ඉන්දීය යුද්ධ හමුදාව සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අතර යුද්ධ හමුදා සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරිමේ අරමුණින් සති දෙකක කාලයක් පුරා පැවැත්විමට සැලසුම් කර ඇති දිගුකාලීන හමුදා අභ්‍යාසය හෙවත් 7 වන මිත්‍ර ශක්ති යුධ පුහුණු අභ්‍යාසය දෙසැම්බර් මස ඉරිදා (1) දින ඉන්දියාවේ පිහිටි පූනේ කුමාඕන් කඳවුරු පරිශ්‍රයේදී ආරම්භ කිරිමට නියමිතය.
මෙම යුධ අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගැමුණු හේවා බලකායේ යුද්ධ හමුදා සමාජිකයින් 120 ක් පමණ සහභාගී වන අතර එම අභ්‍යාසය සඳහා ඉන්දීය හමුදාවේ ජවාන්ස් කුමාඕන් රෙජිමේන්තුවේ සෙබලුන් ඒ හා සමාන ප්‍රවාහයක් සහභාගීවිමට නියමිතව ඇත.
හත්වන වරටත් සති දෙකක කාලයක් පුරා පැවැත්විමට නියමිත මිත්‍ර ශක්ති යුද අභ්‍යාසය සඳහා සහභාගි වන භට පිරිස් තුළ දෙරට අතර පවතින අන්තර් සම්බන්ධතා වැඩිදියුණු කර ගැනීම, යුධ සහයෝගීතාවය, ඒකාබද්ධ උපාය මෙහෙයුම් පැවැත්වීම, දෙරට යුද අත්දැකීම් හුවමාරු කර ගැනීම, අන්තර්ජාතික යුද ගැටලු පිළිබඳ අවබෝධය හා අනාගතයේදි සිදුවිය හැකි ආරක්‍ෂක තර්ජන සඳහා සුදානම් විමට අවශ්‍ය ප්‍රමාණවත් දැනුමක් ලබාගැනීමට හැකිවනු ඇත.
ඉන්දියානු හමුදාව විසින් සංවිධානය කරන ලද ‘මිත්‍ර ශක්ති’ ඒකාබද්ධ යුද අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සහභාගී විමට නියමිත ගැමුණු හේවා රෙජිමේන්තුවේ නිලධාරීන් 11 දෙනෙකු සහ සෙසුනිලයින් 109 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම ලබන සිකුරාදා (29) දින සවස ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.
මෙම අභ්‍යාසය 2012 වර්ෂයේ සිට දෙරට අතර වාර්ෂිකව පවත්වනු ලබන යුද පුහුණු අභ්‍යාසයක් වන අතර එය දෙරට අතර පවතින අන්තර් සම්බන්ධතා වැඩි දියුණු කර ගැනීමේ අරමුණින් ඉන්දියාවේ තුන් වතාවක් සහ ශ්‍රී ලංකාවේ තුන් වතාවක් පවත්වා ඇත.
මෙම ඒකාබද්ධ යුධ අභ්‍යාස වැඩසටහනේ අරමුණ වනුයේ යුධ උපක්‍රම පිළිබඳව දෙරට අතර ඇති දැනුම හුවමාරු කර ගැනීමයි. එහිදි පාබල අවි ආයුධ ඵලදායී ලෙස යොදා ගැනීම, පාබල හමුදා තාක්‍ෂණය, ප්‍රතිත්‍රස්ත සටන් ක්‍රම, කුඩා කණ්ඩායම් මෙහෙයුම්, සැඟවුණු වෙඩික්කරු පුහුණුව, දිගුදුර මෙහෙයුම්, ත්‍රස්තවාදී සැඟවුනු බෝම්බ ප්‍රහාර, මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර හා දෙරට අතර වැඩි දියුණු කරන ලද පුපුරණ ද්‍රව්‍ය පිළිබඳව පුහුණු අභ්‍යාසයන් පැවැත්වේ.
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ මාර්ගෝපදේශනය යටතේ අධ්‍යක්‍ෂ ජෙනරාල් පාබල මේජර් ජෙනරාල් මනෝජ් මුදන්නායක සහ පාබල අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන ගේ ප්‍රධානත්වයෙන් යුද අභ්‍යාසය සඳහා අවශ්‍ය සියලු කටයුතු අවසන් කර ඇත.
කර්නල් භාතිය මුදන්නායක මිත්‍ර ශක්ති යුද අභ්‍යාසයේ සම්බන්ධීකාරක සහ නිරීක්‍ෂක ලෙස කටයුතු කරන අතර මේජර් රුවන් එදිරිසිංහ ‘මිත්‍ර ශක්ති - VII’ යුද අභ්‍යාසයේ අධීක්‍ෂකයෙකු ලෙස කටයුතු කරනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.