ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් අතර පවතින දේශපාලන එදිරිවාදීකම් සහ ගැටුම් කළමනාකරණය කර දෙපාර්ශවය අතර සංහිඳියාවක් ඇති කිරීමේ වැඩ පිළිවෙළක් ආරම්භ වී තිබේ.
මේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරමින් සිටින්නේ ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට පෞද්ගලිකව සමීප එම නායකයින් දෙදෙනාගේම හිතවතුන් පිරිසකි.
මේ සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවසරය ද ඒ පිරිසට ලැබී තිබෙන අතර ඒ අනුව ඒ අතර සිටින ප්‍රබල චරිතයක් ගෙවුණු සති අන්තයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී මේ කාරණය සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයට අදාළ එක්සත් ජාතික පෙරමුණේ ස්ථාවරය සම්බන්ධයෙන් ද දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කර තිබේ.
ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර පවතින යම් යම් දේශපාලන එදිරිවාදීකම් හේතුවෙන් දේශපාලන වශයෙන් වාසි ලබන්නේ මහින්ද රාජපක්ෂ පාර්ශවය වන අතර ඒ වාසිය ගෙන මහින්ද රාජපක්ෂලා දේශපාලන වශයෙන් ප්‍රහාර එල්ල කරන්නේ ආණ්ඩුවට,ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාටම බව එම පිරිස මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් හමුවේ අවධාරණය කර ඇත.
අය-වැය යෝජනාවලියට විරුද්ධව ඡන්දය පාවිච්චි කිරීමට මුල සිටම සුදානමින් සිටී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රධාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානය අවසානයේ ඊට පක්ෂව හෝ විපක්ෂව ඡන්දය පාවිච්චි කිරීමෙන් වැළකී සිටීමට තීරණය කළේ මේ පසුබිම මතය.
අය-වැය දෙවැනි වර කියවීමේ සහ ඊට අදාළ ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්දව 119ක් ලැබෙන විට විපක්ෂව ඡන්ද 76ක් පමණක් ලැබීමත් සමග ආණ්ඩුව ගෙදර යැවීමට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන ඒකාබද්ධ විපක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණ මැවූ සිහින සියල්ල අඟහරුවාදා (12) සවස් වන විට බොඳව ගියේ මේ අනුවය.
එදින සවස සභා නායක ලක්ෂමන් කිරිඇල්ල මහතා,අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන එක්සත් ජාතික පෙරමුණේ නායකයින් ගණනාවක් සමග පාර්ලිමේන්තුවේදී දේශපාලනය ගැන කතා කරමින් සිටියදී කළ විග්‍රහය මෙසේය.
“අය-වැය යෝජනාවලිය පරාජයට පත් කර ආණ්ඩුව ගෙදර යැවීමට මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් ගන්න සියලු සැලසුම් දියත් කළා. අන්තිමේ ඒ අය ඒකාබද්ධය ඇතුළු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණටයි ඒ අය එක්ක එඅකතු වූ “ශ්‍රීලනිප-16-කල්ලියටයි” කොකා පෙන්නුවා.මේ පිටු පස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිටියා විය යුතුයි.”
සභා නායක ලක්ෂමන් කිරිඇල්ල මහතාගේ එම විග්‍රහය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිස ඇඟට නොදැනීම අනුමත කළේ සරදම් සහගත සිනහවකිනි.
ජනාධිපති වැය ශීර්ෂය සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණේ පසු පෙළ මන්ත්‍රීන් අතරින් මතුව තිබූ ගිණියම් විරෝධය කෙසේ හෝ මර්දනය කර ගනිමින් ජනාධිපති වැය ශීර්ෂය ඡන්ද විමසීමකින් තොරව පාර්ලිමේන්තුවේදී බදාදා (13) ඒකමතිකවම සම්මතවීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉඩ හැරියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රධාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානය අය-වැය දෙවැනි කියවීමේ විවාදයට සහ ඊට අදාළ ඡන්ද විමසීමේදී ගත් මේ ක්‍රියාමාර්ගයට ප්‍රතිචාරයක් ලෙසය.
ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයට පෙර දිනයේ එනම් අඟහරුවාදා (12) රාත්‍රියේ එක්සත් ජාතික පෙරමුණේ ජ්‍යෙෂ්ඨයින් සමග පැවැත් වූ අතිශය විශේෂ සාකච්ඡාවකදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියා තිබුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රධාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අය-වැය දෙවැනි වර ඡන්ද විමසීමේදී ඊට විරුද්ධව ඡන්දය පාවිච්චි නොකරමින් මහින්ද රාජපක්ෂ කඳවුරට බරපතළ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය දෙස සාධනීයව බැලිය යුතු බවය.
ජනාධිපතිවරයා ගත් මේ පියවර හේතුවෙන් මහින්ද රාජපක්ෂ කඳවුර දේශපාලන වශයෙන් අනාථ වූ අතර ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද සංඛ්‍යාව හැරුණාම ඒකාබද්ධ විපක්ෂය ඇතුළු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සතුව තිබෙන්නේ ඡන්ද 70ක් පමණක් බව රටට-ජනතාවට හෙළි වූ බව ද එහිදී අවධාරණය කෙරිණ.
එහිදී අග්‍රාමාත්‍යවරයා ප්‍රධාන නායකයින් අතර වැඩි දුරටත් අවධාරණය කෙරුණේ ජනාධිපතිවරයාගේ ගැලවුම්කරයා මහින්ද රාජපක්ෂලා නොව එක්සත් ජාතික පෙරමුණ බව ඔහුටම අවබෝධ කර ගැනීමට ඉඩ හැරිය යුතු බවය.
මේ අතර අය-වැය දෙවැනි වර කියවීමට අදාළ විවාදයේදී සහ ඊට අදාළ ඡන්ද විමසීමේදී ජනාධිපතිවරයා ප්‍රධාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවසන් මොහොතේ ගත් මේ ක්‍රියා මාර්ගය සම්බන්ධයෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට සිටින්නේ දැඩි ප්‍රකෝපයෙනි.
මේ සම්බන්ධයෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන සගයින් ඔහුගෙන් කරුණු විමසා ඇති අවස්ථාවේදී මේ සිද්ධිය හෙළා දකිමින් ඔහු කියා තිබෙන්නේ අය-වැයට විරුද්ධව ඡන්දය ලබාදීමට පැමිණෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය තමාට එදින උදේ වරුවේත් කියා සිටී බවය.
ඇත්තටම අවසන් මොහොතේ සිදු වූයේ කුමක් ද කියා තමා නොදන්නා අතර ඒ ගැන ඇසිය යුත්තේ ඒ අයගෙන්ම බව ද මහින්ද රාජපක්ෂ මහතා සිය සගයින් සමග වැඩි දුරටත් පවසා ඇත.