ශ‍්‍රී ලංකාවට කිරිපිටි ආනයනය කරන ප‍්‍රධානතම සමාගමේ විදේශීය විධායක නිලධාරියා එම සමාගමේ වෙබ් අඩවියේ පළ කළ ප‍්‍රකාශයක් මගින් කිරිවලින් කිරි මේදය ඉවත් කොට ඒ වෙනුවට ෆාම් තෙල් එකතු කිරීම සාධාරණීකරණය කළේය. ඔහුට අනුව එම සමාගම විසින් නැවත සකස් කළ කිරි හෙවත් ‘මේදය පුරවන ලද කිරි’ ලෙස හඳුන්වන කිරි මේදය ඉවත් කොට ෆාම් තෙල් එකතු කළ කිරි නිපදවන්නේ තුන්වන ලෝකයේ රටවල්වල දුප්පත් පාරිභෝගිකයින් සඳහා ය. ඔහුට අනුව සැබෑ ස්වාභාවික කිරි මේදය අඩංගු කිරිපිටි ශ‍්‍රී ලංකාව වැනි රටක පාරිභෝගිකයාට මිලදී ගත නොහැක.
පසුගිය වසර 15 කට අධික කාලයක් තිස්සේ විවිධ පාර්ශ්ව විවිධ ප‍්‍රමාණවලින් සමාජ ගත කිරීමට උත්සාහ කළ කිරිපිටි ප‍්‍රශ්නය ට හදිසියේම ඉතා ඉහළ වටිනාකමක් ලැබී ඇත. ඊට හේතුව කිරි ගොවීන් විසින් තමාට විකුණාගත නොහැකි කිරි මහාභාණ්ඩාගාරය ඉදිරිපිට මහ පාරේ හැලීම නොවේ. එසේම දේශීය කිරි කර්මාන්තකරුවන් තම කර්මාන්ත වසා දමා ගොවියන්ගෙන් කිරි මිලදී ගැනීම නවතා දැමීම නිසා ද නොවේ. එසේ නොවේ නම් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් මහජන සෞඛ්‍යය සඳහා වන තම පරම යුතුකම ඉටුකිරීම සඳහා ආනයනික කිරිපිටි තොග වරායෙන් පිට කිරීමට පෙර පරීක්ෂා කිරීම සඳහා දැඩි තීන්දුවක් ගෙන ක‍්‍රියා කිරීම නිසා කිරිපිටි සමාගම් විසින් කිරි පිටි ආනයනය කිරීම නතර කිරීම නිසාද නොවේ. බදු සහන ලබා දී බාල කිරිපිටි අඩුමිලට ආනයනය කිරීමට ඉඩ ලබාදී තම රටේ කිරි කර්මාන්තය සහ කිරි ගොවියාගේ ජීවන තත්ත්වය කඩා වැටීමට ඉඩ සලසන ලෝකයේ එකම රට ශ‍්‍රී ලංකාව වුවත් ඊට එරෙහිව එවැනි ප‍්‍රතිචාර දක්නට ලැබෙන්නේ නැත. එසේ නම් පසුගිය දිනවල කිරිපිටි ප‍්‍රශ්නය හෙවත් ‘කිරිපිටි සෙල්ලම’ පිළිබඳ මහජන සංවාදයක් ඇති කිරීමට හේතු වූයේ කුමක්ද? ඊට හේතු වූයේ ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයකු විසින් පාර්ලිමේන්තුවේ දී සිදු කළ ගරිල්ලා ප‍්‍රහාරයකි.
