ජනපති අණින් යළිත්
සිංහරාජයට ගාල්වූ අලි දෙන්නා
ගැන ඔබ නොදත් කතාව
පසුගියදා කජුගස්‌වත්ත, රජවත්ත පන්සලේ පිහිටි සාකච්ඡාවකදී සිංහරාජ මිනීමරු වල් අලි අල්ලා ප්‍රදේශයෙන් බැහැර කිරීමට තීරණය විය. මේ අවස්‌ථාවට සහභාගි වූ අමාත්‍ය සරත් ෙෆාන්සේකා, නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම, වනජීවී දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරි මහත්වරුන්ට අලි මිනිස් ගැටුමට මුහුණපා ඇති සිංහරාජ වන රජදහන ආශ්‍රිත ජනතාව එකහඬින් ඉල්ලා සිටියේ අලි දෙදෙනා ප්‍රදේශයෙන් බැහැර කරන ලෙසයි. ජනමතයට කන්දුන් බලධාරීන් අලි අල්ලා සුරක්‍ෂිත ප්‍රදේශයකට ගෙන යැමේ යෝජනාවට එකඟතාවක් පළවිය.
මේ යෝජනාවෙන් පසු ගෙවීගිය දින කීපය තුළ සිංහරාජ වල්අලි දෙදෙනා අල්ලා බැහැර කිරීමේ ක්‍රියාදාමය ආරම්භ විය. ගුවන් හමුදා නිලධාරීන්ගේ සහායද මේ සඳහා ලැබී ඇත. එම වන අලි මෙහෙයුම ඇරැඹීමත් සමඟ මේ රටේ බොහෝ පරිසර සංවිධානත්, ඇතැම් භික්‍ෂුන් වහන්සේලාත් අලි බැහැර කිරීමේ ක්‍රියාදාමයට එරෙහිව මාධ්‍ය හරහා විවිධ ප්‍රකාශ කරන්නට වූහ. සදාහරිත තෙත් කලාපීය සිංහරාජ වනයේ අලි දෙදෙනා අල්ලා වියළි කලාපයට මුදාහැරීමෙන් ඔවුන්ගේ ජීවිතවලට මරණීය තර්ජන එල්ල විය හැකි බවට සාක්‍ෂි සහිතව කරුණු ඉදිරිපත් කළහ. මෙහි ප්‍රතිඵලයක් ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිංහරාජ වන අලි ඇල්ලීමේ ක්‍රියාවලිය නතර කර විද්‍යාත්මක පදනමක් ඔස්‌සේ මේ පිළිබඳව පුළුල් ලෙස අධ්‍යයනය කිරීමට තීරණය කළ බව මාධ්‍ය හරහා ප්‍රකාශ විය. කෙසේ වුවද 14 දා සන්ධ්‍යා භාගය වන විටත් මේ නියෝගය නොලද බව අලි ඇල්ලීමේ ක්‍රියාවලිය සිදුවන ප්‍රදේශයේ නිලධාරියෙක් අප සමඟ පැවසීය.
කෙසේ වුවද මේ වන විට එම නියෝගය ලැබෙන්නට ඇතැයි විශ්වාස කරමි.
සිංහරාජ අලි පිළිබඳ ප්‍රශ්නයට දිගු ඉතිහාසයක් ඇත. සිංහරාජ ප්‍රාථමික වනය ආරම්භයේ සිටම අලින් සිටින්නට ඇතැයි පරිසරවේදීහු විශ්වාසය පළ කරති. යටත් විජිත යුගයේ අවසන් සියවස් කීපයේ මේ කලවාන ආශ්‍රිතව අවට ගම් කීපයක අලි ඇල්ලීමේ වැඩසටහන් ක්‍රියාත්මක වූ බව ප්‍රදේශයේ කීර්තිමත් ලේඛයකු වන කලවානේ ජයසේකර මහතා පවසයි. කලවාන රඡ්ජුරුවත්තේද, කරවිටද අලි ඇල්ලීම සිදුකර ඇත. මෙයින් ගම්‍ය වන්නේ සිංහරාජ අලි පරපුරට දිගු ඉතිහාසයක් ඇති බවත්, සිය ගණනින් පැවති අලි පරපුරේ මේ වන විට ශේෂ වී සිටින්නේ මේ හස්‌තීන් දෙදෙනා පමණක් බවත්ය. වයස අවුරුදු 35-40 පමණ වන මේ අලි දෙදෙනා සිංහරාජ වනයට ආභරණයකි. සිංහරාජයේ ප්‍රෙෘඪත්වයට, ගාම්භීරත්වයට සාධකයකි.
පසුගිය කාලසීමාවේ මේ අලි දෙදෙනා සිංහරාජ වනයේත්, සිංහරාජ වනයට පරිබාහිරව පවතින ලඳු කැලෑවලත්, ගම් සීමාවලත් සැරිසරන්නට වූහ. වසර ගණනාවකට පෙර වනයට පමණක් සීමාවූ හස්‌තීන් දෙදෙනා මේ වන විට මනුෂ්‍ය වාසය සිදුවන ප්‍රදේශයේ සංචාරයට පුරුදු වූහ. තේ වගාව, ආහාර භෝග වගාව මුළුමනින්ම පාහේ වනසා ඇත. මේ නිසා ජනතාව දැඩි භීතියෙන් දිවි ගෙවති. ත්‍රීවිල් රථ ඇතුළු වාහන 20 ක් පමණ වනසා ඇත. සවස ඇඳිරි වැටීමත් සමඟම මේ ප්‍රදේශයට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූවා සේය. කවර අවශ්‍යතාවක් උදා වුණත් ජනතාව මේ ගම් හරහා ඇති මාර්ගයේ ගමන් නොකරති. අලි මහා මාර්ගයේ සිටිය හැකි හෝ මාර්ගය හරහා මාරුවන නිසාය. ගවයන් 25-30 ක් මරා දමා ඇත. ලණුවකින්, කඹයකින් ගැටගසා සිටි ගවයෙක් දුටුවිට පහරදෙයි. අලියා ඇල්ලූ මුල් අවස්‌ථාවේ කඹවලින් පාද ගැටගසා තිබුණි. කඹ දකින හැම අවස්‌ථාවකදීම පහර දෙයි. ප්‍රදේශයේ පොදු හෝ පෞද්ගලික සියලුම උත්සව, ධර්ම දේශනා සවස 06 වන විට හමාර කරයි. රාත්‍රියේ මිනිස් පුළුටක් දක්‌නට නැත. රජවත්ත පන්සලේ නායක ස්‌වාමීන් වහන්සේ අලි අල්ලා ඉවත් කර ජනතාවට සිදුවී ඇති පීඩනය විනාශය නැති කළ යුතුයි යන මතයේ එළැඹ සිටිති. කෙසේ වුව මේ වල් අලි මේ වන විට 15 වැනි මිනිස් ඝාතනයද සිදුකර හමාරය. ඇතමුන් අලි දෙස ඉතාම සංවේදීව බලන අතර ඇතැමෙක් දැඩි වෛරයෙන් බලති. ප්‍රදේශවාසී කාන්තාවක් පැවසුවේ හරක් වයසට ගියොත් මස් කඩේට හරි දෙන්න පුළුවන්. අලින්ගෙන් එහෙම ප්‍රයෝජනයක්‌වත් නොමැති බවයි. ස්‌වකීය ඉඩමට අලි පැමිණිවිට "පුතේ යන්න, යන්න" කියා කීවිට අලියා බැහැර වන බවද ඇය නිසා සිටියාය.
ගම්වාසී වයෝවෘද්ධ පුද්ගලයෙක් අප සමඟ පැවසුවේ මෙම අලි පහරදී මරණයට පත්වූ වැඩි දෙනෙක් අලින්ට කරදර කළ අය බවයි. වරක් අලියාගේ නැට්‌ටෙන් මයිල් (කෙස්) ගලවා ගැනීමට පසු පසින් ගිය තරුණයකුට පහරදී මරා දැම්මේය. තවත් අවස්‌ථාවක අලියාට හුළු අත්තකින් (ගිනිදැල්වූ පන්දමකින්) පහරදුන් පුද්ගලයකු මරා දැමීය. අලියාට ඉතාම හොඳ මතකයක් ඇති සතෙකි. පහර දුන්නොත් බැණ වැදුනොත් පළිගැනීම උගේ සිරිතයි. කෙසේ වුවද මේ අලි මිනිස් ගැටුම නිසා අදාළ ගම්වල ජන ජීවිතය නම් උඩු යටිකුරු වී ඇති බව පෙනේ.
මේ අලි දෙදෙනා වඩාත් ප්‍රචණ්‌ඩත්වයට පත්වූයේ ප්‍රථම අලි මෙහෙයුමෙන් පසුවයි. අනතුරුවලින් මනුෂ්‍ය ඝාතන ඇරැඹීය. වර්ෂයේ ප්‍රථම මාස 06 තුළ පොතුපිටිය රජවත්ත ප්‍රදේශයේ සැරි සරන බව අලි ඉතිරි මාස 06 වලංකන්ද ප්‍රදේශයට යති. ඇතැම් විට දෙනියාය, වේවැල්කදුර ප්‍රදේශවලට යති. සුළු කලක් ඇතුළත සැතපුම් ගණන් ඈතට යන මේ අලි දෙදෙනා ඉතාමත් පුෂ්ටිමත් සතුන්ය. මේ ප්‍රදේශයේ ගස් කොළන් වල අඩුවක් නැත. සිංහරාජයේ යටි වියනේ ශාක ප්‍රජාව සරුසාරව වැවේ. උස ප්‍රමාණයද ඉහළය. ආසියාවේ අලින් අතර මුල්තැන ගන්නා අලි දෙදෙනෙකි. මද කිපෙන කාලයේ අලි දෙදෙනා (පිරිමි) ඉතාමත් ප්‍රචණ්‌ඩත්වයට පත්වෙයි. මෙතැනදී ජීව විද්‍යාත්මක ප්‍රශ්නයක් පැන නගී. ලිංගික අවශ්‍යතා ඉටුකර ගැනීමට හැකියාවක් නොමැතිවීම වඩාත් ප්‍රචණ්‌ඩත්වයට හේතුවකි. ඒ නිසාම සිංහරාජ අලින්ගේ ප්‍රජනනයක්‌ද සිදු නොවේ. මේ අලි දෙදෙනා අතරට ඇතින්නියක සමීප කළහොත් වඩා සුදුසු බවට යෝජනා ආවත් ගම්මු එය තරයේ ප්‍රතික්‌ෂේප කරති.
කෙසේ වුවද තව වසර 30 ක් පමණ වන විට මේ අලි ස්‌වාභාවිකවම විනාශ වනු ඇත. එතෙක් ප්‍රදේශවාසී ජනතාව බියෙන් සැකෙන් තොරව ජීවත් වන්නේ කෙසේද යන්න ගැටලුවකි. දැනටමත් එක් අලියෙකුගේ මුඛයට පහර එල්ල වී ඇති බව කියෑවේ.
වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා සිංහරාජ අලි පරපුර පිළිබඳ මනා අධ්‍යයනයක් කළ ජීව විද්‍යාත්මක තොරතුරු මනාව දන්නා පුද්ගලයෙකි. ඔහු ප්‍රකාශ කරන පරිදි දැනට ශේෂව සිටින්නේ තුන්පත් රෑනේ අවසන් පුරුක් දෙකයි. පිය අලියාත් මවු ඇතින්නත් අද ජීවතුන් අතර නැති අතර මේ සොහොයුරු හස්‌තීන් දෙදෙනා සුරැකීමේ අවශ්‍යතාව දැඩි සේ අවධාරණය කරයි. මේ අලි දෙදෙනා සිංහරාජය වර්ණවත් කරන බවත් තමා එක් අවස්‌ථාවකදී තුන්පත් රෑනම දුටු බවත් තෙවරප්පෙරුම මහතා පවසයි. ප්‍රදේශවාසී යම් යම් පුද්ගලයන් මේ අලින්ට බරපතළ ශාරීරික හිංසා පීඩා කරන බවටත් චෝදනා කරන නියෝජ්‍ය අමාත්‍යවරයා මේ අලියෙක් වරක් ප්‍රදේශයේ පන්සලක් වෙත පැමිණ බුදු පිළිම වහන්සේට නමස්‌කාර කළ බවත්, මිනිසුන් විසින් තමාට කළ විශාල තුවාලයක් දෙවියන්ට ප්‍රදර්ශනය කළ බවත් කී ඔහු මේ අලි දෙදෙනා ඉතාම සංවේදී බවත් පවසයි. දෙදෙනාම පිරිමි සතුන්ය.
1999 වර්ෂයේදී ද පශු වෛද්‍ය නන්දන අතපත්තු මහතාගේ ප්‍රධානත්වයෙන් පොතුපිටිය, කජුගස්‌වත්ත ප්‍රදේශයේ කළ මෙහෙයුමකදී එක් අලියකු නිර්වින්දනය කර අල්ලා ඉවත් කිරීමට ලොරියට පවා පැටවූ අවස්‌ථාවේදී ගම්වාසීන්ගේ විරෝධතාව මත යළි සිංහරාජ වනයට මුදාහැරියේය. ඉන් අනතුරුව අලියාගේ ප්‍රචණ්‌ඩත්වය වැඩිවිය. ඇත්ත වශයෙන්ම රක්‌වාන ප්‍රදේශයට ආසන්න කජුගස්‌වත්ත, සයිප්‍රස්‌වත්ත, බෝටියාතැන්න, රජවත්ත, ඉළුඹකන්ද, කෝන් කැල්ල, දෙනවත්කන්ද ගම්වල ප්‍රජාව මේ අලි මිනිස් ගැටුමට දැඩිසේ මුහුණපා ඇත. අද ඒ ප්‍රදේශයේ පොල් ගස්, කෙසෙල් ගස් මුළුමනින්ම කා දමා ඇත.
අපට වාර්තා කළ හැකි වන්නේ අලි මිනිස් ගැටුමට තිත තැබීම සඳහා දෙවැනි වරටත් ක්‍රියාත්මක කළ අලි ඇල්ලීමේ මෙහෙයුම ජනපති අණින් නැවතුණු බව පමණකි. දැන් ගම්වාසීන් යළිත් අසතුටට පත්වනු ඇත. කෙසේ වුවද මේ සඳහා විද්‍යාත්මක විසඳුමක අවශ්‍යතාව ජනපතිතුමා වනජීවී බලධාරීන්ට කියා ඇත. එයින් ගම්‍ය වන්නේ මෙය මඟනොහරින බවත්, මේ සඳහා තිරසාර විසඳුමක් සොයන බවත්ය.
සිංහරාජය ශ්‍රී සුමන සමන් දෙවියන්ගේ අඩවියයි. ශ්වේත හස්‌තිරාජයකු මත සැරිසරන සමන් දෙවියන්ද ස්‌වකීය වර්ගයා ආරක්‌ෂා කිරීමේ කාර්යයේ යෙදෙතැයි ගම්වාසීහු කියති. අලිද සම්පතකි. මිනිසුන් ඊට වඩා සම්පතකි. මේ ප්‍රදේශයේ අලින්ගේත්, මිනිසුන්ගේත් ජන්ම භූමියයි. ඒත් අලින්ගෙන් ප්‍රජාවට කරදර විය යුතු නැත. කැඳත්, රැවුළත් බේරාගත යුතුයි. සිංහරාජ අලි මිනිස් ගැටුම සංකීර්ණ ක්‍රියාවලියකි. 16 වැනි මිනිස් බිල්ලත් ගතහොත් යළි ජනතාව මහමඟට බැස උද්ඝෝෂණය කරනු ඇත. ඊට පෙර මේ සිංහරාජ වන අලි ප්‍රශ්නයට තිරසර විසඳුමක් ලැබේ යෑයි අලින්ගෙන් පීඩාවට පත් රක්‌වාන, කජුගස්‌වත්ත ප්‍රදේශයේ ජනතාව මුව අයා බලා සිටිති. එසේම සිංහරාජ අලි ඉවත් කළොත් යුනෙස්‌කෝව ලෝක උරුමය යන වචනය ඉවත් කිරීමේ සැකයක්‌ද පහළ වී ඇත.
කලවාන - රණසිංහ ආරච්චි
VIDEO