පසුගිය කාලේ ආන්දෝලනාත්මක සිදුවීමක් බවට පත්වූ මාවනැල්ලේ බුදු පිළිම කැඩූ ප්‍රධාන සැකකරුගේ බිරිය මාවනැල්ලේ, මුරුතවෙල ප්‍රදේශයේ නිවෙසක සිටියදී පොලිසිය හා විශේෂ කාර්ය බළකා සෙබළුන් එක්ව අත්අඩංගුවට ගෙන මේ වනවිට වැඩිදුර ප්‍රශ්න කිරීම වෙනුවෙන් ඇය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට යොමුකර ඇති බව පොලිසිය පවසයි.
ෆාතිමා අත්අඩංගුවට ගැනීම හා ඇය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත මාවනැල්ල, මුරුතවෙල පදිංචි මවත්, පියාත් ආරක්‍ෂක අංශවලින් ලබාගත් තොරතුරුත් අනුව ෆාතිමාගේ අත්අඩංගුවට ගැනීම හරහා හෙළි වූ කරුණු ගණනාවක් සම්බන්ධයෙන් විස්තර දැනගැනීමට හැකිව තිබේ.
පසුගිය අප්‍රේල් 26 වැනි දින පස්වරු 1ත් 2ත් අතර කාලයේදී මාවනැල්ලේ ඇයගේ පියාගේ නිවෙසේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුවිය. අත්අඩංගුවට පත් ෆාතිමාට වයස අවුරුදු 24කි. ඇය නමින් ෆාතිමා සහීඩාය. ෆාතිමා යනු මාවනැල්ල අවට බුදු පිළිම කැඩීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු බවට ආරක්‍ෂක අංශවලට අවශ්‍යව සිටි මාවනැල්ල, දෙල්ගහගොඩ පදිංචි 29 හැවිරිදි මොහොමඩ් ඊබ්‍රහීම් සාදික් අබ්දුල්ලා යන අයගේ බිරියයි. මොහොමඩ් ඊබ්‍රහීම් සාදික් අබ්දුල්ලා පසුගිය 21 වැනි දින පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට සම්බන්ධ ප්‍රධාන සැකකරුවකු බවටද මේ වනවිට ආරක්‍ෂක අංශ හඳුනාගෙන ඇත. ඒ නිසාම පසුගිය අප්‍රේල් 25 සහ 26 විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය හරහා ආරක්‍ෂක අංශවලට සොයා ගැනීමට අවශ්‍යම සැකකරුවන් තිදෙනෙක්ගේ හා සැකකාරියන් තිදෙනකුගේ ඡායාරූප ප්‍රසිද්ධ කර තිබිණි. එය ප්‍රදර්ශනය කර පැය 24ක් යෑමටත් පෙර මේ අයගෙන් කිහිපදෙනෙක්ම ආරක්‍ෂක අංශවල අත්අඩංගුවට ගැනීමට හැකිවීම ආරක්‍ෂක අංශ ලැබූ ජයග්‍රහණයකි.
අත්අඩංගුවට ගත් 24 හැවිරිදි ෆාතිමා සහීඩා නමැති කාන්තාවගෙන් කරන ලද මූලික ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය කරගෙන ඇත්තේ සිය බිරිය සහ දරුවා සමඟ අතුරුදන්ව සිටි බුදු පිළිම කැඩීමේ ප්‍රධාන සැකකරු බිරියට තර්ජනය කර තමන් පිළිබඳ කිසිදු තොරතුරක් ආරක්‍ෂක අංශවලට පැවැසුවහොත් මරණයට පත් කරන බව පවසා ව්‍යාජ හැඳුනුම්පතක්ද ලබාදී දෑස් බැඳ මහමඟ දමා ගොස් ඇති බවයි. එම හැඳුනුම්පතද මාතර ප්‍රදේශයේ සිංහල කාන්තාවකට අයත් එකක් වන බව පොලිසිය කියයි. කාන්තාව හා සැකකරු කොළඹ අවට ප්‍රදේශයක සිට මෙලෙස මාවනැල්ල ප්‍රදේශයට පැමිණ ඇති බවද මේ වනවිට මූලික ප්‍රශ්න කිරීම්වලින් කරුණු අනාවරණය කර ගෙන ඇති බවද ආරක්‍ෂක අංශ පවසයි.
පසුගිය 26 වැනිදා දහවල් 12.30ට පමණ මාවනැල්ල නගරයේ තැපැල් කාර්යාලය ඉදිරිපස ඇති බස් නැවතුමෙන් සාදික්ගේ බිරිය (ෆාතිමා) හා කුඩා දරුවා බැස නගරයේ කුලී ත්‍රිරෝද රථයකින් සිය මහ ගෙදර පිහිටා ඇති මුරුතවෙල දක්වා ගොස් ඇති අතර සාදික්, නුවර දෙසට ගමන් කර ඇති බව ෆාතිමාගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී පොලිසිය කරුණු අනාවරණය කරගෙන ඇත.
ෆාතිමා සිය නිවෙස වෙත යනවිටත්, එදින සිකුරාදා දිනයක්වූ හෙයින් ඇගේ පියා වන දැනට විශ්‍රාම සුවයෙන් සිටින ගුරුවරයෙක් වන මොහොමඩ් පලීල් මහතා ආගමික කටයුතුවලට පල්ලියට ගොස් සිට ඇති අතර නිවෙසේ මව සහ අනෙක් ගැහැනු දරුවන් පමණක් සිට ඇත. ෆාතිමා මාවනැල්ලේ සිට සිය නිවෙසට යන අවස්ථාවේ නිවෙසේ ඉදිරිපස ගේට්ටුව වසා තිබුණු නිසා මුළුතැන්ගෙය දිශාවේ පිහිටා ඇති කුඩා ෙදාරෙන් නිවෙසට ඇතුළු වූ ෆාතිමා මවට කතා කර ඇත.
එම සිද්ධිය ෆාතිමාගේ මව වන 58 හැවිරිදි රූස්නා මේගම් මහත්මිය අපට විස්තර කළේ මෙලෙසිනි.
මාගේ දුවගේ නම මාධ්‍යයෙන් ප්‍රචාරය කරන්නේ ෆාතිමා ලතීෆා කියලා. නමුත් ඇයගේ නිවැරැදි නම ෆාතිමා සහීඩා. මේ මාගේ තුන්වැනි දරුවා. මට ඉන්නේ ගැහැනු දරුවන් හතරදෙනෙක්. මෙයාට වැඩිමහල් දුවලා දෙන්නාත් විවාහ වෙලා ඉන්නේ. හතරවැනි දුව උසස් පෙළ හදාරමින් ඉන්නේ. මේ දුව ඉගෙන ගත්තේ මාවනැල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ මුස්ලිම් පාසලක. හොඳට ඉගෙන ගත්තා. ඉගෙනීමටත් හරි දක්‍ෂයි. විශ්වවිද්‍යාලයටත් යන්න ඉන්න කොට 2015 අවුරුද්දේ විවාහ වුණා. විවාහ වුණේ ගෙනාපු යෝජනාවකට අනුවයි. මගේ දුවට ක්ලාන්තය වගේ හැදෙන ගතියක් තිබුණා. අත්අඩංගුවට අරන් ඉන්නේ මගේ දුවගේ ස්වාමියාගේ තාත්තා. එයා කවුන්සිල් (උපදේශනය) කරන කෙනෙක්. එයා ලවා මෙයාට කවුන්සිල් කළා. එයා මවුලවි කෙනෙක්. ඒ වගේම සමාජයේ හොඳ වැදගත් විදියට හිටපු කෙනෙක්. එයාගේ දරුවන් ගැනත් වැරැදි මතයක් සමාජ ගතවෙලා නොතිබුණු නිසා අපි විවාහයට එකඟ වුණා. නමුත් මේ පුද්ගලයා මේ විදියට රටම ගිනි තියයි කියලා අපි හිතුවේ නෑ.
මාගේ දුවට කිසිදෙයක් නොකියා තමයි බුදු පිළිම කැඩීමේ සිද්ධියෙන් පසු එයාව අරන් ගිහින් තියෙන්නේ. එක දරුවයි මාගේ දුවට ඉන්නේ. මේ අය ගිය හැටි අපි දන්නේ නැහැ. ඊට පස්සේ මේ අය ගැන ආරක්‍ෂක අංශවලින් හොයන්න පටන් ගත්තා. අපි පොරොන්දුවක් වුණා දරුවා ගැන තොරතුරක් දැනගත්ත ගමන් දන්වනවා කියලා.
අප්‍රේල් 26 වැනිදා මගේ මහත්තයා පල්ලියට යනවා කියලා ගියා. එදා සිකුරාදා දවසක්. මම ගෙදර ඉස්සරහා ගේට්ටුවත් වහලා ගෙදර ඉන්න වෙලාවේ කුස්සිය පැත්තේ තියෙන පොඩි ෙදාර ළඟින් අම්මා, අම්මා’ කියලා මට කතා කරනවා ඇසුණා. මුළු රටම ගිනිගෙන තියෙන වේලාවක පෙරේදා රෑ ඇගේ ඡායාරූප පවා රූපවාහිනියෙන් ප්‍රසිද්ධ කරලා තිබුණු වෙලාවක ඇගේ පැමිණීම මාව කම්පනයට පත් කළා. අපි තමයි දරුවාගේ ඡායාරූප ආරක්‍ෂක අංශවලට දුන්නේ. ඒ මේ රටට ඇත්ත අනාවරණය කරන්න අපි අතින් සිදුවිය යුතු යුතුකමක් විධියට. මොකද අපි ජාති, ආගම් භේද ඇති කරගෙන හිටපු මිනිස්සු නෙවෙයිනේ. සිංහල මිනිස්සු එක්ක හොඳින් මෙච්චර කාලයක් ජීවත් වුණා. මට හොඳට සිංහල කතා කරන්න පුළුවන්. ඒ විධියට හිටපු අපිට මේ සිද්ධිය හිතාගන්නවත් බැරි දෙයක් වුණා.
මාගේ දුවලාගෙන් පළමුවැනියා බැඳලා වෙනම ඉන්නවා. දෙවැනියා සහ හතර වැනි දුව මාගේ ගාව ඉන්නවා. මම දුවලාට කතා කරලා කිවුවා ෆාතිමා දුව ඇවිත් ඉන්නවා කියලා. එයාලා ගේ ඇතුළේ ඉඳන් කීවා අම්මා පිස්සු කියන්නේ නැතිව ඉන්න කියලා. හතර වැනි දුව හිතුවාලු අම්මට පිස්සු හැදිලා අක්කා නැති දුකට කියවනවා ඇති කියලා.
ගේට්ටුව හරිනවාත් සමඟම ෆාතිමා දුව ඇතුළට ආවේ තාත්තා කෝ. මම පොලිසියට යන්න ඕනෑ කියාගෙනයි. මට එතකොටම පැහැදීමක් ආවා මගේ දුව ගැන. එයා මේකට සම්බන්ධ නැහැ කියලා. ඊට පස්සේ මම පල්ලියට දුවගෙන ගියා.
මම පල්ලියට ගිහින් පලීල් සර්ට එන්න කියන්න කියලා කලබලයෙන් කෑ ගැසුවා. පල්ලියේ ඉන්න අය ඇසුවා පල්ලියට ගහන්න එනවාද කියලා. මම කිව්වා නැහැ කියලා. අපේ ගෙදර ප්‍රශ්නයක් එයාට එන්න කියන්න කියලා. මහත්තයා එක්ක ගෙදර ඇවිත් අපි කොළඹ සී.අයි.ඩී. එකේ මාරසිංහ මහත්තයාට කතා කරලා කීවා දුව ඇවිත් ඉන්නවා කියලා.
අපි ආරක්‍ෂක අංශවලට දැනුම් දුන්නත් මට මාගේ දුව දකින කොට වේදනාවක් ඇති වුණා. මම දුව බදාගෙන ඇඬුවා. මට ඒ වෙලාවේ කියවුණා මාගේ දුව මට ආයේ දකින්න සිද්ධ වෙයි කියලා මම හිතුවේ නැහැ කියලා.
එදා බුදු පිළිම කැඩුවාට පස්සේ මෙයාගේ මහත්තයා ගෙදර ඇවිත් කියලා තියෙනවා ඉක්මනින් ලෑස්ති වෙන්න ගමනක් යන්න යන ගමන් විස්තර කියන්නම් කියලා. ඒ විධියට තමයි ලෑස්ති වෙලා ගිහින් තියෙන්නේ. දුව කියලා තියෙනවා එයාව ගෙදර එක්කරගෙන යන්න කියලා. ඒ වුණත් හිඟුල් හන්දියට ඇවිත් නුවර පැත්තට හැරුණු ගමන් දුව අවුල් වෙලා තියෙනවා. අපේ ගෙදරට එනවා නම් කොළඹ පැත්තට තමයි එන්න ඕනෑ. යන්නේ කොහෙද නොකියා මෙයා එක්කරගෙන ගිහින් තියෙනවා. එතැන ඉඳන් තමයි මාගේ දුවට ඔය කියන රටම ගිනි තිබ්බ මනුස්සයා වෙනස්කම් කරන්න පටන් ගෙන තියෙන්නේ.
අපි එයාව සම්පූර්ණයෙන් විශ්වාස කළා. අපි එක්ක අහිංසක විධියට හිටියා. නමුත් ඒ මනුස්සයා අපිව රැවැට්ටුවා. මගේ දුව 26 වැනිදා අපේ ගෙදරට එනකම් එයාව හිර කරලා තමයි තියාගෙන ඉඳලා තියෙන්නේ.
බුදු පිළිම කඩපු දවසේ මෙයා එක්කරගෙන ගිහින් තියෙන්නේ ත්‍රීවීල් එකක. ඒ යනකොට කුරුණෑගල බෝඩ් එක දැක්කලු. ඊට පස්සේ කැලෑවක් වාගේ තැනකදී ත්‍රීවීල් එක වෑන් එකක් ළඟ නැවැත්තුවාලු. ත්‍රීවීල් එකේ රියැදුරා විධියට කටයුතු කරලා තියෙන්නේ එයාගේ මහත්තයා.
අපේ ළමයි කවුරුවත් මුහුණ ආවරණය කරන්නේ නැහැ. ෆාතිමාටත් මුහුණ ආවරණය කරන්න කියලා සමහර අවස්ථාවලදී මෙයාගේ මහත්තයා කියන නිසා සමහර අවස්ථාවලදී මුහුණු ආවරණය කළා. එදා වෑන් එක ඇතුළට දමලා දුවගේ ඇස් බැඳලා ගොඩක් දුර ගෙනිහින් ගෙයක් ළඟ නැවැත්තුවාලු. කාමරයක් ඇතුළට අරන් ගිහින් ඇස් බැඳීම ඉවත් කරලා දැම්මාලු. ඒ කාමරයේ කොච්චර කල් හිටියාද කියලා එයා දන්නේ නෑලු. කාමරයට යාබදව බාත්රූම් තිබිලා තියෙනවා. කාමරයත් වායුසමනය කරලා තිබුණා කියලා කියන්නේ.
දුව ඉන්න කාමරයට මේ මනුස්සයා (ෆාතිමාගේ සැමියා) ඇවිත් තියෙන්නේ ෆෝන් එකක්වත් නැතිව. දුව මේ මනුස්සයාගෙන් ඉල්ලලා තියෙනවා ගෙදරට කතා කරන්න ඉඩදෙන්න කියලා. ඊට පස්සේ මේ මනුස්සයා කිව්වලු වැඩිය දැඟලුවොත් හරි මාව පාවලා දෙන්න හැදුවොත් හරි බෙල්ල කපලා මරලා දාන්න කියනවා කියලා.
සල්ලි නැතිව හරි චාම් ජීවිතයක් ඉස්සර ගතකළත් ෆාතිමා හිර කරලා ඉන්න කොට ඇයට ඇඳුම් පැලඳුම්, දරුවාට සෙල්ලම් බඩු ගෙනත් දුන්නාලු. සල්ලි තියෙන බවක් පේන්න තිබුණා කියලා දුව කියනවා. කන්න බොන්න දුන්නාලු. දුව කියනවා එයා හිටපු තැන ගුවන් යානා යන හඬ හුඟාක් ඇහුණා කියලා. නමුත් එයා හරියටම හිටපු තැන දන්නේ නැහැ. එයාව එළියට එක්කරගෙන ගිහින් තියෙන්නෙන් අතට සිංහල හැඳුනුම්පතක් දීලා. ඒ වගේම පොලිසියෙන් ඇල්ලුවොත් ඇයට කතා කරන්නත් එපා කියලා. මුහුණ වහන්නත් එපා කියලා තියෙනවා. හිටපු තැන ඉඳලා තව තැනකට මාරු වුණාලු. ඒ ගෙදර ටිකක් ඉඩ තිබුණා කියලත් කියනවා. නමුත් දවල්ද රාත්‍රියද කියලා ඒ ගෙදරදී හොයාගන්න බැරි තරමට නිතරම ලයිට් දාලා තිබුණු ගෙදරක් කියලා තමයි දුව කියන්නේ.
ඒ ගෙදර ඉන්නකොට එයාට තේරුණාලු ගෙයින් පිට ගොඩාක් අය ඉන්නවා කියලා. සමහර වෙලාවට තාත්තා එක්ක එළියට යන පුතා දුව ළඟට ආවාම බාප්පා ගැන කීවාලු. සාහිඩ් අබ්දුල්ලා කියන්නේ සාදික්ගේ මල්ලි. එයත් මේ සිද්ධියේ ප්‍රධාන සැකකාරයෙක්. දුව සමහර දවස්වලට මෙයාලා කතා කරන්නේ මොනවාද කියලා අහන්න උත්සාහ කරලා තියෙනවා. ඒත් වැඩක් වෙලා නෑ.
මට හරි දුකයි ඒවා මතක් වෙනකොට. මේ හැමදේම දුව කියපු දේවල්. මගේ දුව මේ ගෙදරින් තවත් තැනකට මාරු වුණාලු. ඒ ගෙදර ඉන්නකොට කලබලයක් වුණාලු. මම හිතන්නේ ඒ බෝම්බ පුපුරපු දවස වෙන්න ඇති. මෙයාට ලෑස්ති වෙන්න කියලා වෙන ගෙදරකට ගිහින් දැම්මාලු. ඒ ගෙදර ඉන්න බැරිතරම් රස්නෙයි කියලා එයා කියනවා. මේ විධියට කාලය ගත කරලා ඇස් බැඳලා වෑන් එකට දාගෙන ඇවිත් කොහේදෝ පාළු තැනක නැවැත්තුවාලු. පයින් ඇවිත් ත්‍රීවීල් එකක නැඟලා කරඬුපන හන්දියෙන් බැහැලා තියෙනවා. එතැන සුරතල් මසුන් විකුණන තැනක් තියෙනවා. එතැනින් ළමයාට මාළු අරන් දීලා කෑගල්ල නුවර බස් එකක නැඟලා නුවරට ටිකට් එකකුයි මාවනැල්ලට ටිකට් එකකුයි ගත්තාලු. එතකොට තමයි මෙයාට දැනිලා තියෙන්නේ මම දැන් ගෙදර යනවා කියලා. මාවනැල්ලට ඇවිත් මාවනැල්ල නගරයේ තැපැල් කාර්යාලය ඉස්සරහා තියෙන බස් නැවතුම ළඟින් බැහැලා තියෙනවා. එදා මුළු ටවුමම වහලා. සිකුරාදා දවසක්. තැනින් තැන කඩ ඇරලා තිබුණලු. සිංහල කෙනෙක්ගේ ත්‍රීවීල් එකකට නැඟලා මාරාවට යන්න ඕනෑ කීවාට පස්සේ ඇවිත් මෙතැන බස්සලා තියෙනවා.
මේ මනුස්සයා මගේ දරුවාට පොඩ්ඩක්වත් ආදරය කරලා නැහැ. මගේ ගෙදරට දරුවාව ගෙනත් දැම්මා නොවෙයි. රටේ ඇතිවුණු ආරක්‍ෂක තත්ත්වය උඩ දුව දාලා පැනලා යන්න ඇති.
කොළඹ සී.අයි.ඩී. එකට අරන් යනකොට දුව කියන පාරෙන් ගියා. දුව දාලා ගියා කියන තැන සොයාගෙන ගියා. කරඬුපනින් ඇතුළට දාලා ගිහින් හිරිවඩුන්නෙන් පොල්ගහවෙලට වැටෙන පාරේ පාළු තැනකින් තමයි මේ අය දාලා වෑන් එක ගිහින් තියෙන්නේ. දුව කීවා එක පැත්තක කැලෑව අනෙක් පැත්තේ කොළ පාට දැල් තිබුණා එතැන තමයි බැස්සේ කියලා කීවා.
‘මගේ දුව මට කිව්වා අපි හිතපු විර්ණීඵයේ මිනිස්සු නොවෙයි ඒ අය මහ භයානක මිනිස්සු. ළමයා පරිස්සමින් බලා ගන්න කියලා. ඔය මනුස්සයා ඔය වගේ සංවිධානයක ඉන්නවා කියලාවත් මගේ දුව දන්නේ නැහැ. ඒක නිසා තමයි දුව ගෙදර ඇවිත් කිව්වේ මම හිරේ ගිහිල්ලා හරි මට එයාව පාවලා දෙන්න ඕනෑ කියලා. රට බේරාගන්න ඕනෑ කියලා එයා කිව්වේ.’
රූස්නා මේගම් මහත්මිය අපට එසේ පැවැසූ අතර ඔහුගේ ස්වාමියා පාසල් ගුරුවරයකු වන අතර දැනට විශ්‍රාමික සුවයෙන් පසුවෙන අයෙකි. නමින් මොහොමඩ් පලීල් නම් වන අතර දැන් වයස අවුරුදු 59කි. ඔහුද අප සමඟ කතා කරමින් පැවැසුවේ මේ සිද්ධිය ගැන කල්තියා දන්නවා නම් දුවට කිසිවිටකවත් ඔහු සමඟ විවාහ වීමට සලස්වන්නේ නැති බවයි. සාම්ප්‍රදායික මුස්ලිම් ජාතිකයකු ලෙස ජීවිතයේ වැඩි කාලයක් සිංහල ජනතාව සමඟ කල්ගත කළත් මෙවැනි ත්‍රස්තවාදයක් මේ රට තුළ මුස්ලිම් නාමය මුල් කර ගනිමින් ඇතිවනු ඇතැයි තමන් කිසිවිටකත් නොසිතූ බව ඔහු පැවැසීය. තමන් හෝ බිරිය තම දරුවන් අකුසල් කර්ම වෙනුවෙන් සාදා නොමැති නිසා ඔවුන් බේරුණු බවත් කී පලීල් මහතා නැවත නැවත මෙවන් ත්‍රස්තවාදයක් රට තුළ කිසි දිනක ඇති නොවේවා යැයි ප්‍රාර්ථනා කරන්නේ වේදනාවෙනි.
ෆාතිමා සෆීඩා 26 වැනි දින මාවනැල්ලේදී අත්අඩංගුවට පත්වී පැය 24ක් ගතවන්නටත් පෙර ගම්පොළ සහ නාවලපිටිය ප්‍රදේශවලින් ෆාතිමාගේ ස්වාමියාත්, ඔහුගේ මල්ලීත් ආරක්‍ෂක අංශවලට කොටු වන්නේ වැරැදි කරන අයට කිසි දිනක සැඟව සිටීමට නොහැකි බවත්, කළ වැරැදි වෙනුවෙන් කවදා කොතැනකදී හෝ වන්දි ගෙවන්නට සිදුවන බවට බුදු දහමේ නියත ධර්මයේ ප්‍රතිඵලයක් ලෙසිනි. ඔවුන් මුලින්ම බුදු පිළිම කැඩීම කර ඇති අතර දෙවනුව ආගමික වතාවත්වල නිරත වන නිරායුධ අහිංසක මිනිසුන් කොට්ඨාසයක් මරා දැමීම සිදුකර ඇත. එම අකුසල කර්මය මිහිපිටදීම ඔවුන්ට පටිසන් දීම රටේ වාසනාවකි. ඉදිරියේදී ඇතිවන්නට ගිය මහා විනාශයක් මේ ත්‍රස්තයන්ගේ ප්‍රධාන මොළකරුවන් අසුකරගැනීම හරහා වැළකී යනු ඇත.
කෙසේ වෙතත් පසුගිය පාස්කු ඉරු දින ප්‍රහාරය සිදුවූ උදෑසන ෆාතිමා සහීඩා රාජගිරිය ප්‍රදේශයේ විහාරස්ථානයකට සුදු ඇඳුමකින් සැරසී ගිය සිද්ධියක් සම්බන්ධයෙන් එම විහාරස්ථානයේ අනුනායක රජවත්තේ වප්ප හිමි මාධ්‍ය වෙත හෙළි දරව්වක් කර තිබූ නමුත් ඒ සම්බන්ධයෙන් මේ වනවිට ආරක්‍ෂක අංශ පරීක්‍ෂණ සිදුකරන හෙයින් එම තොරතුරු ඉදිරියේදී රටට අනාවරණය වනු ඇත.
ෆාතිමා සහීඩාගේ ස්වාමියා වන මොහොමඩ් ඊබ්‍රහීම් සාදික් අබ්දුල්ලා සහ ඔවුන්ගේ අනුගාමිකයන් පිරිසක් මාවනැල්ල ප්‍රදේශ කිහිපයක බුදු පිළිමවලට හානි කරමින් සිටියදී පසුගිය 26 වැනිදා මාවනැල්ල සීමාවේ දිදුලවත්ත ප්‍රදේශයේදී ප්‍රදේශවාසී තරුණයන් දෙදෙනෙක් විසින් අල්ලාගෙන ඇති අතර, එහිදී සිදුවූ පොර බැදීමකින් එක් පුද්ගලයෙක් පැන දිව ගොස් ඇත. ඔහු මෙම සාදික් අබ්දුල්ලාය. එම බුදු පිළිම කැඩීම සිදුවූදා එක් මුස්ලිම් තරුණයකු අත්අඩංගුවට පත් වූ අතර ඔහු හරහා සියලු විස්තර ආරක්‍ෂක අංශ සොයාගෙන මේ වනවිට සැකකරුවන් විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් සිටී.
නමුත් ප්‍රධාන සැකකරුවන් වූ ෆාතිමාගේ ස්වාමියා වූ මොහොමඩ් ඊබ්‍රහිම් සාදික් අබ්දුල්ලා සහ ඔහුගේ සොහොයුරා පොලිසියට මාස 4කටත් වඩා වැඩි කාලයක් කට්ටි පනිමින් සිට ගම්පොළ සපත්තු කඩයකදී ආරක්‍ෂක අංශ අත්අඩංගුවට ගනු ලැබීය.
මේ සියලු ප්‍රශ්න ඉතා ඉක්මනින් අවසන් කර නැවත මේ රටේ සාමය ඇති කළ යුතුය. තිස් වසරක ‘යුද්ධයක්’ අවසන් කළ අපේ මාතෘභූමියට මෙය කළ හැකිය. ත්‍රස්තවාදය පරාජය, සාමය රට තුළ යළි ඇති වේවා යැයි සියලු දෙනාගේ පැතුමයි.