අභ්‍යන්තර වෙළෙඳ කටයුතුවලට අදාළ අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය වූ බුද්ධික පතිරණ මහතා ගිනස් වාර්තාවක් තබමින් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන අතර කිරිපිටි ආනයනය කරන බලවත් සමාගම්වලට එරෙහිව අවි ඔසවා ඇත. පසුව විෂයභාර හිටපු අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතා සහ විපක්ෂයේ මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා අමාත්‍යවරයාගේ ගරිල්ලා ප‍්‍රහාරයට ආයුධ සපයමින් ඊට වටිනාකම ලබා දුනි. එසේ පාර්ලිමේන්තුවේ දී පළමු ගල ගැසීමෙන් දුර්ලභ ක‍්‍රියාවලියට දායක වූ සියලූ පාර්ශවවලට ජාතියේ ප‍්‍රණාමය හිමිවිය යුතුය. ලෝකයේ ඉතා බලවත් කිරිපිටි සමාගම්, විවිධ රටවල භාණ්ඩාගාර නිලධාරීන් සහ දේශපාලනඥයින් තම සාක්කුවේ දමා ගනිමින් එම රටවල මහජන සෞඛ්‍යයට සහ ආර්ථිකයට කරනු ලබන විනාශය ගැන කතා කිරීමට ජනමාධ්‍ය පවා බියක් දක්වති. ඊට හේතුව එම සමාගම්වල දැවැන්ත ප‍්‍රචාරක අය වැය මගින් ජනමාධ්‍ය ආයතන සහ මාධ්‍යකරුවන්ට අයුතු බලපෑම් කිරීමය. ශ‍්‍රී ලංකාව ගත්විට පිටරට කිරිපිටි සමාගම්වලට වාර්ෂිකව රුපියල් මිලියන 10,00 කට අධික බදු සහන ලබාදෙන අතර පාන් පිටි සමාගම්වලට රුපියල් මිලියන 30,000 කට අධික බදු සහන ලබා දෙයි. රජයට ගෙවිය යුතු එපමණ විශාල මුදලක් රජය විසින් එම සමාගම්වල සාක්කුවට ආපසු දැමූ විට ඔවුනට මිලදී ගත නොහැක්කේ මොකාද?
කිරිපිටි ප‍්‍රශ්නය හෙවත් කිරිපිටි සෙල්ලමේ ගැඹුරු ගැන කතා කිරීම සඳහා දීර්ඝ පූර්විකාවක් අවශ්‍ය වන්නේ එම ප‍්‍රශ්නයේ බරපතළකම නිසාය. එනම් එම ප‍්‍රශ්නයට සමස්ත සමාජය සහ රටේ ආර්ථිකය පමණක් නොව අනාගත පරම්පරාව ද ගොදුරු වන බැවිනි. මෙම ප‍්‍රශ්නයේ ප‍්‍රධාන පැතිකඩ 5 ක් හඳුනාගත හැක. පළමුවැන්න බුද්ධික පතිරණ අමාත්‍යවරයා විසින් මතුකළ ආහාර ආරක්ෂාව පිළිබඳ ප‍්‍රශ්නයි. දෙවැන්න පවතින සමාජයට පමණක් නොව අනාගත පරම්පරාවලට ද බලපෑම් ඇති කරන ආහාර සුරක්ෂිතතාව අදාළ ප‍්‍රශ්නයයි. රටක ආහාර සුරක්ෂිතතාවය එම රටේ ජාතික ආරක්ෂාව තරමටම වැදගත් වන බව ප‍්‍රකට කරුණකි. තුන්වැන්න දේශීය කිරි කර්මාන්තය විසින් රටේ ආර්ථික ක‍්‍රියාවලියට ලබාදෙන දායකත්වය අහිමි කිරීමට සහ විදේශ විනිමය වැය කිරීමට අදාළ ආර්ථික සහ මූල්‍ය ප‍්‍රශ්නයයි. හතරවැන්න ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය කඩාවැටීමට අදාළ සමාජ ආර්ථික ප‍්‍රශ්නයයි. පස්වැන්න බදු සහන කර්මාන්තය හෙවත් රටේ බදු වංචාවලට අදාළ ප‍්‍රශ්නයයි.
පළමු ප‍්‍රශ්නය හෙවත් මහජන සෞඛ්‍යයට අදාළ ප‍්‍රශ්නය පැන නගින්නේ විදේශීය සමාගම් විසින් තම ලාභය වැඩි කර ගැනීම සඳහා කිරිපිටිවල සංයුතිය වෙනස් කිරීම නිසාය. ඒ සඳහා ක‍්‍රමවේද ත‍්‍රිත්වයක් අනුගමනය කෙරෙයි. පළමුවැන්න ඉහළ වෙළෙඳපළ වටිනාකමක් සහිත කිරි මේදය කිරිවලින් ඉවත් කොට ගෙන අඩු වටිනාකමක් සහිත ලාභ සහ බාල තෙල් වර්ග කිරිවලට එකතු කිරීමය. උදාහරණයක් ලෙස කිරිවලින් ඉවත් කරගන්නා කිරි මේදය හෙවත් බටර් කිලෝග‍්‍රෑම් එකක වටිනාකම රුපියල් 850 ක් වන විට ෆාම් තෙල් කිලෝග‍්‍රෑම් එකක මිල රුපියල් 150 කි. ලෝකයේ ආහාරයට ගන්නා තෙල් වර්ග අතුරින් සෞඛ්‍යයට ඉතාම අහිතකර තෙල් වර්ගය ලෙස සැලකෙන්නේ ෆාම් තෙල් ය. විශේෂයෙන්ම පිරිපහදු නොකළ පාම් තෙල්වල අඩංගු ‘නිදහස් මේද අම්ලය’ පිළිකා කාරකයක් ලෙස හඳුනාගෙන ඇත. ඉරානය විසින් 2014 දී ෆාම් තෙල් භාවිතය තහනම් කරන්නේ එම සාක්ෂි පදනම් කරගෙනය. මව්බිම ලංකා පදනම විසින් වෙළෙඳපළෙන් ලබාගත් ආනයනික කිරිපිටි සාම්පල එංගලන්තයේ රසායනාගාරයකට යවා ලබාගත් පරීක්ෂණ වාර්තා අනුව ශ‍්‍රී ලංකාවට ආනයනය කරන සෑම කිරිපිටි වර්ගයකම මේදයෙන් 30% දක්වා ෆාම් තෙල් අඩංගු වේ.
ඒ බව අනාවරණය වූ විට ශ‍්‍රී ලංකාවට කිරිපිටි ආනයනය කරන ප‍්‍රධානතම සමාගමේ විදේශීය විධායක නිලධාරියා එම සමාගමේ වෙබ් අඩවියේ පළ කළ ප‍්‍රකාශයක් මගින් කිරිවලින් කිරි මේදය ඉවත් කොට ඒ වෙනුවට ෆාම් තෙල් එකතු කිරීම සාධාරණීකරණය කළේය. ඔහුට අනුව එම සමාගම විසින් නැවත සකස් කළ කිරි හෙවත් ‘මේදය පුරවන ලද කිරි’ ලෙස හඳුන්වන කිරි මේදය ඉවත් කොට ෆාම් තෙල් එකතු කළ කිරි නිපදවන්නේ තුන්වන ලෝකයේ රටවල්වල දුප්පත් පාරිභෝගිකයින් සඳහා ය. ඔහුට අනුව සැබෑ ස්වාභාවික කිරි මේදය අඩංගු කිරිපිටි ශ‍්‍රී ලංකාව වැනි රටක පාරිභෝගිකයාට මිලදී ගත නොහැක. මොහොතකට එය සත්‍යයක් යැයි පිළිගත්තද එසේ කිරි මේදයේ සංයුතිය වෙනස්කොට ඇති බවට අදාළ වෙළෙඳ නාම විකිණීමට පෙර පාරිභෝගිකයා දැනුවත් නොකිරීම වරදකි. ඊට අමතරව ශ‍්‍රී ලංකාවේ ආහාර පනත අනුව ආනයනික කිරිපිටිවල අඩංගු විය යුත්තේ කිරි මේදය පමණි. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර බලධාරියා හෙවත් අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් අදාළ නියෝග යටතේ සෑම කිරි තොගයක්ම වරායෙන් නිදහස් කිරීමට පෙර ඒවාගේ අඩංගු වන්නේ කිරි මේදය පමණක් බවට මහජනයාට සහතිකයක් ලබා දිය යුතුය.
එම සහතිකය ආකාර දෙකකට ලබා ගත යුතුය. පළමු ක‍්‍රමය අදාළ ආනයනික සමාගම විසින් ආනයනය කළ කිරිපිටි පිළිබඳ ජාත්‍යන්තරව පිළිගත් පරීක්ෂණාගාරයකින් ලබාගත් සහතිකයක් ඉදිරිපත් කිරීම සහ එම කිරි පිටිවල කිරි මේදය හැර වෙනත් තෙල් වර්ග අඩංගු නොවන බවට ප‍්‍රකාශයක් ලබා දීමය. දෙවැන්න ආනයනික තොග නිදහස් කිරීමට පෙර අහඹු සාම්පල ලබාගෙන පරීක්ෂා කිරීමය. එම ක‍්‍රම දෙකම භාවිතා කළ යුතු වුවත් මේ වන විට ශ‍්‍රී ලංකාවට ආනයනය කරන කිරිපිටිවලට අදාළව එම ක‍්‍රම දෙකෙන් එකක් හෝ ක‍්‍රියාත්මක වන්නේ නැත. සෞඛ්‍ය අමාත්‍යාංශය එවැනි බරපතළ සහ වැදගත් වගකීමක් පැහැර හරින්නේ කුමක් නිසාද? එම ප‍්‍රශ්නයට තවත් ප‍්‍රශ්නයකින්ම පිළිතුරු ලබාදිය හැක. සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ආහාර බලධාරියාට කිරිපිටි ආනයනය කරන විදේශීය සමාගමක් විසින් මසකට ලක්ෂ 20 ක වැටුපක් ගෙවා රක්ෂාවක් සපයන්නේ කුමක් නිසාද? අනාගතයේ දී එවැනි රක්ෂාවක් බලාපොරොත්තු වන වර්තමාන ආහාර බලධාරියකුගේ මනස කෙසේ වැඩ කරනු ඇති ද? ඊට අමතරව ඉහත සඳහන් කළ ආකාරයට කිරි පිටි ආනයනකරුවන්ට ලබා දෙන රුපියල් මිලියන 10,000ක බදු සහනයෙන් රුපියල් මිලියන 24ක් යනු කුමන කජ්ජක්ද? යනුවෙන් ප‍්‍රශ්න කළ හැක.
කිරිපිටි ප‍්‍රශ්නයට අදාළව නිදා වැටෙමින් සිටින සෞඛ්‍ය බලධාරීන් අවදි කිරීමට විවිධ පාර්ශව විසින් ගනු ලැබූ උත්සාහයන් එකක් හෝ සාර්ථක නොවන්නේ එවැනි තත්ත්වයක් තුළය. එහිදී ඔවුන් එක් දෙයක් ප‍්‍රත්‍යක්ෂ කරනු ලැබීය. ඒ ‘හොරට නිදා සිටින ඔවුන් අවදි කළ නොහැක’ යන පැරැණි කියමන තවදුරටත් සත්‍යයක් බව ය. කෙසේ වෙතත් අවසානයේ දී පාරිභෝගික අධිකාරිය එම ඉල්ලීම්වලට ප‍්‍රතිචාර දැක්වීය. ඒ අනුව එම අධිකාරිය විසින් වරායෙන් කිරිපිටි නිදහස් කිරීමට පෙර පරීක්ෂණ වාර්තා ලබා දෙන ලෙස අදාළ ආනයනික සමාගම්වලට නියෝග කරනු ලැබීය. ඒ සඳහා එම ආයතන විසින් මුදල් ගෙවීමට ද කටයුතු කළ මුත් අදාළ රසායනාගාරයේ දී එම පරීක්ෂණ සිදු කළ නොහැකි බව පවසා එම මුදල් ආපසු ගෙවන ලද බව ද වාර්තා විය. ඒ තුළින් එක් දෙයක් පැහැදිලි වේ. එම පරීක්ෂණ ආයතන බලවත් කිරිපිටි සමාගම්වලට බියක් දැක් වුවත් ඔවුන් වැරදි වාර්තා ලබා දීමට ඊට වඩා බියක් දක්වන බවය. එය සතුටට කාරණයකි. කෙසේ වෙතත් තොරතුරු දැනගැනීමේ පනත යටතේ පාරිභෝගික අධිකාරියෙන් කරනු ලැබූ ඉල්ලීම් අනුව ඔවුන් සතුව හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව කිසිදු පරීක්ෂණ වාර්තාවක් නොමැති බව නිල වශයෙන් දැන ගැනීමට ලැබුණි.
ෆාම් තෙල් හෝ වෙනත් සත්ව තෙල් අඩංගු කිරිපිටි ශ‍්‍රී ලංකාවට ආනයනය කිරීමේ ගැටලූවට අමතරව ශ‍්‍රී ලංකාව තුළ සම්පූර්ණයෙන්ම කෘතී‍්‍රම කිරි නිපදවීම ද සිදු කෙරෙන බව රහසක් නොවේ. එම කෘතී‍්‍රම කිරි ස්වභාවික කිරි සමග මිශ‍්‍ර කොට විවිධ කිරි ආශ‍්‍රිත ආහාර නිපදවීම සඳහා යොදා ගන්නා බව වාර්තාවේ. ශ‍්‍රී ලංකාවේ පමණක් නොව ශ‍්‍රී ලංකාවට කිරිපිටි ආනයනය කරන රටවල් ද කෘත‍්‍රීම කිරි නිපදවන බව එම රටවලට මහා පරිමාණයෙන් ෆාම් තෙල් සහ ලැක්ටෝස් ආනයනය කරන්නේ කුමක් නිසා දැයි සොයා බැලීමේ දී පැහැදිලි වේ. කිරි නිපදවීම සඳහා ෆාම් තෙල්, ලැක්ටෝස්, තෛලෝද කාරක සහ ජලය භාවිතා වේ. ශ‍්‍රී ලංකාවේදී පිටකොටුවේ යම් වෙළෙඳ සල්වලින් කෘත‍්‍රීම කිරි සඳහා අවශ්‍ය සියලූ සංඝටක සහ වට්ටෝරු මිලදී ගත හැකි බව රහසක් නොවේ. එසේ කෘත‍්‍රීම කිරි නිපදවීම සඳහා තෛලෝද කාරක ලෙස ෂැම්පු වර්ග භාවිත වන බවට ද සාක්ෂි ඇත.
ඊට අමතරව මීට වසර කීපයකට පෙර මෙලමයින් නම් වූ ප්ලාස්ටික් වර්ග නිපදවන රසායනික ද්‍රව්‍යයක් කිරි පිටිවලට එකතු කරන බවට ආන්දෝලනයක් ඇති විය. චීනයේදී එම වරදට යම් පිරිසකට මරණ දඬුවම හිමි විය. නමුත් ශ‍්‍රී ලංකාවේ දී ප‍්‍රශ්නය ක‍්‍රමයෙන් යටපත් විය. එහෙත් කිරිවලට මෙලමයින් එකතු කරන්නේ ෆාම් තෙල් එකතු කිරීමට සමාන උවමනාවක් නිසා ය. කිරිවලින් ඉවත් කරගන්නා කිරි ප්‍රෝටීන් කිලෝ ග‍්‍රෑම් 1 ක් රුපියල් 10,000 ක් පමණ වටිනාකමක් සහිත වේ. කිරි ප්‍රෝටීනවල එක් ඇමයිනෝ අම්ලයක නයිට‍්‍රජන් අණු ඇත්තේ 1ක් පමණි. නමුත් මෙලමයින් අණුවක නයිට‍්‍රජන් අණු 7ක් ඇත. ඒ අනුව කිරිවලින් ඇමයිනෝ අම්ල 7 ඉවත් කරගෙන මෙලමයින් අණු 1ක් එකතු කළ විට ලාභය කොපමණකින් වැඩිවෙයිද? එසේ විස රසායන යොදා නයිට‍්‍රජන් සංයුතිය වෙනස් කරන්නේ නීතියට අනුව කිරිවල ප්‍රෝටීන් ප‍්‍රමාණය මනිනු ලබන්නේ නයිට‍්‍රජන් අණු ප‍්‍රමාණය මත නිසාය. මේ සියලූ කරුණු අනුව නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා තම අමාත්‍ය ධුරය පවා අනතුරට ලක් කර ගනිමින් ඉදිරිපත් කළ මහජන සෞඛ්‍යයට අදාළ ප‍්‍රශ්නයේ බරපතළකම පැහැදිලි වේ.
වෛද්‍ය කේ. එම්. වසන්ත බණ්ඩාර