ආධාරයක් වශයෙන් මෙරටට ලැබුණු මඩකලපුවේ ඉදිකරගෙන යන ෂරියා විශ්වවිද්‍යාලයේ මිලියන 500 ක කොටස් නැගෙනහිර ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතාගේ පුත‍්‍රයාට හිමි වීම පිළිබඳව රජය පරීක්‍ෂණයක් සිදු කරන බව ආරක්‍ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09 දා) පැවසීය.
මන්ත‍්‍රී හේෂා විතානගේ මහතා චාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ විමසූ ප‍්‍රශ්නයකx මතු වූ අතුරු ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් රුවන් විජයවර්ධන මහතා මේ බව සඳහන් කළේය.
මන්ත‍්‍රී හේෂා විතානගේ මහතා - මේ දිනවල විශාල කතාබහක් යනවා මේ ශරියා විශ්වවිද්‍යාලය ගැන. මේ ශරියා විශ්වවිද්‍යාලයේ –මිලියන 500 ක කොටස් නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලා මහතාගේ පුත‍්‍රයාට අයිතියි. එතුමා අපේ අනාගත ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ හොඳම යාළුවා.
මේ ශරියා විශ්වවිද්‍යාලය ගැන එතෙක් කොහොමද කොටස් තියෙන්නේ? එතුමා මේ රජයේම ආණ්ඩුකාරවරයෙක්. ඒ ගැන දැනගන්න ඕනෑ. රටේ පවතින නීතියත් එක්ක ජනතාව ප‍්‍රතික්‍ෂේප කරන මේ වගේ විශාල ව්‍යාපෘති හදන්න ඒවාට සම්බන්ධවන්න හයිය දේශපාලකයන්ට තියෙන්නේ කොහොමද? දේශපාලනඥයන්ට ඕනෑ විදියට මෙහෙම රටේ නීතිය වෙනස් කරන්නේ කොහොමද? මේකට විරුද්ධව ගන්න පියවර කුමක්ද?
රුවන් විජයවර්ධන මහතා - මේ ගැන මම දන්නා විදියට අපේ කථානායකතුමාත්, අපේ අගමැතිතුමාත් ඒ ගැන දැන් පරීක්‍ෂණයක් කරගෙන යන බව පේනවා. මේ ශරියා විශ්වවිද්‍යාලය දැන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට පවරලා තියෙනවා. මේක ගැන ඇත්තටම හොයලා බලන්න වෙනවා. මේ පිටුපස තිබෙන කතාව කුමක්ද? කියලා. ඒ ගැන පරීක්‍ෂණයක් පැවැත්විය යුතුයි කියලා මම හිතනවා.
බන්දුල ගුණවර්ධන මහතා - අපේ උසස් අධ්‍යාපන ඇමැතිතුමාත් මේ සභාවේ සිටිනවා. ඒ ගැන යම් පැහැදිලි කිරීමක් කළොත් හොඳයි කියලා මම හිතනවා.
උසස් අධ්‍යාපන ඇමැති රවුෆ් හකීම් මහතා - උසස් අධ්‍යාපන අමාත්‍යාංශය උපාධි පාඨමාලා පිරිනමන ඕනෑම ආයතනයකට ඒ අනුමැතිය ලබා දීමට පෙර දීර්ඝ ක‍්‍රමවේදයක් තිබෙනවා. මේ විශ්වවිද්‍යාලය ගැන තවමත් අපි කිසි පියවරක් අරන් නැහැ. අද උදේ කථානායකතුමන් මා එක්ක මේ ගැන පුද්ගලිකව කතා කළා. විශේෂයෙන්ම අපි මේ ගැන සාකච්ඡුා කරලා හරි ක‍්‍රමවේදයක් අනුව කටයුතු කළ යුතුයි.
චමින්ද විජේසිරි මහතා - අපට තිබෙන ප‍්‍රශ්නය මේ විශ්වවිද්‍යාලයෙන් උපාධි ප‍්‍රදානය කිරීම ගැන නොවෙයි. මේක ආධාරයක් වශයෙන් ලැබුණු විශ්වවිද්‍යාලයක්, නැගෙනහිර ආණ්ඩුකාරවරයාගේ පුතාට මෙහි කොටස් ලබාදීලා තිබෙන්නේ වංචා සහගතවයි. කියන කරුණු පැහැදිලි වෙනවා. මේ පුද්ගලයාට කොටස් ලැබුණේ කොහොමද? එහිදී නීතිමය තත්ත්වය අපට දැන ගන්න ඕනේ.
කථානායකවරයා - ඒ ගැන ආරක්‍ෂක රාජ්‍ය ඇමැතිතුමා ප‍්‍රකාශයක් කළා පරීක්‍ෂණයක් කරනවා කියලා.
රුවන් විජයවර්ධන මහතා - ඔව්. කථානායකතුමනි, රජය ඒ ගැන පරීක්‍ෂණයක් පවත්වනවා.