Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

කාන්තාවන් පමණක් යොදා ගනිමින්
ආරම්භ කළ “පළමු ඉන්ධන පිරවුම්හල” 
ගැන ‌මෙන්න

සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාව පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන පොම්ප ක්‍රියාකරුවන් ලෙස සේවය කරන්නේ පුරුෂයන්ය. එවැනි රාජකාරි කළ හැක්කේ පුරුෂයන්ට පමණක් බවට සමාජයේ පවතින ස්ථාපිත ආදර්ශ (Stereotypes) බොහෝ විට ඊට හේතු වේ. මේ අතර ඉන්ධන පොම්ප ක්‍රියාකරුවන් ලෙස කාන්තාවන් පමණක් යොදා ගනිමින් ආරම්භ කළ ඉන්ධන පිරවුම්හලක් පිළිබඳ ගම්පහ දිස්ත්‍රික්කයේ නාල්ල ප්‍රදේශයෙන් වාර්තා වේ. කොළඹ -කුරුණෑගල මාර්ගයේ පිහිටා ඇති මේ ඉන්ධන පිරවුම්හලේ හිමිකාරිය ද තරුණ කාන්තාවක් වීම විශේෂත්වයකි. එසේම එහි කළමනාකාරිනිය ද කාන්තාවකි.

කාන්තාවන් බලගැන්වීමේ (Empower) අරමුණින් කාන්තාවන් පමණක් යොදා ගනිමින් ආරම්භ කළ ශ්‍රී ලංකාවේ පළමු ඉන්ධන පිරවුම්හල මෙය බව එහි හිමිකාරිය රශ්මි පතිරාජ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියාය. රශ්මි පතිරාජ පවසන පරිදි කාන්තාවන් ඉන්ධන පොම්පකරුවන් ලෙස යොදා ගැනීමට අදහසක් පහළ වී ඇත්තේ ඇය චීනයේ කළ සංචාරයකදීය. “චීනෙදී අපි දැක්කා සෑම ඉන්ධන පිරවුම්හලකම වගේ ඉන්නේ කාන්තාවෝ. ඒත් අපේ රටේ පිරවුම්හල්වල ඉන්නේ පිරිමි අයනේ.” 2014 වසරේ පිරවුම්හල ආරම්භ කර ඉන්ධන පොම්ප ක්‍රියාකරු ලෙස කටයුතු කර ඇත්තේ ද එහි හිමිකාරිය වන රශ්මි පතිරාජය. ”ඉස්සෙල්ලම මම තෙල් ගහල බැලුව මට කරන්න පුළුවන් ද කියල. සුළු දෙයක්. මං සාර්ථකව කරපු හින්ද මං හිතුවා අනිත් අයටත් පුළුවන් කියලා. එයාලත් අද වෙද්දී සාර්ථකයි.” මේ වනවිට පොම්ප ක්‍රියාකාරිනියන් අට දෙනෙකු පිරවුම්හලේ සේවය කරන අතර රාත්‍රී සේවා මුර සඳහා පමණක් පුරුෂයන් දෙදෙනෙකු එහි සේවයට යොදවා තිබේ.

රාජකාරි වගකීම් දෙස බැලීමේ දී පුරුෂයන්ට වඩා කාන්තාවන් මත වැඩි විශ්වාසයක් තැබිය හැකි බව හිමිකාරිනියගේ අදහසය. “අද කාලේ පිරිමි අයට වඩා කාන්තාවන් මැනේජ්මන්ට් (කළමනාකරණ) ක්ෂේත්‍රයේ රැකියා සඳහා ගන්නවත් වැඩියි. මොකද කාන්තාව කියන්නේ පවුලක වුනත් හොඳ මැනේජ්මන්ට් එකක් තිබෙන කෙනෙක්. අපේ තැන මම දකිනවා මේ කාන්තාවන්ගේ පැමිණීම, කැපවීම වැඩි බව. එයාලා වැඩ ඉල්ලලා කරන්නේ,” රශ්මි පතිරාජ පවසන්නීය. “ඒ සඳහා කරුණු දෙකක් බලපානවා. එකක් වේතනය වැඩි කර ගැනීම. ඉන් ඔවුන්ට ස්වාධීනව කටයුතු කිරීමේ හැකියාව ලැබෙනවා. අනෙක් දේ මෙතන නිදහසේ වැඩ කිරීමට ඇති හැකියාව. ඉන් ලැබෙන මානසික සුවය.” ආරම්භයේදී පොම්ප ක්‍රියාකාරිනියක් ලෙස සේවයට එක්වූ තරුණියක වන මල්ෂා චතුරංගනී අද වනවිට ඉන්ධන පිරවුම්හලේ කළමනාකාරිනිය ලෙස ක්‍රියා කරයි.

උසස් පෙළ සමත් වී වෙනත් රැකියාවක් කිරීමට අවස්ථාව තිබුණ ද පිරවුම්හලේ රැකියාව තෝරා ගත් බව ඇය කියා සිටියාය. ”අම්මයි, තාත්තයි කැමති වුණා මේ රස්සාවට එනවට. ඒත් නෑදැයෝ ඇහුවා ඇයි ඔහොම රස්සාවක් තෝරාගත්තේ කියාලා . ඒත් මට හිතුණා මෙතන හොඳයි කියල . මුලින්ම මම තෙල් ගැහුවා. ඊට පස්සේ සුපවයිසර් වුණා. ඊට පස්සේ ඔෆිස් එකේ හොඳට වැඩ කළා. දැන් මනේජෙර්,” යනුවෙන් මල්ෂා කියා සිටියේ තරමක ආඩම්බරය මුසු ස්වරයකිනි. අලුයම 5.00 ට සිය රාජකාරි ආරම්භ කරන කාන්තාවෝ රාත්‍රී 8.30 දක්වා සේවයේ නිරත වෙති. ඔවුන්ට පසුදින නිවාඩු ලැබෙන අතර දවසක් හැර දවසක් සේවා මුර ක්‍රමයට රාජකාරි බෙදා ඇත. වසර එක හමාරක පමණ කාලයක් ඉන්ධන පිරවුම්හලේ සේවය කරන සුගන්ධිකා මල්කාන්ති කියා සිටියේ වෙනත් රැකියා හා සැසඳීමේ දී මෙම රැකියාවේ යම් කිසි නිදහසක් ඇති බවය.

“ගාමන්ට් එකකට ගියත් නිදහස අඩුයි. නිවාඩු අඩුයි. මේකේ දවස් දහඅටක් විතර වැඩ කර ගත්තොත් ඒ වගේම හොඳ පඩියක් ගන්න පුළුවන්.” “සවස හයෙන් පසු පැමිණෙන බීමත් පුද්ගලයන් මාරු සල්ලි නැහැ කියලා ප්‍රශ්න දිග්ගස්සන්න එනවා,” යනුවෙන් කී ඇය කාන්තාවක් වශයෙන් එවැනි සුළු ගැටලු ඉක්මනින් විසඳා ගැනීමට “ඉවසීමෙන් සහ කල්පනාවෙන්” වැඩ කරන බව සඳහන් කළාය. ඉන්ධන ලබා ගැනීම සඳහා එන වාහන වලට ඉතා ඉක්මනින් මෙම කාන්තාවන් ඉන්ධන සපයන ආකාරය එහි ගිය දැක ගැනීමට හැකි විය.

පිරවුම්හලේ සේවය කරන දීපානී නිලුකා කියා සිටියේ සිය මානසික සුවය පිළිබඳ පමණක් සිතා තමා මෙම රැකියාව තෝරා ගත් බවය. “මෙතනින් යන එනකොට මම දැක්කා ලේඩීස්ලා විතරක් මෙතන වැඩ කරනවා. ඒක දැකලා ආසාවක් ඇති වුනා මෙතන වැඩ කරන්න. ජොබ් එකක් කියලා හිතලම නෙමෙයි රැකියාවට ආවේ.” “පිරිමින්ට වගේ ගැහැණුන්ටත් සම තැනක් දීම ගැන සතුටුයි. ගැහැණුන්ටත් පිරිමින්ටත් වැඩ කරන්න පුළුවන් කියලා අපි ඔප්පු කරනවා. පිරිමි හා සමානව අපි වැඩ කරනවා,” ඇය කියා සිටියාය.

පිරවුම්හලේ සේවයේ නිරත රත්නා ගමගේ පවසන පරිදි ඇයගේ වයස අවුරුදු 63 කි. 
“මගේ වයසේ හැටියට මේ රැකියාවට ගත්ත එක අගය කළ යුතුයි. මොකද වයස් භේදයක් නැතිව මෙතන කාන්තාවන්ට අවස්ථාව ලබා දීල තිබෙනවා.” ඇතැම් පුරුෂයන් අනවශ්‍ය විහිලු කිරීමට පැමිණෙන අවස්ථාවලට ද ඇතැම් විට මුහුණ දීමට සිදුවන බව කී ඇය “ඒ වෙලාවට මොළේ පාවිච්චි කරලා වැඩ කරනවා,” යනුවෙන් සඳහන් කළාය. මෝටර් රථ ටයරවල වායු ප්‍රමාණය පරික්ෂා කිරීම ද කාන්තාවන් අතින් සිදුවේ. කාන්තාවන් සේවය කළ ද කිසිඳු ප්‍රමාදයකින් තොරව තමන්ට ඉන්ධන පුරවාගත හැකි බව එහි පැමිණ සිටි පාරිභෝගිකයන් කිහිප දෙනෙක් පැවසූහ.පිරවුම්හලේ සේවයේ නිරත කාන්තාවන්ගේ ආරක්ෂාව පිළිබඳ ප්‍රදේශයේ පොලිසිය ද නිතර විමසිල්ලෙන් පසුවන බවත් ඔවුන්ගෙන් ඒ සඳහා දැඩි සහයක් ලැබෙන බවත් පිරවුම්හලේ හිමිකාරිය රශ්මි පතිරාජ සඳහන් කළාය.

බිබිසි


Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook