අප්‍රේරල් 21 වැනිදා ප‍්‍රහාරයෙන් රටේ දේශපාලනය උඩුයටිකුරු විය. පැවැති තත්ත්වයන් මුළුමනින් ම වෙනස් විය. ප‍්‍රහාරයට පෙර තිබූ ප‍්‍රධාන මාතෘකාව වූයේ ජනාධිපතිවරණයයි. ජනාධිපතිවරණය ඉලක්ක කොටගෙන බොහෝ දේවල් සිදු විය. එක පැත්තකින් එය අහෝසි කිරීම ඉලක්ක කර ගනිමින්, විසිවැනි සංශෝධනය පිළිබඳ සංවාදයක් විය. අනෙක් පැත්තෙන් ඉල්ලන අපේක්‍ෂකයන් පිළිබඳ සංවාදයක් විය. ඒ අතර ම මෛත්‍රීපාල ජනාධිපතිවරණය ලබන අවුරුද්දට තල්ලු කරන උත්සාහයක ද නිරත වුණේ ය. එනම්, තමන්ගේ ධුර කාලය වන වසර පහ ආරම්භ වන්නේ කවදා ද යන ප‍්‍රශ්නය උසාවියෙන් අහන්න ලැහැස්තියක විය. එය ඉලක්ක කර ගනිමින්, අග‍්‍රවිනිශ්චයකාර ධුරයට හිතැති කෙනකු පත් කරන උත්සාහයක ද විය. කෙසේ වෙතත්, දැන් එම ධුරයට පත් වී ඇත්තේ, හිටපු නීතිපතිවරයා ය. අභියාචනාධිකරණයේ සභාපති ලෙස පත් කළේද නීතිපති දෙපාර්තමේන්තුවෙන් ය. මේ පත් කිරීම් දෙක පිළිබඳව ම එකී අධිකරණයන්හි විනිශ්චයකාරවරයන් ඉන්නේ අසතුටින් ය. විශේෂයෙන් ම ශ්‍රේෂ්ඨාධිකරණයේ පත්වීම් පිළිබඳව මේ තත්ත්වය බැරෑරුම් ය. විනිශ්චයකාරවරුන් ලෙස බොහෝ අත්දැකීම් ඇති අය සිටිය දී, ජයන්ත ජයසූරිය මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නම් කර එවීම ගැන කාට කාටත් ඇත්තේ කනස්සල්ලකි.
මේ හේතුව නිසා ම මෛත්‍රීපාල මහතාගේ වුවමනාව ඒ ආකාරයෙන් ම ඉටු වේවි ද යන්න සැකසහිත ය. තමන් දිවුරුම් දුන් දිනයට පසුව දහනව වැනි සංශෝධනය සම්මත වීම ඔහු මේ සඳහා පාවිච්චි කර ගන්නට යන තර්කයයි. දිවුරුම් දුන්නේ ජනවාරි 08 වැනිදා ය. දහනවය සම්මත වූයේ අප්‍රේල් 23 වැනිදා ය. එයට කතානායකවරයා විසින් අත්සන් තබා ඇත්තේ, මැයි 15 වැනිදා ය. සාමාන්‍යයෙන් පනතක් සම්පූර්ණ වශයෙන් සම්මත වූවා සේ සැලැකිල්ලට ලක් වන්නේ කතානායකවරයා අත්සන් කළ දිනයයි. ඒ අනුව පැහැදිලිව ම දහනවය සම්මත වූ දිනය වන්නේ මැයි මස 15 වැනිදා ය. මෛත්‍රීපාල මහතාගේ අවුරුදු පහේ කාලසීමාව ආරම්භ වන්නේ මැයි 15 වැනිදා සේ තීන්දුවක් ලැබුණහොත්, ජනාධිපතිවරණය එන වසරේ මාර්තුවල දී ය. අප්‍රේල් 21 ප‍්‍රහාරයට පෙර මෛත්‍රීපාල මහතා මෙය උසාවියෙන් අහන්න යන බවට ප‍්‍රචාරයක් පැතිරී තිබිණි. දැන් එය තාවකාලිකව යටපත් වී ඇත.
වෙච්ච දේවල්වල හැටියට ළඟ දී එන ජනාධිපතිවරණයකින් මෛත්‍රීපාලට ඇඩ‍්‍රස් නැතිව යන්නේ ය. ඒ නිසා මේ ජාතියේ වැඩකින් හෝ කල් දා ගත්තොත්, මාස හතර පහකට හෝ ඔහුගේ ප‍්‍රශ්නය විසඳා ගත හැකි වනු ඇත. මුළු රටේ ම මිනිස්සු බණින්නේ මෛත්‍රීපාලට ය. ඔහු මෙයට වගකිව යුතු ප‍්‍රධානියා වන්නේ ය. රාජ්‍යයේ නායකයා, සේනාධිනායකයා සහ ආණ්ඩුවේ නායකයා පමණක් නොව රටේ ම ආරක්‍ෂාව පිළිබඳ අමාත්‍යවරයා ද ඔහු වන්නේ ය. ආරක්‍ෂක ඇමති ධුරයට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය ද එක් කර ගත්තේ ය. එහෙම බැලුවා ම ත්‍රීවිධ හමුදාව, පොලිසිය සියල්ල ඇත්තේ, ඔහු අතේ ය. ඒ සියල්ල තිබිය දීත් රටේ ජනතාව ආරක්‍ෂා කරන්න බැරිවුණා නම්, ඔහු පැහැදිලිව ම මෙහි වගකීම භාරගත යුතු ය. එහෙත්, මේ වන තෙක් ඔහු එසේ වගකීම භාර නොගත්තේ ය. ඒ වෙනුවට එකිනෙකාට දොස් කියමින්, “මම සුදනා මම සුදනා” යැයි කියන්නට උත්සාහ දරන්නේ ය. සිද්ධිය දැනගත්තේ පසුව නම්, ඒ දැනගත් මොහොතේ ඉඳන් පැය කීපයකින් ලංකාවට එන්න තිබුණේ ය. ඒ ආවෙත් දවස් දෙකකට පසුව ය. ආපු ගමන් කිව්වේ, මෙය සිදු වන බවට වූ තොරතුරු කිසිවක් තමන් ආරක්‍ෂක ඇමතිවරයා ලෙස කලින් දැන නොගත් බව ය. අන්තිමේ දී වැරැද්ද පැටවූයේ, ආරක්‍ෂක ලේකම්වරයාට සහ පොලිස්පතිවරයාට ය. පොලිස්පතිවරයා අනිවාර්ය නිවාඩු යැව්වේ ය. වැඩ බලන පොලිස්පතිවරයකු පත් කළේ ය. දහනව වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව මෙය එසේ කළ හැක්කක් නොවේ ය. පොලිස්පති පිළිබඳව විනය ක්‍රියාමාර්ගයක් ගන්නවා නම්, එය ගත යුතු වන්නේ පොලිස් කොමිසම හරහා ය. ක‍්‍රමවේදයට පටහැණිව මෙය සිදු කර ඇත. රටේ ජනතාවගේ පැත්තෙන් පොලිස්පති පිළිබඳව ප‍්‍රසාදයක් නැති නිසා එයට විරෝධයක් එල්ල වී නැත. ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ඉල්ලා අස්වුණේ නැත්නම්, අස්කිරීමේ බලය ජනාධිපතිවරයාට ඇත. එහෙත්, පොලිස්පතිවරයා ඉවත් කිරීමේ බලයක් ඔහුට නැත. එය කළ හැක්කේ, පාර්ලිමේන්තුව මඟින් ගෙන එනු ලබන විශ්වාස භංග යෝජනාවක් සම්මත කිරීමෙන් ය. මෛත්‍රීපාල මේ සියල්ල නොදන්නවා නොවේ ය. එහෙත්, ඔහුට අවශ්‍ය වුණේ, තමන්ගේ වැරැද්ද වහගන්න කාගේ හරි පිටේ පැටවීමට ය.
සිද්ධිය පිළිබඳව සොයාබලා වාර්තාවක් ඉදිරිපත් කරන්න ත්‍රිපුද්ගල කමිටුවක් ද පත් කළේ ය. කමිටුව මඟින් අන්තර්කාලීන වාර්තාවක් මේ වන විට ලබා දී ඇත. එකී වාර්තාව මත පදනම්ව යම් යම් ක්‍රියාමාර්ග ගන්නා බව මෛත‍්‍රීපාල පවසයි. එහෙත්, මෙම කමිටුවේ නීත්‍යනුකූලභාවයේ ප‍්‍රශ්නයක් ඇත. එය කිසිසේත් ම ජනාධිපති විශේෂ කොමිසමක් නොවේ ය. එවන් කොමිසමක් නම්, අදාළ අරමුණු හා කාර්යභාරයන් සඳහන් වූ ගැසට් පත‍්‍රයක් මඟින් පත්කළ යුතු ය. මෙම කමිටුව එවන් ක‍්‍රමවේදයකට අනුව පත්කළ එකක් නොවේ ය. එබැවින්, එකී වාර්තාව මත පදනම්ව යම් යම් තීරණ ගන්න ගියොත්, ඒ අයගේ පැත්තෙන් එය ප‍්‍රශ්න කළ හැකි ය. නීතිය ඉදිරියේ කමිටු වාර්තාව කෙතරම් වලංගු ද යන්න පැනනැඟීමෙන් ප‍්‍රශ්නය තවත් අවුල්සහගත තත්ත්වයකට පත් වේ. මෙහෙ ම බලාගෙන යන කොට කලබල වෙලා කරන කරන වැඩේ අවුල් කර ගන්නේ ය. නැති අවුල් ඇති කර ගන්නේ ය.
මෙවන් තත්ත්වයක් තුළ ප‍්‍රහාරයට අදාළව දැඩි ක්‍රියාමාර්ග ගත්තා යැයි කියන්නට ඉඩක් නැත. කියපු කරපු හැම දේකින් ම තිබුණු ලකුණු ටිකත් නැති කර ගත්තේ ය. කුඩු අල්ලන මෙහෙයුම තමන් කළා යැයි දා ගත්ත ලකුණු ටික ඒ පොලිසිය ම තියෙද් දී පල්ලි ටික ආරක්‍ෂා කර ගන්න බැරිවීමෙන් නැති කර ගත්තේ ය. කුඩු අල්ලපු එකෙන් ජනතාවගේ ප‍්‍රසාදයක් වුණු බව සැබෑ ය. එහෙත්, මේ වෙච්ච විනාශය කිසිදා කිසිලෙසකින් හෝ ආපසු හරවන්න පුළුවන් එකක් නොවේ ය. මෙවන් තත්ත්වයක් තුළ තමන්ගේ අනාගත බලය පිළිබඳ බලාපොරොත්තුව සුනුවිසුණු වී ගොස් අවසන් ය. නමුත්, තව තවත් දඟලන්නේ කෙසේ හෝ බලය පවත්වාගෙන යන්නට ය. ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර දරුණු ඝට්ටනයක් ඇති වී තිබෙන්නේ බලය පිළිබඳ ප‍්‍රශ්නය මුල්කරගෙන ය. දෙදෙනා අතර ගැටුම් මුළු රට ම දැක්කේ ය. රට විතරක් නොව මුළු ජාත්‍යන්තරය ම දැක්කේ ය. ජාත්‍යන්තර විහිළුවක් බවට පත් වුණේ ය. දෙන්නා වෙන වෙන ම ප‍්‍රකාශ කරන්නට පටන් ගත්තේ ය. එකිනෙකාට නම නොකියා දොස් පවරන්නට ගත්තේ ය. ආරක්‍ෂක කවුන්සිලය කැඳවන්න අවසර නොදුන්නේ ය. තවත් අවුල් ජාලාවන් කර ගත්තේ ය. මෙවන් තත්ත්වයක් තුළ මෛත්‍රීපාලගේ ජනාධිපතිවරණ අපේක්‍ෂකත්වය ගැන හිතන්නටවත් බැරි ය.
යම්තම් හරි ගැලවිල්ලට පොටක් තිබුණා නම්, තිබුණේ උසාවියේ ය. එනම්, තමන්ගේ අවුරුදු පහ පටන් ගන්නේ කවදා ද යන්න අර්ථනිරූපණය කර ගැනීමෙන් ය. එහෙත්, අගවිනිසුරු පත්කළ ආකාරය අනුව අනෙකුත් විනිසුරුවරුන් එවැන්නකට ඉඩක් දේවි යැයි කොහොමවත් හිතන්නට බැරි ය. පොඩ්ඩක් හරි චාන්ස් එකක් තිබේ නම්, එය ද දැන් නැති කර ගත්තේ ය.
ප‍්‍රහාරය වෙච්ච දවසේ ඉඳලා රනිල් නානාප‍්‍රකාර දේවල් දොඩවන්නේ ය. මුලින් ම කීවේ මේ පිළිබඳ ආපු තොරතුරු කිසිවක් තමන් දැන නොසිටි බව ය. ඊ ළඟට කිව්වේ පසුගිය ඔක්තෝබර් 26 වැනිදායින් පස්සේ කිසි දවසක ආරක්‍ෂක කවුන්සිලයට තමන්ව හෝ රාජ්‍ය ආරක්‍ෂක ඇමති රුවන් විජේවර්ධනව හෝ කැඳවූයේ නැති බව ය. එය එසේ නම්, එය කලින් කිවයුතුව තිබුණා යන්න ඕනෑ ම පොඩි ළමයකුට වුවත් තේරෙන දෙයක් ය. ඒ අතරේ අන්තවාදීන් අල්ලා ගන්න බැරි වුණේ ප‍්‍රමාණවත් නීති නැති නිසා යැයි ද කිව්වේ ය. ප‍්‍රතිත‍්‍රස්ත පනත පාර්ලිමේන්තු කමිටුවේ පොල් ගාන්නේ නැතිව ඉක්මනින් ගේන්න යැයි ද කිව්වේ ය. එදා නීති නැත් නම්, අද කොහොම ද මෙතරම් වැටලීම් කරමින්, අන්තවාදීන් අල්ලන්නේ යන ප‍්‍රශ්නය එන්නේ ය. සැබැවින් ම නීතියේ ප‍්‍රශ්නයක් නොව ලැබුණු තොරතුරු මත ඉක්මන් දේශපාලන තීන්දු නොගැනීම මෙයට ප‍්‍රධාන හේතුව ය. එය නොකියා වෙන වෙන අපබ‍්‍රංස කියමින්, මොළේ අවුල් වුණ තත්ත්වයකට රනිල් පත් වුණේ ය. දෙමළ, මුස්ලිම් ඡන්දවලින් ජනාධිපතිවරණය ගොඩ දා ගන්න හිටියා නම්, වෙච්ච සිද්ධියෙන් එය මුළුමනින් ම වෙනස් වුණේ ය. කලින් අහෝසි කරන්න කැමැත්තෙන් හිටපු විධායක ජනාධිපති ක‍්‍රමය නැවත ඕනෑ යන තත්ත්වයට ආවේ ඒ ඡන්දවලින් දිනන්න පුළුවන් යැයි හිතාගෙන ය. එහෙත්, ප‍්‍රහාරය සහ ඉන් පසුව ඇති වූ තත්ත්වය හමුවේ රනිල්ට ඉක්මන් ජනාධිපතිිවරණයක වාසියක් හිතන්නටවත් බැරි ය.
මොකවත් ම නොකර මාධ්‍යයට එක එක කතා කියමින්, ලකුණු දා ගැනීමට උත්සාහ ගත්තේ මහින්ද රාජපක්‍ෂ ය. ආරක්‍ෂාව නැතිකිරීමේ වැරැද්ද මුළුමනින් ම ආණ්ඩුවට දැමීමෙන් ඒ වාසිය මහින්දට එන්නේ නිකම් ම ය. දේශපාලන අර්ථයෙන් ගත්තොත්, මහින්ද පිලට මෙය ස්වීප් ටිකට් එකක් ඇදුණා වාගේ ය. මොන පැත්තෙන් ගත්තත් වාසිය ඇත්තේ ඔහුට ම ය. ඒ නිසා ම දැන් මහින්ද මැයි දින රැස්වීමේ දී “අපි ඊ ළඟ ආණ්ඩුව හදනවා” යැයි කියන්නේ ය. මහින්දගේ කුට්ටො, බැට්ටො ඔක්කො ම කියන්නේ ඒක ම ය. මොන වාසිය ආවත් මහින්දට ඊ ළඟ ජනාධිපතිවරණයට ඉල්ලන්න හැකියාවක් නැත. හැකියාව ඇත්තේ, ගෝඨාභයට ය. ගෝඨාභය හදිසියේ ම එළියට බැහැලා කිව්වේ, “මම ජනාධිපති වුණා ම ඔය අන්තවාදය පරද්දනවා” කියා ය. ඒ අතර හදිසියේ ම ඇමෙරිකානු පුරවැසිකම ඉවත් කර ගත්තා. සියයට අනූවක් ම එහි වැඩ අවසන් යැයි ද කිව්වේ ය. ඊ ළඟට අපේ ආණ්ඩුවක් හදනවා යැයි ද කිව්වේ ය. ලැබුණු හැම අවස්ථාවක දී ම ඊ ළඟට තමන් බලය ගන්න විදිය පුන පුනා කිව්වේ ය. ගිය ගිය හැම තැන ම කිව්වේ, තමන් බලයට එන කතාව ම ය. රටට මෙච්චර විපතක්, විනාශයක් වෙලා තියෙද්දී ගෝඨාභයට ඕනෑ වුණේ, ඒකෙන් බලය ලබා ගැනීමට ය. බලය ගන්න එකට හැමෝට ම ආරාධනා කිරීමක් ද කළේ ය. ජනතාව විපතට පත්වෙලා වේදනාවෙන් ඉන්න වෙලාවේ ඔහු කිව්වේ, තමන් බලය ගන්නා විදිය ගැන ය. සැබැවින් ම සිදු වූ විපත රටේ ම ජනතාවගේ මළගෙයක් ය. ගෝඨාභය කළේ මළගෙදරට ඇවිල්ලා, තමන්ගේ මඟුලේ කාඩ් බෙදන එක ය. මළගෙදර දී මඟුල් ගෙදර කාඩ් බෙදන එක අන්තිම අසික්කිත, අශීලාචාර වැඩකි. අපේ රටේ පොදුමහත් සංස්කෘතියට පටහැණි දෙයකි. සදාචාර විරෝධී වැඩකි. ඒ කිසිවක් නොසලකා ඔහු කළේ ඒක ය. අදටත් කරමින් ඉන්නේ ඒක ය. කලින් පොඩ්ඩක් හරි කැමැත්තක් ගෝඨා කෙරෙහි තිබුණා නම්, ඒ හැමෝ ම මේ කරපු කතාවෙන් කලකිරුණහ. මේ වාගේ කැත කතාවක් ඔහුගේ කටෙන් පිට වේ යැයි කියලා හිතපු නැති හැමෝට ම ඒකෙන් ඔහුව එපා වන තත්ත්වයකට වැටුණේ ය.
මෙච්චර විපතක් වෙලා තියෙද් දී මේ කණ්ඩායම කිව්වේ, ආණ්ඩුව ඉල්ලා අස්වෙන්න ඕනෑ කියා ය. ඒ විතරක් නොව කරන්න පුළුවන් අයට භාර දීලා යන්න කියා ය. ජාතියට විපතක් වූ වෙලාවට පක්‍ෂ, පාට භේද නොසලකා, හැමෝ ම එකමුතු විය යුතු ය. එකා වගේ එකතුව විපතෙන් රට මුදාගත යුතු ය. ආරක්‍ෂක තත්ත්වය බිඳවැටුණු මෙවැනි මොහොතක ආණ්ඩුව ඉවත් වීම කොහෙත් ම ගැළපෙන්නේ නැත. එවිට අස්ථාවරත්වය, අරාජිකත්වය තවත් වැඩි වේ. හැමෝ ම එකතුවෙලා ආණ්ඩුවෙන් ගන්නා ආරක්‍ෂක ක්‍රියාමාර්ග ශක්තිමත් කරමින්, එයට සහාය දැක්විය යුතු ය. ඉල්ලා අස්වීම හෝ නොවීම සිදු විය යුත්තේ, මේ මොහොතේ නොව ඉදිරි කාලයේ දී ය. මේ මොහොතේ ආණ්ඩුවක් නැති වුණොත්, අන්තවාදීන්ට තව තවත් රිසි සේ ප‍්‍රහාර එල්ල කළ හැකි ය. එනමුත් මෙවැනි පටු තැනකට මහින්ද කණ්ඩායම වැටුණේ ය. කෙසේ හෝ බලය ලබා ගැනීම එක ම වුවමනාව බව අමු අමුවේ කැත විදියට පෙන්නුම් කළේ ය. අවස්ථාවාදී බල වුවමනාවත් එක්ක රටේ ජනතාව මේ හැමෝ ම ගැන කලකිරුණහ. තවමත් ඉන්නේ ඒ කලකිරීමෙන් ය. මුළු පාර්ලිමේන්තුවට ම බෝම්බ ප‍්‍රහාරයක් දිය යුතු යැයි වූ පණිවුඩය මුහුණු පොත පුරා ප‍්‍රචාරය වන්නේ මේකත් එක්ක ය.
වෙච්ච ප‍්‍රහාරයෙන් වේදනාවට පත් වුණාටත් වඩා වැඩියෙන් මේ දේශපාලනඥයන්ගේ ප‍්‍රකාශවලින් ජනතාව වේදනාවට පත් වූහ. සිදු වූ විපත එකිනෙකාගේ පටු බල වුවමනාවන් වෙනුවෙන් යොදා ගන්නා හැටි කවුරුත් දැක්කේ ය. කොටින් ම කිවහොත්, බොර දියේ මාළු බා ගන්නා තත්ත්වය කාටත් දැකගත හැකි විය. මැල්කම් රංජිත් කාදිනල්තුමා වරින්වර මේ පිළිබඳව තමන්ගේ විවේචනය එල්ල කළේ ය. ජාතික ආණ්ඩුවක් හදනවා නම්, මේක තමයි’, හොඳ ම අවස්ථාව යැයි කිව්වේ ඉවසා ගන්න බැරි ම තැන ය. දේශපාලන බලපොරය ආණ්ඩුව ඇතුළෙත් ආණ්ඩුවෙන් එළියෙත්, එකිනෙකා අතරත් දකින්නට විය. මෙය ජනතාවගේ පැත්තෙන් ගත්තොත්, පාඩම් ඉගෙන ගන්නවා නම්, හොඳ ම අවස්ථාවකි.
උමතු ආගමික අන්තවාදීන් ආගම වෙනුවෙන් කොතරම් සාහසික වී ඇත් ද, ඒ පමණින් ම ධනපති දේශපාලනඥයන් බලය වෙනුවෙන් සාහසික වී ඇත. එකෙක් පරයා අනෙකා නැඟීසිටීම නින්දිත විදියට ම දැක්කේ ප‍්‍රහාරයෙන් පසුව ය. තවමත් රෝහල්වල ප‍්‍රතිකාර ලබමින් සිටින අයට මෙය දරාගත නොහැකි වේදනාවකි. තමන්ගේ ඇඟේ තුවාලයෙන් දැනෙන වේදනාවට වඩා වැඩි එකකි. ප‍්‍රහාරයෙන් පසුව ඇති වූ මේ තත්ත්වයෙන් කලකිරුණු ජනතාව දැන් ඉන්නේ මුන් එකෙකුටවත් ආයෙ නම්, බලය දෙන්නේ නැහැ යන අදහසේ ය. ඒ නිසා ම උඩුයටිකුරු වූ දේශපාලනයේ කාටවත් ජනාධිපතිවරණ ජයග‍්‍රහණයක් ගැන සිහින මවන්නට හැකියාවක් නැත. කවුරු කොහො ම දැඟලූවත් ඇත්ත තත්ත්වය ඒක ය. මළ මිනීවලින් බලය ගන්නට හදන හැමෝ ම අවස්ථාවාදී පටු දේශපාලන වුවමනාවන්ගෙන් පෙළෙන බව ජනතාව වටහාගෙන අවසාන ය. දැන් ජනතාව කියන්නේ, ‘ඔය බලපොරය අපට වැඩක් නැහැ. අපේ ජීවිත ආරක්‍ෂා කරලා දියවු’ කියා ය. ආරක්‍ෂාව දෙනවා කියා තව තවත් මර්දන නීති ගෙන ඒම නොවේ ය. ජනතාවගේ ආරක්‍ෂාව වාගේ ම ජනතාවගේ නිදහසත් වැදගත් ය. ඒ නිසා මේ තත්ත්වය පාවිච්චි කර ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී අණපනත් සම්මත කර ගන්නට ඉඩ නොදිය යුතු ය. ආරක්‍ෂාව වාගේ ම නිදහස දිනාගැනීමත් එක සේ ම වැදගත් ය. ඒ අර්ථයෙන් සිදු වූ දෙයින් වාසි ගන්නවුන් ප‍්‍රතික්ෂේප කරමින්, ආරක්‍ෂාවත්, නිදහසත් දිනාගන්නා තැනකට ජනතාව පෙළගැසිය යුතු වේ.
ලංකා