අදින් වසර එකසිය තිහකට පෙර කාලයේ ජපන් ජාතික ඉල්චිරෝ යාමා පරිසර හිතකාමී විස රහිත දඟරයක් නිපදවා තිබුණි. ඒ සඳහා ඔහු යොදාගෙන තිබුණේ යුරෝපයේ සහ පර්සියාවේ වැවෙන ෆයර්තර්ම් ශාකය හා ලීකුඩු බව කියයි. එතැනින් පසු ලොව පුරා වෙළෙඳපොළට විවිධ වෙළෙඳ නාමවලින් යුත් මදුරු දඟර ආවේය. ලංකාවේද අද වන විට මදුරු දඟරය ගෙදරකට අත්‍යවශ්‍ය භාණ්ඩයක් වී අවසන්ය. එවන් වකවානුවක මහනුවර තෙල්දෙණිය වේඬරුවේ අරුණා ශාන්තිත්, ඉල්චිරෝ යාමාට සමාන පරිසර හිතකාමී විස රහිත මදුරු දඟරයක් නිෂ්පාදනය කරන්නට සමත්ව සිටින්නීය.
“මම හදන කොයිල් එක අපේ දේශීය ශාක සාර වගේම දේශීය ඖෂධීය තෙල් වර්ගවලින් හදාගත් මිශ්‍රණයකින් තමයි හදන්නේ” අත ගෑවුණත් කැවුණත් ප්‍රශ්නයක් නෑ.
මේ මදුරු දඟරය ගෙදර පත්තු කළාම පැඟිරි සුවඳට මුසු සුවඳක් විඳගන්න පුළුවන්. දුම සැරක් නැහැ. බුදුන්ට පූජා කරන හඳුන්කුරකින් හමන සෞම්‍ය සුවඳක් තමයි එන්නේ. ඒ වගේමයි විශාල ගිනිදැල්ලක් එන්නෙත් නෑ. මම මේ මදුරු දඟරය නිෂ්පාදනයට ලී කුඩු, පට්ටකුඩු, කොහොඹ, පැඟිරි, කුරුඳු, සේර ඇතුළු අපි ආහාරයට ගන්න තව ශාක වර්ග හයක විතර කුඩු එකතු කරනවා.මේ මදුරු දඟරය පැය 10 ක් පත්තු වෙන්න හදල තියෙන්නෙ. මම මේ සඳහා භාවිත කරන ඖෂධ පිළිස්සීමේදී ඇතිවන දුමින් එන සුවඳ මදුරු විකර්ෂණයක්. අනික මදුරුවා මැරෙන්නෙත් නෑ. ඌ ඉවත්ව යාම වෙන්නෙ. භාවිත කරන අයට හානියකුත් නෑ”
සෞඛ්‍යාරක්ෂිත දුමක් අරුණා ශාන්තිගෙ මදුරු දඟරයෙන් නික්මෙන බව ශ්‍රී ලංකා කාර්මික ආයතනය සහතික කර ඇත. වෙළෙඳපොළ තුළ තිබෙන සාමාන්‍ය මඳුරු දඟර පැකැට්ටුවේම ඇල්ලූ පසු පවා සබන් දා සෝදාගත යුතු බව උපදෙස් සපයා තිබෙන්නෙ විස රසායන කීපයක්ම ඒ තුළ අඩංගු බැවිනි. සාමාන්‍යයෙන් සිදුවන්නේ මදුරු දඟර දුමින් මදුරුවාගෙ ඇස් අපහසුතාවට පත් කරවීමය. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විද්වතුන්ගේ මතය වන්නෙ විෂ සහිත මදුරු දඟර දුම මදුරුවාගේ පමණක් නොව එය මිනිස් ඇසේ කුණිතයටද දැඩි හානි පමුණවන බවය.
“මගේ ගම මහනුවර තෙල්දෙණියෙ වේඬරුවෙ. මම හොරණ කණන්විලට කසාද බැන්ද මගේ මහත්තයා එම්.කේ. කුසුම්තිලක. මට පුත්තුම තුන් දෙනෙක් ඉන්නවා”
ඇගේ පුතුන් තවමත් පාසල් වයසේ පසු වන්නන් ය. අරුණා ශාන්ති 1970 උපන්නියකි. ඈ විවාහයෙන් පසු සිය පවුල නගා සිටුවීමට තමන්ගේ දායකත්වය අප්‍රමාණව කැප කළ කාන්තාවකි. නිකම් ගෙදරට වී නොසිට කුමක් නමුත් ස්වයං රැකියාවක් කරන්නට තිබූ උනන්දුව නිසාම ඈ පාපිසි මසා කඩවලට දැමීම සිදුකර තිබේ. ඒ කාර්යය සාර්ථකව කරගෙන යාමේදී ඇගෙ පුතකුට ශ්වසන ගැටලුවක් මතුව ඒමෙන් වෛද්‍ය උපදෙස් මත පාපිසි මැසීම නවතා දමා ඇත. ඉන්පසු කුමක් කරන්නේදැයි සිතා සිටියදී හොරණ විදාතා මධ්‍යස්ථානයේ බිමමල් වගා පුහුණුවකට ගොස් තිබේ. වසර 3ක පමණ කාලයක් අති සාර්ථකව නිවසේම කළ බිම්මල් වගාවද හදිසි විපතක් හේතුවෙන් ඇයට නවතා දමන්නට සිදු විය. සාර්ථකව කරගෙන ගිය බිම්මල් වගාව දිගටම කරන ලෙසත් නොඑසේනම් නැවුම් කාර්යයක් කරන ලෙසත් ඇයට නිතර උපදෙස් දී තිබෙන්නෙ හොරණ විදාතා මධ්‍යස්ථානයේ ශිරාන් අලුත්ගේ මහතාය.
“ශිරාන් අලුත්ගෙ මහත්තය මට කිව්ව. ඔයා බිම්මල් වගාව නතර කළ එක පරාජයක්. ආයේ ඒක කරන්නෙ නැත්නම් විදාතා එකේ වෙන ස්වයං රැකියාවක් පුහුණු වෙන්න කියලා.
ඉතින් මම පාවහන් හදන පුහුණුවකට ගියා. මට ඒක එච්චරම හිතට හරි ගියේ නෑ. ඊට පස්සෙ මම විදාතා එකේම හඳුන්කූරු හදන පුහුණුවකට ගියා. ඉතින් ඒකෙදි සාමාන්‍ය සුවඳ හඳුන්කූරුම නෙවෙයි වෙන විශේෂ යමක් කරන්න හැකිදැයි මම කල්පනා කළා. ඒ පුහුණු කළ මහත්වරුන්ගෙනුත් මම ඒ ගැන ඇහුවා”
විදාතා හඳුන්කූරූ පුහුණුවෙන් පසු ඕ වෙනස් හඳුන්කූරක් හදන්නට දිවා රෑ කල්පනා කළාය.
“මම හදනවා මදුරුවන් පලවාහරින සුවඳක් තියෙන හඳුන්කූරක්” අරුණා අෑ සිතූ දෙය සිය සැමියාටද කිව්වාය. ඔහුද ඇයට සහයෝගය පෑවේය. ඒ සඳහා අවශ්‍ය දැනුම අෑ අමාරුවෙන් උපයන්නට පටන් ගත්තේ ඉන් පසුවය.
“මට හිතවත් දොස්තර මහත්තයෙක් වගේම තව හිතවතුන් මේ වැඩේට මට අවශ්‍ය දැනුම උපදෙස් දුන්නා. ඒ අනුව මම කුරුඳු, කොහොඹ, පැඟිරි, සේර ආදී දේශීය ඖෂධ හා සුවඳ වර්ග එක්කර හඳුන්කූරක් හැදුවා”
ඈ හැදූ මදුරුවන් පලවාහරින හඳුන් කූර පැයකුත් විනාඩි 45ක් දැල්වෙන එකකි. ඈ විසින්ම සැලසුම් කළ පෙට්ටියක බාහා වෙළෙඳසල් වෙත ඈ මේ හඳුන්කූර හඳුන්වා දුන්නේ කාර්මික අධ්‍යාපන විද්‍යා ආයතනයෙන් මෙය සෞඛ්‍ය ආරක්ෂිත බවට ලැබුණ සහතිකයද සමගය. ඕ මේ නිෂ්පාදන සඳහා “ළහිරු” ලෙස නමක්ද තැබුවාය.
හොරණ ප්‍රදේශයේ සියලුම සමුපකාර කෝප්සිටි ඇගේ නිෂ්පාදනය මිලදී ගැනීම ඇයට දිරියක් විය.
සුවඳ හමන මෙන්ම මදුරුවන් පලවා හරින මේ හඳුන්කූරේ නිෂ්පාදන කාර්ය මණ්ඩලය නිවැසියෝමය. අම්මාත් තාත්තාත් සැමියාත් පුතුන් තිදෙනාත් ඇයට හරි හරියට උපකාර කරමින් වගකීම් දරමින් නිෂ්පාදන දායකත්වය දක්වති.
“මගෙ මදුරුවන් පලවා හරින හඳුන්කූරූ 10ක් එක පෙට්ටියක අසුරනවා. එහෙම කරලා තමයි කඩවලට දාන්නෙ. මම ඉතින් බස් එකේම අරං ගිහින් දානවා. හොඳ ප්‍රතිචාර තියෙනවා ඒ හඳුන්කූරට. කට්ටිය කිව්වා ඒක පැය එකමාරක් වගෙනෙ පත්තුවෙන්නෙ. බැරිද කාලය වැඩි හඳුන්කූරක් හදන්න කියලා.
“බොහෝ දෙනාගෙ ඉල්ලීම පරිදි ඈ පැය 4ක් පුරා දැල්වෙමින් සුවඳ පැතිරවීම මෙන්ම මදුරුවන් පලවා හැරෙන හඳුන්කූරක්ද නිර්මාණය කළාය. ඈ ඇගේ මේ මදුරුවන් පළවා හැරෙන සුවඳ හඳුන්කූර 2017 බස්නාහිර පළාත් ව්‍යසායකත්ව ඇගයීම් උළෙලට යොමු කර ක්ෂුද්‍ර අංශයේ දෙවන ස්ථානය හිමිකර ගත්තාය.
“ ඒ උත්සවය තිබ්බෙ කොළඹ පදනම් ආයතනයෙ. මං එතනට ගියෙ සම්මාන ගන්න නෙවෙයි.එතනින් මොනවද වෙන්නෙ අපට ඉගෙන ගන්න තියෙන්නෙ මොනවද බලන්න. ක්ෂුද්‍ර අංශයෙ දෙවන ස්ථානයට අපේ නිෂ්පාදනයේ නම කිව්වම මම වට පිට බැලුවා තව කවුරු හරි අපේ නමින් ඉන්නවා වද්ද කියලත්. ඒත් බල්ද්දි ඒ අපේ හඳුන්කූර තේරිලා තියෙන්නෙ.”
ඉන් පසු විවිධ ප්‍රදර්ශන අවස්ථා සඳහා ප්‍රදර්ශන කුටි වෙනුවෙන් මෙන්ම විවිධ පුහුණු අවස්ථාද අරුණා ශාන්තිට ලැබුණේය. ඇසුරුම්කරණය සම්බන්ධ පුහුණුවකදී දැන හඳුනාගත් ප්‍රියන්ති කුමාරි නම් යෙහෙළියකද ඇගේ ගමනේ ආශිර්වාදාත්මක සාධකයක් වන්නේ මදුරුවන් පලවා හැරෙන මදුරු දඟරයක් කරන්නැයි පෙලඹවීම මගිනි.
“ ප්‍රියන්ති නංගි මට කිව්වා අක්කා ඔයාට කොයිල් එකක් කරන්න පූළුවන් බය නැතුව අත ගහන්න. වරදින්නේ නෑ. ඉතින් එයාගෙ පෙලඹවිල්ලටම තමයි මම මේක ගැන හොයලා මේ වැඩේ ආරම්භ කළේ.”
ඒ කාර්යය පහසු කාර්යයක් නොවේ. විවිධ ශාක බෙහෙත් වර්ග වනේ ලා කොටා තලපයක් සකසා ගැනීම් ඇතුළු මේ සියල්ල ඈ සහ නිවැසියන් විශාල වෙහසක් ගනිති. මේ සියල්ල අතින්ම සිදුකර ගන්නේ කිලෝ එකක ප්‍රමාණයක් සහිත දෑ කොටා ගැනීමට බ්ලෙන්ඩරයක්වත් ඔවුන් සතුව නොමැති නිසාය.
“අපි මේ කාර්යයේදි හිරවුණේ කොයිල් එක කපා ගන්න මෝල්ඩ් එකක් හදාගන්න හදද්දි. සෑහෙන ගාණක් වියදම් කරලා ලේත් මැෂින් එකකින් කපලා හදා ගත්ත එක බලද්දි අසාර්ථකයි. ආයේ තව එකක් හැදුවා ඒකත් අසාර්ථකයි. මම දවස් ගාණක් ඇඬුවා මේක සාර්ථක කරගන්න බැරුව.”
අඬ අඬ හෝ නොවැටී අවසානේ ඔවුහු දඟර කපාගැනීමට අත් යන්ත්‍රයක් හදා ගන්නට සමත් වූහ. ඒත් කොයිල් වෙලා ගැනීමට වියලනයක් ගැනීමට මුදල් ඔවුනට තිබී නැත. කෙසේ හෝ කුඩා ප්‍රමාණයේ වියලනයක් මිත්‍රයෙක් මාර්ගයෙන් හදාගත්හ. ඒ උපකරණ උදව්වෙන් ඔව්හු සිය අපූර්ව පරිසර හා මානව ආරක්ෂාව සහතික කෙරෙන මදුරු දඟරය සුළු පරිමාණයෙන් නිෂ්පාදනය කරන්නට ගත්හ.
අප රටේද මදුරු දඟර සඳහා මහා පරිමාණ වෙළෙඳපොළක් නිර්මාණය වී තිබේ. අධික ඉල්ලුම හා ක්ෂණික ප්‍රතිඵල වෙනුවෙන් බහුජාතික සමාගම් සිය නිෂ්පාදන කාර්යයේදී වස විස එක්කිරීම නොරහසකි. අප රටේ වෙළෙඳපොළ තුළ ජනප්‍රිය සියලු මදුරු දඟර වර්ග විස දුම් නිකුත් කරන ඒවා බව නිෂ්පාදනය කරන්නෝත් විකුණන්නෝත් භාවිත කරන්නොත් දනිති.
එවන් තත්ත්වයක් මත අරුණා ශාන්තිගෙ මේ නැවුම් සෞඛ්‍යාරක්ෂිත මදුරු විකර්ෂක මදුරු දඟරය කදිම විකල්පයකි.
නිවැසියන් 7 දෙනෙකු එක්ව සිය ශ්‍රමය කැපකර අවම තාක්ෂණ පහසුකම් යටතේ සිදුකරන මේ කාර්යයට රාජ්‍ය හා පෞද්ගලික ආයෝජනයන් එක් වීම සිදු වුවහොත් එය රටේම වාසනාවක් වනු ඇත. කුඩා ව්‍යසායකයන් නගා සිටුවීමටම යැයි කියමින් නිර්මිත මහජන මුදල් කෝටි ගණනින් නිරපරාදේ කාබාසිනියා කරන අමාත්‍යංශ හා ඇමතිවරු අපේ රටට මෙවන් ව්‍යවසායකයන් නගා සිටුවන්නට අත හිත දෙන්නේ නම් එය පුණ්‍යකර්මයක්ද වන්නේය.
“ මට රජයෙන් හරි පෞද්ගලික ආයෝජකයෙක් හරි උපකාර කළොත් රටටම යහපතක් කරන්න පුළුවන්. දැන් බලන්න එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා කියලා ඔය උදව් කරනවා කියන වැඩ සටහනේ අපි වගේ අයට තඹේක උදව්වක් නෑ. අඩු තරමේ මැෂින් එකක් හදාගන්න ණයක් වත් දෙන්නෙ නෑ. එයාලා අපට”
අරුණා ශාන්තිගේ කලකිරීම මුසු හඬ වචන වුණේය.
විය යුත්තේ රටට හිතකාමී මෙවන් නිෂ්පාදන සිදුකරන නිර්මාණශීලි මිනිසුන් දිරිමත් කිරීමය. එය රටේ වගකීමකි. එය එසේ වෙද්දී මහජනතාව ලෙස හෝ පාරිභෝගිකයන් ලෙස හෝ ඔබට අපටද අරුණා ශාන්ති මහත්මියට මේ ගමනට ආශිර්වාද එක්කළ හැක්කේ මෙය අපටද සුබසිද්ධියකට වන කාර්යයක් නිසාය.
ජයන්ත සුබසිංහ