Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ තුන්වැනි කඩුල්ලට ගොඩනැගුණු ඉහළම සම්බන්ධතා වාර්තාවත්, සූරියවැව ක්‍රිකට් පිටියේ එක්දින තරගයක ඕනෑම කඩුල්ලකට ගොඩනැගුණු හොඳම සම්බන්ධතා වාර්තාවත් දෙකම අයිතිකරගත් අවිශ්ක ප්‍රනාන්දු සහ කුසල් මෙන්ඩිස් පෙන්නුම් කළ විශිෂ්ට පිතිහරඹය නිසා ඊයේ සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති දිවා රාත්‍රී දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 161ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා පිල සමත්විය.

නියමිත ඕවර 50 අවසානයේ ශ්‍රී ලංකා පිල කඩුලු 8කට රැස් කළ ලකුණු 345 හඹා ගිය කොදෙව් පිලේ ඉනිම ලකුණු 184කට සිමා කිරීමට වනිඳු හසරංග ඇතුළු දඟපන්දු යවන්නන් සමත්වීමත් සමග තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම 2-0කින් ජයගැනීමට ශ්‍රී ලංකා පිලට හැකිවිය. ශ්‍රී ලංකා පිල ඊයේ රැස් කළ ලකුණු සංඛ්‍යාව මෙම ක්‍රීඩාංගණයේ දී කණ්ඩායමක් රැස් කළ දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව ද විය. ඊට පෙර ශ්‍රී ලංකා පිල විසින්ම 2015 ජූලි මාසයේදි පාකිස්තානයට එරෙහිව කඩුලු 4කට ලකුණු 368ක් රැස් කරමින් එම වාර්තාව තැබුවේය.

කාසියේ වාසිය දිනූ කොදෙව් පිලේ නායක කීරන් පොලාර්ඩ්ගේ ඇරියුමෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලු දෙකම පිට පිට දවාගනිමින් ශෙල්ඩන් කෝට්රල් තර්ජනාත්මක පන්දු යැවීමක නිරත වීම නිසා තුන්වැනි ඕවරය වනවිට ශ්‍රී ලංකා ඉනිම ලකුණු 9ක්ව තිබිණි. කෝට්රල් යැවූ තුන්වැනි ඕවරයේ දෙවැනි පන්දුවෙන් ස්ලිප් ක්‍රීඩක ෆේබියන් ඇලන්ට උඩපන්දුවක් ලබා දී නායක දිමුත් කරුණාරත්න පිටියෙන් ඉවත්වූ අතර තම 100 වැනි එක්දින තරගයට ක්‍රීඩා කළ කුසල් ජනිත් පෙරේරා ආ විගසම එවැනිම පන්දුවකින් දැවී ගියේ කඩුලු රකින ෂායි හෝප් වෙත උඩපන්දුවක් ලබා දෙමිනි.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් වාර්තාපොත අලුත් කළ ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු සහ කුසල් මෙන්ඩිස් දෙදෙනා අතර අගනා ශතක දෙකක් බෙදා හදා ගනිමින් ශ්‍රී ලංකා ඉනිම ඉහළට ඔසවා තැබීමට සමත්වූහ. සුපුරුදු රිද්මයට අවතීර්ණ වූ කුසල් මෙන්ඩිස් ඊයේ වාර්තා කළේ සිය එක්දින තරග දිවියේ දෙවැනි ශතකයයි. ලකුණු 2ක් ලබා සිටියදී ජේසන් හෝල්ඩර්ගේ පන්දුවකට ස්ලිප් හී සිටි නායක කීරොන් පොලාර්ඩ් උඩපන්දුව අතහැරීම නිසා කඩුල්ල රැක ගැනීමට වාසනාවන්ත වූ මේ 25 හැවිරිදි පිතිකරුවා ඊයේ එක්දින ශතකයක් රැස් කළේ තරග 50කට පසුවය. ඊට පෙර ඔහුගේ මංගල එක්දින ශතකය වාර්තා වූයේ 2017 වසරේ මාර්තුවේදී බංග්ලාදේශයට එරෙහිව දඹුල්ලේ පැවැති තරගයේදීය.

ශ්‍රී ලංකා ඉනිමේ 7 වැනි ඕවරයේදී සිය එක්දින තරග දිවියේ ලකුණු 2000 ද සම්පූර්ණ කළ කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා එක්දින තරග බිමේ වසර 20ක් පැරැණි තුන්වැනි කඩුල්ලේ ඉහළම සම්බන්ධතා වාර්තාව අවිශ්ක සමග එක්ව බිඳ දැමුවේය. ඊට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ 2000දී සාජා නුවර පැවැති එක්දින තරගයේ තුන්වැනි කඩුල්ලට ලකුණු 226ක සම්බන්ධතාවක් ගොඩ නැගූ මහේල ජයවර්ධන සහ මාවන් අතපත්තුය. අවිශ්කගේ සහ කුසල්ගේ සම්බන්ධතාවට තවත් ලකුණු 4ක් එක් වෙද්දී මේ ක්‍රීඩාංගණයේ ඕනෑම කඩුල්ලක් සඳහා වන ඉහළම සම්බන්ධතාවේ වාර්තාවත් බිඳ වැටිණි. ඊට පෙර 2017 ජූලි මාසයේදී සිම්බාබ්වේ පිලට එරෙහිව නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක එක්ව පළමු කඩුල්ලට ලකුණු 229ක් රැස් කරමින් එම වාර්තාවට හිමිකම් කීහ.

පන්දු 107කින් හතරේ පහර 9ක් සමග කුසල් මෙන්ඩිස් සිය එක්දින ශතකය වාර්තා කිරීමෙන් මොහොතකට පසුව 21 හැවිරිදි අවිශ්ක ප්‍රනාන්දු ද තම දෙවැනි එක්දින ශතකය වාර්තා කිරීමට සමත්විය. පන්දු 109කදී වාර්තා වූ අවිශ්කගේ ශතකයට හතරේ පහර 6ක් ඇතුළත් විය. දෙදෙනාම වාර්තා කළේ ඔවුනොවුන්ගේ එක්දින තරග දිවියේ ඉහළම ලකුණු සංඛ්‍යාවය.




මුළු ලකුණු සංඛ්‍යාව 248ක්ව තිබියදී 41 වැනි ඕවරයේදී කුසල් මෙන්ඩිස් දැවී යනවිට පන්දු 119කදී හතරේ පහර 12ක් සමග ලකුණු 119ක් රැස් කර තිබුණු අතර මුළු ලකුණු සංඛ්‍යාව 271දී අවිශ්ක ප්‍රනාන්දු දැවී යනවිට පන්දු 123කදී හතරේ පහර 10ක් සමග ලකුණු 127ක් ලබා සිටියේය.

කොදෙව් ඉනිම ආරම්භ කළ පළමු තරගයේදී අගනා ශතකයක් රැස් කළ ෂායි හෝප් සහ සුනිල් අම්බ්‍රිස් එක්ව පළමු කඩුල්ලට ලකුණු 64ක සම්බන්ධතාවක් ගොඩනැගුවත්, වනිඳු හසරංග සහ ලක්ෂාන් සඳකැන් එක්ව කොදෙව් මැදපෙළ පිතිකරුවන් සිවුදෙනකු ලකුණු 30ක් ඇතුළත ආපසු ක්‍රීඩාගාරයට හරවා යවමින් තරගයේ වාසිය ශ්‍රී ලංකා පිල දෙසට හරවා තැබූහ. අනතුරුව නුවන් ප්‍රදීප් 39 වැනි ඕවරයේදී කඩුලු 2ක්ම දවාලමින් ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණය තහවුරු කළේය. කොදෙව් ඉනිමේ අවසන් කඩුලු 3ම බිඳ වැටුණේ මුළු ලකුණු සංඛ්‍යාව 184දීය. කොදෙව් පිලේ අටවැනි කඩුල්ල නුවන් ප්‍රදීප් යැවු 38 වැනි ඕවරයේ තුන්වැනි පන්දුවේදී බිඳ වැටුණු අතර ඒ මොහොතේ ක්‍රීඩාංගණයේ එක් විදුලි ආලෝක කුලුනක් ක්‍රියා විරහිත වීමෙන් තරගය මිනිත්තු විස්සක් පමණ නතර කිරීමට සිදුවිය. අනතුරුව නැවත තරගය ආරම්භවීමෙන් පසුව එම ඕවරයේ අවසන් පන්දුවෙන් අල්සාරී ජෝශප්ගේ කඩුල්ලත් බිඳ දැමීමට නුවන් ප්‍රදීප් සමත්විය. ඊළඟ ඕවරයේ පළමු පන්දුවෙන් අවසන් කඩුල්ල ලෙස ෆේබියන් ඇලන් දවාලමින් සිය තුන්වැනි කඩුල්ල අත්කර ගැනීමට සඳකැන් සමත්විය.

තරගය නැරැඹීමට ඊයේ දිනයේ දී අතිවිශාල ක්‍රීඩාලෝලීන් පිරිසක් සූරියවැව පිටියට එක්රොක් වූ අතර මාස 27කට පසුව සූරියවැව පිටියට ජාත්‍යන්තර තරගයක් ලැබීමෙන් දැඩි උද්යෝගයෙන් යුතුව පැමිණ සිටීම කැපී පෙනුණි. ප්‍ර වේශපත් සියල්ල විකිණී අවසන් වීම නිසා ශ්‍රී ලංකා ඉනිමේ අඩක් නිමාවට පත්වනවිට ක්‍රීඩාංගණයේ දොරටු විවෘත කර ක්‍රීඩා ලෝලීන්ට නොමිළයේ තරගය නැරැඹීමේ අවස්ථාව ලබා දී තිබිණි.

දෙපිල අතර තුන්වැනි සහ අවසන් එක්දින තරගය මාර්තු 1 වැනිදා පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook