දේශපාලනික පවුලක අවසාන අංකුරය දැඩි ලෙස මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වී සිටිති. කුඩා කාලයේ සිට නරක ඇසුරට ඇලූම් කළ ඔහු විනාශයේ පතුලටම වැටෙන තෙක් පවුලේ ඥාතීන් කිසිවකු දැන සිට නැත. අන්ධකාරයේ සැරිසරන බස්සකු මෙන් පියාඹ ගොස් ජීවිතයේ වින්දනය සෙවූ ඔහු ද විනාශයේ පතුලටම වැටෙන තෙක් දැන සිට නැත.
මත් වෙන්න වියදම් කරන්නට, සූදුවේ යෙදෙන්නට සල්ලි නැති වෙන විට ව්‍යාපාරවල මුදල් අදින විට සල්ලිකාර පියාට දෙලෝ රත් විය. කලබල වූ පියා මුදල් පිට වෙන තැන් ගැන සොයාබලන විට එකම පුතා කෝටි ගාණක් සොරාගෙන අහවරය. අවසානයේ පුතාගේ වියදම් ගැන විපරම් කරන විට දැඩි ලෙස කොකේන්වලට සහ කැසිනෝ සූදුවට ඇබ්බැහි වී සිටින බව ඔහුට දැනගැනීමට ලැබිණි. එහෙත් ඔහු කලබල නොවී පුතාගෙන් ද ඒ ගැන නොවිමසා ‘මිතුරු මිතුරෝ. ආයතනයේ නිර්මාතෘ කුප්පියාවත්තේ බෝධානන්ද හාමුදුරුවන්ට කතා කර ගැටලූව සැල කළේය. මිතුරු මිතුරෝ ආයතනයේම කණ්ඩායමක් කොළඹ පිහිටි සුපිරි මාලිගාවට ගොස් පවුලේ එකම පුතුව රැගෙන එන තෙක් දැන සිටියේ ව්‍යාපාරික පියා පමණි. දරුවන්ගේ මව, පුතා මත්ලෝලී සූදුකාරයෙක් බව දැනගත්තේ ද ඒ මොහොතේදීය.
‘‘අදටත් මට අම්මා ගැන දුකයි. මාව ගෙදරින් ගන්න හදන වෙලාවේ අම්මා බෙරිහන් දීලා ඇඬුවා. අම්මා එච්චර අඬනවා කිසිම දවසක මම දැකලා තිබුණේ නෑ. තාත්තාගේ ඇස්වලත් කඳුළු තිබුණා. ඒත් පිට කළේ නෑ. අපේ තාත්තා බොහෝම ශක්තිමත් කෙනෙක්. ඒ වගේම බුද්ධිමත්. මේ වගේ තැනකට ගෙනියන්න හදනවා කියලා දැනගත්තා නම් අනිවාර්යෙන්ම මම රටින් යනවා. තාත්තා ඒ හැම දෙයක්ම දැනගෙන සියලූම දේ රහසේම පැලෑන් කළා. ඒ ගැන අද මම සතුටු වෙනවා. දැන් තමයි මම පියවි සිහියෙන් හිතන්නෙ. ගත කරපු ජීවිතය දිහා හැරිලා බලනකොට මට මා ගැන දුක හිතෙනවා. ඒත් මගේ ජීවිතය සමාජයට පාඩමක් නම් මම විනාශ වෙච්ච හැටි කියන්නම්.....
දිගු දෙනුවන් අග සිනාවක් ඉපදිණි. කෙළිලොල් කතාවේ තවමත් වෙනසක් නැත. හිඳගෙන සිටි බංකුවේ හරි බැරි ගැසුණු ඔහු ‘කොතනින් ද අයියේ කතාව පටන් ගන්න ඕනා.... සිනාව අතරින්ම ඔහුගේ මුව කතා කළේය.
‘‘නරකාදියට වැටෙන්න පටන් ගත්ත තැන ඉඳලා කතාව කියන්න....
‘එහෙම නම් අයියේ ඉස්කෝලේ ගිය කාලේ ඉඳලම කතාව කියන්න වෙනවා....
‘අවුලක් නෑ. ඔයා කතාව කියන්න.... දෙදෙනා අතර කෙටි දෙබසකින් පසු ඔහු කතාව ආරම්භ කළේය.
‘‘මගේ උපන්ගම කන්ද උඩරට සුන්දර ගමක්. අපේ සීයා හිටපු ප‍්‍රසිද්ධ දේශපාලනඥයෙක්. ඒත් අපේ තාත්තා දේශපාලනයට ඇවිත් නෑ. ව්‍යාපාර දියුණු කරගෙන සුන්දර ජීවිතයක් ගත කළා. හොඳට කෑවා බිව්වා. ඒත් හැම දේම කළේ සීමාවක ඉඳගෙන. අපේ තාත්තාගේ පවුලෙත් නැන්දයි, තාත්තයි විතරයි. අපේ පවුලෙත් නංගියි, මමයි විතරයි. අපි දෙන්නම ඉගෙන ගත්තේ කොළඹ. ජීවත් වුණේ කොළඹ ගෙදර. ඉස්කෝලෙ නිවාඩුවකට විතරයි ගමේ ගියේ. ඒ ගියත් සතියක්වත් ඉන්නෙ නෑ, කොළඹ එනවා. එතකොට මමයි, නංගියි දෙන්නම හැඩ ගැහිලා තිබුණේ කොළඹ ලක්සිරි ජීවිතයට.....
‘‘මම ඉගෙන ගත්තෙත් කොළඹ ජනප‍්‍රිය පාසලක. නංගි බාලිකාවක. අපි පාසලට ගියේ සුපිරි වාහනවල. ජීවිතේට පාරේ බස් එකක ගිහින් නෑ. සාමාන්‍ය තේ කඩයකින් කෑවා නම් ඒ නුවරඑළියේ යනකොට තාත්තා හැමදාම පොල් රොටී කන පොඩි කඩෙන් විතරයි. ඒත් අපිට යාළුවොත් එක්ක කතා බහා කරන්න, යාළුවන්ගේ ගෙවල්වල යන්න නිදහස තිබුණා. තාත්තා, අම්මා මෙයා ආශ‍්‍රය කරන්න එපා... අරයා නරකයි එයත් එක්ක යන්න එපා කියලා තහංචි දැම්මේ නෑ. ඒ ලැබුණු නිදහස මම අයුතු විදිහට පාවිච්චි කළා. ඉස්කෝලෙ හත, අට වසර පන්තිවල ඉගෙනගන්නෙ කාලෙ ඉඳලා යාළුවො එක්ක සෙට් වෙලා සිගරැට් බිව්වා. මත් ටොෆි, චුුයින්ගම් කෑවා. අපේ ඉස්කෝලෙ සිකියුරිටි අංකල් තමයි මත් ටොෆි, චුයින්ගම් විකිණුවේ. ඒවා ඇඟට පත්තියම් වෙනකොට කේ.ජී., මත් පෙති බොන්න පටන් ගත්තා. ඒවා ගත්තෙත් සිකියුරිටි අංකල්ගෙන්. එකොළහා වසර පන්තියට පාස් වෙනකොට අපි හොඳටම මත්ද්‍රව්‍යයට ඇඩික් වෙලා. ඒත් පන්තියේ සේරම පිරිමි ළමයි එහෙම වුණේ නෑ. අපි කිහිපදෙනෙක් විතරයි. අපේ සෙට් එකේ හිටිය අටදෙනාම හයි ක්ලාස් ෆැමිලිවල ළමයි.....
‘‘ ඕලෙවල් කරලා ගෙදර හිටිය මාස කිහිපයේදී අපි කරන්න ඕනා හැමදේම කළා. හැමදාම පාටි. හවස හතරට විතර ගෙදරින් ගිහාම එන්නෙ රෑ ජාමෙට. නැති නම් පාන්දර. නයිට් ක්ලබ්, තරුපහේ හෝටල්වල ඩිනර් පාටි අතහැරියේ නෑ. වියදම් කරන්න සල්ලිත් ඇති වෙන්න තිබුණා. සුපිරි ආතල් ගත්තා. ඕලෙවල් විභාගයෙනුත් ගොඩ ගිහින් තිබුණා. වාණිජ අංශයෙන් උසස් පෙළ කළා. ඒත් ඒ වෙනකොට මත් පෙති, ගංජා, අරක්කු බීලා මීටර් අවුට් ගිහින් තිබුණේ. උසස් පෙළ ෆේල් වුණා. ඒත් ලොකු අවුලක් වුණේ නෑ. මැනේජ්මන්ට් කෝස් එකක් කරන්න තාත්තා මාව ජාත්‍යන්තර පාසලකට දැම්මා. තවත් නිදහස වැඩි වුණා. ආතල් ඩබල් වුණා. කොළඹ විතරක් නෙමෙයි හික්කඩුවේ, මීගමුවේ බීච් පාටිවලට ගියා. කොල්ලො, කෙල්ලො සෙට් වෙලා යාල, වස්ගමු වන උද්‍යානවල ගිහින් දවස් ගණන් හිටියා.....
‘‘දවසක් රෑක නයිට් ක්ලබ් එකකට යනකොට කැසිනෝ ක්ලබ් එකක් දැකලා යාළුවෙක් කිව්වා පොඩි සෙල්ලමක් දාලා එමුද කියලා. කියන සුනංගුවට අපිත් කැමැති වුණා. සුපිරි වාහන දෙකකින් ගිහින් තරුණ කොල්ලො අටදෙනෙක් බැස්සම සිකියුරිටි එකෙනුත් වැඩි ප‍්‍රශ්න දැම්මේ නෑ. ඇතුළුවීමට අය කරලා යන්න දුන්නා. ක්ලබ් එක ඇතුළට ගිහාම අපි අටදෙනාම මංචං වුණා. සෙටියකට වෙලා ඇතුළේ වෙන දේ බලාගෙන හිටියා. එතැන අමුතුම ලෝකයක්. නයිට් ක්ලබ්, ඩිනර් ඩාන්ස් මොනවද... ලංකාවේ සුපිරි නිළියන් කැසිනෝ ක්ලබ් එකේදී බිංදුවේ. හින්දි, පිලිපීන් ගෑනු ඉටි රූප වගේ දිස්න දෙනවා. කැසිනෝ ගැහිල්ලටත් වඩා අපි අටදෙනා වහා වැටුණේ ඒ ගෑනුන්ට. ඒත් සෙල්ලම් කරන්නෙ නැතිව ඒ අයව හොල්ලනව බොරු.....
‘‘සෙල්ලම් කරනවා බලාගෙන ඉඳලා දන්න විදිහට අපිත් ප්ලේ කළා. එක යාළුවෙක් හැර අපි සේරම දිනුම්. මම පැය තුනක් විතර සෙල්ලම් කරලා අන්තිමට ලක්‍ෂ දෙකක් විතර දිනලා තිබුණා. හොඳට කෑවා බිව්වා. පාන්දර තුන, හතර වෙනකොට අපි බඹරු වගෙයි. අපිත් ජැන්ඩියට ඇඳලා, පැළඳලා ලස්සනට හිටපු නිසා ක්ලබ් එක ඇතුළේ හිටපු ගෑනුත් අපේ වටේ කරකැවෙන්න ගත්තා. අන්තිමේ ඉන්දියන් ගෑනු හතරදෙනෙක් අරගෙන අපි හෝටලයකට ගියා. පහුවෙනිදා රෑත් ඒ ආතල් එක හොයාගෙන ගියා. එදත් දිනුම්. මාසයක් විතර එක දිගටම ගියා. කාලතුරකින් දවසක් තමයි පාරද වුණේ. ඒත් පොඩි ගාණක්.....
‘‘සල්ලිවලින් පර්ස් පිරුණා. ගෙවල්වලින් සල්ලි ගත්තෙත් නෑ. ආතල් පිට හම්බ කරන්න පුළුවන් සුපිරි ජොබ් එක මේක තමයි කියලා දිගටම කැසිනෝ ගැහුවා. දවස ගානේ පිලිපීන්, ඉන්දියන් ගෑනු පාවිච්චි කළා. ලංකාවේ සුපිරි නිළියො ඇවිත් ඇෙඟ් දැවටුණත් පාවිච්චි කළේ බොහෝම කලාතුරකින්. ඒ අයව ළඟට ගත්තම ගෝනි නැතිව කරේ යන්න හදනවා. කරෙන් බහින්නේ අපේ සාක්කු හිස් කරගෙන. කැසිනෝ ගහන්න එන ගොඩක් ඉන්දියන්කාරයො කැමැති ලංකාවේ ගෑනුන්ට. අපේ රටේ කැසිනෝ සෙල්ලම් කරන්න ඉන්දියන්කාරයො ගොඩක් එනවා. සමහර අය රෑට ඇවිත් උදේට යනවා. ඒ වගේම කොළඹ තියෙන කැසිනෝ හැම එකකම වගේ අපි සෙල්ලම් කරලා තියෙනවා. ලංකාවේ නිළියෝ ගොඩක්ම වගේ කැසිනෝ බහිනවා. ඒ සෙල්ලම් කරන්න නෙමෙයි ඞීල් වෙන්න. හොටල්වල ඞීල් වෙනවට වඩා කැසිනෝහල්වල ඞීල් වෙන එක ලාබයි. ලොකු ගාණක් එක පාර ලැබෙනවා. කැසිනෝහල්වල ඉන්න ගෑනුත් වැඩියෙන්ම ඇහැ දෙන්නෙ දිනපු අයට. වෙරි මරගාතෙන් කාමරයකට ගියාට පස්සෙ ඩොලර් කොළ කිහිපයක්, පන්දාහේ කොළ කිහිපයක් ඇදගත්තට මනුස්සයා දන්නෙ නෑ. ඒත් වැඩියෙන්ම එහෙම කරන්නේ ලංකාවේ ගෑනු. ඔය නිළියෝ කියන අය. ඒ ගත්තත් තෙරෙන්නෙ නැත්තේ කැසිනෝවලින් දිනලා යනකොට ගෙනියන්නෙ සල්ලි මිටි. ඒත් අපි නම් මුල් මාස දෙක, තුනේදී හැරෙන්නට කැසිනෝ ගහලා දින්නෙ එහෙමත් දවසක.....
‘‘අපිත් එක්ක එකට හිටිය අටදෙනාගෙන් හයදෙනෙක් කැසිනෝ සෙල්ලම නතර කළා. ඒත් මටයි, තව යාළුවකුටයි නතර කරගන්න බැරි වුණා. අපි හැමදාම සෙල්ලම් කළා. කැසිනෝහල්වලින් මෙම්බර් කාඞ් දීලා අපිව පිළිගත්තේ දෙවිවරු වගෙයි. එක දවසට මම ලක්‍ෂ අනූව පාරද වුණා. මගේ බැංකු පොතේ කෝටි ගාණක් තිබුණා. ඒ සේරම කැසිනෝ ගහලා ඉවර වුණා. එහෙම නන්නත්තාර වෙලා ඉන්නකොට දවසක් හෝටල් එකක ඩිනර් පාටියකදී යාළුවෙක් පැත්තකට කතා කරලා කිව්වා කොකේන් චුට්ටක් තියෙනවා කැමැති නම් මාත් එක්ක සෙට් වෙන්න පුළුවන් කියලා. අපේ සෙට් එකේ කොල්ලෙක් නෙමෙයි. කැසිනෝ සෙල්ලම් කරනකොට ෆිට් වේච්ච කෙනෙක්.....
‘ ඕ කේ මචං ගමු.... කියලා. දෙන්නා එක්ක සේෆ් වෙලා කොකේන් බිව්වා. එදා වෙරි මරගාතේ නිසා කොකේන් ෆිලීන් එක ලොකුවට දැනුණේ නෑ. ඊට පහුවෙනිදා යාළුවා කැසිනෝහලේදී සෙට් වෙලා එදත් කොකේන් ගත්තා. එදා නම් කොකේන් ලෝකයට සුපිරියටම ගියා. ඒක අමුතුම ෆිලීන් එකක්. සූදුවට, සේක්ස් ෆීලීන් එකට මරු කියලා මට හිතුණා. එදා ඉඳලා මගේ හොඳම යාළුවා බවට පත් වුණේ කොකේන් යාළුවා. හැමදාම රෑට කැසිනෝ බැස්සෙ අපි දෙන්නා. ටික දවසක් යනකොට ගංජා, අරක්කු, පෙති සේරම ඈත් කරලා කොකේන් හදවතටම තුරුලූ කර ගත්තා. කොකේන් බොන්න විතරක් දවසකට රුපියල් තිස්, හතළිස් දාහක් වියදම් කළා. බැංකු පොතේ සල්ලි හිදෙනකොට තාත්තාට කියලා ව්‍යාපාරවලට ජොයින්ට් වුණා. දවල් දවසේ ව්‍යාපාරවල ගිණුම් කටයුතු බලාගෙන වැඩ කරලා රෑ වෙනකොට ගෙදරින් පිට වෙනවා. දවල් දවසේ වැඩ කරන අතරෙත් එක පාරකට කෝකේන් චුට්ටක් ගත්තා. රෑට නම් ඇති වෙන්න බිව්වා.....
‘‘මම කොකේන් බොන විත්තිය මගේ යාළුවො දැනගෙන නොසෑහෙන්න බැන්නා. ගෙදරට කියනවා කියලා බය කරලා නතර කරවන්න හැදුවා. ඒත් මට නතර කරගන්න බැරිව ගියා. යාළුවො අපේ ගෙදරට කිව්වෙත් නෑ. ඒත් යාළුවෝ මාත් එක්ක තියෙන ආශ‍්‍රය අඩු කළා. ඒ අය ගංජා, පෙති, අරක්කු ටිකක් බීලා සේක්ස් ආතල් එකක් ගත්තට, කුඩු කොකේන් ගත්තෙ නෑ. මම කොකේන්වලට ඇඩික් වුණේ කැසිනෝ යාළුවා නිසා. දවස ගානේ ව්‍යාපාරවලින් සල්ලි ඇද්දා. මම එකවුන්ට් පැත්ත බලන නිසා සල්ලි ඇඳලා මගේ එකවුන්ට් එකට දාගන්න ලේසි වුණා. මගේ එකවුන්ට් එකේ තියෙන සල්ලි කාඞ්වලින් වියදම් වෙන නිසා කොච්චර සල්ලි නැති නාස්ති වෙනවද කියලා මට තේරුණේ නෑ. එක දිගට අවුරුද්දක් විතර තාත්තාගේ ව්‍යාපාරවලින් සල්ලි ගත්තා. කැසිනෝ සෙල්ලම් කළා... කොකේන් බිව්වා... සෙක්ස් ආතල් ගත්තා. ජීවිතය වෙලා තිබුණේ එච්චරයි. කිසිම දවසක කෙල්ලකුට ආදරය කරලා නෑ. ඒත් මතකයෙන් කියන්න බැරි තරමට ගෑනු ඇසුරු කරලා තියෙනවා. උපරිම විවිධත්වය අත්විඳලා තියෙනවා. ඒ ගෑනුන්ට ගනුදෙනුවෙන් එහාට ගිහින් උදව් උපකාර කරලා තියෙනවා. කැසිනෝ ගහලා දිනපු දවසට ඒ දවස්වලට හිතට වැදිලා හිටපු ගෑනුන්ට රත්තරං බඩු අරගෙන දීලා තියෙනවා. කැසිනෝ සෙල්ලමට, කෝකේන්වලට වියදම් කරපු මුදල් සම්භාරය කොච්චර ද දන්නෙ නෑ.....
‘‘එකවුන්ට්වල සල්ලි අඩු වෙන එක තාත්තා හොයන්න ගත්තේ ව්‍යාපාරවල ලාභ අඩු වෙනකොට. තාත්තා ඒ පැත්ත බැලූවේ නැත්තේ මම හොඳින් ඒ කටයුතු ටික කරගෙන යනව කියලා හිතලා. අන්තිමේ තාත්තා කෙළින්ම මාව සැක හිතාගෙනම තමයි චෙක් කරලා බලලා තියෙන්නෙ. දැනගත්තට පස්සේ සේරම එකවුන්ට් බ්ලොක් කළා. සල්ලි ගන්න පුළුවන් වුණේ තාත්තට විතරයි. ඒත් මගෙන් ඒ ගැන කිසිම දෙයක් ඇහුවේ නෑ. වෙනසක් පෙන්නුවෙත් නෑ. ? ගමන් අඩු කරන්න කියලා කිව්වේත් නෑ. මගේ ආතල් ලෝකයේම ඉන්න දුන්නා. දවසක් රෑ මම කැසිනෝ ගිහින් කොකේන් බීලා රෑ පුරා ආතල් අරගෙන පාන්දර ගෙදර ඇවිත් නිදාගෙන ඉන්නකොට එක පාරට අයියල වගයක් මගේ කාමරයට ආවා.....
‘අපි පොලිසියෙන්... ඊයේ ක්ලබ් එකේදී කේස් එකක් ගිහින් තියෙනවා. එකට ඔයත් සම්බන්ධයි කියලා තොරතුරු ලැබිලා තියෙනවා. දැන් අපිත් එක්ක යමු. ඔයා ඒකට සම්බන්ධයක් නැති නම් අදම එන්න පුළුවන්. පැය භාගයක් දෙන්නම් වොෂ් එකක් දාගෙන ලෑස්ති වෙන්න.... මම ලෑස්ති වෙනකම් අයියලා කාමරයේ දොර වහාගෙන හිටියා. අම්මා කලබල වෙනකොට තමයි තාත්තා සම්පූර්ණ විස්තරය අම්මට කියලා තිබුණේ. එතකන් මම අම්මාගේ හොඳම පුතා... අදටත් අම්මා හිතනවා ඇත්තේ එහෙම තමයි. මම තමයි නරක් වුණේ.....
‘‘දැන් ඒවා ගැන කතා කරලා ඵලක් නෑ. වෙච්ච දේ වුණා. කිසිම දවසක ඒ දේවල් නොකරන වෙනස්ම කෙනෙක් විදිහට තමයි මම නැවත ගෙදර යන්නෙ.....
මතේ සහ සූදුවේ ආදීනවම හොඳින් තේරුම් ගෙන සිටින ඔහුගේ අදහස යහපත්ය. එහෙත් විසිහත් වියැති මේ තරුණයා තවමත් කෙළිලොල්ය. එහෙයින් නැවත සමාජගතවීමේදී දෙමවුපියන් මේ දරුවා ගැන මීට වඩා සැලකිලිමත් විය යුතුය. සමාජයේ සියලූ මවුපියන් දරුවන් ඇස් දෙක මෙන් බලාගත යුතුය. එසේ නොවෙන්න දරුවන්ගේ පමණක් නොව දෙමවුපියන්ගේ ද දෙනෙත් අධ වන්නේය.
තරංග රත්නවීර