අතීතයේ මිනිසුන් බෝ වන රෝග වලට ගොදුරුව බුරුතු පිටින් මියගියේ ඒ රෝගවලට හේතුව නොදැන සහ ඒ සඳහා ඖෂධ නොමැතිවය. එය ඉතා අවාසනාවන්ත කාලයක් විය. නමුත් 1928 දී ඇලෙක්සැන්ඩර් ෆලෙමින් නම් වෛද්‍යවරයා විසින් ප්‍රතිජීවක ඖෂධ (Antibiotic) සොයා ගැනීමත් සමග ලෝකය උඩුයටිකුරු විය. බැක්ටීරියා නිසා බෝවන රෝග වලට ඖෂධ තිබෙන බැවින් බෝවන රෝග ගණනාවකින් ආරක්ෂාවීමේ වරම ලෝ වැසියන්ට ලැබිණි. නමුත් කාලයත් සමග මේ ප්‍රතිජීවක ඖෂධ කිසිදු වගවිභාගයකින් තොරව අනිසි ලෙස භාවිතා කිරීම නිසා අනාගතයේ ඉතා අවාසනාවන්ත ලෙස මිනිසුන් මිය යා හැකි බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. එය ප්‍රතිජීවක ඖෂධ සොයාගැනීමට පෙර තිබූ කාලයටත් වඩා බිහිසුණු විය හැකි බවට මත පළවී තිබේ. 2014 - 2050 දක්වා කාලය වන විට ප්‍රතිජීවක ඖෂධ නොමැතිව මිලින 300ක් පමණ මිය යනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ. මේ බිහිසුණු අවදානමෙන් ගැලවීමට නම් මේ ප්‍රතිජීවක භාවිතයේ නිසි ක්‍රියාමාර්ග අනුගමනය අනිවාර්ය වෙයි.
විශේෂයෙන් කුඩා දරුවන් මේ අවාසනාවන්ත තත්ත්වයට පත් වන්නට නොදී ආරක්ෂාකර ගැනීම වැඩිහිටියන්ගේ වගකීමකි. සාමාන්‍යයෙන් දරුවෙකුට කිසියම් බැක්ටීරියා ආසාදනයක් නිසා රෝගයක් වැලඳුන විට ඖෂධ ආරම්භ කළ යුත්තේ පහළම මට්ටමේ ඒවාගෙන්ය. එයද අතිශයින්ම අවශ්‍ය නම් පමණි. උදාහරණයක් ලෙස බැක්ටීරියාවක් නිසා හටගන්නා රෝගයක් සඳහා මුලින්ම ලබා දෙන්නේ සැර අඩු පහළ මට්ටමක තිබෙන ප්‍රතිජීවක ඖෂධයක්ය. නැවත වතාවක් රෝගයක් වැලඳුනු විට ලබාදීමට ඉහළ මට්ටමේ ඖෂධයක් තිබිය යුතුය. සමහර වෛද්‍යවරුන් ඉක්මනින් රෝගය සුවවීම සඳහා දියහැකි උපරිම මට්ටමේ ඖෂධ භාවිතා කරන අවස්ථා බොහෝ වෙයි. “ඒ දොස්තර මහත්තයාගේ බේත් එක වේලෙන්ම සනීපයි. ඒකනේ එයාට ‘වන්ෂොට්’ කියල කියන්නෙ”
ඔබ සමාජයේදී මෙවැනි කතා අසා තිබෙන බවට සැක නැත. නමුත් ඒ රෝගය අද සනීප වූවාට එම රෝගියාට නැවත වසර ගණනාවකින් හැදෙන ලෙඩකට දීමට බෙහෙතක් නොමැති වන්නට පිළිවන. මන්ද ලෝකයේ ප්‍රතිජීවක ඖෂධ තිබෙන්නේ ඉතා සීමිත ප්‍රමාණයක් පමණක් බැවිනි. එසේම වෛරස් නිසා හටගන්නා සෙම්ප්‍රතිෂ්‍යාව, උණ, කැස්ස, හිසේ සෙම්ගති, හිසරදය වැනි රෝගවලට පවා ප්‍රතිජීවක ඖෂධ ලබාදෙන අය සිටිති. මෙය රෝගියාට විශාල හානි රැගෙන එන්නකි. උදාහරණයක් ලෙස වෛරස් නිසා හටගන්නා රෝග බොහොමයක් ඉබේම සුවවෙයි. එවැනි අවස්ථාවකදී ප්‍රතිජීවක ඖෂධ ලබාදීමෙන් සිදුවන්නේ ශරීරයේ තිබෙන හිතකර බැක්ටීරියා වර්ග විනාශවී යාමය. එවිට අහිතකර බැක්ටීරියාවන්ට විරුද්ධව සටන් කිරීමට කෙනෙකු නොමැතිවීමෙන් ඉතා පහසුවෙන් එම ආසාදනයන්ට ලක්වීමට සිදුවේ. එසේම එම රෝගය සුවවීමද ප්‍රමාදවෙයි. සෑම රෝගයකටම ඖෂධ අවශ්‍ය වන්නේ නැත. සමහරුන් දරුවන් රැගෙන වෛද්‍යවරු වෙත ගොස් ඒ අය ඖෂධ ප්‍රමාණවත් පරිදි ලබා නොදීම ගැන දොස් කියන අවස්ථා තිබේ. කිසියම් රෝගයක් ඉබේ සුව වේ නම් එයට ඖෂධ ලබාගැනීමෙන් කිසිදු ප්‍රතිඵලයක් නොලැබෙනවා සේම එය සෞඛ්‍යයට අති විශාල තර්ජනයක් බව බොහෝ අය නොසිතන එසේම නොදන්නා කාරණාවකි.
දෙමාපියන් වැඩිහිටියන් ලෙස මේ තත්ත්වය තේරුම් ගත යුතුය. ඉතාම කුඩා වයස්වල දරුවන් අධික සැර ගති වලින් යුතු ප්‍රතිජීවක ඖෂධ වර්ග ලබාදෙමින් කාලයක් ගතවී දරුවා වැඩිහිටියෙකු වූ පසු වැලඳනෙ දැඩි රෝගයකදී දීමට ඖෂධයක් නොමැති වීමට බොහෝ ඉඩකඩ තිබේ.
එසේම කිසියම් රෝගී තත්ත්වයකදී අවශ්‍ය විටෙකදී ලබාදෙන ප්‍රතිජීවක ඖෂධවල මාත්‍රාව සේම ලබා ගත යුතු කාලය නොවරදවාම ලබාගත යුතුය. සමහර විට දරුවාගේ රෝගී ලක්ෂණ අඩුවූ විට එම ඖෂධ නවතා දැමීම අනාගතයේ අහිතකර ප්‍රතිඵලවලට හේතුවිය හැකිය. උදාහරණයක් ලෙස කිසියම් බැක්ටීරියාවක් නිසා හටගත් රෝගයක් පාලනයට ලබාදෙන එම ඖෂධ දින 5ක් ලබාගන්නා ලෙස වෛද්‍ය උදෙස් ලැබුණා යැයි සිතන්න. දින දෙකක් පමණ ගතවන විට රෝග ලක්ෂණ පහව ගිය පසු එම ඖෂධ ගැනීම නැවැත්වීමට බොහෝ අය පෙළඹී සිටිති. නමුත් එම රෝගයේ ලක්ෂණ අඩුවුවද එම බැක්ටීරියා ශරීරයේ නිරුපද්‍රිතව පැවතිය හැකිය. එවිට සිදුවන්නේ එම ඖෂධවලට ඔරොත්තු දෙන ආකාරවලට බැක්ටීරියාව හැඩගැසීමය. එවිට ප්‍රතිජීවක ඖෂධවලට ඔරොත්තු දෙන එම බැක්ටීරියාව ඒවාට ප්‍රතිරෝධීව ක්‍රියාකිරීමට සමත්වෙයි. අනාගතයේ සිදුවන ශල්‍යකර්ම වලදී මෙවැනි වාතාවරණයක් යටතේ රෝගීන්ට ලබාදීමට ප්‍රතිජීවක ඖෂධ නොමැතිව වෛද්‍යවරු අසරණ විය හැකිය.
යුරෝපීය රටවල ප්‍රතිජීවක ඖෂධයක් රෝගියෙකුට ලබා දෙන්නේ එය නොදීම බැරි අවස්ථාවකදී පමණි. එසේම එය කිසි ලෙසකින් වෛද්‍ය උපදෙස් නොමැතිව අනුමැතියක් නොමැතිව ලබා ගත නොහැක. නමුත් අප වැනි නොදියුණු රටවල තත්ත්වය ඊට ඉඳුරාම වෙනස්ය. තමන් කැමති ප්‍රතිජීවක ඖෂධයක් තමන්ට කැමති ප්‍රමාණයක් ඕනෑම ඖෂධ හලකින් ලබාගැනීමේ නිදහස අපට හිමිය. මෙය අනාගතයේ අති භයංකර ප්‍රතිඵල රැගෙන එන්නකි. විශේෂයෙන්ම කුඩා දරුවන්ට ඖෂධ ලබාදීමේදී අතිශයින් කල්පනාකාරීවීම, වැඩිහිටි සැමගේ වගකීමකි.
උපදෙස්, කුලියාපිටිය මහ රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය චින්තක රාජපක්ෂ
සාකච්ඡා කළා - නිර්මලා කුමාරි සේනාරත්න