Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

මුහුණ සම්පූර්ණයෙන්ම ආවරණය වන ආකාරයෙන් මුස්ලිම් කාන්තාවන් පළඳින බුර්කාව හැඳීම තහනම් කිරීම සම්බන්ධයෙන් පසුගියදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය විසින් යෝජනාවක් ගෙන ආ අවස්ථාවේදී, එවැනි යෝජනාවක් මුස්ලිම් ප්‍රජාව හරහා ඉදිරිපත්වීම වඩාත් සුදුසු බවට තමා විසින් යෝජනා කළ බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසිය.

ඇමතිවරයා එබව සඳහන් කර සිටියේ, බුර්කා තහනමට මංගල සමරවීර මහතා කැබිනට් මණ්ඩලය තුල විරෝධය පළකිරීම නිසා එම යෝජනාව හකුලා ගැනීමට සිදුව ඇතිබවට පලවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් 'ශ්‍රී ලංකා මිරර්' කල විමසීමේදීය.

තලතා අතුකෝරල අමාත්‍යවරිය එම යෝජනාව ඉදිරිපත්කල අවස්ථාවේදී තවත් ඇමතිවරු කිහිපදෙනෙකු එම යෝජනාව අගයකරමින් ප්‍රංශයේ පවා බුර්කාව තහනම් කර ඇති තත්වයක් තුල ලංකාවේ ද වහාම බුර්කාව තහනම් කලයුතු බවට අවධාරණය කර තිබේ. ඊට මාධ්‍ය ඔස්සේ පුළුල් ප්‍රචාරයක් ද ලැබී තිබිණ.

ඒ සම්බන්ධයෙන් 'ශ්‍රී ලංකා මිරර්' වෙත කරුණු පැහැදිලිකල මංගල සමරවීර අමාත්‍යවරයා, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් අති බහුතරයක් ශ්‍රී ලාංකීය මුස්ලිම් ප්‍රජාව බලවත්සේ කම්පනයට පත්වී සිටින අවස්ථාවක මෙවැනි යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය විසින් සම්මත කිරීම අනුවන ක්‍රියාවක් බව තමාගේ ස්ථාවරය වූ බව කියා සිටියේය.

මේ අවස්ථාවේදී මෙලෙස මුස්ලිම් ජනතාවට බලපෑම් කිරීම යුක්තිසහගත නොවන හෙයින්, පවතින තත්වය තුල මුස්ලිම් ප්‍රජාවෙන්ම එවැනි යෝජනාවක් ඉදිරිපත්වීමේ වැදගත්කම සලකා මෙම යෝජනාව ඉල්ලා අස්කර ගන්නා මෙන් තමන් තලතා අතුකෝරල ඇමතිවරියගෙන් ඉල්ලා සිටි බවත් ඔහු කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මංගල සමරවීර මහතා මෙසේද පැවසිය.

''පළමුවෙන්ම මේගැන යෝජනාවක් කළේ මමයි''

''අපි කලබලයෙන් කරන මෙවැනි යෝජනා ISIS අන්තවාදීන් තමන්ගේ වාසියට යොදාගැනීමේ අවධානම ගැනත් අපි හිතන්න ඕන. මුස්ලිම් අන්තවාදීන්ගේ ප්‍රහාරවලට ලක්වූ බටහිර රටවල් පවා මෙවැනි කරනා ගැන සැලකිලිමත් වෙලා තමයි තීන්දු තීරණ ගන්නේ.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පස්සේ තිබුන පළමු අමාත්‍යමණ්ඩල හමුවේදී බුර්කාව සම්බන්ධයෙන් පළමුවෙන් ම ඉල්ලීමක් කලේ මම. ඒ මුස්ලිම් ඇමතිවරුන්ගෙන්. එදා මම මුස්ලිම් ඇමතිවරුන්ට කිවා බුර්කා පැළඳීම ගැන ඔයාලම සාකච්ජා කරලා ඒ වෙනුවට වෙනත් විකල්පයක් ගැන යෝජනාවක් ඉදිරිපත් කරන්න කියලා.

මුස්ලිම් ඇමතිවරුන්ගෙන් ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබුනා. එයාල කිවා ඉස්ලාමීය ප්‍රජාව නියෝජනය කරන සමස්ත ලංකා ඉස්ලාම් ආගමික වියතුන්ගේ සංගමය (සමස්ථ ලංකා ජම්ඉයියතුල් උලමා) දැනටමත් ඒගැන සාකච්ජා කරලා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන්න සුදානම් කියලා. ඉන්පස්සේ එම සංවිධානයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත්කරලා තිබුනා.

ඒ අනුව සමස්ථ ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය සියලුම මුස්ලිම් කාන්තාවන් වෙත ඉල්ලිමක් කරමින් රටේ පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් ප්‍රසිද්ධ ස්ථානවල ගමන් බිමන් යාමේදී මුහුණු ආවරණ ඉවත් කරගෙන යන ලෙසට දැනුම් දී තිබුනා.

මද්රසා පාසල්

ඇත්තටම මම මුස්ලිම් ජාතික ඇමතිවරුන්ට කිවේ බුර්කාව විතරක් නෙමෙයි, ඉස්ලාමිය ධර්මය උගන්වන මද්රසා පාසල් වල විෂය නිර්දේශය, ඒවගේම ඒවායේ උගන්නන විදෙස් ගුරුවරුන් ගැන, අන්තවාදී මුස්ලිම් පුජකයින් ගැන මිටවඩා සැලකිලිමත් වීම අතිශයින් වැදගත් කියලා.

සියලුම මුස්ලිම් ඇමතිවරුන් ඒ මතය එකහෙලා පිළිගත්තා. මුස්ලිම් ප්‍රජාවෙන්ම විකල්ප යෝජනා ඉදිරිපත් කරන්න ඔවුන් එකඟ වුනා. එහෙම සාකච්ජා කරලා පොදු සම්මුතියක් ඇති කරගැනීමට ඔවුන්ගෙන්ම යෝජනා ලබාගන්නවා මිසක මෙහෙම යෝජනා ගෙනත් බලපෑම් කිරීම වසර ගණනාවක් අපි විසින් ගොඩනැගු සහජීවන ප්‍රතිපත්තියට එරෙහිවීමක් විදියටයි මම දකින්නේ.

ප්‍රංශය අනාගාමික රාජ්‍යයක් (secular states) !

ඇතැමුන් කියනවා ප්‍රංශයේ බුර්කාව තහනම් කරලා කියලා. අපට බැරි ඇයි කියලා අහනවා. ඔව් ප්‍රංශයේ බුර්කාව විතරක් නෙමෙයි කුරුසයත් තහනම්. මොකද ප්‍රංශය අනාගාමික රාජ්‍යයක් (secular states). ඒ අනුව රාජ්‍යය විසින් පිළිගත් නිල ආගමක් රාජ්‍යයට නැහැ. එහෙම රාජ්‍යයක ඇමතිවරුන්ට පිරිත් නුල් බඳින්නත් බැහැ.

එත් රටවල් කිහිපයක් බුර්කාව තහනම් කරලා තියන එක ඇත්ත. අපිත් රාජ්‍ය ආරක්ෂාවට බලපාන මෙවැනි කරුණු මුස්ලිම් ප්‍රජාවෙන්ම යෝජනාවක් ලෙස ගෙන නීති සැකසීම ක්‍රියාත්මක කිරීම වැදගත්. ''




මුස්ලිම් කාන්තාවන්ගේ හිස් ආවරණ - මුස්ලිම් අන්තවාදයට එරෙහිව

මුහුණ සම්පූර්ණයෙන්ම ආවරණය වන ආකාරයෙන් මුස්ලිම් කාන්තාවන් පළඳින බුර්කාව හැඳීම තහනම් කිරීම සම්බන්ධයෙන් පාස්කු ඉරිදා ප්‍රහාරයට පසුදා (22) පැවති අමාත්‍ය මණ්ඩල පුර්ව කැබිනට් මණ්ඩල හමුවකදී සාකච්ජාවී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමුකරන්නැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මුස්ලිම් ජාතික අමාත්‍යවරුන් ගෙන් ඉල්ලීමක් කර ඇති බව 'නිව්ස් ටියුබ්' වෙබ් අඩවිය පළමුවරට වාර්තා කර තිබිණ.

ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක මුස්ලිම් අන්තවාදයට එරෙහිව ප්‍රසිද්ධියේ මැදිහත්වන්නැයි ද ඇමතිවරයා මුස්ලිම් ජාතික අමාත්‍යවරුන් ගෙන් එහිදී ඉල්ලා ඇතැයි එම පුවත් වාර්තාවේ සඳහන් විය.

තමා ජිවිතයේ කිසිඳු අවස්ථාවක ජාතිවාදයට හෝ ආගම් වාදයට කිසිඳු ආකාරයකින් ගෑවී නැතිබව එහිදී පවසා ඇති මංගල සමරවීර මහතා, තමා සියලු ආකාරයේ අන්ත වාදයන්ට එරෙහි බවත් සිංහල අන්තවාදයට එරෙහිව ප්‍රසිද්ධියේම පෙනිසිට ඇතිබවත් සිහිපත් කරමින් එම ඉල්ලීම සිදුකල බව ද එම පුවත් වාර්තාවේ සඳහන් වේ.

මුස්ලිම් කාන්තාවන් පළඳින බුර්කාව වැනි ඇඳුම් පැළදුම් අනෙකුන් ජන කොටස්වලින් වෙන්වීමට හා සැකයට භාජනය වී ඇති බව එහිදී පවසා ඇති අමාත්‍යවරයා, එවැනි ඇඳුම් වලට එරෙහිව මුස්ලිම් ජන කොටස් අතරින් ම විරෝධයක් මතු කරන්නැයි ද මුස්ලිම් අමාත්‍යවරුන්ගෙන් ඉල්ලා තිබිණ.

එම රැස්වීමට සහභාගිව සිටි කබීර් හෂීම් සහ රිෂාඩ් බද්දුර්දින් වැනි අමාත්‍යවරුන් මංගල සමරවීර අමාත්‍යවරයාගේ යෝජනාව කෙරෙහි යහපත් ප්‍රතිචාරයක් දක්වා ඇත.

ආරක්ෂක හා වෙනත් සමාජීය හේතුන් ගණනාවක් සලකා බොහෝ රටවල් මේවනවිට බුර්කාව පැළඳීම තහනම් කර තිබේ.



මේ අතර 'වර්ගවාදයට එරෙහි තරුණ ව්‍යාපාරය' පවසන්නේ ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයක පසුගියදා පිපිරීම් සිදුවීමත් සමග මතුව ඇති බුර්කා විරෝධය සැකය, අවිශ්වාසය මුසු පීඩාවක් බවයි.

වර්ගවාදයට එරෙහි තරුණ ව්‍යාපාරයේ කැඳවුම්කරු තුසිත බාලසූරිය මහතා විසින් නිකුත්කර ඇති නිවේදනයක එබව සඳහන් වේ.

මුස්ලිම් කාන්තාවන්ගේ ඇදුමක් වන ‘බුර්කාව’ භාවිතය තහනම් කිරීම සදහා ආණ්ඩුව සුදානම් වෙද්දී නිකුත්කර ඇති එම නිවේදනයේ මෙසේ සඳහන් වේ.

''සාහසික බෝම්බ ප්‍රහාර මාලාවේ ලේ වියළී යාමටත් මත්තෙන් රට පුරා මුස්ලිම් විරෝධී මතවාද ගිනි ජාලා මෙන් පැතිර යයි. ඒ අතර මුස්ලිම් කාන්තාවන්ගේ බුර්කාවට එරෙහිව විශාල විරෝධයක් මතුවී ඇත.

එලෙස ඇදුමකට විරෝධය දැක්වීම මුස්ලිම් ජනතාවගේ නිදහසට බාධාවක් බව අප තරයේ විශ්වාස කරන නිසා බෝම්බ බිය පාදක කරගනිමින් මුස්ලිම් ජනතාවට එරෙහිව එවැනි පීඩාවන් එල්ල නොකළ යුතු බව අපගේ අදහසයි.

එය මුස්ලිම් ජනතාවගේ සංස්කෘතික අනන්‍යතාවයක් නොව අරාබිකරණය මගින් ඇති වුවක් බව විරෝධතාකරුවන්ගේ ප්‍රබල සටන් පාඨයකි. නමුත් මිනිසුන්ගේ ඇදුම් පැළදුම්වලට සීමා දැමීමට ගෝලීයකරණය තුළ ඉඩක් නොමැති බව ඔවුන් වටහා ගත යුතුය.

සෑම රටකම ඇදුම් පැළදුම්වලට අයත් විලාසිතා අද වනවිට ලෝකය පුරාම ව්‍යාප්තව ඇත. එහෙයින් ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාව අරාබි ඇදුමක් ඇදීම ගැන අමුතුවෙන් උදහස් විය යුතු නැත.

මුස්ලිම් විරෝධී ගින්නට පිදුරු:

කාලයකට පෙර බුර්කාවක් හැදගෙන ගිය පුරුෂයෙකුගේ වීඩියෝ පටයක්ද සමාජජාල තුළ නැවත සංසරණය වෙයි. එම විඩියෝ පටය බෙදාහරිමින් බුර්කා විරෝධීන් පවසන්නේ බුර්කාව ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බවය. එය මුස්ලිම් ජනතාව වෙත හෙලන සැක සහිත හා අවිශ්වාසය සහගත බැල්මකි.

ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇත්නම් ඊට නිසි ක්‍රියාමාර්ග ගැනීම ආරක්ෂක අංශවල වගකීම වන අතර එහි අඩුපාඩු වසා ගැනීමට මිනිසුන්ගේ රෙදි ගැලවීමට යාම මුග්ධ ක්‍රියාවකි.

බුර්කාවේ ස්ත්‍රී පීඩක අර්ථය ගැන සහ මුස්ලිම් ජාතියේ පුරුෂ මුලිකත්වය ගැන උනන්දුවක් දක්වන විද්වත් පිරිසගෙන් ඉල්ලා සිටින්නේ අනියමින් මුස්ලිම් විරෝධී ගින්නට පිදුරු නොදමන ලෙසයි.

සොයා ගැනීමට තවත් බෝම්බ තිබියදී මුස්ලිම් ජනතාව අරාබියට තල්ලු කරන ක්‍රියාවන් නොකර සැකය හා අවිශ්වාසය දුරු කොට වැටී ඇති ආර්ථික, සමාජ හා දේශපාලන ආගාධයෙන් ගොඩ එන මගක් සෙවිය යුතු බව වර්ගවාදයට එරෙහි තරුණ ව්‍යාපාරයේ මතයයි.''

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook