Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

දිනය ඉකුත් 18 වනදාය. හෝරාව සටහන්ව පැවතියේ ශ‍්‍රී ලංකා වේලාවෙන් අලූයම 2.16 ට ආසන්නවය. සියල්ල නියමිත වේලාවට සිදුවෙමින් පැවැති අතර, ‘රාවණා I’ චන්‍ද්‍රිකාව රැගත් අභ්‍යවකාශ යානාව යෝධ අග්නි ජාලාවක් නිකුත් කරමින් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගමන් කිරීම ආරම්භ විය. ඇමරිකා එක්සත් ජනපදයේ වර්ජිනියා ප‍්‍රාන්තයෙන් ගමන් ආරම්භ කළ ‘සිග්නස්’ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ළඟා වීමට නියමිතව පැවතියේ මෙරට වේලාවෙන් ඉකුත් 19 දා ප. ව. 6.30 ට පමණය.

එම අසිරිමත් දසුන දෙස දෑස් දල්වා බලා සිටි පිරිස අතර ශ‍්‍රී ලාංකික ඉංජිනේරු දූ පුතුන් දෙපළක් විය. ජපානයේ ක්‍යුෂු තාක්‍ෂණික අධ්‍යාපන ආයතනයේ (Kyoshu Institute of Technology) හි පිහිටි යෝධ රූපවාහිනි තිරයක් මත එම සජීවී දසුන් පෙළ නරඹමින් සිටි ශ‍්‍රී ලාංකික දූ පුතුන් දෙපළ වූවේ තරිඳු දයාරත්න සහ දුලානි චාමිකා විතානගේ ය. කාලයක් තිස්සේ තමන් දුටු සිහිනයක් ‘සැබෑවක්’ බවට පත් කළ එම සිදුවීමෙන් අනතුරුව ජාත්‍යන්තර මාධ්‍යයට අදහස් දක්වමින් ඔවුන් පවසා සිටියේ ‘රාවණා I’ චන්‍ද්‍රිකාව රැගත් සිග්නස් අභ්‍යවකාශ යානාව ගුවන්ගත වන තුරු ඔවුන්ගේ හදවත් චකිතයෙන් පිරී පැවති බවත්, එය සාර්ථකව ගුවන්ගත වනු දැක තමන් අපමණ ප‍්‍රීතියට පත් වූ බවත් ය.

ශ‍්‍රී ලාංකිකයන් විසින් නිපදවන ලද ප‍්‍රථම චන්‍ද්‍රිකාව වන ‘රාවණා I’ හි නිර්මාතෘවරුන් වන්නේ ඉහත නම සඳහන් අනගි ශ‍්‍රී ලාංකික දූ පුතුන් දෙපළය. ශ‍්‍රී ලාංකික අභ්‍යවකාශ තාක්‍ෂණයේ ස්වර්ණමය යුගයක් ආරම්භ කරමින් ඉකුත් දා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙන ගිය ‘රාවණා I’ චන්‍ද්‍රිකාව කක්‍ෂගත කිරීමට නියමිතව පවතින්නේ මැයි මස අවසන් සතිය තුළ හෝ ජුනි මස පළමු සතිය ඇතුළත දිනයක් තුළය.

‘රාවණා I’ සම නිමැවුම්කරුවන් වන තරිඳු දයාරත්න සහ දුලානි චාමිකා විතානගේ යනු මේ වන විට ලොව පුරා කථාබහට ලක්වී ඇති ශ‍්‍රී ලාංකික දූ පුතුන් දෙපළක් ය. පින්නවල ජාතික පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබූ තරිඳු පේරාදෙණිය සරසවියේ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු උපාධිධාරියෙක් ය. ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂණ ඉංජිනේරුවරයෙක් ලෙස කටයුතු කරමින් ‘බර්ඞ් - 3’ ව්‍යාපෘතිය යටතේ ‘රාවණා I’ නිපදවීම පිණිස සම දායකත්වය ලබා දී ඇති තරිඳු මේ වන විට පසුවන්නේ ජපානයේ ක්‍යුෂූ තාක්‍ෂණික අධ්‍යාපන ආයතනයේ පශ්චාත් උපාධියක් හදාරමින් ය.

‘රාවණා I’ නිපදවීමේ සම දායකත්වය ලබා දුන් ශ‍්‍රී ලාංකික දියණිය වන්නේ දුලානි චාමිකා විතානගේ ය. පන්නිපිටිය ධර්මපාල විදුහලේ සහ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විදුහලේ ආදි සිසුවියක් වන දුලානි තායිලන්තයේ විශ්වවිද්‍යාලයක විද්‍යුත් යාන්ත‍්‍රික විද්‍යාව පිළිබඳ උපාධිධාරිනියකි. කුඩා කල පටන් අභ්‍යවකාශ තාක්‍ෂණය හැදෑරීම පිණිස ඉමහත් ඇල්මක් දක්වා ඇති දුලානි සිය අනගි නිමැවුම වන ‘රාවණා I’ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගමන් අරඹන අයුරු නැරඹීමෙන් අනතුරුව ප‍්‍රකාශ කර ඇත්තේ ඉදිරියේදී තමන් විසින් අභ්‍යවකාශ ඉංජිනේරු තාක්‍ෂණය සම්බන්ධ ආචාර්ය උපාධියක් හැදෑරීමට අපේක්‍ෂාවෙන් සිටින බවය. එහිදී ඇය විසින් වැඩිදුරටත් පවසා සිටින්නේ තම දැනුම භාවිත කොට ඉදිරියේදී ශ‍්‍රී ලංකාවේ අභ්‍යවකාශ තාක්‍ෂණය ඉහළ නැංවීම පිණිස සිය දායකත්වය ලබා දෙන බවත් ය. දුලානි චාමිකා විතානගේ මේ වන විට ජපානයේ පශ්චාත් උපාධියක් හදාරමින් සිටින්නීය.

ඉකුත් 18 දා ‘රාවණා I’ අභ්‍යවකාශ යානාව ගුවන්ගත වන අයුරු මෙරට වැසියන්ට ද සජීවී අයුරින් දැක බලා ගැනීමේ අවස්ථාව උදා විය. මාධ්‍ය මගින් ඒ සඳහා වැඩි ඉඩක් වෙන් කර දී තිබිණි. ඒ හරහා ‘රාවණා I’ සම නිමැවුම්කරුවන් වන තරිඳු සහ දුලානි පිළිබඳ රටම කතා බහ කරන්නට ගත් අතර, ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු සොයා බැලීම පිණිස බොහෝ දෙනෙක් උනන්දුවක් දක්වන ලදී. එහි ප‍්‍රතිඵලයක් ලෙස මෙරට මාධ්‍ය ආයතන කීපයකට අයත් මාධ්‍යවේදීන් තරිඳු සහ දුලානිගේ ගම්බිම් සොයා ගිය අතර එහිදී තරිඳු සහ දුලානිගේ මවුවරුන් මාධ්‍යයට අදහස් දක්වමින් ප‍්‍රකාශ කර සිටියේ මවුවරුන් ලෙස තම දරුවන් පිළිබඳ මහත් සතුටට පත්වන බවකි.

එහිදී දැනට දුරු රට සිටින තම දියණිය පිළිබඳ අදහස් දක්වමින් දුලානිගේ මව සඳහන් කර සිටියේ කුඩා කල පටන් සිය දියණිය වන දුලානි අභ්‍යවකාශ තාක්‍ෂණය පිළිබඳ ඇල්මක් දැක්වූ බවත් ඒ පිළිබඳ තොරතුරු සොයා බැලීම පිණිස මහත් කැමැත්තක් දැක්වූ බවත් ය.

තම පුතණුවන් පිළිබඳ අදහස් දැක්වූ තරිඳුගේ මව ප‍්‍රකාශ කර සිටියේ තම පුතණුවන්හට අධ්‍යාපනය ලබාදීම පිණිස ඇය විසින් නොගත් උත්සාහයක් නැති බවය. 

පුතණුවන් පිළිබඳ උපන් අනුපමේය සෙනෙහසින් යුතුව ඇය විසින් සිදුකරන ලද ප‍්‍රකාශය බොහෝ දෙනකුගේ දෑසට කඳුළු නැංවූ හැඟුම්බර ප‍්‍රකාශයක් විය. තරිඳුගේ පියාණන් මිය යෑමත් සමග දැඩි ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දෙන තරිඳුගේ මව රස කැුවිලි අලෙවිය පිණිස කඩයක් පාසා පා ගමනින් ගිය දිරිය කාන්තාවක්ය. කෑගල්ලේ පිහිටි දුප්පත් නිවසට වී තම පුතණුවන්ගේ දස්කම් දෑසින් දැක ගනිමින් ඇය පවසා සිටින්නේ තමන් ලබන සතුට වචනයෙන් විස්තර කළ නොහැකි එකක් වන බවය. 

ඇය තම පුතණුවන්ගේ දස්කම් පිළිබඳ කීප වරක් ප‍්‍රදේශයේ ජනතා නියෝජිතයන් හමුවේ පවසා ඇතත් ඒ සෑම අවස්ථාවකදීම ඇයට ලැබී ඇති පිළිතුර වී ඇත්තේ ‘‘සලකා බලන්නම්’’ පමණය.

කිසිවක් හමුවේ නොසැලූන ඉංජිනේරු තරිඳු දයාරත්න තම දස්කම් මේ වන විට ලොවක් හමුවේ ප‍්‍රදර්ශනය කර අවසන් ය. ඒ සඳහා ඉංජිනේරු දුලානි චාමිකා විතානගේ විසින් සිය දායකත්වය ද සපයනු ලබන්නේය. ශ‍්‍රී ලාංකික ඉංජිනේරු දෙපළක් වන මෙම දිරිය දූ පුතුන් දෙපළ පිළිබඳව නුදුරේදී හෝ රට කරවන ඇත්තන්ගේ අවධානය යොමු විය යුතුය. ජාතිය සතු අනගි මිණි මුතු වැනි මෙවැනි දූ පුතුන්ගේ හැකියාවන් ජාතියේ යහපත පිණිස වඩ වඩාත් යොදාගත හැකි වන්නේ එවැනි මැදිහත්වීම් තුළ බව බොහෝ දෙනකුගේ මතය බවට පත් වී ඇත.

මෙම සටහන නිමා කිරීමට මත්තෙන් වැදගත් කරුණක් මෙහිලා සටහන් කළ යුතුය. එය තරිඳු විසින් තම චන්‍ද්‍රිකාවේ තබන ලද සටහනක් ය. තමන් අධ්‍යාපනය ලද විදුහලත්, විශ්වවිද්‍යාලයේ නාමය රාවණා I’ චන්‍ද්‍රිකාවේ සටහන් කොට තැබීමට තරිඳු තීරණය කරන අතර එය විශ්වයට මුදා හරිමින් තරිඳු විසින් සිදුකර ඇත්තේ තමන් ලද අධ්‍යාපනයට ගෞරව උපහාර දැක්වීමක්ය.

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook