Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

බලපත්‍රයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් 65,000ක්
මම අවුරුදු 27ක් ජනතාව වෙනුවෙන් දේශපාලනය කරලා තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් බවට පත් වුණේ

සමන් රත්නප්‍රිය මහතා ශ්‍රී ලංකාව තුළ ජනප්‍රිය සමාජ ක්‍රියාකාරිකයකු බව අමුතුවෙන් පැවසිය යුතු නැත. පුරවැසි බලය සංවිධානයේ කැඳවුම්කරු ලෙස කටයුතු කළ රත්නප්‍රිය මහතා මෙරට දේශපාලනයේ කැපී පෙනෙන චරිතයක් බවට පත් වූයේ 2015 ජනාධිපතිවරණය සමයේදීය. කෙසේ වෙතත් පසුගිය කාල වකවානුවේදී ශ්‍රී ලංකාවේ බොහෝ සමාජ ක්‍රියාකාරිකයන්ගේ පැහැදිලි නිහඬ බවක් දක්නට ලැබිණි. එවැනි පසුබිමක රත්නප්‍රිය මහතා නැවත වරක් කතාබහට ලක් වූයේ එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වශයෙන් ඒ මහතා පාර්ලිමේන්තුවට තේරී පත් වීමත් සමඟිනි. ඒ ජයම්පති වික්‍රමරත්න මහතාගෙන් හිස් වූ පාර්ලිමේන්තු අසුන වෙනුවෙනි.

සමන් රත්නප්‍රිය මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස නම් කිරීම සිදු කෙරුණේ ඉකුත් ජනවාරි 23 වැනිදාය. ඒ මහතාගේ දිවුරුම් දීම සිදුවූයේ ඉකුත් පෙබරවාරි 05 වැනිදාය. දිවුරුම් දී දින කිහිපයකට පසු නැවත වරක් සමන් රත්නප්‍රිය මෙරට තුළ කතාබහට ලක්වන පුද්ගලයකු බවට පත් වී ඇත. ඒ තීරු බදු රහිත වාහන බලපත්‍රයක් ලබා ගැනීම සඳහා ඒ මහතා සූදානම් වන බවට පළ වූ පුවත සමඟින්ය. සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා තීරු බදු රහිත වාහන බලපත්‍රයක් හිමි වන බව සියලුම දෙනා දන්නා කාරණයක් වුවද, රත්නප්‍රිය මහතා වාහන බලපත්‍රය සඳහා ඉල්ලුම් කිරීම දැඩි ආන්දෝලනයකට තුඩු දී ඇත්තේ ඒ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන කාලය මතය. එමෙන්ම රත්නප්‍රිය මහතා සමාජ ක්‍රියාකාරිකයකු වශයෙන් කටයුතු කිරීම හේතුවෙන් එම අවධානය දෙගුණ තෙගුණ වී ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස සමන් රත්නප්‍රිය මහතා දිවුරුම් දුන් සිට මේ දක්වා පාර්ලිමේන්තුව රැස් වී ඇත්තේ දින හයක් පමණි. මාර්තු මස 02 වැනි දිනට පෙර ජනාධිපතිවරයාට ලැබෙන බලතල අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් රත්නප්‍රිය මහතා සමස්ත පාර්ලිමේන්තු කාලය පුරාම ඒ සඳහා වැය කළ දින ගණන වන්නේ 06ක් පමණි. දින 06ක් පමණක් පාර්ලිමේන්තු ගිය මන්ත්‍රීවරයකු තීරු බදු රහිත වාහන බලපත්‍රයක් ලබා ගැනීම කෙතරම් යුක්ති සහගතදැයි බොහෝ දෙනකු විමසන්නේ රත්නප්‍රිය මහතා පසුගිය කාලය පුරා දූෂණය, වංචාව සහ නාස්තියට එරෙහිව නැඟූ හඬද, නැවත ආවර්ජනය කරමිනි.

වාර්තා වන ආකාරයට සමන් රත්නප්‍රිය මහතාට ලැබෙන බලපත්‍රයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් 65,000කි. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් එක්කෝටි විසි ලක්ෂයක් පමණ වේ. නවක මන්ත්‍රීවරයකු ලෙස තමන්ට හිමි වාහන බලපත්‍රය සඳහා රත්නප්‍රිය මහතා කළ ඉල්ලීම මේ වන විට අනුමත වී තිබෙන බවද පසුගිය වාර්තා විය. මේ පිළිබඳව අප කළ විමසීමකදී රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ නිලධාරියකුද ඒ බව තහවුරු කළ අතර මේ වන විට රත්නප්‍රිය මහතා නිල වශයෙන් වාහන බලපත්‍රයට හිමිකම් කියන බවද එම නිලධාරියා තහවුරු කර සිටියේය. කෙසේ නමුත් දින හයක් පමණක් පාර්ලිමේන්තු ගිය මන්ත්‍රීවරයකුට වාහන බලපත්‍රයක් ලබා දීමේ යුක්ති සහගත බව සම්බන්ධයෙන් අප කළ විමසීමට පිළිතුරු දුන් එම නිලධාරියා සඳහන් කළේ පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාද ඒ පිළිබඳ පාර්ලිමේන්තු ලේකම්වරයාගෙන් නැවත විමසීමක් කළ බවය. එහෙත් පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව සියලුම මන්ත්‍රීවරුන් වාහන බලපත්‍රය සඳහා හිමිකම් කියන බවත්, එක් දිනක් හෝ පාර්ලිමේන්තු ගිය මන්ත්‍රීවරයකුට වුවද, එම වරප්‍රසාද හිමිවන බැවින් රත්නප්‍රිය මහතා ඒ සඳහා සුදුස්සෙක් බව තහවුරු කර ගැනීමෙන් අනතුරුව එම අනුමැතිය ලබා දීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය කටයුතු කර ඇත.

මෙතරම් විවේචන මධ්‍යයේ එක්කෝටි විසි ලක්ෂයක් වටිනා තීරු බදු රහිත වාහන බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතාගෙන්ද කරුණු විමසූ අතර ඒ මහතා සඳහන් කළේ අනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනට හිමිවන සියලු වරප්‍රසාද තමාටත් හිමිවන බවය. “මම අවුරුදු 27ක් ජනතාව වෙනුවෙන් දේශපාලනය කරලා තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් බවට පත් වුණේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් බවට පත් වුණාට පස්සේ අනෙක් මන්ත්‍රීවරුන්ට හිමිවන සියලු වරප්‍රසාද, සියලු අයිතිවාසිකම් සමන් රත්නප්‍රියටත් හිමියි. එහෙනම් අනෙක් මන්ත්‍රීවරු වාහන ගන්න එක ප්‍රශ්නයක් නොවෙන්නත්, රත්නප්‍රිය වාහනයක් ගන්න එක ප්‍රශ්නයක් වෙන්නත් බැහැ. හැමෝටම ඒ දේවල් පොදු වෙන්න ඕනේ.”

නමුත් රත්නප්‍රිය මහතාට විවේචන එල්ල වන්නේ සීමිත දින ගණනක් පමණක් පාර්ලිමේන්තු ගොස් බලපත්‍රය ලබා ගැනීම නිසාය. එම විවේචන සම්බන්ධයෙන් රත්නප්‍රිය මහතාගේ පිළිතුරු මේ ආකාර විය.

“මෙච්චර කාලයක් ජනතාවට සේවය කරලා මම මේ වාහනය ලබා ගන්නේ මගේ පෞද්ගලික සුඛ විහරණය වෙනුවෙන් නෙවෙයි. ඒ හරහා තවදුරටත් ජනතාවට සේවය කරන එක තමයි මගේ බලාපොරොත්තුව. මම දශක දෙකකට වැඩි කාලයක් අඛණ්ඩව දේශපාලනයෙහි නියැළිලා ඉන්නවා. ඒ වගේම මම ඉදිරියටත් දේශපාලනයේ නියැළෙනවා. ජනතාවට සේවය කරනවා. ඒ හින්දා ඒකට කාටවත් වැරැද්දක් කියන්න බැහැ.”
තමන් ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වන බව හෝ නොවන බව මෙතෙක් තීරණය කර නැති බව පැවසූ රත්නප්‍රිය මහතා වැඩිදුරටත් සඳහන් කළේ ඒ කෙසේ වෙතත් ඉදිරියටත් තමන් කොයි ආකාරයෙන් හෝ අඛණ්ඩව දේශපාලනයේ නියැළෙන බවය. තමන් සම්බන්ධයෙන් මේ ආකාරයෙන් ප්‍රචාරයක් ලබා දීම පිළිබඳ රත්නප්‍රිය මන්ත්‍රීවරයා මාධ්‍යයටද චෝදනා එල්ල කළේය.

“මේ රටේ තීරුබදු රහිත රාජ්‍ය සේවකයන් 40,000කට වැඩියෙන් ඉන්නවා. වෛද්‍යවරු, පරිපාලන අංශයේ නිලධාරීන්, අමාත්‍යාංශ ලේකම්වරු ඒ අතර ඉන්නවා. ඒ අය අවුරුදු පහෙන් පහට බලපත්‍ර මාරු කරනවා. හැබැයි මාධ්‍යයට ඒවා පේන්නේ නැහැ. හැබැයි මෙච්චර කාලයක් ජනතාවට සේවය කෙරුව සමන් රත්නප්‍රිය වාහන බලපත්‍රයක් ගත්ත එක ගැන තමයි මාධ්‍යය ලොකුවට කතා කරන්නේ. මේ රටේ මාධ්‍ය සදාචාරය ඒ වගේද කියලා එතැනදි ප්‍රශ්නයක් එනවා.” ඒ රත්නප්‍රිය මහතාගේ පිළිතුරය.

දින හයක් පමණක් පාර්ලිමේන්තු ගොස් එක්කෝටි විසි ලක්ෂයක් වටිනා වාහන බලපත්‍රයක් මිලදී ගැනීමට වඩා ඒ ගැන ප්‍රශ්න කිරීම සදාචාර විරෝධීද? එම ප්‍රශ්නයට පිළිතුරු දිය යුත්තේ ජනතාවය.

චන්දන ‌පොන්නම්පෙරුම 
මවුරට

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook