Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

එකම මාතෘකාවක් ගැන සති කීපයක් තිස්සේ මුළු රටම කතා කළ අවස්ථාවක් පිළිබඳ මෑත ඉතිහාසයේ අපට මතකයක් නැත. මුළු රටටම පිළිලයක් බවට පත්ව සිටි මාකඳුරේ මධුෂ් නමැති පාතාල මැරයා මේ මෑත ඉතිහාස කතාව වෙනස් කළේය. පාතාල නායක මධුෂ් ප‍්‍රවෘත්ති මවන්නකු බවට පත්ව සිටියි. 

ඉකුත් සති දෙකක කාලය පුරාම රටේ ප‍්‍රධාන පෙළේ පුවත්පත් සියල්ලේම ප‍්‍රධාන සිරස්තලය සැරසී තිබුණේ මාකඳුරේ මධුෂ් නමැති පාතාල නායකයා ගැනය. විද්‍යාුත් මාධ්‍ය ප‍්‍රවෘත්තිවල ප‍්‍රධාන පුවත වූයේ ද මධුෂ් ගැනය. මධුෂ් සංවිධානය කළ උපන්දින සාදය පිළිබඳවය. 

මධුෂ් නමැති පාපතරයා පිළිබඳ උණුසුම් පුවත් දැන ගැනීමට ජනතාව තුළ තිබුණේ ද පුදුමාකාර උනන්දුවකි. උෙද්‍යාා්ගයකි. ඒ නිසාම ඇතැම් මාධ්‍ය ඔස්සේ මෙන්ම සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ ද ගල් පැලෙන බොරු ප‍්‍රවෘත්ති එක සීරුවට ප‍්‍රචාරය වුණේය. 

පසුගිය කාලය පුරාම ජනතාවට මෙන්ම දේශපාලනඥයන්ට ද රටේ ප‍්‍රශ්න අමතක වී තිබිණි. 

ගොවි ජනතාව අන්දමන්ද කරමින් භව භෝග විනාශ කර රටේ ආහාර හිඟයක් ඇති කිරීමට තරම් බලපෑමක් එල්ල කළ සේනා නමැති දළඹුවකු සිටිය ද කියා මතකයක් නැත. 

යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ගැන කිසිවකුටවත් මතකයක් නැත. ඉන්ධන මිල ඉහළ යෑම, රේගු වර්ජනය නිසා රටට සිදු වූ අලාභය, කි‍්‍රකට් කණ්ඩායම නහුතෙට පරාජය වීම, උද්ඝෝෂණ, පිකටින් මේ සියල්ල සති දෙකක කාලයක් තිස්සේ යටපත් කිරීමට මාකඳුරේ මධුෂ් නමැති පාතාල මැරයාට හැකි වුණේය.

මාකඳුරේ මධුෂ් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය දේශපාලන පොරපිටිය ද උණුසුම් කිරීමට සමත් වුණේය. මධුෂ් සමග එකට කා බී මේ මැරයාගේ කුඩු සල්ලිවලින් දේශපාලනය කළ දකුණේ දේශපාලනඥයන් කීප දෙනකුගේ නම් කරළියට ආවේය. 

මේ සිදුවීම්වලින් පාර්ලිමේන්තුව පවා උණුසුම් වුණේය. 

පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුම් දෙස බලද්දී මාකඳුරේ මධුෂ්ට නොදෙවෙනි මැර දේශපාලනඥයන් එහි සිටි බවට රටම දුටුවේය. ඒ නිසා මධුෂ්ගේ සිද්ධියෙන් පාර්ලිමේන්තුව උණුසුම් වීම අරුමයක් නොවන්නේය. 

මධුෂ් සම්බන්ධයෙන් තමන් වෙත එල්ල වූ චෝදනා ප‍්‍රතික්ෂේප කිරීමට පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන නිරෝෂන් පේ‍්‍රමරත්න, ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇතුළු තවත් කීප දෙනකුට මාධ්‍ය සාකච්ඡා පවා පැවැත්වීමට සිදුව තිබිණි. 

මේ අතර රන්ජන් රාමනායක ඇමැතිවරයා ද මාධ්‍ය ඔස්සේ ආන්දෝලනාත්මක හෙළිදරව් කීපයක් කළේය. 

කොකේන් පරිභෝජනය කරන මන්තී‍්‍රවරුන් පාර්ලිමේන්තුවේ සිටින බවට කළ හෙළිදරව්ව සුළුපටු එකක් නොවන්නේය. එමෙන්ම රැය පහන්වනතුරු විවිධ මැරයන් පාතාල නායකයන් ඇසුරු කරමින් රාතී‍්‍ර සමාජශාලා තුළ ගත කරන දේශපාලනඥයන් ගැන ද රන්ජන් රාමනායක හෙළි කළේය. 

මේ සියලූ උණුසුම් කරුණු කාරණා කරළියට ගෙන ආවේ මාකඳුරේ මධුෂ් නමැති පාතාල මැරයාය. 

මාකඳුරේ මධුෂ් ඇතුළු පාතාල මැරයන් ඩුබායි පොලිසිය වෙත අල්ලා දීමේ කාර්යභාරය සිදු කළේ ඩුබායි දේශයේම සැඟවී සිටින තවත් හෙරොයින් ජාවාරම්කරුවකුගේ මැදිහත් වීමෙන්ය. මේ මෙහෙයුම පිළිබඳව ශී‍්‍ර ලංකා පොලිසියේ නිලධාරීන් කීප දෙනකු ද දැන සිටියහ. එහෙත් එම මෙහෙයුම සඳහා ශී‍්‍ර ලංකා පොලිසියට සම්බන්ධ වීමට අවස්ථාවක් තිබුණේ නැත.

මධුෂ් ඇතුළු පාතාල නඩය ඩුබායි පොලිසිය වෙත කොටු කර දීමේ ඔත්තුව ලබා තිබුණේ කාලයක් තිස්සේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වී සිටින මොරිසන් නමැති පුද්ගලයකු විසින්ය. 

මධුෂ් සහ මොරිසන් අතර කාලයක් තිස්සේ ආරවුල් පැවතුණේය. මොරිසන්ගේ ජීවිතයට පවා මධුෂ්ගේ පාතාල කල්ලියෙන් තර්ජන එල්ල වී තිබුණේය. මධුෂ් ඩුබායි පොලිසියට කොටු කර දීමට කටයුතු නොකළහොත් කොයි මොහොතක හෝ ඊට තම ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වන බව මොරිසන් හොඳාකාරවම දැන සිටියේය.

ඒ වනවිට පාකිස්තානයේ ප‍්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කාරයකු සමග ද මධුෂ් පැටලී සිටියේ හෙරොයින් ගනුදෙනුවක් සම්බන්ධයෙන්ය. මධුෂ් පාකිස්තානු 
ජාතිකයාගෙන් හෙරොයින් කිලෝග‍්‍රෑම් 300 ක් ලබා ගෙන ඊට මුදල් නොගෙවීම නිසා මේ ආරවුල හටගෙන තිබුණේය. පකිස්තානු ජාතික හෙරොයින් ජාවාරම්කරුවා මොරිසන්ගේ ද ගජ මිතුරෙකි. මධුෂ් ඩුබායි පොලිසිය වෙත අල්ලා දීමේ මෙහෙයුම සඳහා පකිස්තානු ජාතික මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ද සහාය වන්නේ තම වෛරය පිරිමසා ගැනීම සඳහාය.

මොරිසන් ඩුබායි දේශයේ කම්කරුවන් රැකියාවේ යොදවන ආයතනයක් පවත්වාගෙන ගියේය. ඔහුට මෙම ආයතනයෙන් ලැබුණු ලාභයක් නැත. තමන් ව්‍යාපාරික ආයතනයක් පවත්වාගෙන යන බවට ඩුබායි දේශයට පෙන්වුව ද හැබැවින්ම මොරිසන්ගේ ප‍්‍රධාන ආදායම් මාර්ගය වූයේ හෙරොයින් වෙළෙඳාමය.

ඩුබායි දේශය නොමඟ යැවීමේ ව්‍යාපාරයක් මාකඳුරේ මධුෂ් ද පවත්වාගෙන ගියේය. වාහනවල එන්ජින් ගලවා ඉවත් කර ඒවා අපනයනය කිරීමේ ව්‍යාපාරික මධ්‍යස්ථානයක් මධුෂ් පවත්වා ගෙන ගියේය. ඒ ව්‍යාපාරයට මුවා වී මධුෂ් මහා පරිමාණයෙන් හෙරොයින් ජාවාරමේ නිරත වන බව ඩුබායි පොලිසිය දැන සිටියේ නැත. 

මොරිසන් දන්නා හඳුනන කීපදෙනකු මාර්ගයෙන් ඩුබායි අල් රෆා පොලිසියේ නිලධාරීන් කීප දෙනකු සමග සබඳතා ගොඩනඟා ගන්නේ තම සැලසුම කි‍්‍රයාත්මක කිරීමේ අරමුණු ඇතිවය.

මීට පෙර අවස්ථා කීපයකදීම මධුෂ් අල්ලා දීමට මොරිසන් ගත් උත්සාහයන් ව්‍යර්ථ වී තිබුණේය. 

මධුෂ් පැවැත්වීමට සූදානම් වන උපන්දින සාදය පිළිබඳ තොරතුරු මොරිසන්ට ලැබෙන්නේ මේ අතරතුරදීය. මොරිසන් තමා දන්නා හඳුනන අල් රෆා පොලිසියේ නිලධාරීන්ට මේ පිළිබඳව කල්තියාම දැනුම් දුන්නේ කෙසේ හෝ මෙවර මධුෂ් අල්ලා දීමේ සැලසුම සාර්ථක කර ගැනීමේ අරමුණු ඇතිවය.

අල් රෆා පොලිසිය වෙත මේ ඔත්තුව ලබා දීමෙන් පසු මොරිසන් එදිනම හොර රහසේ එංගලන්තය බලා පිටත් වුණේය. යම්කිසි හේතුවකින් මේ සැලසුම වැරදි ගියහොත් මධුෂ් ඇතුළු පාතාල නඩය තමාගෙන් පළිගන්නා බව මොරිසන් හොඳින් දැන සිටියේය. ඒ නිසා මොරිසන්ට ඩුබායි දේශය හැර යනවා හැරෙන්නට වෙනත් විකල්පයක් තිබුණේ නැත. 

ඩුබායි අල් රෆා පොලිසිය හෝටලය වටලා මධුෂ් ඇතුළු නඩය අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔවුන් සියලූ දෙනාගේම ඡායාරූප ඒ මොහොතේ ලබා ගත්තේය. ඡායාරූප සියල්ල අල් රෆා පොලිසිය ඒ මොහොතේම මොරිසන් වෙත යැවීමට කටයුතු කළේ එහි සිටින පුද්ගලයන්ගේ අනන්‍යතාව හඳුනා ගැනීම සඳහාය.

ඡායාරූපවල සිටි සියලූ පුද්ගලයන් පිළිබඳ විස්තර අල් රෆා පොලිසිය වෙත ලබා දුන් මොරිසන් එම ඡායාරූප සියල්ල ශී‍්‍ර ලංකාවේ සිටින තම මිතුරන් කීප දෙනකුට යැවීමට කටයුතු කළේය.

මධුෂ් ඇතුළු නඩය අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙරට සමාජ ජාලා වෙබ් අඩවිවල මෙන්ම මාධ්‍යවල පළ වී තිබුණේ මොරිසන් එවූ ඡායාරූපයන්ය.

ශී‍්‍ර ලංකා පොලිසිය මෙන් නොව අල් රෆා පොලිසිය තම විමර්ශන කටයුතු කරන්නේ ඉතාම රහසිගත ආකාරයටය. සාදයේ සිටි පාතාල මැරයන්ගේ ඡායාරූප සියල්ල මෙරට මාධ්‍යවල පළ වීම පිළිබඳව අල් රෆා පොලිසිය දැඩි ලෙස කෝපයට පත්ව සිටියහ.

තමන් ලබා ගත් මේ ඡායාරූප සියල්ල මොරිසන් හරහා ශී‍්‍ර ලංකාවට ගිය බව අල් රෆා පොලිසිය හොඳාකාරවම දැන සිටියහ.

අත්අඩංගුවට ගෙන සිටි මාකඳුරේ මධුෂ් ඇතුළු 39 දෙනකුගේ රුධිරය මෙන්ම මුත‍්‍රා පරීක්ෂාවක් කිරීමට අල් රෆා පොලිසිය කටයුතු කළේ මොවුන් මත්ද්‍රව්‍ය ලබා ගෙන තිබේ දැයි යන්න සැක හැර ගැනීම සඳහාය. 

මූලික විමර්ශන කටයුතු කිරීමෙන් පසු සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා බර්ඩුබායි පොලිසිය වෙත භාර දුන්නේය.

ශී‍්‍ර ලංකාවේ නීතිය අනුව අත්අඩංගුවට ගත් සැකකරුවකු පැය 24 ක් ඇතුළත අධිකරණය වෙත ඉදිරිපත් කළ යුතුය. එහෙත් ඩුබායි දේශයේ නීතියට අනුව පොලිසිය අත්අඩංගුවට ගන්නා අපරාධකාරයකු වසර හත අටක් වුව ද රඳවා ගෙන ප‍්‍රශ්න කළ හැකිය. 

2013 වර්ෂයේ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය සැකකරුවකු 2018 වර්ෂය වනතුරු ඩුබායි පොලිසියේ රඳවා ගෙන ප‍්‍රශ්න කර පසුව ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි. මධුෂ්, අමල් පෙරේරා ඇතුළු නඩයේ විමර්ශන කටයුතු අවසන් වීම නිසා ඔවුන් ලබන 28 වැනිදා දක්වා බන්ධනාගාරගත කිරීමට ඩුබායි අධිකරණය කටයුතු කළේය. 

ඩුබායිහි අල් රෆා පොලිසිය අත්අඩංගුවට ගත් මධුෂ් ඇතුළු සැකකරුවන් 39 දෙනා අතරින් 31 දෙනකුගේම ශරීරවල මත්ද්‍රව්‍ය අන්තර්ගත වී තිබෙන බව ඔවුන්ගේ රුධිරය සහ මුත‍්‍රා පරීක්ෂණවලින් හෙළි වී තිබිණි. 

ගායන ශිල්පී අමල් පෙරේරා ගේ පුත‍්‍රයා වන නදීමාල් පෙරේරා, මධුෂ්ගේ අනියම් බිරිඳ ඇතුළු අත්අඩංගුවේ පසු වූ අට දෙනකුගේ ශරීරවල මත්ද්‍රව්‍ය අන්තර්ගත වී නොතිබුණු බව විමර්ශනවලින් හෙළි විය. එහෙත් ඒ සැකකරුවන් ද මුදා හැරීමට ඩුබායි පොලිසිය කටයුතු කළේ නැත. ඔවුන් තවදුරටත් බර්ඩුබායි පොලිසියේ රඳවා ගෙන ප‍්‍රශ්න කරමින් සිිටියි. 

ඩුබායි රාජ්‍යයේ නීතියට අනුව හෙරොයින් හෝ කොකේන් පාවිච්චි කළ පුද්ගලයකු මුල් වරට හසු වුවොත් ඔහුට අධිකරණයෙන් වසර 4 ක් 7 ක් අතර කාලසීමාවක සිරදඬුවම් පැනවිය හැකිය. 

එසේ දඬුවම් පැනවූ පසු විත්තිකරුට අභියාචනයක් ඉදිරිපත් කළ ද හැකිය. එරට දක්ෂ නීතිඥයන්ගේ සහාය ලබා ගෙන විශාල මුදලක් වියදම් කර තම දඬුවමට එරෙහිව සටන් කළහොත් වසර 4 ක සිරදඬුවම වසර දෙකක් දක්වා අඩු කර ගැනීමට ද අවස්ථාවක් ඇත්තේය. මේ අතර ඩුබායි රාජ්‍යයේ බන්ධනාගාරගත වූවන්ට පොදු සමා කාලයක් තිබේ. සුළු වැරදි කර ඇති පුද්ගලයන්ට රාමසාන් උත්සවය දින පොදු සමාවක් ලබාදීම ඩුබායි රජය මගින් වාර්ෂිකව කරනු ලබයි. මුල් වරට මත්ද්‍රව්‍ය පාවිච්චි කර හසු වන පුද්ගලයන්ට ද මේ පොදු සමාව ලබා දෙන ලෙස ඩුබායි පාලකවරයා (ෂෙයික්වරයා* නියෝග කර තිබේ.

මේ ආකාරයට සමාව ලබා දෙන විදේශිකයන් එදිනම රටින් පිටුවහල් කිරීමට ද ඩුබායි රජයේ නීති සැකසී ඇත්තේය.

එහෙත් මධුෂ් ඇතුළු සහචරයන් පිරිස තවමත් සිටින්නේ බර්ඩුබායි පොලිසියේය. ඔවුන්ට එරෙහිව ඇති චෝදනා සම්බන්ධ විමර්ශන සියල්ල තවමත් අවසන් වී නැත. එබැවින් මේ පුද්ගලයන්ට දඬුවම් ලබා දෙන දිනය හෝ ඔවුන්ට පොදු සමාවක් ලැබෙන දිනය කවදා එළැඹෙන්නේ දැයි කිව නොහැක.

අසාධාරණයට ලක් වූවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයකු ලෙස උදුල් පේ‍්‍රමරත්න ප‍්‍රසිද්ධියක් උසුලයි. මුළු රටම කම්පාවට පත් කළ කොටදෙනියාවේ ‘සේයා’ නමැති දැරිය දූෂණය කර මරා දැමූ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටියේ ද උදුල් පේ‍්‍රමරත්නය.

ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවන අපරාධකාරයන්ට නීති සහාය ලබා දීම සඳහා ද උදුල් පේ‍්‍රමරත්න පෙනී සිටියේය. පසුගියදා උදුල් පේ‍්‍රමරත්න ඩුබායි දේශය බලා පිටත්ව ගියේ අමල් පෙරේරා, රයන් වැන්රෝවන්, නදීමාල් පෙරේරා ඇතුළු පිරිස ඩුබායි පොලිස් අත්අඩංගුවෙන් මුදාගෙන මෙරටට රැගෙන එන අරමුණෙන් විය යුතුය.

එහෙත් මෙරට නීතිඥයන්ට ඩුබායි අධිකරණයේ හතර මායිමට යෑමට ඉඩක් නැත. සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටිනවා තබා දින ගණනක් යන තුරු ඔවුන් හමු වී කතාබහ කිරීමටවත් උදුල් පේ‍්‍රමරත්නට ඩුබායි පොලිසිය අවසරදී තිබුණේ නැත. ඩුබායි පොලිසිය නීතිඥ උදුල් පේ‍්‍රමරත්නට අමල් පෙරේරා සමඟ කතා කිරීමට ඉඩ ලබාදී තිබුණේ 14 වැනිදාය.

මිග් යානා ගනුදෙනු සිද්ධියක් සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා පොලිසියට අවශ්‍යව සිටි උදයංග වීරතුංග මීට මාස කීපයකට උඩදී ඩුබායි පොලිසිය අත්අඩංගුවට ගත්තේය. ඩුබායි පොලිසිය ඔහු අත්අඩංගුවට ගන්නේ ව්‍යාජ විදේශ ගමන් බලපත‍්‍රයක් යොදාගෙන විදේශගතවීමට උත්සාහ කිරීමේදීය.

උදයංග වීරතුග තම රටට අවශ්‍ය පුද්ගලයකු බවත් ඔහු මෙරටට භාර දෙන ලෙසත් ශී‍්‍ර ලංකා රජය සහ මෙරට පොලිසිය ඩුබායි රජයෙන් ඉල්ලා සිටියේය.

එහෙත් ඒ ඉල්ලීම් කිසිවක් ඩුබායි රජය හෝ එරට පොලිසිය ගණනකට ගත්තේ නැත. උදයංග වීරතුංග මෙරටට කුදලාගෙන ඒමට විශේෂ කණ්ඩායමක් ඩුබායි දේශය බලා පිටත්ව ගියහ. මේ නිලධාරීන් දින ගණනක් තිස්සේ ඩුබායි හි ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලයට වී සිටියහ.

මොවුන්ට සිදුවුණේ ඩුබායි හි විනෝද චාරිකාවක් යෑමට පමණි. උදයංග වීරතුංග මේ කණ්ඩායමට ලබා දෙනවා තබා ඔහු බැලීමටවත් මොවුන්ට ඉඩක් ලබාදී තිබුණේ නැත.

ඒ නිසා උදුල් පේ‍්‍රමරත්න නමැති නීතිඥයා ඇතුළු කණ්ඩායමට සිදුවන්නේ ද ඩුබායි දේශයේ විනෝද සංචාරයක නිරතවී සෙන්ට් පවුඩර් ටිකක් රැගෙන මෙරටට පැමිණීමටය.

මාකඳුරේ මධුෂ් ඇතුළු නඩය අත්අඩංගුවට ගැනීම අපට සුවිශේෂී සිද්ධියක් වුවද එය ඩුබායි පොලිසියට සාමාන්‍ය සිද්ධියක් පමණක් වන්නේය. ශී‍්‍ර ලංකාවේ නීතිඥයන්, පොලිසිය මෙන්ම මෙරට රජය කරන ඉල්ලීම් ගැන ඩුබායි රජය හෝ පොලිසිය ඒ තරම් තැකීමක් කරන්නේ නැත. උදයංග වීරතුංග සිද්ධිය ඊට හොඳම උදාහරණයයි.

මාකඳුරේ මධුෂ් අත්අඩංගුවට ගැනීමත් සමඟම ශී‍්‍ර ලංකා පොලිසිය ද කි‍්‍රයාත්මක වුණේය. මාකඳුරේ මධුෂ් කන්චිපාන ඉම්රාන් ඇතුළු පාතාල මැරයන්ගේ කල්ලිවලට ගෑවුණු ගෑවුණු හැම එකාම අල්ලා ගැනීමට පොලිසිය මෙහෙයුම් කි‍්‍රයාත්මක කළේය.

මධුෂ්ගේ අනියම් බිරිඳට අයත් සුඛෝපභෝගී වාහන කීපයක් පොලිස් විශේෂ කාර්ය බළකාය අත්අඩංගුවට ගත්තේය. එමෙන්ම මධුෂ්ගේ කල්ලියේ සගයන් හත්අට දෙනකුම අවි ආයුධත් සමඟ අත්අඩංගුවට ගන්නට පොලිස් විශේෂ කාර්ය බළකායට හැකි විය. 

මේ අතර මධුෂ් අත්අඩංගුවට ගැනීමත් සමඟ ශී‍්‍ර ලංකා පොලිසියේ විමර්ශන කටයුතු විවිධ පැතිකඩයන් ඔස්සේ කි‍්‍රයාත්මක වන්නට පටන් ගත්තේය.

දූෂණ විරෝධී ජාතික ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ යැයි කියාගත් නාමල් කුමාර නමැත්තා මීට මාස කිහිපයකට උඩදී හෙළිදරව්වක් කර තිබුණේය. ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන, හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ඝාතනය සඳහා පැවැති කුමන්ත‍්‍රණයට හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මාකඳුරේ මධුෂ්ගේ සහාය ලබාගැනීමට සැලසුම් කළ බව නාමල් කුමාර මීට පෙර හෙළි කළේය.

අමල් පෙරේරා සහ මාකඳුරේ මධුෂ් අතර සමීප සම්බන්ධතාවක් පැවැති බව හෙළි වූයේ ඩුබායි සිද්ධියෙන් පසුවය. මේ අතර ගායන ශිල්පි අමල් පෙරේරා සහ මෙම කුමන්ත‍්‍රණ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර සිටින නාලක ද සිල්වා සමීප මිතුරන් බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හෙළිකර ගත්තේය.

අමල් පෙරේරා හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා හමුවීමට නිතර ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබූ බවද මේ වනවිට හෙළිව තිබේ. අමල් පෙරේරා වරක් නාලක සිල්වා හමුවීමට එද්දී ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ කොස්තාපල්වරයකු ඔහුගෙන් ප‍්‍රශ්න කළේය.

නියෝජ්‍ය පොලිස්පතිවරයා හමුවීමට නිතර පැමිණෙන්නේ ඇයි දැයි මේ නිලධාරියා අමල් පෙරේරාගෙන් විමසා තිබේ. මෙයින් උරණ වූ අමල් පෙරේරා ඒ බව නාලක ද සිල්වාට දැනුම් දුන්නේය.

නාලක ද සිල්වා මේ පොලිස් නිලධාරියාට ඒ මොහොතේම දඬුවම් ලබා දුන්නේය. වහාම ඔහු ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසයෙන් ඉවත් කර ගල්කිස්සට මාරු කර යැවූ නියෝජ්‍ය පොලිස්පතිවරයා එතැන් සිට විටින් විට විවිධ පළාත්වලට ඔහු මාරුකර යැව්වේය.

ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසයේදී අමල් පෙරේරාට තිබුණේ එවැනි සුවිශේෂී බලයකි.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සැක කරන්නේ අමල් පෙරේරා හරහා නාලක ද සිල්වා මාකඳුරේ මධුෂ් සමඟ කිසියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගියේ ද යන්නය. මේ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට ජාත්‍යන්තර පොලිසියේ ද සහාය ලබා ගන්නා බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා කොටුව මහෙස්ත‍්‍රාත්වරයාට ද දැනුම් දුන්නේය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටි කාලසීමාවේ ඔහු ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණ කළ බවට ද මාකඳුරේ මධුෂ්ට චෝදනාවක් එල්ල වී තිබුණේය. ‘අයිස් මංජු නමැති සිංහල කොටියාගේ කොන්ත‍්‍රාත්තුවකට අනුව එල්. ටී. ටී. ඊ. යෙන් මුදල් ලබාගෙන මහින්ද රාජපක්‍ෂ ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණ කළ බවට මධුෂ්ට එල්ල වී තිබුණේ බරපතළ චෝදනාවකි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් එවකට ත‍්‍රස්තවාදී විමර්ශන ඒකකය මගින් ද මධුෂ් අත්අඩංගුවට ගෙන වසරකට අධික කාලයක් රැඳවුම් නියෝග මත තබාගෙන ප‍්‍රශ්න කරමින් සිටියේය.

මාකඳුරේ මධුෂ්ට තිබුණේ එවැනි පසුබිමකි. 2019 වර්ෂයේ පෙබරවාරි මස 25 වැනිදාට මාකඳුරේ මධුෂ්ට අවුරුදු 40 කි. ඒ අවුරුදු 40 ට මේ පාතාල මැරයා කළ කී දෑ බොහෝය. මිනිසුන් සිය ගණනක් මරා දැමුව ද මේ පාතාල මැරයාට එරෙහිව මේ වන තුරු ගොනු කර ඇත්තේ මිනිමැරුම් කීපයක් සම්බන්ධයෙන් චෝදනාය.

ඩුබායි සිට මෙරටට හෙරොයින් ටොන් ගණනින් එව්වද මොහුට මත් කුඩු මිලිග‍්‍රෑම් එකක් හෝ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මෙරට නඩුවක් නැත.

මාකඳුරේ මධුෂ් මේ සියල්ල කරන්නේ තිරය පිටුපස සිටය. 2003 වර්ෂයේ සිට මධුෂ් මිනීමැරුවේ තම ගෝලබාලයන් හෝ කොන්ත‍්‍රාත් මිනීමරුවන් යොදාගෙනය.

හෙරොයින් ජාවාරම් කළේ ද තම ගෝල බාලයන් යොදාගෙනය. ඩුබායි දේශයේ අතිශය සුඛෝපභෝගී ජීවිතයක් ගත කළ මධුෂ් තම සුඛවිහරණය වෙනුවෙන් රුපියල් කෝටි ප‍්‍රකෝටි ගණනින් වියදම් කළේය.

රටේ අහිංසක තරුණ පරපුර විනාශ කරමින් මිනිසුන් අමු අමුවේ ඝාතනය කරමින් මේ පාතාල මැරයා කළ අපරාධ කොතෙක් දැයි කිව නොහැකි තරම්ය.

මධුෂ් ඩුබායි දේශයේ නිතර සාද පැවැත්වුවේය. ඒ සඳහා මෙරට දේශපාලනඥයන්, කලාකරුවන්, පොලිස් නිලධාරීන් ජාවාරම්කාරයන්, බන්ධනාගාර නිලධාරීන් රජයේ නිලධාරීන්, සහභාගි වී ඇත.

මාකඳුරේ මධුෂ් ඩුබායි හි සංවිධානය කළ උපන් දින සාදයට කොළඹ කැරෝකේ සමාජශාලා පවත්වාගෙන යන ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයකුට සහ ඔහුගේ බිරිඳට ද ආරාධනා ලැබී තිබුණේය.

මේ ව්‍යාපාරිකයාට එදින නියමිත වේලාවට ගුවන්තොටුපළට යෑමට නොහැකි වීම නිසා සාදයට එක්වීමට අවස්ථාව ලැබුණේ නැත. එදින ගුවන්යානයේ යෑමට නොලැබුණේ මේ ව්‍යාපාරිකයාගේ පූරුවේ පිනකටය. යම් හෙයකින් ඔහුට එදින සිය බිරිඳ සමඟ ඩුබායි සාදයට යන්නට හැකි වූයේ නම් ඔහුට සිදුවන්නේ ද අමල් පෙරේරා මධුෂ් ඇතුළු සහචරයන් සමඟ ඩුබායි පොලිසියේ සිර මැදිරියක ලැගීමටය.

මාකඳුරේ මධුෂ්, අමල් පෙරේරා, රයන් වැන්රෝවන් ඇතුළු 31 දෙනා ඩුබායි පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය පෙබරවාරි 04 වැනිදාය. මේ අපරාධකාරයන් කෙරෙහි ශී‍්‍ර ලංකාව කොයි තරම් උනන්දු වුවද ඩුබායි පොලිසියට එය තවත් එක් සිදුවීමක් පමණි.

මේ අපරාධකරුවන් පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙස ශී‍්‍ර ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය මෙන්ම පොලිස් දෙපාර්තමේන්තුව අවස්ථා කීපයකදීම ඩුබායි පොලිසියෙන් ඉල්ලීම් කළ ද ඔවුන් එය ගණනකට ගත්තේ නැත.

අපරාධකරුවන් 31 දෙනකු තම අත්අඩංගුවේ සිටින බව ඩුබායි පොලිසිය විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත ලිඛිතව දැනුම් දුන්නේ වැටලීම සිදුකර දින 10 කට පසු එනම් පෙබරවාරි 14 වැනිදාය.

නීතිඥ උදුල් පේ‍්‍රමරත්න ඇතුළු නීතිඥ නඩය ඩුබායි දේශයට ගියේ අත්අඩංගුවේ සිටින අපරාධකාරයන් වෙනුවෙන් පෙනී සිටීමටය. මෙරට මාධ්‍යවලට ප‍්‍රකාශ ලබාදෙන්නේ අපරාධකාරයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් විසින්ය.

මෙය කොතෙක් දුරට සාධාරණ සදාචාරාත්මක ද යන්න සිතා බැලිය යුතුය. මාකඳුරේ මධුෂ් නමැති පාතාල මැරයා අත්අඩංගුවට ගැනීමට ශී‍්‍ර ලංකා පොලිසිය දීර්ඝ කාලයක් තිස්සේ බලා සිටියේය. මොකක්දෝ පිනකට මධුෂ් ඩුබායි පොලිසියට කොටු වුණේය.

ඒ අවස්ථාවෙන් ප‍්‍රයෝජනයක් ගැනීමට වත් ශී‍්‍ර ලංකා පොලිසිය හෝ පොලිස්පතිවරයා කටයුතු නොකිරීමම කනගාටුවට කරුණකි. මධුෂ් ඇතුළු පාතාල නඩය අත්අඩංගුවට ගැනීමෙන් පසු විශේෂ පොලිස් කණ්ඩායමක් ඩුබායි දේශය වෙත යැවිය යුතුව තිබුණේය. එහෙත් මධුෂ් අත්අඩංගුවට ගෙන සති දෙකකට ආසන්න කාලයක් ගතවී ඇතත් මධුෂ් පිළිබඳ කොරතුරු සෙවීමට තබා ඔවුන් අත්අඩංගුවේ සිටින්නේ දැයි යන්න සොයා බැලීමටවත් ශී‍්‍ර ලංකා පොලිසියෙන් කිසිම නියෝජිතයකු ඩුබායි දේශයට යැවීමට කටයුතු කර තිබුණේ නැත.

ශී‍්‍ර ලංකා පොලිසිය ද අත්අඩංගුවේ සිටින මධුෂ් පිළිබඳව තොරතුරු ලබා ගත්තේ ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමට ඩුබායි ගොස් සිටින උදුල් පේ‍්‍රමරත්න ඇතුළු නීතිඥ නඩයෙන්ය. මෙවැනි තත්ත්වයක් තවදුරටත් සිදුවන්නේ නම් ශී‍්‍ර ලංකා පොලිසියට දෙවියන්ගේම පිහිටය.

මධුෂ් ඇතුළු පාතාල නඩය පිළිබඳව ශී‍්‍ර ලංකා පොලිසිය මේ තරම් සැහැල්ලූවෙන් සිතන්නේ නම් ඒ මැරයන් ශී‍්‍ර ලංකාවට රැගෙන ආ කාලයක ඔවුන්ට ලැබෙන දඬුවම ගැන ද අපට සිතාගත හැකිය.

ඩුබායි පොලිසිය නීතිය කි‍්‍රයාත්මක කරගෙන යන අන්දමට පෙනී යන්නේ මාකඳුරේ මධුෂ් ඇතුළු පාතාල නඩයට මහ ලොකු දඬුවම් නොලැබෙන බවය.

එසේ නම් කළ යුත්තේ රාජ්‍ය මැදිහත්වීමකින් හෝ මේ පාතාල මැරයා ඇතුළු ඔහුගේ සගයන් කෙසේ හෝ ශී‍්‍ර ලංකාවට ගෙන ඒමය. එසේ රැගෙන එන මේ මැරයන් වැලිකඩ බන්ධනාගාරයේ රඳවාගෙන සියලූ සැප සම්පත් ලබා දී රාජ්‍ය රැකවරණය ද ලබා දෙමින් එහි සිට තව තවත් අපරාධ සිදු කිරීමට වාතාවරණය සකස් කර දීම ද පලක් නැති කි‍්‍රයාවලියකි. 

මුළු ශී‍්‍ර ලංකාවටම මහා විෂබීජයක් බවට පත්ව සිටින මධුෂ් ඇතුළු පාතාල නඩයට ගෝඨාභය රාජපක්‍ෂ මහතා ආරක්‍ෂක ලේකම්වරයාව සිටි කාලයේ ලබා දුන් දඬුවම් දිය යුතුය. ශී‍්‍ර ලංකාවේ නීතිගරුක පුරවැසියන්ගේ එකම පැතුම වන්නේ ද එයමය.

හේමන්ත රන්දුණු -
දිවියින

Latest news

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook