Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

නානතොටෙන් තරගයට මෙන් වැව් දියට එබුණේ ගමන් මහන්සිය නිවාගන්නටයි
වැව් දියට වැටුණු ළමයින් කිහිප දෙනකුම ගැඹුරු දියට


හාලිඇලි බ/ ඌව විද්‍යා විද්‍යාලය ඌව පළාතේ විදුහල් අතරේ සුවිශේෂී විදුහලක්. එය එසේ වන්නේ ඌව පළාතේ වෙනත් විදුහල්වලින් පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් වූ දක්ෂ දරු දැරියන් පමණක් ඇතුළු කරගන්නා සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනවර්ගයන්හි ළමයින් ඉගෙනුම ලබන සිංහල, දමිළ, ඉංග්‍රීසි යන භාෂා මාධ්‍ය තුනෙන්ම ඉගැන්වීම් සිදුකරන නේවාසික පහසුකම්ද සහිත පළාතේ පිහිටි එම මොඩලයේ එකම විදුහල එය බැවින්.

දරු දැරියන් 875 දෙනකු පමණ ඉගෙනුම ලබන එම විදුහලේ දහවැනි වසරේ ළමයින් ඉකුත් 19 වැනිදා එළැඹෙන තුරු බලාසිටියේ ඇඟිලි ගනිමින්. 

ඒ එම දරුවන් වෙනුවෙන් විදුහල මඟින් එදිනට යොදාගෙන තිබූ අධ්‍යාපන චාරිකාව නිසායි.

කලින් සැලැසුම් කරගෙන තිබූ පරිදි එදින උදෑසන 5.30ට පමණ ඌව විද්‍යා විද්‍යාලයේ සිට ත්‍රිකුණාමලය ප්‍රදේශය බලා පිටත් වූ අධ්‍යාපනික චාරිකාව සඳහා එම විදුහලේ දරු දැරියෝ 86 දෙනෙක් එක්වුනා.

බස් රථ දෙකකින් ගිය මේ දෙදින චාරිකාවට පිරිමි ළමයින් 44 දෙනකු සහ ගැහැනු ළමයින් 42 දෙනකුද ඔවුන්ට රැකවරණය හා මඟපෙන්වීම පිණිස එම ළමයින් භාරව විදුහලේ ආචාර්ය පූජ්‍ය නන්නපුරාවේ ධම්මසිරි හිමියන් ඇතුළුව ගුරු මහත්ම මහත්මීන් හත් දෙනකුද ගොස් තිබුණා. 

විවිධ ස්ථාන නරඹමින් සතුටෙන් නිමැවුණු එම චාරිකාවේ පළමු දින රාත්‍රියේ නවාතැන් ගැනීම සඳහා තෝරාගෙන තිබුණේ ගෝමරන්කඩවල, මැදවච්චිය වැව ආසන්නයේ පිහිටි විහාරස්ථානයක්. පිරිස එහි යනවිටත් හතරවටින් අඬඳුර එබිකම් කරමින් තිබුණා.

සවස 6.30ට පමණ මෙම සිසුන් පිරිසක් විහාරස්ථානය අසල ඇති නානතොටෙන් තරගයට මෙන් වැව් දියට එබුණේ ගමන් මහන්සිය නිවාගනිමින් මුහුණ කට සෝදාගැනීමට හෝ දිය නෑමටයි.

එහෙත් සිදුවූයේ නොසිතූ විපතක්. නාන තොටෙහි වූ දියසෙවෙල්වල ලිස්සා එක රොදට වැව් දියට වැටුණු ළමයින් කිහිප දෙනකුම ගැඹුරු දියට ඇද වැටුනා. 

ඇතැමකු අමාරුවෙන් ගොඩ ආවද ගැඹුරු දියට හෝ පිහිනීමට හුරු නොවූ ළමයින් හත් අට දෙනකුට ගොඩඒමට නොහැකි වුනා. 

ළමයින්ගේ විලාපයත් සමඟ එහි එක්වූ ගුරුවරුන්, ප්‍රදේශවාසීන් හා යුද හමුදාව එක්ව මහත් පරිශ්‍රමයකින් ඔවුන් දියෙන් ගොඩගෙන ත්‍රිකුණාමලය මහ රෝහලට රැගෙන ගිය නමුත් ඒ නොදරුවන් අතරෙන් සිවුදෙනකු ඒ වන විටත් සිය ජීවිතවලට සමුදී තිබුණා.

පොලිසිය සඳහන් කළේ හාලිඇළ පොලිස් බල ප්‍රදේශයට අයත් ඇටම්පිටිය, තවලන්තැන්න සඳකැළුම් නිවෙසේ පදිංචිව සිටි ඩී.එම්.අනුහස් සමාධි, හාලිඇල ගලඋඩ වෙද නිවෙසේ ආර්.එම්. උමේෂ් ෂෙහාර, බදුල්ල පොලිස් බල ප්‍රදේශයේ හිඟුරුගමුව සාරානන්ද මාවතේ, අංක 07 නිවෙසේ පදිංචිව සිටි නෙතික සජිත් ගලපිටගෙදර සහ ඇල්ල පොලිස් වසමට අයත් ගොටුවල මීරියකැලේ හන්දියේ ප්‍රාර්ථනා නිවෙසේ පදිංචිව සිටි ඩී.එම්.පී. තරුෂ අංජන යන සිසුන් මෙසේ මියගොස් ඇති බවයි.

අනුහස් සමාධි යුද හමුදා සේවයේ නියුතුව සිටින ඇටම්පිටිය, තවලන්තැන්න ඩී.එම්. ගුණපාල මහතාගේ සහ චම්මිකා ගීති ශිරානි මහත්මියගේ පුතුන් තිදෙනාගෙන් දෙවැන්නාය. පාසලේ විෂය බාහිර කටයුතුවලට මෙන්ම දහම් පාසල් අධ්‍යාපනයටද යොමුව සිටි දක්ෂ දරුවකු වන අනුහස්ගේ වැඩිමල් සොයුරා 20 හැවිරිදි අසේනිය පවිඳු වේ. ඔහුගේ බාල සොයුරා වන උතුම් පහන් ආලෝක 12 වැනි වියේ පසුවෙයි.

ප්‍රසිද්ධ සමාගමක විධායක ශ්‍රේණියේ නිලධාරියකු වන බදුල්ල හිඟුරුගමුව සාරානන්ද මාවතේ, අංක 07 නිවෙසේ පදිංචි රුවන් සමීර ගලපිටගෙදර මහතාගේ සහ ඌව පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවය කරන පමෝද්‍යා මදුෂි දිසානායක මහත්මියගේ වැඩිමල් පුතු නෙතික සජිත් දරුවාය. නෙතිකගේ බාල සොයුරා වන නෙතිල දිල්මිත් ගලපිටගෙදර දරුවා ද ඌව විද්‍යාලයේම 6 වසරේ ඉගෙනුම ලබන සිසුවෙක්.

තරුෂ අංජන ත්‍රිකුණාමලය චීනවරාය ගුවන් හමුදාවේ සේවය කරන ඇල්ල ගොටුවල ඩී.එම්. වීරසේන මහතාගේ සහ උඩුවර වලස්බැද්ද විදුහලේ ගුරුවරියක් වන ඉන්ද්‍රාණි හේමලතා මහත්මියගේ වැඩිමල් පුතු වන අතර ඔහුගේ බාල සොයුරා දෙමෝදර බනාවුල්ල මහ විදුහලේ 6 වසරේ ඉගෙනුම ලබනවා.

ආර්.එම්. උමේෂ් ෂෙහාන් මිහිරංග දරුවාද වෙද නිවෙස, ගලඋඩ, හාලිඇල ලිපිනයේ ආර්.එම්. ගාමිණී රත්නායක මහතාගේ හා ආර්.එම්. දීපා සමන් කුමාරි මහත්මියගේ වැඩිමල් පුතු විය. උමේෂ්ගේ බාල සොහොයුරා වන තුෂල් ප්‍රේවිත රත්නායක දරුවාද ප්‍රදේශයේම පාසලක අධ්‍යාපනය ලබමින් සිටිනවා. 

අනතුරෙන් මියගිය මේ සිසුන්ගේ ඥාතීන් විසින් ත්‍රිකුණාමලය මහ රෝහල් මෘත ශරීරාගාරයේදී සිරුරු හඳුනාගනු ලැබුවා. ඉන් අනතුරුව අදාළ දේහ පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකරන ලද්දේ ත්‍රිකුණාමලය මහ රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ රුචිර නදිර මහතා හා සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරිනි වෛද්‍ය චාමිලි අබේසේකර මහත්මිය විසින්.

ත්‍රිකුණාමලය නගර හා කඩවත් හදිසි මරණ පරීක්ෂක ඒ.එස්.එම්. රූමි මහතා විසින් හදිසි මරණ පරීක්ෂණය සිදුකළ අතර සාක්ෂි මෙහෙයවන ලද්දේ ගෝමරන්කඩවල පොලිස් ස්ථානාධිපති ඒ.පී.පී. ද සිල්වා සහ පොලිස් සැරයන්වරුන් වන නවරත්න (28081), වීරසිංහ (12789), කරුණාතිලක (8050) යන මහත්වරුන්. 

ළමයින් යට ඇඳුම් පිටින් දියට බසිද්දී එය නොවැළැක්වීම හේතුවෙන් මෙම මරණ අදාළ චාරිකාවට එක්වූ ගුරුවරුන්ගේ නොසැලකිල්ල මත සිදුවූ බවටද චෝදනා එල්ල වූ අතර දරුවන් ගැන සොයා බැලීම පිණිස චාරිකාව සඳහා ඔවුන්ගේ මවුපියන් කිසිවකුත් සහභාගි කර නොගැනීම පිළිබඳවද ඇතැම් මවුපියන් කතා කළේ චෝදනාත්මකව‍යි. 

ඌව විද්‍යා විද්‍යාලයේ විදුහල්පති සේනක පීරිස් මහතාගෙන් විමසීමේදී ඒ මහතා සඳහන් කළේ දරුවන් කිහිප දෙනකුම එකම ස්ථානයෙන් මුහුණ සෝදා ගැනීමට දියට බසිද්දී එම ස්ථානයේ වූ දියසෙවෙල්වල ලිස්සා එක පොදියට කිහිප දෙනකුම දියට වැටුණු බව ළමයින් තමාට පැවසූ බවයි. 

කෙසේ වුවද මෙම ළමයින් විදුහලට පැමිණීමෙන් පසු විදුහලේ ශාලාවක් තුළට ගෙන එතැන් සිටම ඔවුන් මවුපියන්ට භාරදී නිවෙස්වලට පිටත් කර හැරීමට කටයුතු සලසා තිබුණා. 

එහි පැවැති තත්ත්වය මත ඒ සම්බන්ධයෙන් දරුවන් වෙතින්ම නිවැරැදි තොරතුරක් දැනගැනීමට මාධ්‍යයට හෝ බාහිර කිසිවකුටත් අවස්ථාව ලැබුනේ නැහැ. මේ අවස්ථාවට හාලිඇල පොලිසිය මඟින් විශේෂ ආරක්ෂාවක්ද සලසා තිබුණා.

ජීවිතක්ෂයට පත්වූ දරුවන්ගේ දේහයන් පසුදින (20දා) මධ්‍යම රාත්‍රිය වන විට ඒ ඒ පවුල් වෙත භාරදීමට පියවර ගෙන තිබූ අතර ඒ දරුවන් සමඟම දියේ ගිලීම හේතුවෙන් ත්‍රිකුණාමලය මහ රෝහලට ඇතුළත් කරන ලද දිලින මිහිරංග, ඒ.එම්. චින්තක සුදිස් හා ආර්.එම්. රනිදු නවීන් රත්නායක යන දරුවෝද ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව එදින සවසම සෙසු දරු දැරියන්ද සමඟ නිරුපද්‍රිතව පාසල කරා පැමිණ සිටියා.


Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook