ගරු කටයුතු මහත්මයාණෙනි, සුබ උදෑසනක්. ඔවුන් අද දින පැය 0600 සිට 1000 අතර ක‍්‍රියාත්මක වීමට ඉඩ ඇත.
ඔබගේ කාරුණික දැනුවත්වීම පිණිසයි.
කොළඹ මෙතෝදිස්ත දේවස්ථානයක් ඔවුන්ගේ එක් ඉලක්කයක්.
පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප‍්‍රහාරය පිළිබඳව රාජ්‍ය බුද්ධි අංශයේ ප‍්‍රධානී, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන වෙත අපේ‍්‍රල් 21 වන දින උදෑසන 8.27ට ඔහුගේ මූලාශ‍්‍රයකින් ලැබී තිබුණ අවසන් ඔත්තුව එය විය.
වේලාව තවත් විනාඩි විසි පහකට වඩා ගත නොවීය, කොච්චිකඬේ සහ කටුවපිටිය දේවස්ථානයෙන් ආරම්භ වූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර මාලාව අවසන් වූයේ දෙමටගොඩ නිවාස සංකීර්ණයේ පස්වරු 2.25 ට සිදු වූ පිපිරීමත් සමගය.
කතෝලික පල්ලි තුනක් සහ හෝටල් තුනක් ඉලක්ක කරගෙන සිදුවූ මෙම මරාගෙන මැරෙන ප‍්‍රහාර හේතුවෙන් මරාගෙන මැරෙන ත‍්‍රස්තවාදීන් 8 දෙනා ඇතුළුව, 277 දෙනකු මිය ගිය අතර තවත් 400 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.
මෙම ප‍්‍රහාරයේ මූල බීජය රෝපණය වන්නේ නැගෙනහිර පළාතේ කාත්තන්කුඩි ප‍්‍රදේශයේය. මේ ප‍්‍රදේශයේ සන්නද්ධ අන්තවාදී කණ්ඩායම් සිටින බව 2011 වසරේ පැවති මාධ්‍ය හමුවකදී, එවකට බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලවි මවුලානා පළමුව හෙළිදරව් කර තිබුණි. මුස්ලිම් අන්තවාදීන් පිළිබඳව ජමියතුල් උලමා සංවිධානයද මේ කාලයේදී බලධාරීන්ට අනතුරු ඇඟවීම් සිදු කළේය.
ආරක්ෂක කවුන්සිලයේදී ප‍්‍රථම වරට සහරාන් හෂීම් පිළිබඳව සාකච්ඡා වන්නේ 2015 වසරේදීය. සහරාන්ට එරෙහිව ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසයට පළමු පැමිණිල්ල ලැබෙන්නේ 2016 දීය. ඒ වසරේදීම කතෝලිකයන්ට එරෙහිව දේශන පවත්වමින් නත්තල හෙළා දකින සහරාන්, නත්තල නොසමරන ලෙසට පත‍්‍රිකා බෙදමින්, ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.
ජාතික තවුහිද් ජමාත් සංවිධානය තහනම් කරන ලෙස ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සිය නිර්දේශද සමග නීතිපතිවරයාට ලිපිගොනුවක් ඉදිරිපත් කර ඇත්තේ 2017 දීය. ඒ දිනවලම තවුහිද් ජමාත් සංවිධානය විසින් කාත්තන්කුඩියේ සිදු කරන ප‍්‍රචණ්ඩ ක‍්‍රියා ගැන මවුලවිවරයෙක් විසින් නීතිපතිවරයාට ලිපියක් භාරදී තිබුණි. ජාතික තවුහිද් ජමාත් ගැන සිදුකරන සියලූ විමර්ශන පිළිබඳ තමන් දැනුවත් කරන ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට ද ඒ වන විට දැනුම් දී තිබුණි.
ශ‍්‍රී ලංකාවේ ඉස්ලාම් රාජ්‍යයක් ස්ථාපිත කළ යුතු බවටත් මුස්ලිම් නොවන අය මරා දැමිය යුතු බවටත් සහරාන් කළ දේශන ඇතුළත් සංයුක්ත තැටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසයට ලැබෙන්නේද 2017 වසරේදීය. 2018 දී රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂවරයා විසින් සහරාන් පිළිබඳව ජාතික ආරක්ෂක මණ්ඩලය දැනුවත් කළේය.
මේ සියල්ල නොසලකා හරිමින් රටක් ලේ විලක් වන්නේ කෙසේද...?
ඒ සඳහා තවත් අඩුම කුඩුම බොහොමයක් තිබේ.
නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන වසර 40 කට සේවා කාලයක් සම්පූර්ණ කර දැන් සිටින්නේ විශ‍්‍රාමගතවය. පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය සිදුවීමට පෙර 2018 දෙසැම්බර් 22 සහ 26 යන දෙදින කෑගල්ල පොලිස් කොට්ඨාසයේ, මාවනැල්ල පොලිස් වසමේ, බුදු පිළිම හතර නමකට, ජාතික තවුහිද් ජමාත් ත‍්‍රස්තවාදී කල්ලිය විසින් පහරදුන් අවස්ථාවේදී කෑගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති වශයෙන් සේවය කරන ලද්දේ ඔහුය. මේ නිසා පාස්කු ප‍්‍රහාරයේ, පෙර සූදානම පිළිබඳව පරීක්ෂණ මට්ටමෙන් ඔහුට ඉව වැටී තිබුණි. එතැන් සිට ඔහු විසින් සිදු කරන මෙම හෙළිදරව්ව පාස්කු ප‍්‍රහාරය යනු ත‍්‍රස්තවාදියාට ඉඩ දුන් අවස්ථාවක් මිස ත‍්‍රස්තවාදියාගේ හපන්කමක් නොවන බව සනාථ කරයි.
සහරාන්ගේ මල්ලි බෝම්බයක් පිපිරී ජාතික රෝහලේ
2018 අගෝස්තු 28 වෙනිදා සහරාන්ගේ බාල සහෝදරයා වන රිල්වාන් නමැත්තා බෝම්බයක් අත්හදා බලමින් සිටියදී පිපිරීමකට ලක්ව තුවාල ලබනවා. මෙම පිපිරිම සිදුවන්නේ අගෝස්තු 26 වෙනිදා... මෙම පුද්ගලයා පිපිරීම් තුවාල සහිතව කොළඹ ජාතික රෝහලට ඇතුල් කරනවා. මේ මෑත කාලයේ ප‍්‍රසිද්ධ වූ වීඩියෝ පටයක තිබෙන රාවුෆ් හකීම් විසින් රෝහලට ගොස් සුවදුක් විමසන්නේ මේ රිල්වාන්ගේ... මේ රිල්වාන්ව ජාතික රෝහලට ඇතුළත් කළේ, එම්.අයි. සහිඞ් කියන ව්‍යාජ නමකින්... මේ සහිඞ් කියන්නේ මාවනැල්ලේ බුදු පිළිම කැඞීමේ සිද්ධියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගනු ලැබූ ප‍්‍රධාන සැකකරු... ඒ නමින් තමයි මෙයාව ඇතුල් කරන්නේ... එම ඇතුළත් කිරීම සිදු කරන්නේ සහිඞ්ගේ සහෝදරයා වන එම්.අයි. සාදික් කියන කෙනා විසින්. මේ දෙදෙනාම පාස්කු බෝම්බ ප‍්‍රහාරයේ සහරාන් සමග සිටි මහ මොළකරුවන් දෙදෙනෙක්... එම බෝම්බ ප‍්‍රහාරයෙන් පසු මේ දෙදෙනා හසු වෙනවා. මෙතැනදී ඇඳ ඉහපත් වාර්තාවේ පිපිරීමක් කියලා සඳහන් කර තිබුණා. ඒත් ඊට හේතුව ලෙස සඳහන් කරලා තිබුණේ ගෑස් සිලින්ඩරයක් පුපුරා සිදුවූ තුවාලයක් ලෙසයි. බෝම්බ පිපිරීමක් සහ ගෑස් සිලින්ඩරයක පිපිරීමක් වෛද්‍යවරයෙකුට වෙන් කරලා හඳුනාගන්න පුළුවන්... වෛද්‍යවරු අට දෙනෙක් විතර මෙයාව පරීක්ෂා කරලා තිබෙනවා... ඇහැක් අහිමිවෙන තරමේ සිද්ධියක් පිළිබඳව ඒ වෛද්‍යවරු මෙසේ වාර්තාවක් ලබා දුන්නේ, කුමන හෝ බලපෑමකට ද යන්න සොයා බැලිය යුතු වෙනවා. ඒක පිළිබඳව වෙනම පරීක්ෂණයක් කළ යුතුයි. එදා මේ සිද්ධිය හෙළි කර ගත්තා නම් අද අපිට පාස්කු ප‍්‍රහාරයක් පිළිබඳව කතාවක් නැහැ... මම මේ සඳහන් කරන්නේ එවැනි අවස්ථා ගණනාවක් පිළිබඳවයි. මේ අවස්ථා හෙවත් කඩුලූ ගණනාවම අපි අත්හැරීමේ ප‍්‍රතිඵල තමයි, එදා අහිංසක ජනතාව විසින් විඳෙව්වේ... මේ නිසා ඒ ගැන වගකිව යුතු සෑම කෙනෙක්ම නීතිය හමුවට ගෙනැවිත් දඬුවම් පමුණුවන්න ඕනේ...
එදා සහරාන්ගේ මල්ලී වන රිල්වාන් රෝහලට ඇතුළු කරන ලද එම්. අයි. සාදික් හෙවත් මොහොමඞ් ඊබ‍්‍රාහීම් සාදික් යන නම මෙහිදී ඉතා වැදගත්... එදා රෝහලෙන් තොරතුරු වාර්තා වූ මොහු පිළිබඳව අපට සොයා ගැනීමට නොහැකි වන්නේ වෛද්‍යවරු සහ අදාළ පිරිස මෙම පිපිරීම පිළිබඳව ලබා දුන් වංචනික අර්ථකථනය නිසා... ඔහු යළිත් වරක් කරළියට පැමිණෙන්නේ, මාවනැල්ලෙන්...
බුදු පිළිම වහන්සේ වෙත එල්ල කරන ලද පහරදීම සම්බන්ධයෙන් අපි පරීක්ෂණ සිදු කළා. කෙටි කාලයකදී ඊට සම්බන්ධ සැකකරුවන් 07 දෙනකු අත්අඩංගුවට ගැනීමට අපිට පුළුවන් වුණා. මීට පෙරත් මෙම පිරිස පේරාදෙණිය, වෙලම්බඩ හා පොතුහැර යන පොලිස් වසම් වලදී බෞද්ධ, හිංදු, ක‍්‍රිස්තියානි ප‍්‍රතිමා වලටද මේ ආකාරයටම අලාභහානි සිදුකර තිබුණා. පාස්කු බෝම්බ ප‍්‍රහාරයෙන් පසුව අනාවරණය වූයේ පාස්කු දින බෝම්බ ප‍්‍රහාරය සැලසුම් කර ඊට නායකත්වය ලබාදුන් මොහොමඞ් ඊබ‍්‍රාහීම් සහීඞ්, මොහොමඞ් ඊබ‍්‍රාහීම් සාදික් සහ සහරාන් යන තිදෙනා විසින්, මෙම බුදු පිළිම වහන්සේට අලාභහානි සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කණ්ඩායමද මෙහෙයවා ඇති බවයි. මෙම සැකකරුවන්ගෙන් මොහොමඞ් ඊබ‍්‍රාහීම් සහීඞ්, මොහොමඞ් ඊබ‍්‍රාහීම් සාදික් යන දෙදෙනා මාවනැල්ල පොලිස් වසමේ පදිංචිකරුවන් වූ අතර සහරාන් කාත්තන්කුඩිය ප‍්‍රදේශයේ පදිංචිකරුවකු බවත් විමර්ශන වලදී අනාවරණය වී තිබුණා. මේ තමයි අපිට සාධක රාශියක් සමග සහරාන් ඇතුළු පිරිස පිළිබඳව හොඳින්ම ඉව වැටුණු අවස්ථාව. මෙම අවස්ථාව අත හරිනවාද... සැහැල්ලූ ආකාරයෙන් සලකනවාද... නැතිනම් දැඩිව ගෙන ඉදිරි කටයුතු සිදුකරනවාද යන අභියෝගය ඒ මොහොතේ පොලිසිය ප‍්‍රධාන ආරක්ෂක යාන්ත‍්‍රණයට තිබුණා.
සහරාන් ගැන අනාවරණය
කෑගල්ල කොට්ඨාසයේ විමර්ශන කණ්ඩායම් කීපයක් ඉහත කී සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යොමුකර තිබුණත්, ඒ අවස්ථාවේ ඔවුන් බේරීම සඳහා මාවනැල්ල ප‍්‍රදේශයේ පිහිටි නිවෙස් වසා දමා පවුල් පිටින් ප‍්‍රදේශයෙන් පලා ගොස් සිටියා. විමර්ශන කණ්ඩායම් වෙත ලැබුණු තොරතුරු අනුව 2018 දෙසැම්බර් මස අවසාන සතියේදී සහරාන් නමැති සැකකරු අත්අඩංගුවට ගැනීමට කාත්තන්කුඩි ප‍්‍රදේශයට ගොස් විමර්ශන පැවැත්වුවා. අනෙකුත් සැකකරුවන් දෙදෙනාද අත්අඩංගුවට ගැනීම සඳහා පුත්තලම, අනුරාධපුරය, පොලොන්නරුව ප‍්‍රදේශ වලට ගොස් විමර්ශන පැවැත්වීමට අපි කටයුතු යෙදුවා. සහරාන් පිළිබඳව අපිට මෙතැනදී දැන ගන්න ලැබෙනවා. 2017 වසරේ සිදුවූ ගැටුම්කාරී සිදුවීමකින් පසුව කාත්තන්කුඩි ප‍්‍රදේශය අතහැර ගොස් ඔහු සැඟවී සිටියා.
මේ විමර්ශන අතරේ, 2018 දෙසැම්බර් මස අවසන් සතියේදී පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා මෙම විමර්ශන භාරව කටයුතු කළ කෑගල්ල කොට්ඨාසයට අනුයුක්තව රාජකාරී කරන ලද සහකාර පොලිස් අධිකාරී ගාමිණී තෙන්නකෝන් මහතාට දුරකථනයෙන් කතා කළා. ඔහු විසින් මෙම විමර්ශන සම්බන්ධයෙන් ප‍්‍රගතිය විමසා, අත්අඩංගුවට ගැනීමට විමර්ශන කණ්ඩායම් සොයමින් සිටින ප‍්‍රධාන සැකකරුවන් දෙදෙනකු වන මොහොමඞ් ඊබ‍්‍රාහීම් සහීඞ්, මොහොමඞ් ඊබ‍්‍රාහීම් සාදික් සම්බන්ධයෙන් අසාද් සාලි මහතා විසින් තොරතුරක් ලබාදෙන බව පවසා ආසාද් සාලි වෙත දුරකථනයෙන් අමතන ලෙස අදාළ නිලධාරියාට දැනුම් දී තිබුණා. මේ සාදික් පිළිබඳව අප කලින් සඳහන් කළා ඔබට මතක ඇති...
ආසාද් සාලිගේ උපදසේ අනුව පුජිත වැඩ
අසාද් සාලිගේ ජංගම දුරකථන අංකයද හිටපු පොලිස්පතිතුමා විසින් සහකාර පොලිස් අධිකාරිවරයා වෙත ලබා දී තිබුණා. එම අංකයෙන් අසාද් සාලි ඇමතූ පසු ඔහු විසින් සහකාර පොලිස් අධිකාරිවරයාට දැනුම්දී තිබුණේ, මොහොමඞ් ඊබ‍්‍රාහීම් සහීඞ්, මොහොමඞ් ඊබ‍්‍රාහීම් සාදික් යන දෙදෙනා පසුදින තමිසීන් මවුලවි නමැති අයෙකු ලවා කෑගල්ල පොලිස් අධිකාරි කාර්යාලයට භාරදෙන බවයි. ඒ අවස්ථාවේ අදාළ සහකාර පොලිස් අධිකාරිවරයා විසින් මේ සම්බන්ධයෙන් එවකට කෑගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් මෙම විමර්ශන අධීක්ෂණය කළ මට දැනුම් දුන්නා.
පසුදින අප විසින් අසාද් සාලි විසින් සිය පොරොන්දුව ඉටු කරන තෙක් බලා සිටියත් එය සිදුවුණේ නැහැ.
අසාද් සාලි විසින් භාරදෙන බවට පොරොන්දු වූ මොහොමඞ් ඊබ‍්‍රාහීම් සහීඞ්, මොහොමඞ් ඊබ‍්‍රාහීම් සාදික් යන සැකකරුවන් දෙදෙනා 2019 අපේ‍්‍රල් 21 වන පාස්කු ඉරිදා දින සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයෙන් දින කිහිපයකට පසු නාවලපිටිය ප‍්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත් වුණා. එම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් වැඩිදුර පරික්ෂණ පැවැත්වුවා. ඔවුන් දෙදෙනා සහරාන් ඇතුළු ත‍්‍රස්තවාදී කණ්ඩායමේ ප‍්‍රධානතම සාමාජිකයන් දෙදෙනකු බවත්, මුල සිටිම මෙම කණ්ඩායම විසින් සිදුකරනු ලැබූ සියලූම ක‍්‍රියාකාරකම් සම්බන්ධවත්, අපේ‍්‍රල් 21 වන පාස්කු දින සිදුකරනු ලැබූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් සැලසුම් කිරීමට සහාය වූ බවත්, සියලූ සැලසුම් දැන සිටිය බවත් එතැනදී අනාවරණය වුණා.
ශානි අබේසේකරගේ ලිහිල් ප‍්‍රතිපත්තිය බුදු පිළිම වලට පහරදී අලාභ සිදුකිරීමේ සිදුවීම සම්බන්ධයෙන් එම කාලයේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් විශාල ප‍්‍රසිද්ධියක්ද ලබාදුන්නා. එම ප‍්‍රසිද්ධිය නිසා මුළු රට පුරාම බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිවී ආගම්වාදී, ජාතිවාදී කලබල ඇතිවී බරපතළ විනාශකාරී තත්ත්වයක් උදාවීමේ තත්ත්වයක් ඇති වුණා. කෑගල්ල පොලිස් කොට්ඨාසයේ විමර්ශන කණ්ඩායම් මහජනයාගේද සහාය ඇතිව කඩිනමින් දින කීපයක් ඇතුළත ඊට සම්බන්ධ සැකකරුවන් 13 දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර අවශ්‍ය පියවර ගැනීම නිසා එම තත්ත්වය සංසිඳීමකට ලක් වූ බවයි මගේ අදහස.
සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන කණ්ඩායම් අධීක්ෂණය කරන ලද කෑගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරී චාමික වික‍්‍රමසිංහ ඇතුළු විමර්ශන කණ්ඩායම් විසින්, මේ සඳහා ජාත්‍යන්තර සංවිධානයක සහාය ලැබී තිබෙන බව පෙනී යන බවත් ඒ නිසා, ජාත්‍යන්තර පොලිසිය මගින් සහාය ලබා ගැනීමට 2018 දෙසැම්බර් 28 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර වෙත ලිපියක් යොමු කළා.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළේ නැහැ. මාසයකට පමණ පසු ඒ පිළිබඳව පිළිතුරු ලිපියක් යොමු කරමින් ශානි විසින් විමසා සිටියේ, ජාත්‍යන්තර කුමන්ත‍්‍රණය කුමන රටක, කුමන ආකාරයට, කවුරුන් විසින් සිදුකරන්නේද යන්න විස්තර සඳහන් කර නොමැති බැවින්, මේ සඳහා ජාත්‍යන්තර පොලිස් සහාය ලබා ගැනීමේ හැකියාවක් නොමැති බවයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් මේ විදිහට කටයුතු කිරීම ඉතා කනගාටුදායක තත්ත්වයක්... කෑගල්ල කොට්ඨාසයේ විමර්ශන නිලධාරීන් ගෙන්වා මේ සම්බන්ධයෙන් මීට වඩා ගැඹුරුව සහ ඒකාබද්ධව වැඩිදුර විමර්ශන පැවැත්වූවා නම් ඵලදායී ප‍්‍රතිඵල ලබාගෙන මෙම ත‍්‍රස්තවාදී කණ්ඩායමේ සියලූ ක‍්‍රියාකරකම් සහ ජාත්‍යන්තර සම්බන්ධකම් අනාවරණය කර
ගැනීමට හැකියාව තිබුණා. පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරයද මෙම කණ්ඩායම විසින්ම සිදුකරන ලද බැවින්, එසේ වුවා නම් එය වළක්වා ගැනීමේ හැකියාවක් තිබුණා.
මාවනැල්ල සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පොලිස්පති විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීම නිසා ඒ පිළිබඳව මගේ වගකීම අවසන් වුණා.
මාවනැල්ලෙන් වනාතවිල්ලූවට...
ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කණ්ඩායම, මාවනැල්ල බුදුපිළිම වලට අලාභහානි කරන ලද සිදුවීමට සම්බන්ධ ප‍්‍රධාන සැකකරුවන් දෙදෙනකු වන මොහොමඞ් ඊබ‍්‍රාහීම් සහීඞ්, මොහොමඞ් ඊබ‍්‍රාහීම් සාදික් යන සැකකරුවන් දෙදෙනා සැඟවී සිටින බවට ලැබුණු තොරතුරක් මත 2019.01.16 වෙනි දින පුත්තලම පොලිස් කොට්ඨාසයේ වනාතවිල්ලූව පොලිස් වසමට අයත් කරඩිපුවල්, 08 කණුව, ලැක්ටොස් වත්ත යන ලිපිනයේ පිහිටි පොල් වත්තක් සහ නිවාස දෙකක් පරීක්ෂා කළා. එහිදී එම ස්ථානයේ ඉහත සැකකරුවන් දෙදෙනා ඉතා සූක්ෂම ලෙස සිය සහයකයන් සමග සැඟව සිටිමින් පුපුරන ද්‍රව්‍ය සහ ගිනි අවි ඒකරාශී කර තබාගෙන සිට ඇති බවත්, එකී ස්ථානයේ යම් යම් රසායන ද්‍රව්‍ය ගබඩා කරමින් පුපුරන ද්‍රව්‍ය නිෂ්පාදනය සිදුකර ඇති බවත්, රහසිගත ලෙස එම ස්ථානයේ නීති විරෝධී ත‍්‍රස්තවාදී පුහුණු කඳවුරක් පවත්වාගෙන ගොස් ඇති බවත් අනාවරණය කර ගත්තා. එම අවස්ථාවේදී
I. අබෝ හනීෆා මොහොමඞ් මුෆීස්, අංක 53, 3 වන පටුමග, මන්නාරම පාර, පුත්තලම
II. අමීර් හම්සා මොහොමඞ් හමාස්, අංක 51, 01 වන පටුමග, ස්පීල් පාර, පුත්තලම
III. මොහොමඞ් නෆීස් මොහොමඞ් නෆ‍්‍රිඞ්, අංක 42/1, 11 වන හරස්වීදිය, මන්නාරම පාර, පුත්තලම
IV. මොහොමඞ් නෆීස් මොහොමඞ් නවීත්, අංක 42/1, 11 වන හරස්වීදිය, මන්නාරම පාර, පුත්තලම
යන සැකකරුවන් පිරිස අත්අඩංගුවට පත්වුණා.
පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරය එල්ලකරන ලද බෝම්බ සියල්ල නිෂ්පාදනය කර තිබුණේ වනාතවිල්ලූවේදී අත්අඩංගුවට ගත් රසායනික ද්‍රව්‍ය සහ අනෙකුත් උපකරණ වර්ග උපයෝගී කරගෙන බව, රස පරීක්ෂක වාර්තා වලින් සනාථ වී තිබෙනවා.
මේ වනාතවිල්ලූව ත‍්‍රස්තවාදී කඳවුර සම්බන්ධ විමර්ශන වලදී හෙළිවුණු සහරාන්, සහීඞ් හා සාදික් ඇතුළු සියලූම සැකකරුවන් පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ අය. මෙයින් කිහිපදෙනකු හෝ එදා අත්අඩංගුවට ගත්තා නම් අපි අද පාස්කු ප‍්‍රහාරයක් අත් විඳින්නේ නැහැ.
පාස්කු ප‍්‍රහාරයේ සැලසුම සහ පුපුරන ද්‍රව්‍ය වනාතාවිල්ලූවේ
පාස්කු ප‍්‍රහාරයේ සියලූම ප‍්‍රධාන ත‍්‍රස්තවාදී චරිත පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනගෙන සිටියදී ඒ සම්බන්ධයෙන් දැක්වූ ලිහිල් පිළිවෙත අදටත් නොවිසඳුණු ප‍්‍රශ්නයක්...
පාස්කු ප‍්‍රහාරයට පෙර ඉන්දියාවේ රෝ බුද්ධි සේවය විසින් අපේ රාජ්‍ය බුද්ධි සේවාව වෙත එවන ලද බුද්ධි තොරතුරේ සඳහන් කර තිබෙන
I. සහරාන්.
II. රිල්වාන්
III. සාජිත් මවුලවි
IV. සහීඞ්
V. මිල්හාන්
ඇතුළු සැකකරුවන්ගේ නම් ඊට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැන සිටියා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විසින් 2019 ජනවාරි 16 වනාතවිල්ලූව ත‍්‍රස්තවාදී කඳවුර වටලා, එම අපරාධය සඳහා සහරාන්, සහීඞ් සහ සාදික් ආදී සැකකරුවන් සම්බන්ධ බව අනාවරණය කරගෙන තිබුණා. මෙම තත්ත්වය අපි සැසඳිය යුත්තේ, ඉන්දියාව සමගයි.
පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දියන් රෝ ඔත්තු සේවය විසින් ප‍්‍රහාරයට දින දහතුනකට පෙර ලබාදුන් තොරතුරු අනුව සහරාන් විසින් නායකත්වය දැරූ මෙම ත‍්‍රස්තවාදී කණ්ඩායම සහ ජාත්‍යන්තර සංවිධානයක් අතර සම්බන්ධකම් තිබූ බව පවසා තිබුණා. රෝ ඔත්තු සේවය එම තොරතුරු අනාවරණය කරගෙන තිබුණේ, ඒ ත‍්‍රස්තවාදී කණ්ඩායම සමග සම්බන්ධකම් ඇති ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ ක‍්‍රියාත්මක වූ අයි එස් අයි එස් මතවාදය දරන ත‍්‍රස්තවාදී කණ්ඩායමක් විසින් තමිල්නාඩු ප‍්‍රාන්තයේ මෙවැනි ප‍්‍රහාරයක් සැලසුම් කරන අවස්ථාවේදී, අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප‍්‍රශ්න කිරීමෙන්... වනාතවිල්ලූවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වගකීමෙන් කටයුතු කළා නම්, මාවනැල්ල සිද්ධියේදී අප විසින් දැනුම් දුන් පරිදි ජාත්‍යන්තර පොලිසිය සමග මේ ගැන සාකච්ඡා කළා නම්, පාස්කු ප‍්‍රහාරය වළක්වා ගැනීමට තිබුණ බව මෙයින් තේරුම් යනවා.
රෝ ඔත්තු සේවයට පෙර මේ ගැන දැන සිටියා
ඉන්දියානු රෝ ඔත්තු සේවය මගින් අපේ‍්‍රල් 08 වන දිනදී, පාස්කු දින ප‍්‍රහාරයක් එල්ලකිරීමට කටයුතු කරන බවට, එවා ඇති බුද්ධි තොරතුරේ ඇති සැකකරුවන්ගේ නම් වනාතවිල්ලූවේ ත‍්‍රස්තවාදී පුහුණු කඳවුරේ ක‍්‍රියාකාරකම් සඳහා සම්බන්ධවී ඇති බවට තොරතුරු 2019 ජනවාරි මස 16 වන දින සිට අනාවරණය කරගෙන අධිකරණයට වාර්තා කර තිබියදීත්, එකම සැකකරුවකු වත් අත්අඩංගුවට නොගැනීම බරපතළ ගැටලූකාරී තත්ත්වයක්... එම සැකකරුවන්ගෙන් කීප දෙනකු හෝ අත්අඩංගුවට ගත්තා නම් ජීවිත 300 ක් ඝාතනය වීම හා අහිංසක ජනතාව 500 කට ආසන්න ප‍්‍රමාණයක් බරපතළ තුවාල සිදුවීම අනිවාර්යයෙන් වළක්වා ගත හැකිව තිබුණා.
පාස්කු ප‍්‍රහාරයෙන් දින කිහිපයකට පසුව මරාගෙන මැරුණු ත‍්‍රස්තවාදීන් හැර, මේ සඳහා සම්බන්ධ සියලූ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබෙන්නේ මේ තොරතුරු කලින්ම දැනගෙන සිටි නිසයි. යම් ප‍්‍රහාරයට පෙර මේ ත‍්‍රස්තවාදීන් අත්අඩංගුවට ගත්තා නම් මෙවැනි අවාසනාවන්ත සිදුවීමක් අපිට අත්දකින්නට ලැබෙන්නේ නැහැ.
පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ වී මියගිය සහරාන්, රිල්වාන් සහ අපේ‍්‍රල් 21 පාස්කු ප‍්‍රහාරයෙන් පසු අත්අඩංගුවට ගන්නා ලද විදේශීය බුද්ධි තොරතුරේ නම් සඳහන් සහීඞ්, සාජිත් මවුලවි, මල්හාන් හා සාදික් ඇතුළු අනෙකුත් සැකකරුවන්ගේ නම් සහ සියලූ විස්තර අනාවරණය කරගෙන තිබියදීත් එය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ, මෙම විමර්ශන අධීක්ෂණය කරන ලද සියලූම නිලධාරීන් එම ප‍්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් සහ සිදුවූ අපරාධය සම්බන්ධයෙන් වගකිවයුතු බවයි මගේ අදහස...
අසාද්ගේ ‘අහිංසක ළමයි දෙදෙනාව’ ශානි බේරා දෙයි
තවත් සිද්ධියක් මෙහිදී පැවසිය යුතුයි. අසාද් සාලි විසින් අහිංසක ළමයින් දෙදෙනෙක් යැයි පවසා නිදහස් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකරගෙන් ඉල්ලීමක් කරන ලදැයි සාලි විසින්ම දෙරණ වාද පිටිය වැඩසටහනේදී සැකකරුවන් දෙදෙනකු පිළිබඳව ප‍්‍රකාශ කළා. මෙහිදී අප අවධානය යොමු කළ යුත්තේ එම දෙදෙනා කවුරුන්ද යන්නයි.
2019 ජනවාරි 16 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශාල පුපුරන ද්‍රව්‍ය තොගයක් සමග බෝම්බ නිෂ්පාදනය කිරීම සඳහා ගන්නා රසායනික ද්‍රව්‍ය තොගයක්ද සමග ත‍්‍රස්තවාදී පුහුණු කඳවුරේ රැඳී සිටියදී අත්අඩංගුවට ගත් සැකකරුවන් හතර දෙනාගෙන් මොහොමඞ් නෆීස් මොහොමඞ් නෆ‍්‍රීඞ්, මොහොමඞ් නෆීස් මොහොමඞ් නවීත් දෙදෙනා නිදහස් කළා. බොහෝ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ඉතිරිව තිබියදී සහ වැඩිදුර විමර්ශන කටයුතු පැවැත්වීමට ඉතිරිව තිබියදී, පාස්කු ප‍්‍රහාරය සිදුවීමට දින ගණනාවකට පෙර මේ දෙදෙනා මුදාහරිනවා. මේ දෙදෙනා මුදා හැරියේ කුමන පදනමින්ද... කියලා ශානි අබේසේකර සහ අසාද් සාලි වහාම රටට ප‍්‍රකාශ කළ යුතුයි.
ජනාධිපති කොමිසමටත් ශානිගෙ බලපෑම්...?
පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපතිතුමා විසින් පත් කරන ලද කොමිසම පිළිබඳව විශාල පැහැදීමක් රටේ තිබෙනවා. එහි ස්වභාවය අනුව ජනතාවට සහ නිලධාරීන්ට ඒ ගැන විශ්වාසයක් ගොඩනැගිලා තිබෙනවා. මෙම කොමිසමටත් අද බලපෑම් එල්ල වෙලා තිබෙනවා. පොලිස්පතිතුමා විසින් මෙම කොමිසමේ විමර්ශන සහාය සඳහා නිලධාරීන් තිස් දෙනෙක් පත් කරලා තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් සහ පොලිස් අධිකාරිවරයෙක් ඇතුළු ඒ පිරිස මෙම කොමිසමට අනුයුක්ත කළා. මේ සඳහා ඉතාම දක්ෂ නිලධාරියෙක් වන සහකාර පොලිස් අධිකාරි මෙරිල් රන්ජන් මහතාත් ඇතුල් වුණා. එම නිලධාරියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රාජකාරි කරන ලද විමර්ශන පිළිබඳව මනා පළපුරුද්දක් ඇති අති දක්ෂ නිලධාරියෙක්... එම නිලධාරියා කොමිසමට පත් කර දින කිහිපයක් යන විට කොමිසමෙන් ඉවත් කළා. ඊට හේතුව ලෙස ආරංචි වන්නේ ශානි අබේසේකර විසින් මෙම කොමිසමට බලපෑම් සිදු කර මේ නිලධාරියාව මාරු කර ගත් බවයි. මොකද මේ නිලධාරියා මෙම කොමිසමට සේවය කළහොත් එම විමර්ශන නිවැරදිව අඛණ්ඩව සිදුවනු ඇති බවට සමහරු තුළ බියක් තිබෙනවා. මේ නිලධාරියාව කොමිසමට පත් කරලා දවස් පහකින් ඉවත් කළේ ඇයි කියලා, පොලිස්පතිතුමා රටට වහාම හෙළි කරන්න ඕනේ... නැතිනම් මේ කොමිසමේ විශ්වාසය පිළිබඳවත් අපිට සැකයක් ඇතිවෙනවා.
සාකච්ඡාවක් ඇසුරෙනි
divaina