මැතිවරණ කොමසාරිස්ව සිටි දයානන්ද දිසානායක මහතා විශ‍්‍රාම යෑමෙන් පසු එම තනතුරට පත් වූ මහින්ද දේශප‍්‍රිය මහතා නූතන යහපාලනය විසින් ගෙනා දහනව වන සංශෝධනය බලාත්මක වන තෙක් මැතිවරණ කොමසාරිස් විය. දැන් ඔහු මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙයි. වසර හයක් රජයේ තනතුරක් දැරූ මහින්ද දේශප‍්‍රිය යළි මැතිවරණ කොමිසමට පත් වූයේ ව්‍යවස්ථාදායක සභාවේ ආශිර්වාදයෙනි. මැතිවරණ කොමසාරිස්වරයෙකු නිතරම රජයේ පිළිවෙත අනුගමනය කළ යුතු හෙයින් මැතිවරණ දූෂණ විශාල වශයෙන් සිදුවන බවට ස්වාධීන මතයක් විය. හොර ඡුන්ද දැමීම්, ඡුන්ද මංකොල්ලකෑම්, මනාප හොරකම් මෙන්ම ඡුන්ද ප‍්‍රචාරක වැඩවල තිබෙන පුරාජේරුව නවත්වා ගැනීමට එම නිලධාරියාට නොහැකි වූ බවට නිරන්තරයෙන් සාකච්ඡුාවට බඳුන් විය. මේ නිසා රටේ යහපාලන ක‍්‍රියාදාමය උදෙසා ස්වාධීන කොමිසන් සභා අවශ්‍ය යැයි යන මතයද සමාජ ගත විය. මැතිවරණයක් මෙහෙයවීමට මැතිවරණ කොමිසමට බලය පැවරෙන නමුදු එහි සාමාජිකයන් පත් කරනු ලබන්නේ දේශපාලකයන්ගෙන් සැදුම් ලත් ව්‍යවස්ථාදායක සභාවක් විසිනි. දේශපාලකයන් අනුදත් ඔවුන්ට ගැලපෙන පුද්ගලයන් මෙම කොමිසම්වලට පත් වෙයි. මහින්ද දේශප‍්‍රිය මහතාටද කොමිසමේ සභාපති ධුරය හිමි වූයේ එලෙසයි.
මේ කාල වකවානුව තුළ මහින්ද දේශප‍්‍රිය මැතිවරණ එකක් පමණක් පවත්වා ඇත. ඒ පළාත් පාලන ඡුන්දයයි. පළාත් පාලන සීමා නිර්ණයන් ප‍්‍රමාද වීම පිට තබා දිගින් දිගටම මැතිවරණය කල් දැමූ යහපාලන ආණ්ඩුව 2018 මුල් කාල වකවානුවේදී එය ප‍්‍රකාශයට පත් කළේය. එයින් ඒකාබද්ධ විපක්ෂය හෙවත් පොහොට්ටුව විශාල ජයක් හිමි කර ගත් අතර එතනින් එහා වූ බලාපොරොත්තුව නම් විසුරුවා හැරි පළාත් සභාවන් පිළිබඳ මැතිවරණය පැවැත් වීමයි. මෙයටද සීමා නිර්ණ කොමිසමක වාර්තාවක් අවශ්‍ය විය. මුස්ලිම් දේශපාලඥයන් සහ ජනතා විමුක්ති පෙරමුණේ වුවමනාවන් පිට සීමා නිර්ණය සඳහා සියයට පණහේ නියෝජිත සමානුපාතික ක‍්‍රමයක් නිර්දේශ වූ අතර පසුව මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු දැඩි විවේචනයට ලක් වී අගමැතිගේ තීරණය මත ගල් විය.එවැනි අවස්ථාවක මැතිවරණ කොමිසම ස්වාධීන නම් කළ යුතුව තිබුණේ ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීමයි. එනම් පැරණි ක‍්‍රමයට පළාත් සභාව තැබීමට තිබෙන හැකියාව විමසීමයි. නමුත් රජයේ තීරණයන් කෙරෙහි පක්ෂපාතිකමක් දැක්වූ මෙම කොමිසම එවැනි තීරණයකට නොඑළඹුණි. මහින්ද දේශප‍්‍රිය නිතරම ප‍්‍රකාශ කළේ රජයට එරෙහිව යා නොහැකි බවයි. ඔහු සිය මාධ්‍ය සාකච්ඡුා මනරම් ආකාරයෙන් තබන්නෙකි. මාධ්‍යවේදීන් කුල්මත් කරන්නෙකි. 2018 ඔක්තෝබර් මාසයේ සිරිසේන ජනපතිවරයා විසින් පැවති ආණ්ඩුව විසිරුවා නව ආණ්ඩුවක් පත් කිරීමද, අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමද සිදු කළේය. මෙහිදී මැතිවරණ කොමිසමේ කාර්යභාරය විය යුතුව තිබුණේ ජනපතිවරයා අනුව ගොස් මහා මැතිවරණය පැවැත්වීමයි. එහෙත් එයට හාත්පසින් වෙනස් පියවරක් අනුගමනය කළ එහි එක් සාමාජිකයකු මෙම තීරණයට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේය. ජනතා පරමාධිපත්‍ය උරගා බැලීමට මැතිවරණයක් පැවැත්වීමට නියමිත අවස්ථාවක ස්වාධීන මැතිවරණ කොමිසමක සාමාජිකයෙකු එයට විරුද්ධව යෑම අනුමත කළ නොහැක්කකි. ඔහු කොමිසන් සභාවෙන් ඉල්ලා අස්වී එම කාර්යය කළා නම් ගැටලූවක් නැත.
මෙම පියවර පිළිබඳව තිබූ මාධ්‍ය සාකච්ඡුාවකදී මහින්ද දේශප‍්‍රිය වෙනදා පිළිවෙලට නොහැසුරුණි. ඔහුට තදින් කේන්ති ගොස් තිබුණි. රත්නජීව හූල් නම් සාමාජිකයා අධිකරණයට ගියේ අගතියට පත් පාර්ශ්ව වෙනුවෙන් යයි ඔහු පැවසීය. පළාත් සභා මැතිවරණය කල් තබමින් සිටි අවස්ථාවක සිය පරමාධිපත්‍ය බලය ගැන මහජනතාව කුකුසකින් සිටින අවස්ථාවකදී ඔවුන්ට වූ අගතිය ගැන සොයා බලන්නට කිසිවෙකු නැතැයි කියා ඔහුට මතක් වූ යේ නැත. රටට එරෙහි රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවන සුනන්ද දේශප‍්‍රිය නමැත්තා මහින්ද දේශප‍්‍රියගේ සහෝදරයා වෙයි. දේශපාලනයේ දී හෝ යම් මත දැරීමේ දී සහෝදරකම් අදාළ නොවේ. එහෙත් අද වන විට බොහෝ රාජ්‍ය අයතනවලට රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයන් රිංගා ගෙන රටේ පාලන බලය අවුල් කරන බව නොරහසකි. පසුගියදා කථානායක කරු ජයසූරියගේ කාර්ය මණ්ඩලයට ඇතුළත් වූ ඇමරිකන් පඩි ලබන නියෝජිතයකු ගැන ද හෙළි විය. එවැනි තත්ත්වයක් තුළ මැතිවරණ කොමිසම ගැන අපට විශ්වාසයක් තැබිය නොහැකිය.
ලබන දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමට සිදුවන ජනාධිපතිවරණය ගැන රටේ දැන් විශාල කතා බහක් පවතී. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව එම මැතිවරණය කල් තැබිය නොහැකිය. මැතිවරණ කොමිසම එයට සූදානම් විය යුතුය. මෙතෙක් කල් දමන ලද පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකි දැයි ජනාධිපතිවරයා විසින් මේ අවස්ථාවේදී නීතියේ මතය විමසා තිබේ. දේශපාලනඥයකු වශයෙන් තම බලය ගැන පමණක් හිතන රටක් වශයෙන් නොසිතන එවැනි පුද්ගලයෙකුට එලෙස ක‍්‍රියා කළ හැකි නමුත් රාජ්‍ය කොමිසමක සභාපතිවරයා එයට උඩගෙඩි දීම අපට අනුමත කළ නොහැක්කකි. ජනාධිපතිවරණයට කලින් පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකි බවත් එයට ද තමා ඇතුළු කාර්ය මණ්ඩලය සූදානම් බවද ඔහු පවසයි. සැබවින්ම මැතිවරණ දෙකක් එක ළඟ පැවැත්වීම කෙතරම් ප‍්‍රායෝගික දැයි අප කල්පනා කළ යුතුය. පළාත් සභාව වැනි මැතිවරණයකදී ඇති වන මනාප පොරය රටේ අස්ථාවරත්වය එසේම දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත සා.පෙ. විභාගය ආදිය ගැන දෙවරක් සිතිය යුතුය. එවැනි මැතිවරණයකින් පසු ඇති වන මහජන කැළඹීම් පාලනය කර ගැනීමටද යම් කාලයක් අවශ්‍ය වේ. එවිට ඒ සැණින් ජාතික මැතිවරණයක් වූ ජනාධිපතිවරණයට රට සූදානම් කරගන්නේ කෙසේද. මහින්ද දේශප‍්‍රියට අනුව නම් එය තාක්ෂණික කාරණයකි. එහෙත් රටට එය තාක්ෂණික කාරණයක් නොවේ. රටේ නායකත්වය හොබවන පුද්ගලයා තෝරන තීරණාත්මක සන්ධිස්ථානයකි. එවැනි අවස්ථාවකට ගැලපෙන මානසික තත්ත්වය පළත් සභා මැතිවරණයකින් පසු උදා වේවිද.
මැතිවරණ කොමිසමේ සභාපතිවරයා එළිපිට නාඩගම් නටන්නේ නැත. නමුත් ඔහු සූක්ෂමව යම් යම් සංකල්ප මනෝ විද්‍යාත්මක ප‍්‍රහාර වශයෙන් අත හරී. ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් අතරින් තුන්වැන්නාද සියයට පහකට වැඩි ඡුන්ද සංඛ්‍යාවක් ගතහොත් දෙවනි මනාපය ගණන් ගැනීමට සිදු වන බව කියා පෑම එක් මනෝ විද්‍යාත්මක ප‍්‍රහාරයකි. 2015 මැතිවරණයේ දීද අපේක්‍ෂකයන් 17 දෙනෙකු ඉදිරිපත් වූ බව ඔහු වසන් කරයි. නමුත් ප‍්‍රධාන අපේක්ෂකයන් හැරුණු කොට අනෙත් පුද්ගලයන් ලබාගෙන තිබුණේ සියයට එකකටත් අඩු ඡුන්ද ප‍්‍රතිශතයකි. 2019 ජනාධිපතිවරණයට කැසකවන ස්වාධීන පුද්ගලයන් බුරුත්තක්ම සිටින හෙයින් එම පුද්ගලයන්ට ඡුන්ද වැටෙන ආකාරයට එල්ල කළ මෙම මනෝ විද්‍යාත්මක ප‍්‍රහාරය පිළිබඳ කිසිවෙක් උනන්දු වී නොමැත.
2019 වසර වන විට වසර 18 සපිරෙන තරුණයන්ට ඡුන්ද බලය හිමි විය යුතු යැයි කරන ලද උද්ඝෝෂණය අනෙක් කාරණයයි. මහින්ද දේශප‍්‍රිය මෙයට සෘජුව සම්බන්ධ නොමැති විය හැකිය එහෙත් ඔහු එම තරුණයෙක් ඉදිරියට පැමිණ මාධ්‍ය ඉදිරියේ කළ සංදර්ශනයෙන් අපට වටහා ගත හැකිව තිබුණේ එය ඔහු ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන නඩවල රංගනයක් බවයි. නව ඡුන්ද ලක්ෂ තුනහමාරක් මගින් ස්වාධීන අපේක්ෂකයන්ගේ ප‍්‍රතිශතය වෙනස් කිරීම මෙහි අරමුණ විය හැකිය. කෙසේ වෙතත් අනෙකුත් සියලූම කොමිසම් සභා මෙන්ම මැතිවරණ කොමිසමත් ස්වාධීන නොමැති බව මේ කාරණා වලින් ඔප්පු වී ඇත. සාමාජිකයන්ගේ සහ දේශපාලඥයන්ගේ පුද්ගලික වුවමනා එපාකම් අනුව වැඩ කරන මෙවැනි ආයතන නඩත්තු කරනවාට වඩා ශක්තිමත් රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම වඩා ඵලදායක වේ යැයි සිතමි.
මතුගම සෙනෙවිරුවන්