Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

මේ පරාජයේ වගකීම මම බාර ගන්නවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පැරදුනේ මම නිසා නම් එතුමාව නැවත බලයට ගේන වගකීමත් මම බාරගන්නවා.

මේ 2015 ජනවාරි 08 මහින්ද රාජපක්ෂ මහතා පරාජය වීමත් සමඟ ඇමෙරිකාව බලා පිටත්ව ගිය බැසිල් රාජපක්ෂ නැවත ලංකාවට පැමිණ මාධ්‍යයට කී කතාවකි. එකී බැසිල් රාජපක්ෂ කී දේ කළේය. නිකන් නොව හිතාගන්නට බැරි ලෙස ඒ දේ කළේය. ඒ නිසා බැසිල්ගේ ඡන්ද විජ්ජාව ගැන අමුතුවෙන් කියවිය යුතුමය.

2015 වසරේදී බැසිල් රාජපක්ෂ සිරගත කළ මොහොතේ ඔහු මේ දිනන මෙහෙයුමේ සැලැස්මට එහිදී සූදානම් විය. ඔහු එහි මුල්ම ගඩොල තැබුවේ බන්ධනාගාරයේදී සිය අතින් ඡන්ද සලකුණ අඳිමිනි. ඉන්පසුව ඔහු එළියට පැමිණි අතර අලුත් පක්ෂයක් ගොඩනගා එහි බලය ඇල්ලීම කෙරෙහි දැඩි අවධානයක් යොමු කළේය. ඒ අනුව විමල් ගීගනගේ මහතා නායකත්වය දැරූ ශ්‍රී ලංකා ජාතික පෙරමුණ සහ අපේ ශ්‍රී ලංකා නිදහස් පෙරමුණ යන පක්ෂ මූලික කරගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහිවිය. ඒ 2016 වසරේ නොවැම්බර් 06 වෙනිදාය. එසේ පිහිටුවා ගත් පක්ෂයට වසර තුනක් ඇතුළත නැතහොත් දින 1102 ඇතුළත් සමස්‍ත රටේම බලය අල්ලා ගැනීමට හැකිවිය. ඒ විශාල ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමින්ය.

විශේෂයෙන් බැසිල් රාජපක්ෂ මහතා ආර්ථික සංවර්ධන අමාත්‍යංශය දැරූ සමයේදී ප්‍රාදේශීය වශයෙන් පොඩි හෝ ව්‍යාපෘතියක් ප්‍රාදේශීය මන්ත්‍රීවරයකුට ලබා දුන්නේය. මේ නිසා ගමේ පොඩි පාරවල් පවා කාපට් කළ අතර ඒ අවස්ථාව ලබාදීම නිසා බැසිල් රාජපක්ෂ සමඟ බිම්මට්ටමේ දේශපාලකයන් ඉතා සමීප විය. මේ අවස්ථාව බැසිල් රාජපක්ෂ නව පක්ෂය ආරම්භය සඳහා යොදාගත්තේය. ඒ පක්ෂයකට අවශ්‍ය බිම් මට්ටම බැසිල් රාජපක්ෂ සමඟ සමීප වී සිටි නිසාය.

ඒ අනුව ඔහු පළමු ලිට්මස් පරීක්ෂාව 2018 පෙබරවාරි මාසයේදී සිදුකළේය. ඒ පළාත් පාලන මැතිවරණය තම පක්ෂය යෙදවීමය. ආණ්ඩු බලය එජාපයටත්, ශ්‍රීලනිපයටත් පැවති මොහොතක එම අභියෝගයට මුහුණ දුන් අතර පළාත් පාලන 340න් 239 ජයග්‍රහණය කරන්නට හැකිවිය. එය ඉතිහාස ගතවන මොහොතකි. එනම් අලුතෙන් පිහිටවූ පක්ෂයක් ප්‍රධාන පක්ෂ පරාජය කරමින් ඉහළට පැමිණීම නිසාය.

එම ජයග්‍රහණයෙන් පසුව පොදුජන පෙරමුණ සූදානම් වූයේ ඉදිරි ජනාධිපතිවරණය සඳහාය. ඒ සඳහා මෙහෙයවූ ආකාරය පිළිබඳව ඊට සෘජුවම මැදිහත් වූ බැසිල් රාජපක්ෂ මහතාගේ සමීපතමයන් දෙදෙනකු මෙන්ම වර්තමාන ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරු වන ලක්ෂමන් යාපා සහ නිමල් ලංසා යන මහත්වරුගෙන් විමසීමක් කළෙමු.

බැසිල් රාජපක්ෂ මහත්තයගෙ සංකල්පයක් අනුව අපි ග්‍රාමසේවා කොට්ඨාස 14000 ම රුස්වීම් තිබ්බා. ගම සමඟ පිළිසඳරක් කියන වැඩසටහන යටතේ ජනතාව සමඟ හමුවීම් මුණගැසීම් ප්‍රශ්න ගැන එහෙම කතා කළා. මේ හැම සංවාදයක් තුළින්ම අපි ප්‍රතිපත්ති ප්‍රකාශනයට තොරතුරු ලබාගත්තා. විශේෂයෙන් විශ්‍රාම ගිහින් ඉන්න විවිධ ක්ෂේත්‍රවල වැඩකළ රාජ්‍ය සේවකයන්ගෙන් කමිටු හදලා ඒ හරහා ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ගත්තා. ඊටපස්සේ ඒකෙන් ප්‍රතිපත්ති කමිටුවට දාලා එතනින් ප්‍රතිපත්ති කමිටු 21, හරහා ගත්ත තොරතුරු වලින් තමයි ජනතාවට දැනෙන ප්‍රතිපත්ති මාලාවක් හැදුවේ. ඒ ප්‍රතිපත්ති මාලාව කරන එක තුළම තිබ්බේ ජනතාවත් අපේ පක්ෂයත් එක්ක බැඳීම වැඩි කරන්න. යැයි රාජ්‍ය අමාත්‍ය ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා පැවසීය.

විශේෂයෙන් බැසිල් රාජපක්ෂ මහත්තයා හැමෝටම ඉලක්කයක් දුන්නා. තමන්ගේ මැතිවරණ කොට්ඨාසය තුළ වෙන්න ඕනේ දේවල් සම්බන්ධයෙන් සොයා බලන්න. බැසිල් මහත්තයා නිතරම අපිත් එක්ක සම්බන්ධ වුණා. ඒ සම්බන්ධ වෙලා ඔහු තොරතුරු ලබාගත්තා. ආසනවල වෙන්න ඕනේ වෙනස්කම් සහ ජනතාවට පොරොන්දු නොදෙන තැනකට කටයුතු කරන්න කියලා උපදෙස් දුන්න. අපි අනෙක් පක්ෂවල අය වගේ පොරොන්දු දුන්නේ නෑ. අපි ජනතාවට පැහැදිලි කළා අපි කරන්න යන වැඩ පිළිවෙළ ගැන. බැසිල් රාජපක්ෂ මහත්තයට වෙලාවක් නෑ. එතුමා හැමවෙලාවෙම හැමදේ ගැනම අවධානයෙන් හිටියේ. හැම කෙනෙක්ගෙන්ම වැඩ ගත්තා. එතුමා නොනිදා වැඩ කරන නිසා කාට උනත් වැඩ කරන්න වෙනවා යැයි රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා පැවසීය.

කෙසේ වෙතත් අප සොයා බැලූ කාරණය අනුව බැසිල් රාජපක්ෂ මහතා සැලසුමකට අනුව කටයුතු කර ඇත. ඒ අනුව ඔහු ප්‍රධාන වශයෙන් වෘත්තීය සමිති අලුතින් පිහිටුවා ඒ තුළින් වෘත්තීය සමිති ජාලයක් පිහිටුවනු ලැබීය.

බැසිල් මහත්තයා හැම අංශයකම ඉන්න අය එකතු කරන් සමිති හැදුවා. හිතන්න ඔය දේවාලවල ඉන්න කපුමහත්වරු, බාබර්ලා වගේ අයගෙනුත් අපි සංවිධාන හැදුව. ඒවා වලට තනතුරු පත්කරලා ඒ අයට කිව්වා මෙන්න මේ දවසේ මේ වෙලාවට ඔයා මිනිස්සු මෙච්චරක් ගාණක් අරන් එන්න කියලා. එදාට මහින්ද මහත්තයයි ගෝඨාභය මහත්තයයි වේදිකාවට ගොඩවෙලා වැඩපිළිවෙල කියනවා. ඒක ඉතාමත් සාර්ථක විදිහට සිද්ධවුණා යැයිද ලක්ෂමන් යාපා මහතා පැවසීය.

විශේෂයෙන් අපි මේ ඡන්ද ව්‍යාපාරයට තරුණ ප්‍රජාව උගත් බුද්ධිමත් අය සම්බන්ධ කරගත්තා. ඒ අය ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණේ. ඒ හැම කෙනෙක්ටම උවමනාව තිබ්බේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බලයට ගේන්න. ඒ නිසා මුදලට වැඩකරන කවුරැත් එතන හිටියේ නෑ. හැමෝටම ප්‍රතිපත්තිමය ගනුදෙනුවක් තිබ්බේ. ආණ්ඩුව එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැනි වැඩසටහන් ක්‍රියාත්මක කරන ගමන් මුදල් එහෙම දුන්නා. හැබැයි අපිට එහෙම කරන්න හැකියාවක් තිබ්බේ නෑ. අපිට බැසිල් රාජපක්ෂ මහත්තයා උපදෙස් දුන්නේ ගෙයක් ගානේ ගිහින් ජනතාව එක්ක සම්බන්ධ වෙන්න කියලා. අපි හැමගේකටම ගියා. ගිහින් ඡන්ද ලේඛනයක් හැදුවා. විශේෂයෙන් ඊ කැන්වසින් හරහා කළේ ඒක. ඒක නව තාක්ෂණයත් එක්ක ගියේ. අපේ පක්ෂයේ ආසන කැඳවුම්කරුවන්ගේ, පක්ෂ සමාජිකයන්ගේ දුරකථනවලට අපේ ඇප් එකක් දාගෙන සම්බන්ධ වුණා. එතකොට අපේ පාක්ෂිකයින්, ඡන්ද දායකයින් කොහෙද ඉන්නේ? කොච්චරක් ඉන්නවද? කියලා නෙළුම් මාවත කාර්යාලය තුළ ඉඳන්ම දැනගන්න පුළුවන්. මේ දේවල් කිසිම පක්ෂයක් කළේ නෑ. කළේ බැසිල් රාජපක්ෂ මහත්තයා යැයි නිමල් ලන්සා මහතා කීය.

සෑම කණ්ඩායමකටම වගකීම් ලබාදෙමින් ඒ වගකීම් හරිහැටි ඉෂ්ට කළාද වෙනවාද යන්න සෘජුව මැදිහත් වී සොයාබැලීම බැසිල් රාජපක්ෂ මහතාගේ ක්‍රමය වී තිෙබ්. ඒ හැමදෙනාටම සෘජුව දුරකථනයෙන් සතියට දෙතුන් පාරක් කතාකරන බවද දැනගන්නට තිබේ. මේ නිසා හැම අංශයක්ම ඉතාමත් ක්‍රියාශීලිව කටයුතු කළ බව දැනගන්නට ඇත. කෙසේ වෙතත් ජනාධිපතිවරණයට සතියක් තබා බැසිල් රාජපක්ෂ සිය ගණන් හිලව් සකසා අනාවැකියක් පළකර ඇත. එනම් ගෝඨාභය රාජපක්ෂ මහතා ලක්ෂ 13ත් 15ත් අතර සංඛ්‍යාවකින් ජයග්‍රහණය කරන බවය. ඒ අනුව ඒ අනාවැකිය හරි ගියේය.

කෙසේ වෙතත් හැම ආණ්ඩුවකටම ජයග්‍රහණයට ඡන්ද මැෂින් සිටියේය. ඇතැම් අය ඒ නමින්ම හැඳින් වූ අයද සිටියේය. ඒ තමන්ට උරැම වූ පක්ෂය තුළ සිටමය. එහෙත් 2015 මහින්ද රාජපක්ෂගේ පරාජයට වගකිව යුත්තා බැසිල් රාජපක්ෂ බවට පාක්ෂිකයන් පවා අත දිගුකළ මොහොතක අවුරුදු තුනක් වැනි කාලයක් තුළ අලුත් පක්ෂයක් පිහිටුවා ඒ පක්ෂය හරහා රටේම බලය අල්ලා නැවතත් සහෝදරයන් බලයට ගෙනා අයෙක් මේ දේශපාලන ලෝකයේ ඇත්නම් ඒ බැසිල් රාජපක්ෂ පමණි. ඒ හැකියාව සම්බන්ධයෙන් තර්කයක් නැත. ඒ නිසා ඒ හැකියාව අගය කිරීමක් මිස මෙය ඔහුව අතිශෝක්තියෙන් වර්ණනා කිරීමක් නොවන බවද දැන්විය යුතුය.

 ගයාන් ගාල්ලගේ

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook