තිස්ස අත්තනායක
ආපහු මහගෙදරට එන්න හිතුණේ ඇයි?
මම හැමදාම හිතුවා එක්සත් ජාතික පක්ෂයේ නායකයෙක් මේ රටේ ජනාධිපතිවරයා විය යුතුයි කියලා. 2015දිත් මේක තමයි මගේ සටන් පාඨය. ඇත්තටම 2015ත් මගේ ගැටුම වෙන කිසි දෙයක් නිසා නෙවෙයි. මේක තමයි මුල්ම කාරණය. ඉතින් එදා ඒක මට සාර්ථක කරගන්න බැරි වුණා. සජිත් ප්‍රේමදාස මැතිතුමා පක්ෂයේ නියෝජ්‍ය නායකයා විදියටත් ජනාධිපති අපේක්ෂකයා විදියටත් ඉදිරිපත් වීම මම 100% ක් එකඟ වන කාරණයක්. ඒ විතරක් නෙවෙයි එතුමා මට පෞද්ගලිකවත් ප්‍රසිද්ධියේත් ආරාධනා කළා මේ ජනාධිපතිවරණ ව්‍යාපාරයටත් ඒ වගේම එක්සත් ජාතික පක්ෂය යළි නඟාසිටුවීමේ ව්‍යාපාරයටත් එකතු වෙන්නය කියලා. ඒක ඇත්තටම මම අගය කරනවා. මොකද ඒක එතුමාගේ නිල ප්‍රකාශයක් නිසා. ඉන් පසුව තිබුණු ප්‍රවෘත්ති සාකච්ඡාවේදීත් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් මම ඉටු කරපු සේවාව වෙන් වෙන්ව එතුමා අගය කරලා තිබුණා. ඉතින් මම ඒ නිසා තමයි තීන්දු කළේ නැවත එන්න. එතුමා මට දුන්න ගෞරවයත්,මගේ අරමුණත් සලකලා මම පූර්ණකාලීනව වැඩ කරන්න තීරණය කළා.
ඔබට පැවරිලා තියෙන වගකීම් ගැන කිව්වොතින්?
ජනාධිපතිවරණයේ මෙහෙයුම් අංශයේ ප්‍රධානියා හැටියට මම සේවය කරනවා. විශේෂයෙන්ම ජනාධිපතිවරණ ව්‍යාපාරයේ කොටස් ගණනාවක් තිබෙනවා. අපි වෙන වෙනම ඒවා නම් කරලා තිබෙනවා. නමුත් සමස්ත ජනාධිපතිවරණ ව්‍යාපාරයේ මෙහෙයුම් වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන්නේ මගේ සහ ඉම්තියාස් බාකීර් මාකර් මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ නිසා ඒවා අධීක්ෂණය කිරීම, මෙහෙයවීම, සංවිධානය කිරීම, ඊළඟට සැලසුම් කිරීම මේ සියල්ලම අපි අතින් සිද්ධ වෙනවා.
ඔබ අවුරුදු ගණනාවක් තිස්සේ ජනාධිපතිවරණ රැසකට දායක වෙලා තියෙනවා. මේ ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ගැන තක්සේරුව මොකක්ද?
මට පේන විශේෂත්වයන් රැසක් තිබෙනවා. මුල්ම ජනාධිපතිවරණයත් අද ජනාධිපතිවරණයත් අතර විශාල වෙනසක් රටේ තිබෙනවා. ඒ කාලේ තිබුණේ පක්ෂය මුල් කරගත් ඡන්ද ව්‍යාපාරයක් සහ පක්ෂය මුල් කර ගත් ජයග්‍රහණක්. නමුත් අද වෙනකොට ඒ තත්ත්වය ක්‍රමානුකූලව ගිලිහෙමින් තිබෙනවා. අද වෙන කොට පාවෙන ඡන්ද දායකයන්, අලුත් ඡන්දදායකයන්, ජනාධිපතිවරණයක නායකයා තීරණය කරන මට්ටමකට පැමිණ තිබෙනවා. ඒ කියන්නේ මට හිතෙන්නේ තව අවස්ථාවක් දෙකක් විතර ඉස්සරහට යනකොට මේ රටේ ජනතාව ජනාධිපති වරයා කවුද? ජනාධිපති අපේක්ෂකයා කවුද ? කියලා තීරණය කරන්නේ පක්ෂ සහ පාට කන්නාඩි වලින් බලලා නෙවෙයි. ඒක තමයි ලොකුම වෙනස.
ඊළඟ එක මට පේනවා මේ ජනාධිපතිවරණයේදී මිනිස්සු සලකා බලන කාරණා වෙනස්. මට මතකයි අසූ දෙකේ පැවති ජනාධිපති ජනාධිපතිවරණයේ ඉඳලා 2015 පැවති ජනාධිපති ජනාධිපතිවරණය දක්වා ඡන්ද පොරොන්දුවලට නැඹුරු වෙලා තිබුණා. 2015 තරමක් වෙනස් වුණා. අනූ හතරේ ජනාධිපතිවරණයේදී පාන් රාත්තල රුපියල් 3.50 ට දෙනවා කිව්වම මිනිස්සු එතෙන්ට තල්ලු වෙලා ගියා. නමුත් දැන් දැන් මිනිස්සු ඒ ඡන්ද පොරොන්දුවලින් පිටතට ගිහිල්ලා ජාතික වැදගත් කමක් ඇති මාතෘකා වලට ප්‍රමුඛත්වය දෙන බව පේන්න තියෙනවා. ඒ කියන්නේ විශාල වෙනසක්.
විපක්ෂයෙන් එල්ලවන චෝදනාවක් තමයි සජිත් ප්‍රේමදාස ජාතික මට්ටමේ කාරණා සම්බන්ධයෙන් අවධානය යොමු කරනවා අඩුයි කියන එක?
සජිත් ප්‍රේමදාස මහත්මයාට බාර දීලා තිබුණු විෂය නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික. එතකොට ඔහු ඒ වෙනුවෙන්ම කැප වෙච්ච නායකයෙක්. ඒ වෙනුවෙන්ම වැඩ කටයුතු කළ නායකයෙක්. ඒ නිසා ඔහුගේ අතින් සියල්ල සිද්ධ වුණේ ඔහුගේ විෂයත් සමඟින්. පසුගිය අවුරුදු හතර පහම ඔහු නිවාස හදන එක, දුප්පත්කම නැති කරන එක, ග්‍රාමීය සංවර්ධනය වගේ දේවල් එක්ක හිටපු නිසයි රටේ මිනිස්සුන්ට එහෙම දැනෙන්නේ. ඒක අඩුවක් නෙවයි. ඇත්තටම ඒක දක්ෂකමක්. ඔහුට පැවරී ඇති වගකීම අපූරුවට සහ සාර්ථකව ඉෂ්ට කළා කියලා මහ ජනතාවගේ ප්‍රසාදය සහ ගෞරවයයි ඒකෙ තියෙන්නෙ. කෙනෙක් විවේචනය කරන්න පුළුවන්. හැබැයි ඒකෙන් කියන්නේ තමන්ට දුන්නු රාජකාරිය හරියටම කළා කියන එකයි. දැන් දෙවනුව මොකක්ද වෙලා තියෙන්නෙ. අර රට ගොඩනඟන ඊළඟ ව්‍යාපාරය. ඇත්තටම ඕනෑම අපේක්ෂකයෙක් සියල්ල දත් අය නෙවේ. සජිත් ප්‍රේමදාස මහත්මයාත් සර්ව සම්පූර්ණ පුද්ගලයෙක් කියලා අපි කියන්න යනවා නෙවෙයි. හැබැයි රටකට ඕන නායකත්වයක්. නායකත්වය දුන්නම නායකත්වය වටේ වැඩ කරන්න පිරිසක් බිහිවෙනවා. සියලු දක්ෂතා ඇති පුද්ගලයන් එකතු කර ගත්තාම තමයි ආණ්ඩුවක් සාර්ථක වෙන්නේ. මම කියන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය දිහා බලන්න. ඒකෙන් ඔහු කරන්න යනදේ ගැන රටට කියනවා. මම දුටුව ලංකාවේ සාර්ථකම දේශපාලන නායකත්වය තමයි ජේ.ආර්. ජයවර්ධන. එතුමා අත්දැකීම් බහුල නායකයෙක්. ඔහු ලබාදුන්නේ නායකත්වය පමණයි. තමන් වටා සිටි ඇමතිවරුන්ගෙන් වැඩ ගත් නිසා තමයි යූඇන්පී ආණ්ඩුව සාර්ථකත්වයට පත්වුනේ. සජිත් ප්‍රේමදාස මහත්මයාටත් දැක්මක් තියෙනවා, දර්ශනයක් තියෙනවා, වැඩ පිළිවෙළක් තියෙනවා. ඔහු වැඩ කරන්නෙත් කණ්ඩායම් හැඟීමකින්. ඒ නිසා ඔය කියන චෝදනා අනිත් අපේක්ෂකයාගේ පැත්තෙන් ගත්තොත් ඔහු මොනවද දන්නේ? අපිට එහෙම ප්‍රශ්න කරන්න පුළුවන්නේ. ඔහු කොළ කෑල්ලක් බලාගෙන කියවනවා, නැත්නම් ටෙලිප්‍රොම්ටරයකින් තමයි ඔය ඔක්කොම චණ්ඩිකම් කතා කරන්නේ කියලා කියන්න පුළුවන්නේ. හැබැයි ඒක නෙවෙයි වැඩේ. නායකත්වය කියන එකයි රටට ඕනේ.
මේ මැතිවරණයේදී මිලියනයකට ආසන්න අලුත් ඡන්ද ආමන්ත්‍රණය කිරීමට තවත් කිසිම අපේක්ෂකයෙකු සමත් වෙලා නෑ. ඔවුන්ට ආමන්ත්‍රණය කිරීමේ හැකියාව සජිත් ප්‍රේමදාසට තිබෙනවාද?
පැහැදිලි ලෙසම ඔව්. සාමාන්‍යයෙන් දැන් තියෙන අලුත්ම දත්තවලට අනුව ලංකාවේ ඡන්ද දායකයන්ගෙන් 35%ක ප්‍රමාණයක් ලංකාවේ සමාජ මාධ්‍ය ජාලවල ඉන්නවා. ඒ කිව්වෙ ඒ අතරින් බහුතරය තරුණ අය. 2015 මැතිවරණයේදී සමාජ ජාලාවලින් දැඩි බලපෑමක් ඇති වුණා. ඒ වගේම මේ මැතිවරණයෙත් ඒක සිදු වෙනවා. ඒ නිසා ඔවුන්ගේ විශ්වාසය දිනා ගැනීමට කරන්න තියෙන හොඳම දේ තමයි විශ්වාසය ආරක්ෂා කර ගැනීම. මම හිතනවා කලින් වතාවලදී වගේ ඡන්ද පොරොන්දු දීලා, රවට්ටලා ඡන්ද ලබා ගැනීමට තියෙන ප්‍රතිශතය බොහොම අඩුයි. මට පේන්න තියෙන දේ තමයි තරුණ අය බලාපොරොත්තු වෙන්නේ දැක්මක් තියෙන නායකයෙක්. ස්ථාවර දේශපාලනයක්.
පහුගිය කාලේ එක පැත්තක අගමැති තව පැත්තක ජනාධිපති කියලා මිනිස්සු කියන්න පටන් ගත්තා. ඒක සෑහෙන්න දැනුනා. දැන් මිනිස්සුන්ට ඕන වග වෙන, වග කියන නායකයෙක්. ස්ථාවර නායකයෙක්, පැහැදිලි ලෙස දැක්මක් තියෙන නායකයෙක්. මට පේනවා එහෙම බැලුවාම සජිත් ප්‍රේමදාස මැතිතුමාට ඒ සියල්ල තිබෙනවා. මූලිකම කාරණය තමයි සජිත් ප්‍රේමදාස මහත්මයාගේ වයගෙ වයස අවුරුදු පනස් දෙකයි. ඒ පනස් දෙකට තවත් අවුරුදු විස්සක් විතර ඉස්සරහට යන්න පුළුවන්. එහෙම බලපුවාම රටේ මිනිස්සු ඉල්ලන්නේ බලය අරගෙන අවුරුදු පහකින් ගෙදර යන නායකයෙක් නෙවෙයිනෙ. තවත් අවුරුදු පහළොවක් විස්සක් ඉස්සරහට හිතලා වැඩ කරන නායකයෙක්. ඒ නිසා ඒ සුදුසුකම තියෙන්නේ සජිත් ප්‍රේමදාස මහතාට. ඒ හින්දා මම හිතනවා මේ රටේ තරුණයන්, සමාජ මාධ්‍ය භාවිත කරන බහුතරයක් ඒ විශ්න්වාසයෙන් සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරවන්න පෙළ ගැහෙනවා කියලා.
මාස හයකින් ජනපතිවරණ ක්‍රමය අහෝසි කරන්න කියන කොන්දේසිය එනවා මාස හයකින් ජනපතිවරණ ක්‍රමය අහෝසි කරන්න කියන කොන්දේසිය එනවා නේද? නේද?
සජිත් ප්‍රේමදාස මහතා කිසිවිටක කියන්නේ නැහැ එහෙම. මේ මොහොතේ වැදගත්ම දේ ස්ථාවර, සංවර්ධිත රටක් හදන එක. ඇතැම් මාධ්‍යවල පළවන ඕපදූප එච්චර වැදගත් නෑ. එක්සත් ජාතික පක්ෂයවත් එක්සත් ජාතික පෙරමුණවත් එහෙම තීන්දුවක් අරගෙන නැහැ.
නමුත් කතානායකවරයා කියලා තියෙනවා නේද මේ ජනාධිපතිවරයා අවසාන විධායක ජනාධිපතිවරයා විය යුතුයි කියලා?
ඒ එතුමාගේ මතය. නමුත් සජිත් ප්‍රේමදාස මහතාගේ අදහස වෙන්නේ මේ ජනාධිපතිවරණය හරහා රටට දැවැන්ත සේවයක් කිරීමයි.
ඔබ දීර්ඝ කාලයක් එක්සත් ජාතික පක්ෂය එක්ක සමීපව හිටියා. අද ඔබේ සිරගත ජීවිතයේ අත්දැකීම් අළලා කෘතිය ජනගත වෙනවා. මේක දෙබරයකට ගල් ගැසීමක්ද?
ඇත්තටම මම ඒ නොකියූ කතා ලිව්වෙ වැලිකඩ හිරගෙදර ඉඳලා. මගෙම යාළු මිත්‍රයෝ, ඇමතිවරු හිටිය ආණ්ඩුවක් තියෙද්දී මම මාස දෙකක් බන්ධනාගාර ගත වුණා. . විශේෂයෙන්ම අවුරුදු තිස් පහක් විතර මගේ නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා, අදත් නායකයා තමයි. ඒ නායකයා අගමැති වෙලා ඉන්න ආණ්ඩුවක තමයි මම හිරේ ගියේ. ඉතිං ඒක ඉතා දුක්ඛිතයි. කවුරුහරි කියනවා නම් සිරගෙදර මහා සැප තියෙන තැනක් කියලා, මම කියනවා ඒක මහා අපායක් කියලා. ඒ අපායේ ඉඳලා මම කල්පනා කරා මොකක්හරි කරන්න ඕන කියලා. ඉතින් මට කරන්න තිබ්බේ පොත් පත්තර ඔක්කොම ලැබුණා. ඒක ගෙන්න ගන්න මට අවසර තිබුණා. ලියන්න කියන්න ඒ පහසුකමත් මට දුන්නා.
මොනවද මේ පොතේ තියෙන්නේ?
මේ රටේ දේශපාලනයේ හෙළි නොවෙච්ච බොහෝ කරුණු කාරණා කියනවා. දැන් 2015 ජනාධිපතිවරණය ගත්තම තාමත් බොහෝ දෙනෙක් දන්නේ නෑ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා කොහොමද ජනාධිපති අපේක්ෂකයා වුණේ කියලා. ඒත් එක්කම සමහරු දන්නෑ ඊට එහා ගිය සාකච්ඡාවන් ගැන. ඒ හැම සාකච්ඡාවකටම මම සහභාගි වුණු කෙනෙක්. ඉතින් මම හුඟක් කරුණු දන්නවා. ඒ කරුණු රටට කියන එක හොඳ දෙයක්. ඒක ලෝකේ කොහේ වුණත් සිද්ධ වෙනවා. පොතේ අභ්‍යන්තර කතා ගොඩක් තියෙනවා. හැබැයි ඒකෙන් කාටවත් අපහාස කරන්නෙත් නෑ. අවලාද නගන්නෙත් නෑ. ඒ තුළ ඕපාදූප නෑ. හැබැයි ඇත්ත කතාවක් රටේ ජනතාවට කියනවා.
හැත්තෑඑකේදී මෛත්‍රිපාල සිරිසේන මහතා එතුමාගේ ආණ්ඩුව යටතේ හිරේට ගියා. ඔබ 2015දී ඔබගේ පක්ෂය ආණ්ඩුව කරද්දී හිරේට ගියා. බොහෝ දෙනෙක් කියනවා දේශපාලකයෙක් වුණාම හිරේට යන්නම ඕනේ කියලා. මොකක්ද මේ කථාවේ ඇත්ත?
එහෙම කතාවක්, එහෙම සමාජ සම්ප්‍රදායක් මිනිස්සු අතර තියෙනවා. හැබැයි මම නං ඒක අනුමත කරන්නේ නෑ. හිරේ නොයා යුතුයි. දේශපාලන කරුණු මත එහෙම වෙන අවස්ථාවන් ඕන තරම් තියෙනවා. මම අත්අඩංගුවට ගැනීම සම්පූර්ණයෙන්ම දේශපාලනික කතාවක්. දේශපාලනික සිරකරුවෙක් හැටියට තමයි මම ඇතුළේ හිටියේ. මොකද වංචා කරලා, දූෂණය කරලා නෙවෙයි. මම ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කරපු කතාවක් පදනම් කරගෙන ඒ කතාව හරහා ජාතිවාදය ඇවිස්සුවා කියන මූලික චෝදනාව මත තමයි මාව අත්අඩංගුවට ගත්තේ. ජාතිවාදය ඇවිස්සීම ගැන නම් මගේ හැඟීමක්වත් තිබුණේ නෑ. දේශපාලනික සිරකරුවෙක් විදිහට මම ඇතුළට ගිහිල්ලා මම ඒ තත්ත්වයට පත් වුණේ යම්කිසි දේශපාලනික පළිගැනීමකින්. නමුත් කිසිම අයකු සිරගත නොවී සිටීම තමයි විය යුත්තේ. සිරගෙදර සිටීම එච්චර සුදුසුකමක් විදියට මම සලකන්නේ නෑ
හිරේ ගියාට පස්සේ ඔබට එක්සත් ජාතික පක්ෂයේ යාළු මිත්‍රයෝ කතා කළාද?
ඇත්තටම මේ ආණ්ඩුවේ ඉන්න මැති ඇමතිවරු බහුතරයක් මාව බලන්න ආවා, බය නැතිව. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහත්තයත් මාව බලන්න ආවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරු වැල නොකැඩී ආවා. හිටපු අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතාත් මාව බලන්න හිර ගෙදරට ආවා. ඊට වඩා මම සතුටු වෙන්නේ සාමාන්‍ය ජනතාව දිනපතා මාව බලන්න ආවා. සමහරු මාව බලන්න එනවා, බලන්න වෙන්නේ නෑ ආයිත් හැරිලා යනවා. දෙන්නෙක් තුන්දෙනෙක් මගෑරලා හිටියට හැමෝම වගේ ආවා.
ඔබගේ සමීප හිතවතෙක් වුණු ගාමිණි අතුකෝරළ මහතා මැතිවරණයට ආවේ ගිය නුවණ ඇතුන් ලවාම ඇද්ද විය යුතුයි කියලා. මේ වතාවේ ඇතුන්ට ගිය නුවන අදින්න පුළුවන්ද?
සජිත් ප්‍රේමදාස මහතා පහුගියදා තිබුණේ රැස්වීමකදී කිව්වා තිස්ස අත්තනායක මහතාගේ පැමිණීමත් සමඟ පාක්ෂිකයන්ගේ උනන්දුව තව තවත් වැඩි වෙලා තියෙනවා කියලා. ජනාධිපති අපේක්ෂකයා විදියට එතුමා ඒක කියන්නේ මගේ වටිනාකමක් එතුමාට දැනෙන හින්දා වෙන්න ඇති. අපිට මේක කරන්න පුළුවන්.
දෙදහස් පහළොවේ ඡන්පොළ නියෝජිතයන් ගෙන්නලා මහා සමුළුවක් කළා. ඔවුන්ගෙන් නැවත වැඩක් ගන්න බලාපොරොත්තුවක් තිබෙනවාද?
අපි ඒ කටයුත්ත සිද්ධ කළේ 2015 ජනාධිපතිවරණයේ ජයග්‍රහණය කිරීමට. එතනදි මං කළ ලොකුම දේ තමයි ලංකාව පුරාම විසිරිලා තියන ඡන්දපොළ නියෝජිතයන් ගෙන්නලා ඒ සේරම දිනවන්න ඡන්ද පොළෙන් පොළට සංවිධායකයන් පත් කිරීම. අපි දැනටමත් ඔවුන් බලගන්වමින් ඉන්නවා.
මේ මොහොතේ ප්‍රාදේශීය සභාවල බලය 80% කට වඩා තියෙන්නේ පොදුජන පෙරමුණට. එජාපයට තියෙන්නෙ අඩු බලයක්. කොහොමද බලය ලබා ගන්න කටයුතු කරන්නේ ?
අපේ අපේක්ෂකයා එක්ක මුළු රටම නැවත අවදි වුණා. කාලයක් තිස්සේ හැංගිලා, පැත්තකට වෙලා හිටිය පාක්ෂිකයන් අවදි වුණා. අපි අපේ පක්ෂයේ අපේක්ෂකයකු ජයග්‍රහණය කරවිය යුතුයි කියන තැනට හැමෝම ඇවිල්ලා තියෙනවා. මේකට රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ සේවයත් විශාල ලෙස බලපෑවා. මට පේන්නෙ සජිත් ප්‍රේමදාස කියන්නේ දැන් පොදු අපේක්ෂකයෙක්. අනිත් පක්ෂවලට ඉන්නේ පොදු අපේක්ෂකයෝ නෙවෙයි. පවුලේ අපේක්ෂකයෝ. මට සීයට සීයක් විශ්වාසයි අපි මේ ගොඩනඟන ව්‍යාපාරය හරහා සජිත් ප්‍රේමදාස මහත්මයා නොවැම්බර් 16 වැනිදා ජනාධිපතිවරයා විදියට ජයග්‍රහණය කරනවා කියලා.
ඉන්පසු එන්නේ මහ මැතිවරණය. තිස්ස අත්තනායකට පැවරී ඇත්තේ එහි මොනවගේ භූමිකාවක්ද?
ඇත්තටම ඊළඟට මම මහ මැතිවරණයට තරග කරනවා.
කොහෙන්ද තරග කරන්නේ?
මහනුවර දිස්ත්‍රික්කයෙන්.
මම එක දිගට අවුරුදු විසිහතක් පාර්ලිමේන්තුව නියෝජනය කරපු කෙනෙක්. පහළ සිට ඉහළට පැමිණි අයෙක්. එක්වරක් පමණක් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ආවා. ඒ පැමිණියේත් පක්ෂයේ උවමනාවට මිසක් මගේ උවමනාවට නෙවෙයි. මං විශ්වාස කරනවා ස්වාධීනව ඉල්ලුවා වුණත් මට ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා. ලංකාවේ ඕන දිස්ත්‍රික්කයකින් ඉල්ලලා මට පාර්ලිමේන්තුවට යන්න පුළුවන්.
ඔබට තවමත් එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය තිබෙනවාද?
එක් වරක් පක්ෂයෙන් මගේ සාමාජිකත්වය අහෝසි කළා. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මගේ සාමාජිකත්වය තහවුරු කළා. මම එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙක්. මම රුපියල් විස්සක් දීලා පක්ෂයේ සාමාජිකත්වය ගත යුතු කෙනෙක් නෙවෙයි. මම මෙතෙක් ස්වාධීනව බලා සිටියේ සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපති අපේක්ෂකත්වය සමඟ යළි ක්‍රියාකාරී විදිහට සම්බන්ධ වෙන්න. අද ඒක වෙලා තියෙනවා.
ජනාධිපතිවරණ ප්‍රතිඵලය කොහොම වෙයිද?
ඒකාන්තවම අපි දිනනවා. ඒ රැල්ල තමයි මේ හැදෙන්නේ. හිටපු අය එකතු වෙනවා.නොහිතපු අය එනවා.
සාකච්ඡා කලේ [රජිත බස්නායක]
රැස පුවත්පත ඇසුරෙනි