Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

ජනාවාරි 03 වැනිදා පැවැති 8 වැනි පාර්ලිමේන්තුවේ සිවුවැනි සැසිවාරය විවෘත කිරීමේ අවස්ථාව මෙරට පාර්ලිමේන්තුවේ ඉතිහාසය වෙනස් කළ සිද්ධියක් විය.

ඊට ප්‍රධානතම හේතුව වූයේ ශ්‍රී ලංකාවේ 7 වැනි විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂගේ සරල බවයි.

මීට පෙර සිට සරලයි කියාගන්නා ඇතැම් රාජ්‍ය නායකයන්ට සාපේක්‍ෂව තමන් සරල බව නොකිව්වත් එය ක්‍රියාවෙන්ම යම් ප්‍රමාණයකට ඉටු කිරීමට ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා කටයුතු කිරීම ඊට හේතුවයි.

ආරක්‍ෂක නිල රථ දෙකක් සහ පොලිස් ආරක්‍ෂක යතුරුපැදි දෙකක් සමඟ ගෝඨාභය ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කිරීමට පැමිණියේ කිසිදු හමුදා ගෞරව උත්තමාචාර කිසිවක් නොමැතිවයි. 

ජනාධිපතිවරයා එසේ පැමිණෙන විට ඇතැමුන් ප්‍රකාශ කළේ හිටපු අග්‍රාමාත්‍යවරයකු වන විජයානන්ද දහනායක සිහිගන්වන බවයි.

වරක් විජයානන්ද දහනායක අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී අරලියගහ මන්දිරයේ තමාට හිමි කාමරය විශාල වැඩි බව පවසමින් කාමරය තුළ තවත් තාවකාලිකව කුඩා කාමරයක් නිර්මාණය කරගත් බවත් ඉතිහාසයේ සඳහන් වේ.

නව සැසිවාරය ආරම්භ කිරීමට පෙර පැමිණි ආරාධිත අමුත්තන් පාර්ලිමේන්තුවට පිවිසි අතර මහින්ද රාජපක්‍ෂ අග්‍රාමාත්‍යවරයා සහ එම මැතිනිය පිළිගන්නා ලද්දේ කරු ජයසූරිය කථානායකවරයා විසිනි. 

අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණීමෙන් පසුව කෙළින්ම ගියේ දෙවැනි මහලේ පිහිටි අග්‍රාමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු කාර්යාලයටයි.

ඒ වන විටත් එහි සියලු කටයුතු සොයා බලා අග්‍රාමාත්‍යවරයාගේ පැමිණීමේ අපේක්‍ෂාවෙන් සිටියේ මහින්ද රාජපක්‍ෂ අග්‍රාමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේය.

අග්‍රාමාත්‍යවරයා එම කාර්යාලයට යන විටත් මැති ඇමැතිවරුන් ඇතුළු දේශපාලනඥයන් කිහිපදෙනකුම එහි සිටි අතර තවත් පිරිසක් පසුව පැමිණ අග්‍රාමාත්‍යවරයා සමඟ කතා බස් කළහ.

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්‍ෂයේ නව ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු, විමල් වීරවංශ, කංචන විජේසේකර, ඩී.වී. චානක, නාමල් රාජපක්‍ෂ, තේනුක විදානගමගේ, ප්‍රේමලාල් ජයසේකර ඇතුළු පිරිසක් එහි වූහ. 

වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් එහිදී අදහස් ප්‍රකාශ විය.

ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා සහ එම මැතිනිය පාර්ලිමේන්තු සංකීර්ණයට පිවිසියේ උදෑසන 9.35ට පමණය.

බොහෝදෙනකු විමසිල්ලෙන් සිටියේ ජනාධිපතිවරයා මොන වර්ගයේ ඇඳුමකින් සැරසී පැමිණේද කියාය.

ජනාධිපතිවරයා පැමිණියේ ඔහුට සුපුරුදු යුරෝපීය ඇඳුමින් සැරසීගෙනය. කළුපාට කෝට් එක සහිත ෆුල්කිට් එකෙන් සැරසී සිටි ජනාධිපතිවරයා ඔහුට ආවේණික සිනහමුසු මුහුණින් තමන් පිළිගත් කරු ජයසූරිය කථානායකවරයාට ආචාර කළේය.

සාටකය පැලඳින්නේ නැතිව සිටියද ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා පැලඳ සිටි ටයි පටිය දෙස බොහෝදෙනකුගේ අවධානය යොමුවුණේ එම ටයි පටිය කුරහන් පාට වන මෙරුන් වර්ණයෙන් යුක්තවීම නිසාය. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දේශපාලන පක්‍ෂයේ වර්ණයද වන්නේ මෙරුන් වර්ණය නැතහොත් කුරහන් පාටයි.

කථානායකවරයා විසින් පිළිගැනීමෙන් අනතුරුව ජනාධිපතිවරයා පැමිණියේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පළමු මහලටයි.

පළමු මහලට පිවිසි ජනාධිපතිවරයා බුලත් අතක්දී පිළිගන්නා ලද්දේ පාර්ලිමේන්තුවේ නව සභානායක දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා විසිනි.

ආණ්ඩු පක්‍ෂයේ නව ප්‍රධාන සංවිධායක, ජොන්ස්ටන් ප්‍රනාන්දු, අගමැතිවරයාගේ පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ, අගමැති පාර්ලිමේන්තු ලේකම් ජානක බණ්ඩාරද එම අවස්ථාවට එක්ව සිටියහ.

අනතුරුව ජනාධිපතිවරයා පළමු මහලේ පිහිටි ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය අසල සිටියේ පාර්ලිමේන්තුව පටන් ගැනීම සඳහා කැඳවීමේ සීනුව නාදවන තුරුය.

කරු ජයසූරිය කථානායකවරයා එම ස්ථානයේ සිටි අතර පාර්ලිමේන්තුව හරියටම උදෑසන 10.00ට ආරම්භ කරන විට සෙංකෝලය පෙරදැරිව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු පෙරටුකොටගෙන ජනාධිපතිවරයා ඊට පිටුපසින් කථානායකවරයාත් ඊට පිටුපසින් පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක ඇතුළු නියෝජ්‍ය ලේකම් සහ සහකාර ලේකම් ගමන් කරන්නට වූහ.

රාජ්‍ය නායකයකු රාජාසන කතාව ඉදිරිපත් කරමින් තම ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විට කථානායක අසුන්ගන්නා ස්ථානයේ ජනාධිපතිවරයා අසුන් ගත්තද ජනාධිපතිවරයාට වෙන්වූ වෙනම ආසනයක් එම දිනයට පමණක් යොදාගනී. එය සිදුවන්නේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුවය.

රාජාසන කතාව සිදුකරන විට රාජ්‍ය නායකයා මුලසුනේ අසුන් ගන්නේ ජනාධිපතිවරයාට වෙන්වූ විශේෂ ආසනයකය. 

එම ආසනයේ ඉහළ සඳහන් වන්නේ ජනාධිපති ලාංඡනයයි. ජනාධිපතිවරයා මුලසුනේ සිටින විට පමණක් මෙම ආසනය භාවිත කරන අතර අනෙකුත් දිනවල මෙම ආසනය තබා තිබෙන්නේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි ජනාධිපතිවරයාගේ කාර්යාලයේය.

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජනාධිපති කාර්යාලයේ එම ආසනය තිබුණද එහිදී එය පාවිච්චියට ගන්නේ නැත.

කථානායකවරයා මුලසුනේ සිටින විට කථානායක ආසනය භාවිත කරන අතර එම ආසනයේ ඉහළ සඳහන්ව ඇත්තේ රාජ්‍ය ලාංඡනයයි.

ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා මුලසුනේ සිටින විට මේසයේ තබා තිබුණේ රතු පැහැති රෝස මලකි.

පැය භාගයක් වැනි කෙටි කාලයක් තුළ සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉතා හොඳින් කරුණු සහිතව ඉදිරිපත් කළ ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයාට ආණ්ඩු පක්‍ෂයේ මෙන්ම විපක්‍ෂය නියෝජනය කරනු ලබන එක්සත් ජාතික පක්‍ෂයෙනුත් උණුසුම් ප්‍රතිචාරයක් හිමිවීම විශේෂත්වයකි.

ඉන් අනතුරුව සාම්ප්‍රදායික තේ පැන් සංග්‍රහය පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුන්ගේ භෝජනාගාරය තුළ සංවිධානය කර තිබුණේ පර්ලිමේන්තුවේ මහ ලේකම් ඇතුළු ලේකම් කාර්යාලය විසිනි. 

ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලය භාරව සිටින හෙක්ටර් මහානාම ගමගේ හඳුන්වා දෙන ලද්දේ වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු විසිනි.

“හුඟකාලෙකින් දැක්කේ” යනුවෙන් ජනාධිපතිවරයා හෙක්ටර්ට මඳ සිනහවකින් ප්‍රතිචාර දැක්විය.

රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයාගේ කාල සීමාවේදී පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලයේ කටයුතු කරන හෙක්ටර් තම සේවය වර්තමානයේ ලබාදෙන්නේ ඔහු සේවය කළ 6 වැනි විධායක ජනාධිපතිවරයාටය.

මීට පෙර මෙරට පස්වැනි විධායක ජනාධිපති ලෙස මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා කටයුතු කරන විටද පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලයේ හෙක්ටර් සේවය කළේය.

ඒ අවස්ථාවේදී ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධීකරණ ලේකම් වශයෙන් කටයුතු කළේ කුමාරසිරි හෙට්ටිගේය. හෙට්ටිගේ වර්තමානයේ මහින්ද රාජපක්‍ෂ අගමැතිවරයාගේ පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධීකරණ ලේකම් ලෙස කටයුතු කරයි.

මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ කාලයේදී රාජ්‍ය ආරක්‍ෂක නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් වශයෙන් ක්‍රියාකළේ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂයි.

එම කාලයේ පාර්ලිමේන්තුවට පැමිණි විට ගෝඨාභය රාජපක්‍ෂ එවකට ආරක්‍ෂක ලේකම්වරයා ජනාධිපති කාර්යාලයට පැමිණෙන අතර එහිදී ඔහුට හෙට්ටිගේ හා හෙක්ටර් හමුවී තිබේ.

ජනාධිපතිවරයාගේ රාජාසන කතාවෙන් පසුව තේ පැන් සංග්‍රහය පැවැත්වෙන මන්ත්‍රි භෝජනාගාරය වෙත බොහෝදෙනෙක් ගමන් කළහ.

තේ පැන් සංග්‍රහය වර්ජනය කළේ ජනතා විමුක්ති පෙරමුණ පමණය.

මහින්ද රාජපක්‍ෂ අග්‍රාමාත්‍යවරයා සමඟ රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්‍ෂයේ නායකවරයා තේ පැන් සංග්‍රහය සඳහා භෝජනාගාරයට ගමන් ගත්තේ කතාබහ කරමිනි. ඒ සමඟම විමල් වීරවංශ අමාත්‍යවරයාද ගමන් කළේය.

මෙම තේ පැන් සංග්‍රහයේදී දැකගත හැකිවූ සුවිශේෂතම කාරණය වන්නේ සජිත් ප්‍රේමදාස විපක්‍ෂ නායකවරයා විසින් රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්‍ෂයේ නායකවරයා මඟහැරීමයි.

කිසිදු අවස්ථාවකදී රනිල් වික්‍රමසිංහ සිටින අසල නොසිටීමට සජිත් ප්‍රේමදාස උත්සාහයක් ගන්නා බව ඉතා හොඳින් පෙන්නුම් කෙරිණි.

ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා සහ සජිත් ප්‍රේමදාස විපක්‍ෂ නායකවරයාගේ හමුව බොහෝදෙනකුගේ අවධානයට යොමුවිය.

එකිනෙකාට ආචාර කර ගැනීමෙන් අනතුරුව සජිත් හා ගෝඨාභය අතර කෙටි කතාබහක් සිදුවූ අතර ගෝඨාභය සජිත්ගේ අතින් අල්ලාගෙනම කතාබහ ආරම්භ කළේය.

“ඔබතුමා රට වෙනුවෙන් සිදුකරන සියලුම යහපත් දේවල්වලට විපක්‍ෂයක් වශයෙන් සහයෝගය ලබාදෙනවා” යනුවෙන් සජිත් පැවසූ දෙයට ජනාධිපතිවරයා මඳ සිනහවකින් ප්‍රතිචාර දැක්විය.

“අපි කොහෙදිවත් ළඟදී හම්බ වුණේ නැහැ නේද?” සජිත් පැවැසුවේය.

“ඔව්. ඒක තමයි හම්බන්තොට පැත්තේ එහෙම ගියාද?” යනුවෙන් ගෝඨාභය විමසුවේය.

“ඔව් ගියා. ප්‍රශ්නයක් නැහැ. වැඩ කරගෙන යනවා” සජිත් ප්‍රතිචාර දැක්විය.

“විපක්‍ෂ නායකකමත් ලැබුණා නේද?” යනුවෙන් ගෝඨාභය රාජපක්‍ෂ විමසුවේය.

“ඔව්. ඒ තනතුර රටේ යහපතට යොදා ගන්නවා” යනුවෙන් සජිත් ඊට ප්‍රතිචාර දැක්වූයේය.

ඉන් අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ කථානායක කරු ජයසූරිය කථානායකවරයා සමඟ කතාබහ කළ ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් ඇතුළු පක්‍ෂ, විපක්‍ෂ දේශපාලන නියෝජිතයන් රැසක් සමඟ සුහදව කතාබස් කළේය.

ටික වේලාවකින් ජනාධිපතිවරයා තේ පැන් සංග්‍රහයෙන් සමුගෙන යළි පාර්ලිමේන්තුවෙන් පිටව යෑමට ආලින්දය දිගේ පැමිණෙන විට එක්සත් ජාතික පක්‍ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා මුණගැසුණේය. හර්ෂ ජනාධිපතිවරයාට සුබ පැතුවේය.

මේ අතර හිටපු සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සහ මාධ්‍යවේදීන් කිහිපදෙනකුට පැවැසුවේ ජනාධිපතිවරයාගේ රාජාසන කතාව ගැන විවාදය පැවැත්වෙන 7, 8 දිනවල ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුවට පැමිණන ලෙස ආරාධනා කරන බවයි.

ජනාධිපතිවරයා රට වෙනුවෙන් යම් වැඩකොටසක් ඉටු කිරීමට මූලික පියවර තබා ඇති බව පෙනෙන නිසා විපක්‍ෂයේ අදහස් හා විවේචනද ජනාධිපතිතුමාගේ ඉදිරි ගමනට වැදගත් වන බව ලක්‍ෂ්මන් කිරිඇල්ල විසින් පෙන්වා දෙන ලදී.

මේ අතර මහින්ද රාජපක්‍ෂ අග්‍රාමාත්‍යවරයා සමඟද රනිල් වික්‍රමසිංහ ඇතුළු එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රබලයෝ කිහිපදෙනෙක්ම කතාබස් කළහ.

මලික් සමරවික්‍රම, රවි කරුණානායක, දයා ගමගේ, වජිර අබේවර්ධන, ගයන්ත කරුණාතිලක ඇතුළු එක්සත් ජාතික පක්‍ෂයේ විශාල පිරිසක් පැමිණ මහින්ද රාජපක්‍ෂ අග්‍රාමාත්‍යවරයාට සුබ පැතූහ.

මේ අතර අග්‍රාමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු සම්බන්ධීකරණ කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ, රවි කරුණානායක මුණගැසුණු අතර “දැන් මොකද කරන්නේ” යනුවෙන් හෙට්ටිගේ විමසීය. “අලුත් වැඩක් පටන් ගන්න ඉන්නේ” යනුවෙන් රවි කරුණානායක ඊට ප්‍රතිචාර දැක්විය.

Latest news

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook