වාහනයේ යමක් පැටලෙන හඬ ඇසුණා
මත්පැන් පානය කර ඇති බව සනාථ වෙලා
තමන් රිය අනතුරින් පසුව රථය නවත්වාලූයේ වාහනයේ යමක් පැටලෙන හඬ ඇසුණු බැවින් එය පරීක්ෂාවට බව බීමතින් රිය අනතුරක් කර පුද්ගලයෙකුට මරු කැඳ වූ රංගන ශිල්පි කාවිංග පෙරේරා පොලිසියට සඳහන් කර තිබෙනවා.
ඒ වනවිටත් රථයේ යට පැටලි තිබී ඇත්තේ කම්කරුවන්ගේ ආරක්ෂාව සඳහා තබා තිබූ ෆයිබර් කේතුවක් බවයි ඔහු සඳහන් කර ඇත්තේ.
එම ස්ථානයේදී රියේ ගැටුණු වසන්ත ඇතුළු පිරිසට රාජකාරි පැවරී තිබුණේ බොරැල්ල – කොට්ටාව 174 බස් මාර්ගයේ ස්ථාන කිහිපයක පදික මාරු ස්ථාපිත කොට තිබෙන ස්ථාන ආසන්නයේ වෙනත් මාර්ග සලකුණු සටහන් කිරීමයි.ඒ අනුව පදික මාරුවක් ඉදිරියෙන් තිබෙන බව දැන්වීම සඳහා මාර්ගය මැද සුදුපැහැති කොටුවක් සටහන් කිරීමට වසන්ත ඇතුළු පිරිස කටයුතු කරමින් සිටියා.
කම්කරුවන් පිරිස පසුගිය බදාදා සවස සිට රාත්‍රී සේවයේ නිරතව තිබුණේ අදාළ කොන්ත්‍රාත් කටයුතු කඩිනමින් අවසන් කිරීම සඳහායි.
රාජකාරි ආරම්භයට මත්තෙන් සියලුම සේවකයින් ආරක්ෂිත නිල ඇඳුම් පැළැඳ මාර්ගයේ ආරක්ෂාව සඳහා ලුමිනස් කේතු තබා අවශ්‍ය ප්‍රමාණයට මාර්ගයේ ඉඩ ලබාගෙන කටයුතු කරමින් තිබුණේ ආරක්ෂිත ආලෝක සංඥාවද භාවිත කරමිනි.
මේ ආකාරයට කම්කරුවන් දස දෙනෙකුගෙන් පමණ වූ කණ්ඩායම මනා ලෙස සේවය කරමින් සිට තිබුණේ බත්තරමුල්ල පන්නිපිටිය මාර්ගයේ කලල්ගොඩ පසුකළ විට හමුවන වෙලේහන්දිය ආසන්නයේයි.
මධ්‍යම රාත්‍රිය ඉක්මවා සේවයේ යෙදී සිටි කම්කරු පිරිස පසුකර ආගිය වාහන අපමණය. මැදියම් රැයේ 12.45 පසුවෙමින් තිබියදී බත්තරමුල්ල දෙසින් පන්නිපිටිය දෙසට ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී මෝටර් රථයකි.
ඒ වනවිටත් වසන්ත ඉතා ඕනෑකමින් සිය රාජකාරිය කරමින් සිටි අතර මාර්ගයේ වම් තීරුවේ පදික මාරුවට මීටර් කිහිපයකට මත්තෙන් වන මාර්ග සංඥාව ස්ථාපිත කරමින් පාරේ බිමට පහත් වී සිට තිබෙනවා.
මේ මොහොතේ ඔවුන් පසුකර යන්නට අධික වේගයෙන් ආ සුදුපැහැති බෙන්ස් වර්ගයේ මෝටර් රථය රාජකාරියේ නිරතව සිටි වසන්ත යටකරගෙන ගියේ කිසිවෙකුත් විශ්වාස නොකළ පරිද්දෙනි.
මාර්ගයේ ආරක්ෂාවට තබා තිබූ ලුමිනස් පැහැ කේතු යටකරගෙන පැමිණි මෝටර් රියේ ගැටුණු වසන්ත මීටර් 20ක් පමණ ඈතට විසි වී ගොස් වැටිණු බවයි වාර්තා වන්නේ. එහෙත් නොනවත්වා ධාවනය කළ මෝටර් රථය තවත් මීටර් 150ක් පමණ ඈතට ගොස් නතර කර තිබුණා.
ඒත් සමඟ වසන්ත හා සේවය කළ සගයන් කිහිපදෙනකු එතැනට දිවගොස් තිබූ අතර ඒ මොහොතේ රථයේ රියැදුරු රථය පණගන්වා තිබුණේ පිරිසෙන් මිදී පලායාමටයි.
එහෙත් පිරිස ඊට ඉඩක් නොදී සැකකාර රියැදුරුවරයා නවත්වාගෙන තිබුණා.
අනතුරට පත් වසන්ත තුවාල ලබා සිහිසුන්ව සිටියදී මිනිත්තු කිහිපයක් හෝ යන්නට මත්තෙන් බත්තරමුල්ල දෙස සිට පැමිණි ගිලන් රථයක් අනතුර දුටු වහාම තුවාලකරු රුගෙන කොළඹ ජාතික රෝහලට යාමට පියවර ගෙන තිබුණා.එම ගිලන් රථය වෙනත් රෝගියකු රැගෙන කොළඹ ජාතික රෝහලට බාරදී එන ගමනේදී හමුවූ එකකි.
විනාඩි කිහිපයක් තුළදී රෝහල් ගත කිරීමට උත්සාහ ගෙන තිබුණද අළුයම 1.15ට පෙර අනතුරට පත් වූ වසන්ත ජීවිතක්ෂයට පත්ව තිබුණා.
මේ අතරතුර සිදුවීම සම්බන්ධයෙන් තලංගම පොලීසිය දැනුම්වත් කිරීමට සෙසු පිරිස කටයුතු කර තිබුණා.
මේ අතර අනතුර සිදුකළ වාහනයේ රියැදුරු සමඟ කම්කරුවන් කිහිපදෙනකු ජයවර්ධනපුර රෝහලට ගොස් තිබුණේ වසන්ත බැලීම සඳහායි.වසන්ත එම රෝහලට ඇතුළත්ව නැති බව දැන යළි අනතුර සිදුවූ ස්ථානයට පැමිණ කොළඹ ජාතික රෝහල වෙත පිටත්වීමට සූදානම් වූ මොහොතේ පොලිස් නිලධාරීන් සැකකාර රියැදුරු අත්අඩංගුවට ගෙන තිබුණා.
CBJ 5557 අංක දරන බෙන්ස් වර්ගයේ සුදු පැහැති කාර් රථයෙන් පැමිණ අනතුර සිදුකළ සැකකාර රියැදුරුවරයාගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහුගේ නම කාවිංග නාමල් පෙරේරා බවට ප්‍රකාශ කර ඇති අතර ඔහු ජනප්‍රිය රංගන ශිල්පියකු බව හඳුනාගෙන තිබුණේද ඉන්පසුවයි.
සැහැල්ලු සරල ඇඳුමකින් සැරසී සිටි ඔහු සාදයකට ගිය බවත් නිවස බලා යමින් සිටියදී අනතුර සිදුවූ බවත් කියා තිබුණා.
වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ කම්කරුවකු මාර්ගයේ සිටින බව නොදුටු බවයි.
අනතුරින් පසුව ඔහු රථය නවත්වා තිබුණේ වාහනයේ යමක් පැටලෙන හඬ ඇසුණු බැවින් එය පරීක්ෂාවට බවයි සඳහන් කර ඇත්තේ. ඒ වනවිටත් රථයේ යට පැටලි තිබී ඇත්තේ කම්කරුවන්ගේ ආරක්ෂාව සඳහා තබා තිබූ ෆයිබර් කේතුවකි. පරීක්ෂණ අතරතුරදී සැකකාර රංගන ශිල්පි කාවිංග පෙරේරා මත්පැන් පානය කර ඇති බව සනාථ වී තිබුණා.
ඒ අනුව අත්අඩංගුවට ගැනුණු සැකකරු වරද කිහිපයක් ඇසුරෙන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබුණා.
අනතුර වූ අවස්ථාවේ වීඩියෝව පහතින් දැක්වෙනවා.