා වන හදක් එතුමාට අන්තිමේදී තිබුණා. ඒ නිසා වැරැුද්ද පිළිගත් ගමන්ම එතුමා නිවැරදිකාරයෙක්. ඒ නිවැරදිකාර තාත්තා මට සසරදී යළි හමුවුණොත් ඒක මට සතුටක්.

Latest news

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook